ලෝක ක්ෂය රෝග දිනයට තව මසක පමණ කාලයක් ඉදිරියට තිබියදී අප දැන්ම ඒ ගැන කතාකරන්නේ මන්දැයි ඔබට යම් ගැටලුවක් මතුවූවා නම් එය සාධාරණය. අප බොහෝ දෙනෙක් ක්ෂය රෝගය දැන් අප අතර නැතැයි සිතූවත් එය අපට වැලඳෙන්නට ඉඩක් ඇතැයි විශ්වාස නෙකෙළත් සත්‍ය එය නොවේ . සෑම වසරකම අලුතින් හමුවෙන ක්ෂය රෝගීන් ප්‍රමාණය අනුව ඔබටද මටද මේ රෝගයෙන් යම් තර්ජනයක් ඇතිවෙන්නට හැකිය යන අවදානම් සහිත බව සම්බන්ධයෙන් අවදියෙන් පසුවීම එයින් වහා බේරෙන්නට හැකි මගකි.
මේ වන විට දිස්ත්‍රික් ක්ෂය රෝග මර්දන නිලධාරීන් මාර්තු 24 වැනිදාට එළැඹෙන ක්ෂය රෝග දිනය වෙනුවෙන් පැවැත්වීමට නියමිත වැඩසටහන් සම්බන්ධව කටයුතු සිදුකරමින් පවතින අතර මේ සම්බන්ධ ජාතික වැඩසටහන කලුතර දිස්ත්‍රික්කයේදී ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මැදිහත්වීමෙන් සහ මගපෙන්වීමෙන් පැවැත්වීමට සූනම්ව සිටී. ලෝක ක්ෂය රෝග දිනය වන විට ඔබ ක්ෂය රෝගයෙන් තොර පුද්ගලයෙකුය යන සැකයෙන් තොර නිගමනයකට එළැඹීමට මේ පූර්ව මග පෙන්වීම ඉවහල්වනු ඇතැයි යන්න ,අද සෞඛ්‍ය පිටුව ක්ෂය රෝගය සම්බන්ධයෙන් ඔබ වේලාසනින්ම දැනුම්වත්කිරීමට බලපෑ අපගේ අරමුණයි.
ක්ෂය රෝගීන් කොන් කිරීම
අප සිහි තබාගත යුතු වැදගත් කරුණක් වන්නේ ක්ෂය රෝගියෙකු බව හඳුනාගෙන ඔවුනට ප්‍රතිකාර පටන්ගත් පසු එවැනි රෝගියෙකුගෙන් තවත් කෙනෙකුට රෝගය බෝ වීමේ අවදානම ඉතා ශීඝ්‍රයෙන් පහව යන බවය. එබැවින් කිසිදු අවස්ථාවක අප ප්‍රතිකාර ගන්නා ක්ෂය රෝගියෙකුගෙන් අපට රෝගය වැලඳේ යැයි බියවිය යුතු නොවේ. ඔබේ නිවසේ සාමාජිකයෙකු ක්ෂය රෝගය සඳහා බෙහෙත් බොන්නට පටන්ගත්තා යැයි සිතමු. දැන් ඔබ නිවසේ කිසිවෙකුට එම තැනැත්තාගෙන් රෝගය බෝවෙන්නට ඉඩක් නැත.
අතීතයේදී ක්ෂය රෝගය සඳහා ප්‍රතිකාර නොතිබූ අතර, ඔවුන්ට ලබාදුන් එකම ප්‍රතිකාරය වූයේ ක්ෂය රෝගීන් සඳහා වෙන්වුණු සුඛාගාර (Sanatorium) වලට ඇතුළුකර පෝෂ්‍යදායී ආහාර ලබාදීමත්, හොඳ වාතාශ්‍රයක් ලබාදීමත්ය. එකල ක්ෂය රෝගීන් සමාජයෙන් පිටමං කරන වාතාවරණයක් තුළ ක්ෂය රෝගය පිළිබඳව බියක් සහ පිළිකුළක් ගොඩනැගුණු අතර, තවමත් අප සමාජයෙන්ම එම බිය සහ පිළිකුළ සම්පූර්ණයෙන්ම පහව ගොස් නැත.
මේ නිසා අදද ක්ෂය රෝගීන් තමා සමාජයෙන් කොන් වේ යැයි යන බිය නිසා තමාට එම රෝගය ඇති බව අන් අයට පැවසීමට පැකිලෙන අතර, එසේ රෝග තත්ත්වය හෙළි නොකරන නිසා රෝගීන්ගේ ආශ්‍රිතයන් අතර රෝගය තිබේදැයි පරික්ෂා කිරීමට ඇති මනා අවස්ථාවක් අප වෙතින් ගිලිහී යයි. ඇත්ත වශයෙන්ම අප කළ යුත්තේ ක්ෂය රෝගියකු හඳුනාගත් පසු ඔහුට හෝ ඇයට ප්‍රතිකාර සම්පූර්ණ කිරීමට හැකි උපරිම සහයෝගය ලබාදීමත්, ඔහුගේ හෝ ඇයගේ ආශ්‍රිතයන් අතර රෝගය තිබේදැයි පරික්ෂා කිරීමත් මිස ඔවුන් කොන් කිරීම නොවේ. ක්ෂය රෝගය අප සමාජයෙන් තුරන් කරලීම සඳහා මෙම කටයුත්ත මහඟු පිටුවහලක් වනු ඇත.
ක්ෂය රෝග ලක්ෂණ
ක්ෂය රෝගයේ ප්‍රධානතම ලක්ෂණය වන්නේ සති දෙකකට වඩා පවතින කැස්සයි. කෑම අරුචිය, කෙට්ටු වීම (නැතිනම් සිරුරේ බර අඩුවීම), සවස් කාලයේ පවතින මඳ උණ, රාත්‍රියට අධික ලෙස දහඩිය දැමීම, අධික තෙහෙට්ටුව, හතිය, පපුවේ වේදනාව සහ සෙම සමග ලේ පිටවීම ක්ෂය රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වේ. මීට අමතරව පෙනහළුවලින් බාහිරව වැලඳෙන ක්ෂය රෝගයේදී එම රෝගය වැලඳුණු ස්ථානය අනුව අතිරේක රෝග ලක්ෂණ දැකිය හැකිය. උදාහරණයක් ලෙස වසා ගැටිතිවල ක්ෂය රෝගය ඇති විට එම වසා ගැටිති ඉදිමීම (කුද්දටි), සන්ධියක ක්ෂය රෝගය ඇති විට එම සන්ධිය ඉදිමීම සහ වේදනා ගෙනදීම සිදුවිය හැකිය.
ක්ෂය රෝග විනිශ්චය
පෙනහළු ආශ්රිත ක්ෂය රෝගය විනිශ්චය කිරීම සඳහා ඇති විශ්වාසවන්ත සහ පහසුම රෝග විනිශ්චය ක්‍රමය වන්නේ සෙම පටලයක් පරීක්ෂා කිරීමයි. රෝගය මනාව තහවුරු කිරීම සඳහා සෙම පටල තුනක් පරීක්ෂා කරන අතර, රෝගියා රෝහලට පැමිණි අවස්ථාවේ පළමු සෙම සාම්පලය ලබාගන්නා අතර, පසුදා උදෑසන අවදි වූ වහාම මුව හොඳින් සෝදා දෙවැනි සාම්පලය ලබාගනු ලැබේ. මෙම දෙවැනි සාම්පලය රැගෙන රෝගියා රෝහලට පැමිණි පසු තුන්වැනි සාම්පලය රෝහලේදී ලබාගනු ලැබේ.
මෙහිදී අප පරීක්ෂා කළ යුත්තේ රෝගියා හොඳින් කැස්ස, පසු පෙනහළුවලින් පිටවන සෙම සාම්පලයක් විනා කෙළ සාම්පලයක් නොවේ. එබැවින් සෙම සාම්පලය ගැනීමට පෙර රෝගියා හොඳින් ගැඹුරට දෙතුන් වතාවක් හුස්ම ගෙන ඉන්පසු හොඳින් කැස්ස පසු සෙම සාම්පලය ලබාගත යුතු වේ. මේ ආකාරයෙන් සෙම පටල පරීක්ෂා කිරීම සඳහා රට පුරා දිස්ත්‍රික්ක ළය රෝග සායන සහ රෝහල් 150කට වැඩි ප්‍රමාණයක සෙම පටල පරීක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවා ඇත.
ඊට අමතරව තවත් රෝහල් වලට පැමිණෙන රෝගීන්ගෙන් සෙම පටල එකතුකර ළඟම ඇති සෙම පටල පරීක්ෂණ මධ්‍යස්ථානයකට යවා පරීක්ෂා කරවා ගැනීමට වෛද්‍ය නිර්දේශයක් අවශ්‍ය නොවන අතර, තමාට හෝ තමා හඳුනන කෙනෙකුට ක්ෂය රෝගය ඇතැයි සැක කරන්නේ නම් මෙම සෙම පටල පරීක්ෂණ මධ්‍යස්ථානයකට පැමිණ සෙම පටල පරික්ෂා කරවාගත හැකිය. එමෙන්ම පෞද්ගලික අංශයේ වෛද්‍යවරුන්ට, ආයුර්වේද වෛද්‍යවරුන්ට මෙන්ම වෙනත් ඕනෑම අයෙකුට මෙම සෙම පටල පරීක්ෂණ මධ්‍යස්ථාන වෙත රෝගීන් යොමු කිරීමේ බාධාවක් නැත. එසේ පැමිණෙන ඕනෑම රෝගියෙකුගේ සෙම පටල නොමිලේම පරික්ෂා කරනු ඇත.
ක්ෂය රෝගය හඳුනාගැනීම සඳහා භාවිත කරන තවත් පරීක්ෂණයක් වන්නේ එක්ස් කිරණ ඡායාරූප ගැනීමයි. පෙනහළු වල මෙන්ම ශරීරයේ වෙනත් ස්ථාන වල ඇති ක්ෂය රෝග තත්ත්ව හඳුනාගැනීම සඳහා එක්ස් කිරණ ඡායාරූප බෙහෙවින් උපකාර වේ. සෙම පලට රෝපණයද (Sputum Culture) බොහෝ කලක සිට යොදාගන්නා රෝග නිර්ණය පරීක්ෂණයකි. මීට අමතරව මෑතකදී ලොවට හඳුන්වා දුන් එක්සපර්ට් පරීක්ෂණය (Xpert MTB / RIF) ක්ෂය රෝග කාරකය මෙන්ම ප්රමුඛ පෙළේ ක්ෂය රෝග මර්දන ඖෂධයක් වන රිෆැම්පිසින් සඳහා වන ප්‍රතිරෝධයද කෙටි කලක් තුළ හඳුනාගත හැකි විශ්වාසනීය රෝග විනිශ්චය ක්රමයකි.
ක්ෂය රෝගය සඳහා ප්‍රතිකාර
නිසි ප්‍රතිකාර ගැනීමෙන් ක්ෂය රෝගය සම්පූර්ණයෙන්ම සුව කළ හැකිය. සාමාන්‍ය රෝගියෙකු සඳහා මාස 06ක් නොකඩවා ප්‍රතිකාර ගත යුතුය. මුල් මාස 2දී ඖෂධ 4 කුත්, ඉතිරි මාස 2 දී ඖෂධ දෙකකුත් රෝගියා විසින් පාවිච්චි කළ යුතුය. අතීතයේදී මෙම ඖෂධ වෙන් වෙන්ව පෙති වශයෙන් තිබූ අතර, සාමාන්‍ය වැඩිහිටියෙක් එක් වේලක් සඳහා පෙති 11ත් 13 ත් අතර ප්‍රමාණයක් ගත යුතුව තිබිණි.
එහෙත් දැන් සියලු ඖෂධ එකම පෙත්තේ අඩංගු සංයුක්ත පෙති (Fixed dose combination drugs) භාවිතයේ පවතින අතර, සාමාන්‍ය වැඩිහිටියෙකු එක් වේලකට ගත යුතුව ඇත්තේ පෙති 03 ක් හෝ 04 ක් පමණි. මේ නිසා ඖෂධ භාවිතය වඩාත් පහසුවී ඇති අතර, බෙහෙත් පාවිච්චි කිරීම සඳහා රෝගියාගේ අනුකූලතාවයද මේ නිසා වැඩි වී ඇත.
බෙහෙත් පාවිච්චිය සඳහා රෝගියාගේ අනුකූලතාවය ඉතා වැදගත් වන්නේ ක්ෂය රෝගය සඳහා නියම කර ඇති මුළු මාත්‍රාවම සම්පූර්ණ කාලපරිච්ඡේදය පුරාම රෝගියා විසින් භාවිත කළ යුතු වීමයි. එසේ නොවුණහොත් රෝගය සම්පූර්ණයෙන්ම සුව වීම සැක සහිත වනවා මෙන්ම සාමාන්‍ය ක්ෂය රෝග තත්ත්වය බහු ඖෂධ ප්‍රතිරෝධී රෝග තත්ත්වයක් (multi drug resistant tuberculosis) දක්වා වර්ධනය විය හැකිය. එවැනි රෝගියෙකු සුව වීම සඳහා මාස 20 ත් 24 ත් අතර කාලයක් වැඩි ඖෂධ ප්‍රමාණයක් භාවිත කළයුතු අතර, එම ඖෂධ මිලෙන් අධික වනවා පමණක් නොව අතුරු ආබාධ ඇතිවීමද වැඩිය. එමෙන්ම රෝගය සුව වීමේ හැකියාවද වඩා අඩු සම්භාවිතාවක පවතී.
ඕනෑම තත්ත්වයක් යටතේ මාස 06ක් නොකඩවා ප්‍රතිකාර ගැනීම දුෂ්කර කාර්යයකි. එමෙන්ම ක්ෂය රෝගියකු බෙහෙත් පාවිච්චි කරන්නට පටන් ගෙන සති කිහිපයක් යන විට ඔහුට මනා සුවයක් දැනෙන බැවින් තමාට දැන් සුවවී ඇතැයි සිතා බෙහෙත් ගැනීම නවත්වන්නටද ඉඩ ඇත. මෙය වැළැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය මත ප්‍රතිකාර ක්‍රමයක් ලෝකය පුරා ක්‍රියාත්මක වේ. මෙය හඳුන්වනු ලබන්නේ ඍජු නිරීක්ෂණ ප්‍රතිකාර ක්‍රමය (Directly Observed Treatment Short Course – DOTS) එනම් ඩොට්ස් ප්‍රතිකාර ක්‍රමය ලෙසය.
මෙහිදී රෝගියා තමන්ට නියමිත බෙහෙත් පෙති එම ඖෂධ තමාට ලබාදෙන තැනැත්තා ඉදිරියේදීම ගිලීම සිදුවේ. මෙහි අරමුණ වන්නේ රෝගියා තමාට නියමිත සියලු බෙහෙත් නිසි පරිදි ගන්නා බව තහවුරු කිරීම මෙන්ම රෝගියාට යම් අතුරු ආබාධයක් ඇතිවේ නම් එය කල්තියා හඳුනා ගැනීමයි. මෙසේ ඩොට්ස් ප්‍රතිකාර ලබාදෙන්නා ලෙස කටයුතු කරන්නේ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙකු, හෙදියක, ඖෂධවේදියෙකු හෝ වෙන යම් කෙනෙකු මෙන්ම ක්ෂේත්රයේ සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක හෝ විය හැකිය.
එපමණක් නොව රෝගියාට පිළිගත හැකි වගකීමක් දැරිය හැකි ඕනෑම අයෙකුට ඩොට්ස් ප්‍රතිකාර ලබාදෙන්නෙකු ලෙස කටයුතු කිරීමේ බාධාවක් නැත. ස්වාමීන් වහන්සේලා, පූජකතුමන්ලා, විදුහල්පතිවරුන්, ග්‍රාම සේවා නිලධාරීන් සහ ගුරුවරුන් වැනි අය මෙසේ ඩොට්ස් ප්‍රතිකාර ලබාදෙන්නන් ලෙස බොහෝ අවස්ථාවල කටයුතු කරනු ලැබේ.