ඖෂධ යනු අප කාටත් කිසියම් අසනීපයක් ඇති වූ අවස්ථාවක එයින් ඇතිවන පීඩාව සමනය කර ගැනීම සඳහා කුමන හෝ වෛද්යකර්මයක් මගින් අප විසින් භාවිත කිරීමට සුදුසු යැයි නියම කරනු ලබන එක් සංයෝගයක් හෝ සංයෝග කීපයක් කැටිකොටගත් එකකි. කිසියම් රෝගයක් සෑදුනු පමණින් එයට ප්‍රතිකාර නියම කරන්නට රෝගියාටම පුලුවන් කමක් නැතත් අද බොහෝ දෙනෙකු ඖෂධ සම්බන්ධයෙන් පවතින නොදැනුවත්කම හේතුවෙන් කුමන හෝ අතට අසුවන ඖෂධයක් හෝ ඔසුහලකින් ලබාගන්නා වෛද්‍යවරයෙකු විසින් නිර්දේශ නොකළ නමුත් ඖෂධවේදියෙකුගේ සහය ලබා හෝ තම මතය පරිදි තෝරාගත් ඖෂධයක් භාවිත කර සුවයක් ලබන්නට තැත් කරයි. සැබවින්ම ඕනෑම ඖෂධයක් සම්බන්ධයෙන් කිසියම් අතුරුඵලයක්ද තිබිය හැකි බැවින් නියමාකාරයෙන් වෛද්‍ය නිර්දේශ මත පමණක් ඖෂධ ලබාගැනීමට වග බලාගත යුතුය.ඖෂධ සම්බන්ධයෙන් සියල්ල දැනගැනීම ඔබේ ජීවිතයේ ආරක්ෂිතබවට එක්තරා ආකාරයක රුකුලකි. අද සෞඛ්‍ය පිටුව තුලින් මේ කාරණය සම්බන්ධයෙන් ඔබට ඇති ප්‍රශ්න සහ ගැටලු නිරාකාරණයකරන්නට අප ඉඩ වෙන්කරමු.
සිරුරේ එක් ක්‍රියාවලියක් හෝ ක්‍රියාවලියන් කිහිපයක් වෙනස් කිරීමේ හැකියාව ඇති ආහාරමය නොවන රසායනික ද්‍රව්‍යයක් ඖෂධයක් යනුවෙන් හැදින්වේ.
උදාරහණ - සිරුරෙහි සිදුවන ක්‍රියාවලි කිහිපයක් පහත දැක්වේ.
රුධිර පීඩනය කිසි මට්ටමකට පවත්වා ගැනීම
රුධිර ග්ලුකෝස් මට්ටම නිසි පරිදි පවත්වා ගැනීම
මෙම ක්‍රියාවලියන් නිසි පරිදි නොවීම නිසා පිළිවෙලින් අධික රුධිර පීඩනය සහ දියවැඩියාව සෑදේ. එම නිසා මෙම ක්‍රියාවලියන් නැවත යථා තත්ත්වයට ගෙන ඒමට හැකියාවක් ඇති රසායනික ද්‍රව්‍ය මෙම රෝග සඳහා ඖෂධ ලෙස භාවිතා කෙරේ. අධික රුධිර පීඩනය අඩු කළ හැකි රසායනික ද්‍රව්‍ය රුධිර පීඩනය පාලනය සඳහා සුදුසුයි. රුධිරයේ ග්ලුකෝස් මට්ටම පාලනය කළ හැකි රසායනික ද්‍රව්‍ය දියවැඩියාව පාලනය සඳහා සුදුසුය.
ඖෂධයක් හඳුන්වන නම් තීරණය වන්නේ කෙසේද?
ඖෂධයක් සඳහා නම් නියම කරන ආකාර තුනකි.
රසායනික නාමය (chemical name)
ඖෂධ නාමය (generic name, international nonproprietary name) (INN)
වෙළඳ නාමය (trade name, brand name, proprietary name)
රසායනික නාමය (chemical name)
ඖෂධයක රසායනික සංයුතික නියමාකාරයෙන් දැක්වෙන්නේ මෙම නාමයෙන්ය. බොහෝ විට රසායනික නාමය සංකීර්ණ ය. මෙය දැන සීටිම ඔබට අවශ්‍ය නොවේ.
ඖෂධ නාමය (generic name, international nonproprietary name) (INN)
රසායනික නාමයට වඩා මෙය සරලයි. ඖෂධයක රසායනික සංයුතියට අනුරූපව ඒ අනුසාරයෙන් ඖෂධයට ලබා දුන් නාමය මෙයයි. ඖෂධ නාමය දැන සිටීම ඉතා වැදගත් වේ. ලොව කොතැනක ගියත් බටහිර වෛද්‍ය විද්‍යාව අනුව අන්තර්ජාතිකව පිළිගැනෙනුයේ මෙම නාමයයි.
වෙළඳ නාමය (trade name, brand name, proprietary name)
යම් ඖෂධයක් නිෂ්පාදනය කළ වෙළඳ සමාගම (brand name, proprietary name) මගින් ඖෂධයට ලබා දුන් නාමය වෙළඳ නාමය ලෙස හැදින්වේ. එකම ඖෂධය වෙළඳ සමාගම් ගණනාවක් මගින් නිපදවන්නේ නම් එකම ඖෂධය සඳහා වෙළඳ නාමයන් ගණනාවක් ම ඇති වේ.
උදාහරණයක් ලෙස නිතර භාවිතා ෙකරෙන පැරසිටමෝල් (paracetamol) නම් ඖෂධය සලකා බලමු. paracetamol නම් ඖෂධයේ රසායනික නාමය වනුයේ N - Acetyl - p - aminophenol ය. එහි ඖෂධ නාමය paracetamol ය. මෙම ඖෂධය වෙළඳ සමාගම් ගණනාවක් මගින් නිපදවන බැවින් ඒ සඳහා panadol, calpol, pracetol ආදී වශයෙන් වෙළඳ නම් රැසක් ඇත.
ඖෂධ නාමයෙන් අලෙවි කරන ඖෂධ සහ එහි වෙළඳ නාමයන් අලෙවි කරන ඖෂධ එකිනෙකට සමානද ?
අඩංගු සක්‍රීය ඖෂධය එකමය.
ඖෂධයක් එහි ඖෂධ නාමයනේ අලෙවි කළත් වෙළඳ නාමයෙන් අලෙවි කළත් එහි අඩංගු සක්‍රීය ඖෂධය එකමය. උදාහරණයක් ලෙස paracetamol යන ඖෂධ නාමයෙන් ලබා ගන්නා ඖෂධය සහ panadol සහ calpol යන වෙළඳ නාමයන්ගෙන් ලබා ගන්නා ඖෂධයන්හි අන්තර්ගත සක්‍රීය ඖෂධය වනුයේ paracetamol මය.
ඖෂධයේ අඩංගු ඖෂධ ප්‍රමාණය බොහෝ දුරට සමානයි.
උදාහරණයක් ලෙස පැරසිටමෝල් ඖෂධ නාමයෙන් අලෙවි කළත් Panadol වැනි වෙළඳ නාමයෙන් අලෙවි කළත් එක් පෙත්තක අඩංගු සක්‍රිය ඖෂධ ප්‍රමාණය වනුයෙ මිලි ග්‍රෑම් 500 කි.
ගුණාත්මක බව අතින් බොහෝ දුරට සමානයි.
ඖෂධ නාමයෙන් සහ එහි වෙළඳ නාම වලින් අලෙවි කෙරෙන ඖෂධ අතර වෙනස්කම් මොනවාද ?
ඖෂධ නාමයෙන් අලෙවි කරන ඖෂධ වෙළඳ නාමයෙන් අලෙවි කරන ඖෂධ වලට වඩා බොහෝ විට මිලෙන් අඩුය.
පෙනුමේන වෙනස් විය හැකිය. (වර්ණය සහ හැඩය)
අඩංගු අනෙකුත් අක්‍රීය ද්‍රව්‍ය වෙනස් විය හැකිය.
උදාරහණ -
ඇතැම් ඖෂධ නිෂ්පාදන වල සීනි, ලුණු, මද්‍යසාරය, ලවණ සංයුතිය, රසකාරක, වර්ණකාරක, කල් තබා ගැනීම සඳහා භාවිතා කරන ද්‍රව්‍ය වල සංයුතිය වෙනස් විය හැකිය. දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි දිගු කාලීන රෝගී තත්ත්ව ඇත්නම්, ගර්භිණි සමයේ පසුවේ නම් හෝ, කිරිදෙන මවක් නම් ඖෂධයේ අඩංගු අක්‍රිය ද්‍රව්‍ය ඔබට සුදුසු වන්නේ දැයි විමසිලිමත් විය යුතුයි. වෛද්‍යවරයෙකු විසින් ඖෂධයක් නිර්දේශ කරනුයේ මේ සියල්ල සැලකිල්ලට ගැනීමෙන් පසුවය.
ඖෂධ සඳහා අඩු මුදලක් වැය කොට වැඩිම ගුණයක් ලබා ගන්නේ කෙසේද?
වෙළඳ නාමයෙන් නිර්දේශ කළ ඖෂධයක් මිල වැඩි වීම හේතුවෙන් ඔබට ගැනීමට අපහසු නම් වෛද්‍යවරයා සමග මේ ගැන සාකච්ඡා කරන්න. ඖෂධයේ ගුණාත්මක භාවය රැකෙන පරිදි ඖෂධ නාමයෙන් එම ඖෂධ ලබා ගැනීමට හැකි දැයි වෛද්‍යවරයාගෙන් විමසන්න.
මෙසේ නොකර ඖෂධයේ මිල අධික විට ඔබ පහත සඳහන් ආකාරයෙන් ක්රියාකළහොත් නම් එය භයානක විය හැකිය.
ඖෂධ නොගෙන සිටීම.
දිගු කාලීනව දිනපතා ගැනීමට නිර්දේශ කර ඇති ඖෂධ දින කිහිපයකට වතාවක් භාවිතා කිරීම.
උදාහරණ - දියවැඩියාව, අධික රුධිර පීඩනය, අප්ස්මාරය වැනි රෝග සඳහා දිනපතා ඖෂධ භාවිතා කළ යුතුයි. ඇතැම් රෝගීන් මෙම ඖෂධ වැඩි කාලයක් භාවිත කිරීමේ අරමුණෙන් දින කිහිපයකට සැරයක් භාවිතා කරයි. මෙසේ කිරීමෙන් ඔබගේ රෝගය නිසි ලෙස පාලනය නොවේ. ෙරා්ගය නිසා ඇති විය හැකි සංකුලතා ඇති වීමේ ප්‍රවණතාවය වැඩිවේ.
දිනකට කිහිප වතාවක් භාවිතා කිරීමට නිර්දේශ කර ඇති ඖෂධ දිනකට වරක් පමණ භාවිතා කිරීම.
ඖෂධ මාත්‍රාව (dose) අඩු කර ගැනීම.
රෝග ලක්ෂණ සුව වූ විගස ඖෂධ ගැනීම නතර කිරීම.
ඖෂධය ගැනීමට නිර්දේශ කර ඇති නියම කාල සීමාව සඳහා ඖෂධ නොගැනීම.
උදාහරණ - වොළඳ නාමයෙන් මිල අධික ප්‍රතිජීවක ඖෂධ දින පහක් ගැනීමට නිර්දේශ කර ඇතත් දිනයක් හෝ දෙකක් සඳහා පමණක් ‘ඖෂධ භාවිත කිරීම. මෙසේ කිරීමෙන් ඔබේ ශරීරයේ පවතින රෝගාකාරක බැක්ටීරියා සම්පුර්ණයෙන්ම විනාශ වීම වැළකේ. ඖෂධ නැවැත්වූ සැනින් ඇතැම් බැක්ටීරියා නැවත පණ ගසා ඖෂධයට ප්‍රතිරෝධයක් (ඖෂධයට විරුද්ධව සටන් කිරීමේ හැකියාවක්) ඇති කර ගනී. නැවත එම රෝගාකාරක බැක්ටීරියාව ශරීරගත වීමෙන් ඔබ රෝගාතුර වූ අවස්ථාවක මෙම ප්‍රතිජීවක ඖෂධ ඔබේ රෝගය සුව කිරීමට නොහැකි වීමට ඉඩ ඇත. මෙය භයානක තත්ත්වයකි.
වැඩි දුරටත්
ඖෂධ නාමයෙන් අලෙවි කරන ඖෂධ ගැනීමට අනියත බියක් ඇති කර නොගන්න. රජයේ රෝහල් වල දශක ගණනාවක් පුරා බහුලව ම භාවිතා කරනුයේ ඖෂධ නාමයෙන් අලෙවි කරන ඖෂධය. මෙම ඖෂධ භාවිතයෙන් දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග ආදී බොහෝ රෝග ඉතා සාර්ථකව පලනය කර ඇත. නියුමෝනියාව, මොළේ උණ ආදි විෂබීජ නිසා ඇති වන භයානක රෝග සුව කර ඇත. ළමා මරණ අනුපාතිකය, මාතෘ මරණ නුපාතිකය දියුණු රටවලට සම කළ හැකි ඉතා අඩු මට්ටමක පවත්වා ගෙන ඇත. ප්‍රතිශක්තිකරණ ඖෂධ මගින් පෝලියෝ, කක්කල් කැස්ස, ගලපටලය, පිටගැස්ම වැනි භයානක රෝග අසන්නට දකින්නට නොලැබෙන තරමට අඩු කර ඇත. මේ වික්‍රමයන් සියල්ල කර ඇත්තේ බොහෝ විට මිලෙන් ඉතා සාධාරණ ඖෂධ නාමයෙන් අලෙවි කරන ඖෂධ භාවිතා කිරීමෙන්ය.
එම නිසා ඖෂධ නාමයෙන් ඇති ඖෂධ භාවිතයට බිය විය යුතු නොවේ. වෙළඳ නාමයකින් අලෙවි වූ පමණින් හෝ ඖෂධ මිල වැඩි වූ පමණින් ගුණාත්මක භාවය වැඩිවේ යැයි කිව නොහැකිය. අතුරු ආබාධ අඩු වේයැයි සහතිකයක් ද නැත.
විවිධ වූ ඖෂධ නිෂ්පාදන ඇත
පෙති (tablets)
කරල් (capsules)
එන්නත් (injections)
දියර (syrup)
ගුද මාර්ගයෙන් ඇතුළු කැරෙන කරල් (suppository)
යෝනි මාර්ගයෙන් ඇතුළු කැරෙන කරල් (pessary)
ආලේපන (skin creams and ointments)
ආදී වශයෙන් විවිධ ආකාරයෙන් ඖෂධ නිෂ්පාදනය කර ඇත.
මූලික වශයෙන් ඖෂධ වර්ග ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ වර්ග කළ හැකිය.
එනම් -:
වෛද්‍ය නිර්දේශය මතප පමණක් ලබා ගත යුතු ඖෂධ (prescription Only medicines)
වෛද්‍ය නිර්දේශයක් නොමැතිව වුවත් ලබා ගැනීමට සුදුසු ඖෂධ (non prescription medic
වෛද්‍ය නිර්දේශපත් නොමැතිව ලබාගත හැකි ඖෂධ ලෙස ඔබ දැනටමත් පැරසිටමෝල් වැනි ඖෂධ හඳුනනවා ඇත. නමුත් ඒවාද නියමිත මාත්‍රාව පමණක් ලබාගැනීමට වග බලා නොගතහොත් විවිධාකාර ගැටලු මතුවෙයි. නිර්දේශපත් නොමැතිව නිකුත් නොකරන බෙහෙත් අතර ප්‍රතිජීවක ඖෂධ විශේෂය. කරුණු කෙසේ වුවත් ඖෂධ භාවිතකරන්නා විසින් තමන්ට එම කාණ්ඩයේම ඖෂධයක් හෝ වෙනත් කිසියම් ඖෂධයක් අසාත්මක වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් උපදෙස් ලබා ආරක්ෂිත ඖෂධ භාවිතයකට යොමුවීම වැදගත් බව අමතක නොකරන්න.