දරු ගැබක් පිහිටීම රෝගයක් සේ නොසැලකූ අතීතයක් අපට තිබුණත් ගර්භීණී සමයේ ඇතිවූ යම් යම් උපද්‍රවයන් එකළත් පැවති අතර ඒවාට සාර්ථක ප්‍රතිකර්මද ආයුර්වේදයේ කොතෙකුත් පැවතිණි. මේ වන විට ඇතැම් ගැබිනියන් ගර්භය හටගත් අවදියේ සිට ප්‍රසූතය දක්වාම යම් යම් අවස්ථාවල රෝහල් ගත කර ප්‍රතිකාර ලබාදෙන අවස්ථා ඔබ කොතෙකුත් දැක තිබෙනවාට සැකයක් නැත.
ගැබිනි සමයේ හට ගන්නා උපද්‍රවයන් සම්බන්ධයෙන් පැරැන්නන් අනුගමනය කළ වත් පිළිවෙත් සහ ඇවතුම් පැවතුම් සම්බන්ධයෙන් මෙවර අද සෞඛ්‍ය පිටුව තුළින් සාකච්චාවට බඳුන් කරනුයේ ඇතැම් සුළු තත්ත්වයන් සම්බන්ධයෙන් නිවසේ සිටම ප්‍රතිකාර සලසාගැනීමේ අවස්ථාවද ඔබට සලසා දෙමිනි.
ගර්භයක් ඇතිවීම මවගේ රුධිරය හා බැඳුණු කාරණයකි. එතෙක් ඇයට සිදුවූ මාසික ආර්ථව ක්‍රියාවලිය ඇනහිටීම ගර්භයක පිහිටීම වශයෙන් සලකා දරුවා නිසි කාලය සම්පූර්ණ වී ප්‍රසූත අවස්ථාව එළැඹෙන තෙක් රුධිරය සිරුරෙන් පිටවීමක් නොවිය යුතුය යන්න බොහෝ දෙනා දන්නා කාරණයකි.
නමුත් දැන් දැන් ගැබිණි සමය තුළ බහුතර පිරිසක් අපහසුතාවයට පත්වන කරුණක් ව පවතින්නේ ගැබ දරන කාලය තුළ රුධිරය පහවීමයි. එසේ වනුයේ කිමද යන්න සලකා බලන විට විවිධ හේතු හමුවුවත් වඩාත් බහුලව දැකිය හැකි හේතුවක් සම්බන්ධයෙන් අප මුලින්ම අවදානය යොමු කරමු. ගැබිනියගේ ආහාර පාන එසේ අවදානයට ලක්විය යුතු ප්‍රධානතම කරුණක් බව ඇතැම් විට ඔබ එතරම් නොසිතූ කරුණක් වන්නට පුලුවනි.
ගැබක් හටගත්විට එතෙක් සිරුරේ පැවති සාමාන්‍ය හෝර්මෝන ක්‍රියාවලිය වෙනස් වන බැවින් වෙනදා පත්ය,ව්ද අපත්‍ය ,ව්ද යන්න සොයා නොබලා කල ආහාර විහරණ සම්බන්ධයෙන් යම් සැලකිල්ලක් දැක්වීම වැදගත්ය. එසේ ආහාර හා විහරණ යනාදිය සම්බන්ධයෙන් සැලකිල්ලක් නොදැක්වූ කළ ඇතිවිය හැකි එක් උපද්‍රවයකි රුධිරය පිටවීම. එසේ රුධිර වහනයක් සම්බන්ධයෙන් දැනගත් වහාම ගැබිනිය ශීත ප්‍රතිකාර වෙත යොමු කිරීම වැදගත්ය.
එහිදී ගැබිනියට සිරුර වෙහෙසෙන ක්‍රියාවලින් ඈත් කර ඇඳ විවේකය ලබාදීමට කටයුතු කළ යුතුය. එසේ ගැබිනිය නිශ්චලව සිටින්නට සලස්වා ඇයට සැවැන්දරා. නෙළුම් අල, සුදුහඳුන්, ආදී කෂාය, නුග රැහැන් කිරි කෂාය ලබා දිය යුතුය. එමෙන්ම වැල් මී මහනෙල්, නෙළුම් ආදී ඖෂධ, යෙදූ කෂාය, තැම්බුම් වර්ග ලබා දිය යුතුය.
සුදු නෙළුම් රතු නෙළුම්, මානෙල්, කුමුදු, හෙල් මැලි, කෙකටිය, මේවායේ අල දඩු කෂාය හෝ මේවායේ අල, කෙසෙල් ,තැඹිලි පොල් මල් කෂාය ලබාදීම, රතඹලා ගසේ පංචාංගය ලබාදීම, ගර්භ චින්තාමණී රස චන්දනාසවය, උශීරාවය දිය යුතුය. මෙවැනි ප්‍රතිකාර හරි හැටි වෙද උපදෙස් මත ලබාදීමෙන් ගැබිණියට ඇතිවන රුධිර වහනයන් උපද්‍රවයක් ඇතිවීමෙන් තොරව නවතා ගත හැකිය.
බොහෝ විට පළමු ගැබ එසේ රුධිර වහනයකින් අනතුරුව ගබ්සා වූ කාන්තාවකට දෙවැනි අවස්ථාවලදිත් එයම සිදු විය හැකිබවට මතයක් පවතී. එවන් සැකයක් තබාගනිමින් අවදානමක් වෙත ගමන් කරනවාට වඩා එක් ගැබක් එසේ ගබ්සා වී නම් දෙවැනි ගැබ ප්‍රවේශම් සහගතව රැකගත යුතු බැවින් ඒ කෙරෙහි නිසි අවදානය යොමු කිරීම වැදගත්ය.
විවිධ ආහාර නිසා ගැබිනි සමයේ ඇතිවන අජීර්ණයටද ප්‍රතිකාර යෙදිය යුතු වෙයි. ගැබිනියට ඇතිවන අජීර්ණයේදී ඇයට ඒ සඳහා ප්‍රතිකාර සැලසිය යුත්තේ සීරුවෙනි. අජීර්ණ අවස්ථාවේදී ලබාදිය යුත්තේ ලඝු ආහාර වන අතර වර්තිකාව නවරත්න ආදි ගුලි, බැබිල, ඉඟුරු කෂාය ලබාදිය යුතුය.
ගැබිනි සමයේ ඇතිවන සුලභ උපදුවයකි වමනය. ගර්භිණී අවස්ථාවේ කාන්තාවකට ඇතිවන වමනය වෙනුවෙන් උක්ගැට, සුදු හඳුන් සැවැන්දරා, තම්බා පානයට දීම, මෙන්ම ගර්භයට හානි නොවන මෘදු ඖෂධ ප්‍රතිකාර ලබා දිය යුතුය. බැබිල සැවැන්දරා විලඳ කසාය, කළු උක් මුල් සැවැන්දරා කෂාය, සුළු පහ කෂාය, කොත්තමල්ලි බැද තම්බා පානයට දීම මෙවන් අවස්ථාවක කළ හැකි ප්‍රතිකාර ලෙස හැඳින්විය හැකිය.
අප මෙතෙක් කතාකලේ සුළු සුළු අවස්ථා පිළිබඳ වුවත් වැඩි අවදානයක් යොමු කළ යුතු උපද්‍රව අවස්ථාද ගැබිනි සමය තුළ පැවතිය හැකිය. එයින් එකකි. ගර්භිණී අතිසාරය. මෙය කිසිසේත්ම සුළු කොට තැකිය හැකි අවස්ථාවක් නොවන අතර භයානක අවස්ථාවක් ලෙස සැලකීම සුදුසුය. උණ වමන යන අවස්ථාවන්ට වඩා අතීසාර උපද්රකාරකය.
විශේෂයෙන් ජල කොටස් පිටවිම නිසා මවට උපද්‍රා ඇතිවන අතර ගැබිනියකගේ අතිසාරය අසාධ්‍යය. මෙසේ අතිසාරය ඇතිවන්නේ ගර්භයේ අටවැනි මාසයේ නම් එය මවට මෙන්ම දරුවාටද හොඳ නැත. මෙහිදී බඩ එළියේ යෑම ඉක්මණින්ම නතර කළ යුතුය. පෝෂ්‍යදායක ලඝු ආහාර ලබාදිය යුතුය. ගර්භිණීන්ගේ උණ අවස්ථාවත් උපද්රවකර අවස්ථාවක් බව දැන සිටිය යුතුය.
සාමාන්‍ය ජ්වර චිකිත්සාව කළ යුතු අතර මූලික චිකිත්සාව අතුරින් ලංඝනය කළ යුතුය. ගැබිනියකගේ තුන්මස පසුවන තුරු උණක් ඇතිවුවහොත් පළමුව කැඳ වතුරත්, යුෂ වර්ග, මාංස රස. ක්ෂීර ආහාර දිය යුතුය.පසුව ලඝු ආහාර දිය යුතුය. හතරවැනි මාසයේ නම් ප්‍රතිකාර කළ යුතුමය, තීක්ෂණ නොවන ඖෂධ වලින් ප්‍රතිකාර කළ යුතුය. රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය සත්ව ගුණය බලා සාමාන්‍ය ජ්වර චිකිස්තාව කළ යුතුය.
මේ හැරුණු විට ගැබිනි සමයේ නිතර කතාබහට ලක්වෙන තවත් උපද්‍රවයකි ගර්භිණි ශෝථය. මෙසේ හඳුන්වන්නේ ගැබිනියගේ සිරුරේ ඉදිමුමයි. සමහර ගැබිනි කාන්තාවන්ට ශිරා අවරෝධී වී හෝ ශෝථ අවස්ථාවක් ඇති විය හැකිය. රුධිරය හිඟවිමෙන්ද ශෝථ අවස්ථා ඇතිවෙයි. එසේම යම් යම් රෝග මෙන්ම වකුගඩු ආබාධ, යාකෘත ආබාධ, නිසාද ශෝථය ඇතිවිය හැකිය.
බොහෝ දෙනෙකු සිතා සිටින්නේ ගර්භිණි සමයේ ඉදිමුම එතරම් භයානක නොවන්නක් බව වුවත් එය ගර්භ වලිප්පුවේ පූර්ව රූපයක් නිසා ඇතිවන ඉදිමුමක් නම් එය නොසලකා හැරිය හැකි නොවේ. බොහෝ විට මේ ඉදිමුම 7, 8, 9 මාසවල දී ඇති වෙයි. සෑම ඉදිමීමකදීම, ඇල්බියුමින් යම් තරමක් පිටවිය හැකිය. එසේම එය හානිකර තත්ත්වයක්ද සාමාන්‍ය එකක්ද යන්න අවධානයෙන් සොයා බැලීම වැදගත්ය. නමුත් එය එතරම් හානිකර තත්ත්වයක් නොවන්නේ යැයි තහවුරු වුවහොත් එයට බිය විය යුතු නැත. හිසරදය රුධිර පීඩනය , ආදිය බලා පාද ඉදිමුමට බෙහෙත් කළ යුතුය.
මෙම ඉදිමුම ගර්භ වලිප්පුවට හේතුවේද නැති නම් වෙනත් රෝගයන් නිසා ඇතිවෙන්නේද යන්න සොයා බැලිය යුතුය. ලුණු අඩු ආහාර ලබා දිය යුතු අතර මුත්‍රා කාරක රක්ත ශෝධන ප්‍රතිකාර විධි යෙදිය යුතුය. සාරණ අමු ඉඟුරු කෂාය හෝ කිරි කෂාය ලෙස මෙය දිය යුතුය. චන්ද්රප්රභාවටී, ගුග්ගුලු දිය හැකිය.
අප ගර්භ වලිප්පුව යනු කුමක්දැයි තවත් කරුණු කීපයක් වෙත අවධානය යොමු කරමු. ගර්භ වලිප්පුව සඳහා ප්‍රතිකාර සොයනවාට වඩා කළ යුත්තේ වළක්වා ගැනිමයි. ගර්භ වලප්පුව අවස්ථාවේ ගැබිණිය වෛදවරයා යටතේ පසු විය යුතුයි. ගැබ් ගැබීම යනු ස්වභාවික තත්ත්වයක් නමුත් වලිප්පුව සාමාන්‍ය තත්ත්වයක් නොවන නිසා වෛද්‍යවරයාගේ යටතේ සංරක්ෂනයට ලක් විය යුතුය.
මළ මුත්‍රා පිටකිරීමේ තත්ත්වය සහ පාණ්ඩු රෝග ආදිය සම්බන්ධයෙන් පරීක්ෂාවෙන් සිටිය යුතුය. පෝෂ්‍ය ආහාර පාන නිසි පරිදි ලැබිය යුතුය. පළමු වැනි මාසයේ පටන් හතර වැනි මාසය දක්වා ගර්භ උපද්රාවන් වළක්වා ගැනීමට ගැබිණිය විශේෂ අවධානයක් දැක්විය යුතුය.
කිසියම් අයෙකුට ගැබි නොගැනීම, ගබිසා ඇති වීම දරුඵල රහිතවීම හා මෙම ලිපියෙන් සාකච්ඡා කළ ගැබිනි සමය ආශ්රිත යම් කරුණක් පිළිබඳ මෙහි සඳහන් නොවූ යම් තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් මෙම ලිපිය සහිත පුවත් පත රැඟෙන මොරටුව බෝධිරුක්කාරාම පාරේ අංක 26 වෙත ගොස් විමසිම හෝ 011 2 652 045 යන අංකයෙන් විමසීමෙන් අද පාඨක ඔබට තොරතුරු ලබා ගැනීමේ පහසුකමක් ද පවතී.
ගැබිනි සමය තුළ පමණක් නොව දරු ප්‍රසූතියෙන් පසුවද මවක් ප්‍රවේශම් විය යුතු ආබාධ රැසක් ආයුර්වේදයේ සාකච්චාවට බඳුන් වී ඇති අතර මේවා පැරැන්නන්ගේ ජන ජීවිත හා තදින් ඇලී ගැලී පැවතෙන්නට හේතුව ආයුර්වේද යනු ස්වභාවික ඖෂධ හා බොහෝ සමීප ප්‍රතිකාර ක්‍රමයක් බව අතීතයේ සිටම මිනිස් වර්ගයා තුළ විශ්වාසය තහවුරු කරගෙන සිටින බැවිනි.