සහන සත්කාර සේවා දිනයක් වෙනමම නම් කරන්නට හේතුව කුමක්දැයි බොහෝ විට ඔබට කිසියම් ගැටලුවක් මතුවනු නියතය. පිළිකා ආදී විවිධ රෝගාබාධවලින් සුවය ලබන්නට අවස්ථාව ගිලිහී ගොස් ඇති මරණය තෙක් රෝගය සමග ජීවත් වන්නට සිදුව තිබෙන රෝගීන් වෙනුවෙන් සහන සත්කාර සැලසීමට අවශ්‍ය වනුයේ ජීවිතය පවතින තෙක් ඔවුන්ට විඳින්නට සිදුවන වේදනාවන් අවම වන සේ වඩාත් ගුණාත්මක ජීවිතයක් ලබාදීම වෙනුවෙනි. නමුත් මේ සත්කාර සලසමින් රෝගියා සමග ජීවත්වන්නාගේද ජීවිතය වෙනුවෙන් සහන සැලසීම අරමුණු කරගත් මේ දිනය සෑම වසරකම ඔක්තෝබර් මස දෙවැනි සතියේ සෙනසුරාදාවට යෙදෙයි. මේ සටහනද ලෝක සහන සත්කාර දිනය නිමිත්තෙනි. අප ලොව පුරා මෙතෙක් පැවතියත් අලුතින් කතා කරන්නට පටන්ගත් මේ සහන සත්කාර කොතරම්දුරට රෝගියෙකුගේ ජීවිතය ගුණාත්මකව අවසන් කරන්නට උපකාර වන්නේදැයි විමසා බලමු.
දැන් දැන් පිළිකා රෝග මෙන්ම සම්පූර්ණයෙන් සුවය ලබන්නට ඉඩකඩ අහුරන රෝග ඉතාම බහුලව තිබේ. එනිසා තම ආදරණීයයා එසේ ජීවිතයේ අවසානභාගයට එළැඹ ඇති බව දැනගත් විට පවුලේ අනෙකුත් සාමාජිකයන් පිළිකා හෝ වෙනයම් හේතුවක් මත මරණය පෙනි පෙනී ජීවත්වන රෝගියාව රැකබලා ගන්නේ කෙසේද යන්න පිළිබඳ යම් දැනුවත්භාවයක් ලබා තිබීම ඉතාම වැදගත්ය. බොහෝ විට මෙවැනි අවස්ථාවක කම්පනයට පත්වන රෝගියාගේ ඥාතීන් වෛද්‍ය නිගමනය පවා නොසලකමින් වෙනත් ප්‍රතිකාර වෙනුවෙන් රෝගියා යොමුකරවන්නට උත්සාහ දැරීමෙන් සිදුවන්නේ තව තවත් රෝගියාගේ මානසිකත්වය බිඳවැටෙන පසුබිමක් සැකසීමය. ඥාතීන් විසින් රෝගියා ඉදිරිපිට ඒ ගැන හඬා වැටෙන ආකාරයේ ප්‍රතිචාර තුළින් රෝගියාගේ මානසිකත්වය බිඳවැටීමට ලක්වෙයි. එසේ පවුලේ සාමාජිකයන්ගෙන් රෝගියාට ඇති ආදරය, ගෞරවය හේතුවෙන් අනවශ්‍ය ලෙස කැළඹීමට පත්වීමද රෝගියාට අහිතකර අයුරින් බලපෑ හැකි නිසා අද අපි එවන් රෝගියෙකු රැක බලාගන්නේ කෙසේද යන්න පිළිබඳ අවධානය යොමු කරවමු.
බොහෝ විට අපට සුව කළ නොහැකි එසේ මාරාන්තික තත්ත්වයන් ගැන නිතර අසන්නට සිදුවන්නේ ප්‍රමාද වී ප්‍රතිකාර වෙත යොමු වූ පිළිකා රෝගීන් සම්බන්ධනේ විය හැකිය. පිළිකාවක් යන නම ඇසූ පමණින් බොහෝ දෙනෙක් බියට පත්වන්නේ මෙය කිසිසේත්ම සුවකළ නොහැකි රෝගයක්ය යන මතය නිසාය. නමුත් ඕනෑම පිළිකාවක් කලින් හඳුනා ගැනීමෙන් සහ ප්‍රතිකාර වෙත යොමු වීමෙන් කිසිදු ජීවිත හානියක් ඇති නොවන අයුරින් සුවය වෙත ළඟා විය හැකිය. නමුත් නොදන්නාකම හෝ නොසැලකිලිමත්කම ආදී විවිධ හේතු නිසා ප්‍රතිකාර පසුකර අවසාන අදියර වෙත ළඟා වීමෙන් ප්රතිකාරවලින් සුවය ලද නොහැකි තත්ත්වයට පත් වූ රෝගියෙකු අත්හැර නොදමා ජීවත්වන කාලය වඩා ගුණාත්මකව සහ වේදනා ආදියෙන් මඳ අස්වැසිල්ලක් හෝ ලැබෙන ආකාරයෙන් ජීවත්වන්නට ඉඩ සැලසීම සහන සත්කාර සැලසීම වශයෙන් අර්ථ දැක්වෙයි. මෙහිදී මෙම සේවාවන් රෝගියා වෙනුවෙන් පමණක් නොව රෝගියා සමග ජීවත්වෙමින් සත්කාර සලසන්නා කෙරෙහිද යොමු වෙයි.
කෙසේ නමුත් මරණාසන්න රෝගයක් හෝ පිළිකාවක් පිළිබඳ දැනගත් පසු ඔබ ඔබේ රෝගියා වෙනුවෙන් කළයුතු මෙහෙයන් බොහෝමයක් තිබේ. එයින් ඔවුන්ට සවන් දීම ඉතාමත්ම වැදගත් කරුණකි. කිසිවිටෙක රෝගියාගේ රෝග තත්ත්වය සහ එහි බැරෑරුම් බව ඔහු හෝ ඇය සමග සාකච්ඡා කිරීමෙන් වළකින්න. රෝගියාගේ රෝගය උත්සන්න වීමෙන් වේදනාකාරීව පසුවනු විනා ඔහු ගත කළ ජීවිතයේ ඔහුගේ රුචි අරුචිකම් වෙනස් වී නොමැති බව මතක තබාගන්න. රෝගය ගැන කතා කරනු වෙනුවට රෝගියා කැමති කුමන හෝ මාතෘකාවක් යටතේ ඔහු හෝ ඇය සමග සාකච්ඡා කිරීම, සවන් දීම, ඔවුන් සමග සතුටු සාමීචියේ යෙදීම තුළින් ඔවුන්ගේ මානසිකත්වය යළි ධනාත්මක කරවීමට උත්සාහ දරන්න. කිසිවිටෙක රෝගියෙකු යැයි වෙන්කර සැලකීමට හුරු නොවන්න. රෝගී යැයි අඟවමින් අනවශ්‍ය ලෙස කෑමබීම සීමා කිරීමට උත්සාහ නොදරන්න. රෝගියාට රුචිකත්වය ගෙනෙන හා ඔහු හෝ ඇය කැමති මෙන්ම සුදුසු ආහාරපාන ලබාදෙන්නට උත්සාහ දරන්න. රෝගියා ජීවත්වෙන පරිසරය සුවපහසු හා පිරිසුදු ප්‍රියජනක ස්ථානයක් බවට පත්කර ගැනීමට ඔවුන්ට උපකාරී වන්න. රෝගී බවට පත්වී ප්‍රතිකාර සිදුකෙරෙන කාලය තුළද ඔවුන්ට විනෝද වීමේ අවස්ථා සහ කැමති විනෝදාංශවල පුරුදු පරිදි නියැළීමේ පහසුකම් හැකි අයුරින් සලස්වන්න. කලාත්මක දෑ රසවිඳීමට ඉඩ ලබාදෙන්න. මියුරු සංගීතය ආදී දෙය පහසුවෙන් රෝගියාගේ රසවින්දනයට එක් කළ හැකිය. එමෙන්ම රෝගියා ආගමික වැඩසටහන් කෙරෙහි යොමුකරවන්න. විශේෂයෙන් භාවනා වැඩසටහන්, යාඥාවන්, දේව මෙහෙයන් ආදිය වෙත රෝගියා යොමු කරවන්න.
කාලීන තොරතුරු දැනගැනීමට ඉඩ සලසා දෙන්න. හැකි සෑමවිටම පවුලේ ක්‍රියාකාරකම් සඳහා ඔවුන් සහභාගි කරවා ගන්න. ඔවුන්ට ඇති හැකියාව හා කැමැත්ත මත පොදු වැඩසටහන් හා සමිති සමාගම්වලට ඔවුන්ව සම්බන්ධ කරන්න. සහන සත්කාරක ආයතන හා ආධාර ලබාගත හැකි ස්ථාන පිළිබඳව ඔබ දැනුවත් වී රෝගියා, ඊට යොමු කරන්න.
මේ හැරෙන්නට පිළිකා රෝගියෙකු රැකබලා ගැනීමේදී මතුවන සුලභ ගැටලු සම්බන්ධයෙන් අපේ අවධානය යොමුවිය යුතු වේ. බොහෝවිට පිළිකා රෝගියෙකු වේදනාවන් සම්බන්ධ පැමිණිලි නගන්නට ඉඩ තිබේ. ශාරීරික වශයෙන් මතුවන ගැටලු යටතේ අප ඒවාට මෙසේ පිළියම් යොදමු.
¡ වෛද්‍ය උපදෙස් අනුව නියමිත ඖෂධ මාත්‍රාව නිසි පරිදි ලබාදෙන්න.
¡ සුව පහසු ඉරියව්වක සිටීමට සලස්වන්න
¡ සිරුර සැහැල්ලු කිරීමේ ක්‍රමවේද එනම් ශ්වසන ව්‍යායාම ලබාදෙන්න
¡ තැවීම සම්භාහනය ආදී දෑ වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාවට නගන්න.
තවදුරටත් සමනය නොවන වේදනාව සඳහා වෛද්‍ය උපදෙස් ලබාගන්න.මෙසේ රෝගීන් රැකබලා ගන්නා අතර, රෝගියාට ආහාර හා ඖෂධ ලබාදීම රෝගියා රැකබලා ගන්නා අයට ගැටලුවක් වීමට ඉඩ තිබේ. ඒ ඔක්කාරය, වමනය හා ආහාර අරුචිය සම්බන්ධයෙනි. මෙවන් අවස්ථාවක් මතුවූ විට ඔබ විසින් අනුගමනය කළයුතු ක්‍රියාමාර්ගය වන්නේ මෙයයි.
¡ වෛද්‍ය නියමය අනුව අදාළ ඖෂධ තවදුරටත් ලබාදෙන්න.
¡ ආහාරපාන ලබා දීමේදී එක් වතාවකට ස්වල්ප වශයෙන් ලබාදීම වැදගත් බව මතක තබා ගන්න.
¡ එමෙන්ම රෝගියාට ප්‍රියමනාප වන ආකාරයෙන් ආහාරය ලබාදෙන්නට වග බලාගන්න. මේ සඳහා ආහාරවල පෙනුම, රසය, සකස් කරන ආකාරයේ ඇතිවන වෙනස්කම් වැදගත්ය.
¡ දුර්ගන්ධයෙන් තොර හොඳින් වාතාශ්‍රය ලැබෙන ප්‍රියමනාප පරිසරයක් සකසන්න.
¡ එමෙන්ම වමනය දැමීමට හා බහිශ්රාවීය කටයුතුවලට යොදාගන්නා බඳුන් රෝගියාගේ ඇස නොගැටෙන පරිදි තබන්න.
මෙම ගැටලු මෙයින් පසුව තවදුරටත් පවතී නම් වෛද්‍යවරයා හා සාකච්ඡා කර තත්ත්වයට පිළියම් යොදන්න. ඇතැම්විට මෙම රෝගීන්ට තුවාල පැවතිය හැකිය. එවන් තුවාලයක් පවතී නම් එහිදී කුමක් කළයුතුද යන්න පිළිබඳවද විමසා බැලීම වටී. මේ සඳහා ජීවානුහරණය කරන ලද වෙළුම් පටි යෙදීම අවශ්‍යය. පිරිසුදු උපකරණ භාවිත කරන්න. පෞද්ගලික ස්වස්ථතාව පිළිබඳ වඩාත් අවධානය යොමුකළ යුතුය. ආසාදන සම්බන්ධයෙන් අවධානය දක්වා වෛද්‍ය නියමය අනුව ඖෂධ ලබාදීම, දෑත් සේදීම, පෞද්ගලික ස්වස්ථතාව පිළිබඳ සැලකිලිමත් වීම මෙන්ම ආසාදන සහිත පුද්ගලයන්ගෙන් දුරස්වීම, අපද්‍රව්‍ය නිසිලෙස බැහැර කිරීම, ආහාරපාන මැස්සන් කූඹින්ගෙන් ආරක්ෂා වන පරිදි තැබීම මෙන්ම පෝෂ්‍යදායී ආහාරපාන ලබාදීම වැදගත්ය.
විශේෂයෙන්ම ඔබ දැනගත යුතු කරුණක් වන්නේ පිළිකා රෝගියා මෙන්ම කිසියම් රෝගයකින් සුවය නොලබා මරණාසන්න අවදියේ පසුවන රෝගියා තීව්ර මානසික ගැටලුවලට ලක්විය හැකි ඉඩකඩක් පවතින බවයි.
බිය සංකාව, විශාදය වැනි තත්ත්වයන් රෝගියාව පෙළීමට ඉඩ ඇත. මේ නිසා රෝගියාට නිතර ඇහුම්කන් දෙන්න. සුහදව හැඟීම් බලාපොරොත්තු හා සිතිවිලි පිළිබඳ කතා කරන්න. අසන ප්‍රශ්නවලට අව්‍යාජව පිළිතුරු දෙන්න. ආගමික කටයුතුවල නිරතවීමට සහාය දෙන්න. උපදේශන සේවා ලබාදීමට කටයුතු කරන්න. එමෙන්ම පිළිකා රෝගියෙකු සිටින පවුල තුළද ඇතැම් විට විවිධ ගැටලු මතුවිය හැකිය. අප එවන් රෝගියෙකුගේ යුගදිවි සබඳතා බිඳවැටීම සම්බන්ධයෙන් යම් අවධානයක් දැක්විය යුතුය. පිළිකා රෝගයක් යනු කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවන රෝගයක් නොවේ. මේ බව පැහැදිලිව අවබෝධයක් ලබා තිබීම ඉතාම වැදගත්ය. එමෙන්ම මේ කාරණය සම්බන්ධයෙන් උපදේශන සේවාවක සහාය ලැබීම ඉතාම වැදගත්ය.
මෙවන් අවස්ථාවක මතුවන තවත් ගැටලුවකි ආර්ථික ප්‍රශ්න.
විශේෂයෙන්ම මෙහිදී ඥාති හිතමිතුරන්ගේ සහාය අවශ්‍ය විය හැකි අතරම අවශ්‍ය නම් රජයෙන් දෙන සහනාධාර හා සහන සත්කාර සේවා සපයන ස්වේච්ඡා ආයතනවල සහාය ලබාගැනීම කළ හැකිය.
මෙහිදී කිසියම් අයෙකුට මෙවන් රෝගියෙකු සමග උපදේශන සේවාවන් වෙත යොමු විය හැක්කේ කෙසේදැයි පැනයක් මතුවිය හැකිය. මේ සඳහා මහරගම ජාතික පිළිකා ආයතනයේ උපකාරක සේවා මධ්‍යස්ථානය, පළාත් මහා රෝහල් ආශ්රිත පිළිකා ප්‍රතිකාර ඒකක, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන සේවා නිලධාරී සහාය ලබාගැනීමට හැකිය. සහන සත්කාර සලසන ස්වේච්ඡා ආයතන ලෙස මෙම සංවිධානවල සහායද ඔබට ලැබිය හැකිය.
¡ ශ්‍රී ලංකා පිළිකා සංගමය ( 011 258 58 79 )
¡ පිළිකා සරණ සංගමය මිතුරු වැල සහායක ජාලය (0113155229 )
¡ සත්‍යසායි සුව සෙවණ ( 0112687014 ) පිළිකා සුවසරණ ¡ සාධු සමාජය - ගම්පහ ( 0714450147,0714454788 )
කිසියම් අයෙකුට පිළිකා ආධාර අවශ්‍ය නම් එය අයදුම් කරන්නේ කෙසේද යන ගැටලුව අප මෙසේ විසඳා ගනිමු.
¡ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අයදුම් පත්‍රය ලබාගන්න.
¡ අඩු ආදායම්ලාභියෙකු බවට ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද වාර්තාවක් ලබාගන්න. (මාසික ආදායම රු.6000 ට අඩු බව )
¡ රජයේ රෝහලක පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් සනාථ කරන ලද වෛද්‍ය වාර්තාවක් ලබාගන්න. (වාර්තාව නියමිත ආකෘතියට අනුව සකසා තිබිය යුතුය)
නිසි පරිදි අයදුම් කළ අයදුම්පත්‍රය ඉහත 2 හා 3 වාර්තා සමග ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරී වෙත බාරදෙන්න ( සම්පූර්ණ ආධාර මුදල මසකට රු.500 ක උපරිමයකට යටත් වෙයි) අවශ්‍ය සෑම විටෙකම රෝගියාට අවශ්‍ය කරන උපදෙස් ප්‍රතිකාර කරන සායනයෙන් ලබාගත හැකිය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා