මහාමාර්ගවල ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම ඒ ඒ පළාත් පාලන ආයතන විසින් සිදුකළ යුත්තකි. ඒ සඳහා සේවකයන් පිරිසක් නඩත්තු කළ යුතු අතර, එම සේවාව නොපැවැතියේ නම් ඇතිවන තත්ත්වය තේරුම් ගැනීමට අපහසුය. ඒ තරමටම පරිසරයේ දුගඳ පැතිරෙමින් ලෙඩ රෝග පැතිරී මහජනතාව පීඩාවෙන් පීඩාවට පත්විය හැකිය. මේ වෙනුවෙන් පළාත් පාලන ආයතන විවිධ ක්‍රමවේද අනුගමනය කරයි. සමහර ආයතන බාහිර පාර්ශ්වයන්ට කොන්ත්‍රාත් දී එම කටයුතු සිදුකරන අතර, තවත් ආයතන එම ආයතනයේම සේවකයන් යොදාගනිමින් එම කටයුතු සිදුකරයි.
මේ අයුරින් කරුණු කාරණා සිදුවෙද්දී අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ කටයුතු සිදුකරන සේවකයන් පිළිබඳ අඩු අවධානයක් යොමුකරන බව පැහැදිලිය. මන්ද යත් ඔවුන්ට ලබාදිය යුතු අවම අවශ්‍යතා ටික හෝ ලබාදීමට සමහර පළාත් පාලන ආයතන ඉදිරිපත් නොවන බැවිනි. සමහර විට ඒ සඳහා පාලනය කරන උදවියගේ සහ නිලධාරීන්ගේ තීන්දු තීරණ සහ ආකල්ප මෙන්ම සේවකයන් පිළිබඳව ඇති උනන්දුවද හේතුවිය හැකිය. එහෙත් සේවකයන් පිළිබඳ හැඟීමක් තිබෙන නිලධාරීන් සහ ආයතන ප්‍රධානීන්ද නැතුවාම නොවේ. ඒ පිළිබඳ සඳහනක් නොකළහොත් එය ඔවුන්ට කරන අසාධාරණයකි. ඔවුන්ගේ සේවය අධෛර්යමත් කිරීමකි.
සාමාන්‍යයෙන් මාර්ගවල අපද්‍රව්‍ය එක්රැස් කරන සේවකයන් ලොරි, ට්‍රැක්ටර්, කරත්ත රැගෙන මාර්ගවල එහා මෙහා යන ආකාරයක් ඔබ උදේ හවා දකිනවා ඇත. ඔවුන්ට ලබා දී තිබෙන කාලසටහන් අනුව බෙදාගෙන එම කටයුතු සිදුකරති. එහෙත් හොඳින් සොයා බැලුවහොත් පෙනී යන දෙයක් වන්නේ නිසි පරිදි ආරක්ෂිත උපකරණ සහ පලඳනා රහිතව එම කටයුතු සිදුකරන බහුතරයක් සිටින බවයි. සාමාන්‍ය අදහස වන්නේ ඔවුන්ට ඒ සඳහා පුරුද්දක් නැති බවයි. බලධාරීන් කියන්නේ අවශ්‍ය ඇඳුම් ආදී දේවල් ලබාදුන්නද ඔවුන් ඒවා පරිහරණය නොකරන බවයි. කුණු එක්රැස් කරද්දී විවිධ විෂබීජ ඔවුන්ගේ ශරීරවලට ඇතුළු විය හැකිය. අත්වල, කකුල්වල එම විෂබීජ දැවටිය හැකිය. එසේ නොවනවා යැයි කිසිවෙකුට පැවසිය නොහැකිය.
සමහර විට ඔවුන් ආහාර ගන්නේද එම රාජකාරිය කරන අතරතුරය. රැකියාව හමාර කර නිවසට ගිය පසු ආහාර ගැනීමට, දරුවන්ගේ කටයුතු සිදුකිරීම ඇතුළු ගෙදරදොරේ කටයුතු සිදු කිරීමට තිබේ. එවැනි අවස්ථාවලදී එම දරුවන්ටද විෂබීජ ඇතුළු වුවහොත් ඉන්පසුව ඇතිවිය හැකි තත්ත්වය බොහෝ කනගාටුදායක විය හැකිය.
මේ පිළිබඳ සොයා බැලීමේදී වෙනත් පැත්තකට අපේ අවධානය යොමුවන කතාවක් සමස්ත ලංකා නගර සභා සුළු සේවකයන්ගේ සංගමයේ ලේකම් ජයන්ත ජයලත් මහතා අප සමග ප්‍රකාශ කළේය. කොළඹ මහ නගර සභා සීමාවේ අපද්‍රව්‍ය එක්රැස් කරන සේවකයන්ට සනීපාරක්ෂක උපකරණ සහ සබන් ඇතුළු ද්‍රව්‍ය නිසි පරිදි නොලැබෙන බව ඔහු චෝදනා කරමින් කතා කළේය.
මේ පිළිබඳව නගර සභාවේ බලධාරීන් මීට පෙර දැනුම්වත් කළද සේවකයන් පිළිබඳව සොයා බැලීමක් නොකළ බව ඔහු කීය. එවැන්නක් පිළිබඳ බලධාරීන් දැනුවත් කිරීමක් අවශ්‍ය නොවන බවත්, චක්‍රලේඛ ක්‍රියාත්මක කරන්නේ නම් එම කටයුතු නිසි පරිදි සිදුවිය යුතු බවත් ජයලත් මහතා පෙන්වා දෙයි. ජයලත් මහතා පවසන කාරණය සම්බන්ධයෙන් මීට කලකට පෙර අද පුවත්පතේ ප්‍රවෘත්තියක්ද පළ වූ අතර, ඉන්පසුව නගර සභාවේ බලධාරීන් කලබල වී කටයුතු කළ ආකාරය මෙහිදී සඳහන් කළ යුතුය. මෙය කොළඹ නගර සභාවට පමණක් සීමා නොවී අනෙකුත් පළාත් පාලන ආයතනවලද සිදු වේ නම් එය කනගාටුදායක තත්ත්වයකි.
කොළඹ මහ නගර සභා සීමාවේ මාර්ගවල අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ කටයුතු දිනකට එක්වරක්, දෙවරක්, සතියකට තුන්වරක්, හතර වරක් ආදී වශයෙන් සිදුකරයි. නගර සභාවේ දිසා කාර්යාල හයෙන් තුනක නගර සභාවේ සේවකයන් යොදා එම කටයුතු සිදුකරන අතර ඉතිරි කාර්යාල තුන මගින් කුණු එකතු කිරීමේ කටයුතු පෞද්ගලික අංශයට බාර දී තිබේ. නගර සභාවේ නිලධාරීන් සඳහන් කළේ පෞද්ගලික ආයතනවලට අයත් සේවකයන් පිළිබඳ වගකිව නොහැකි වුවද නගර සභාවේ සේවකයන්ට අවශ්‍ය දේවල් ලබාදෙන බවට සහතික විය හැකි බවයි.
එහෙත් සේවකයින් ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන්නේ මන්දැයි කෙනෙකුට ගැටලුවක් ඇතිවිය හැකිය. මේ හේතුවෙන් සේවකයන්ට පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පවා රෝග හා වෙනත් ආබාධ නොවන බවට කිසිවෙකුට සහතිකයක් දිය නොහැකිය.අපද්‍රව්‍ය එක්රැස් කරන සේවකයන් පිළිබඳව අදාළ පළාත් පාලන ආයතන සහ පළාත් සභා විසින් සොයාබැලිය යුතු බව මේ පිළිබඳව කළ විමසීමකදී පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කමල් පත්මසිරි මහතා කීය. තමන්ගේ අමාත්‍යාංශය විසින් කරනුයේ ප්‍රතිපත්ති සකස් කිරීම බවද ඔහු කීය. මීට අමතරව තවත් පාර්ශ්ව කිහිපයකින්ම අදහස් විමසා සිටි අතර ඔවුන් දැක්වූ අදහස් පහතින් දැක්වේ.
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු