මෙරට බෞද්ධ ජනතාවගේ නොමඳ ගෞරවයට පාත්‍ර වන පුදබිම් අතුරින් තන්තිරිමලේ පුදබිම සුවිශේෂී ස්ථානයක් උසුලයි. ඊට හේතු වී ඇත්තේ තන්තිරිමලේ ඉතිහාසය ප්රාග් ඓතිහාසික යුගය දක්වාම දිව යන නිසාවෙනි. 1992 වසරේදී රුදුරු කොටි ත්රස්තවාදීන්ගේ අත්බෝම්බ ප්‍රහාරයට ලක්ව අපවත් වී වදාළ කුඩාකෝන්ගස්කඩ විමලඥාන නාහිමිපාණන් නොවන්නට තන්තිරිමලේ උරුමය වර්තමානයට ඉතිරි නොවන්නට තිබුණි.
අනුරාධපුර රාජධානියේ පරිහානියත් සමග වනයේ හුදකලා වී විනාශමුඛයට පත්ව තිබූ තන්තිරිමලේ පුදබිම 1960 වසරේ සිට නැවත පුනර්ජීවය ලබන්නේ විමලඥාන හිමියන් විහාරස්ථානයේ මැදිහත්වීමෙන් ජනපද ඇතිකරමින් කුඩා වැව් 81 ක් සංවර්ධනය කරමින් සිදුකළ උත්තුංග මෙහෙවරට පිංසිදුවන්නටය.
ප්රාග් ඓතිහාසික යුගය දක්වා දිවයන තන්තිරිමලේ ප්‍රදේශය
තන්තිරිමල පුදබිමේ පිහිටි පොත්ගුල නම් ස්ථානයට නැගෙනහිර දිශාවෙන් ඇති වනය ඔස්සේ මීටර් 200ක පමණ දුරක් ගෙවා ගිය විට ස්වාභාවික ලෙන් කිහිපයක් හමුවේ. මෙම ලෙන් හී එකල විසූ ප්රාග් ඓතිහාසික මානවයන් ඇඳි සිතුවම් අදටත් දක්නට ලැබේ.
මෙම සිතුවම් ඇඳීම සඳහා ගස්වල කිරි, යුෂ, අළු, පස් හා සත්ත්ව ලේ භාවිතකර ඇතැයි සැලකේ. ප්‍රදේශය පුරාම විහිදී ගිය මෙම ගල්තලා සහිත පරිසරයේ ඇත්තේ අතිශය සුන්දරත්වයකි. මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ මතය අනුව මෙම ලෙන් සිතුවම් වසර 4000කටත් වඩා පැරණිය.
තන්තිරිමලේ බොදු උරුමය
අනුරාධපුර යුගයේ දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍ය සමයේදී මෙම ප්‍රදේශය හඳුන්වා ඇත්තේ 'තිවක්ඛ බමුණුගම' නමිනි. සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන මෙරටට පැමිණ පෙරහරින් අනුරාධපුරය වෙත වැඩමවාගෙන යන ගමන අතරතුරදී එම පෙරහර එක්දිනක් මෙම තිවක්ඛ බමුණුගම නවාතැන් ගෙන තිබේ.
එකල මෙහි ගම් ප්‍රධානියා වූ තිවක්ඛ නම් බමුණා පෙරහර සමග පැමිණි මිහිඳු මහරහතන් වහන්සේ, සංඝමිත්තා රහත් මෙහෙණින් ඇතුළු මෙහෙණින් වහන්සේලා එකළොස් නමක් හා දේවානම්පියතිස්ස රජු ඇතුළු රාජකීයයන් පිරිස මහත් හරසරින් යුතුව පිළිගෙන තිබේ. එදින රාත්‍රි‘යේදී ශ්‍රී මහා බෝධීන් වහන්සේ අහසට පැන නැගී බුදුරැස් විහිදුවමින් පෙළහර පෑ බව සඳහන් වේ.
පසුදින අනුරාධපුරය වෙත බෝධීන් වහන්සේ වඩම්වා මහත් උත්සවශ්‍රීයෙන් මහමෙව්නා උයනේ රෝපණය කරන ලද අතර, මෙම උත්සවයට තිවක්ඛ බමුණාද ඇතුළුව ලක්දිව සෑම ප්රදේශයක්ම නියෝජනය කරමින් ප්‍රාදේශීය ප්‍රධානීන් සහභාගී වී තිබේ.
එම අවස්ථාවේ මහත් ආශ්චර්යයක් පාමින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් තවත් බෝ අංකුර 08ක් හටගෙන තිබේ. එහිදී මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් අනුව දේවානම් පියතිස්ස රජු විසින් තිවක්ඛ බමුණාට හටගත් අංකුර අටෙන් මුල්ම අංකුරය ලබාදෙන ලදී.
ඉන් මහත් සතුටට පත්වූ තිවක්ඛ බමුණා ඇතුළු පිරිස විශාල පෙරහරකින් මෙම බෝ අංකුරය තන්තිරිමලේ වෙත වැඩමවා පළමු දින ජයසිරි මහා බෝධීන් වහන්සේ වැඩ සිටි ගල්තලාව මතම කවාකාර පවුරක් තනා රෝපණයකර තිබේ.
පසුකාලීනව බෝධිය වටා ශිලාමය ප්‍රාකාරයක්ද ඉදිකර තිබූ බවට සිතිය හැකි නටඹුන් දක්නට ලැබේ. ශිලාමය මල් ආසන කිහිපයක් තවමත් ශේෂව පවතින අතර, කැණීම් වලින් හමුවූ සිරිපතුල් ගල් මේ වන විට තන්තිරිමලේ විහාරයේ පිහිටි කෞතුකාගාරය තුළ තැම්පත් කර ඇත.
සමාධි බුද්ධ ප්‍රතිමාව
අෂ්ටඵල බෝධීන් වහන්සේට දකුණු දෙසින් පිහිටි ගල් කුලෙහි නෙළා ඇති අඩි 08ක උසින් යුතු සමාධි බුද්ධ ප්‍රතිමාව ධ්‍යාන මුද්‍රා‘වෙන් වීරාසන ක්‍රමයට නෙළා ඇති අතර, හෙළ කලා ශිල්පය මනාවට දක්වන නිර්මාණයකි. බැලූ බැල්මට මෙම ප්‍රතිමාව පොළොන්නරු ගල් විහාරයේ ඇති සමාධි ප්‍රතිමාවට සමානකමක් දක්වයි. පිළිමය පිටුපස ඇති මකර තොරණෙහි චාමර සලන දෙවිවරුන් සහ සිංහ රූප දෙකක් කැටයම් කර ඇත.
ප්‍රතිමාව අව්වැසි සුළං ආදියෙන් ආරක්ෂා කර ගැනීමට වහළක් තිබූ බවට දක්වන ගල් කණු කීපයක් හා සලකුණු පෙනෙන්නට ඇති අතර, වැඩ නිම නොකළ තවත් ප්‍රතිමා දෙකක ආකෘතීන් දක්නට ලැබේ. මෙම නිර්මාණය අනුරාධපුර යුගයේ අවසාන භාගයේදී සිදුවූවක් වන අතර, සතුරු ආක්‍රමණ හේතුවෙන් නිර්මාණ කටයුතු අතරමග නතර කර තිබේ. මෙය ක්‍රිස්තු වර්ෂ 8-9 සියවසේ සිදුකරන්නට ඇතැයි සැලකේ.
සැතපෙන පිළිම වහන්සේ
බෝධීන් වහන්සේ පිහිටි ගල්තලාවෙහි උතුරු දෙස බෑවුමේ පර්වතය කැණ සකස් කර ඇති මෙම සැතපෙන බුද්ධ ප්‍රතිමාව බුදුන් වහන්සේ දකුණු අත්ල මත හිස තබාගෙන සැතපී සිටින අයුරින් නෙළා ඇත. සිහින් රැළි සහිත සිවුර සිරුරට ඇලී ඇති බව දැක්වෙන පරිදි නිමවා ඇත. ප්‍රතිමාව දිගින් අඩි 45 ක් පමණ වේ.
මෙය සොයාගන්නා විට නිදන් සොරුන් විසින් ප්‍රතිමාවට බොහෝසෙයින් හානි සිදුකොට තිබී ඇති අතර, මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කර තිබේ. මෙම ප්‍රතිමාවද පොළොන්නරු ගල්විහාරයේ සැතපෙන පිළිමයට සමාන වන අතර, එහි ලක්ෂණ බොහෝමයක් මෙම ප්‍රතිමාවේද දක්නට ඇත. මෙහිදී ප්‍රතිමා ගෘහයක් තිබී ඇති බවට නිගමනය කළ හැකි නටඹුන් දක්නට තිබේ.
පොත්ගුල
ගල්තලාවට නැගෙනහිරින් පිහිටි නෙළුම් පොකුණට යාබදව ඇති ස්වාභාවික ගල් පර්වතය මුදුනෙහි ගලින් කළ චතුරශ්රාකාර ස්මාරකයක් වැනි ගොඩනැගිල්ල පොත්ගුල ලෙස සැලකේ. මනාවට සකස් කළ කළු ගලින් නිමවා ඇති මෙහි ක්‍රි.ව. 8 වැනි සියවසට අයත් අක්ෂර කොටා ඇත. මෙම පොත්ගුල භාවිතකර ඇත්තේ වටිනා ධර්ම ග්රන්ථ හා පුස්කොල පොත් ආරක්ෂිතව තැම්පත් කර තැබීම සඳහාය. පර්වතය පහළ සිට මීට ළඟා වීම සඳහා එවකට දැව හෝ ගඩොලින් කළ පියගැටපෙළක් තිබෙන්නට ඇතැයි අනුමාන කෙරේ.
පොත්ගුලට පහළින් ගල් කුළ ඇතුළට හාරා සකස් කර ඇති ලෙනෙහි කටාරම් කොටා ගල් උළුවහු යොදා ගනිමින් වහළයක්ද කර තිබූ බවට සාධක දක්නට ඇත. මෙම ලෙන කියවීම් ශාලාවක් ලෙස හෝ භාවනා කුටියක් ලෙස භාවිත කර ඇතැයි විශ්වාස කෙරේ.
මෙහි ඉදිරියෙන් වූ ගල්තලාවේ ඉදිකර ඇති ප්‍රධාන ගොඩනැගිල්ල වාස්තු විද්‍යාත්මක ලක්ෂණ අනුව 'පඨානඝරයක්' වශයෙන් හඳුනාගෙන ඇත. ද්විත්ව වේදිකා සහිත ගොඩනැගිල්ලක් වන මෙහි පිටුපස වේදිකා කොටස වහලයක් සහිත වන අතර, ඉදිරිපස වේදිකා කොටස විවෘත මණ්ඩපයක් ලෙස පැවතී ඇත.
අතීතයේදී මේ වටා ජලය රැස් කර තිබූ බවද කියවේ. අක්කර 250 ක ප්‍රදේශයක පැතිර ගිය ගල්තලාවේ මෙවැනි ඉදිකිරීම් 12ක නටඹුන් සොයාගෙන ඇත. මේ සියල්ල භාවිතකර ඇත්තේ භික්ෂූන් වහන්සේලාගේ භාවනා හෝ නේවාසික ස්ථාන ලෙස බව පෙනේ.
අතීතයේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා ගල්තලාව මත තිබූ පොකුණු බොහෝමයක් අද වන විට වල්බිහි වීම නිසා ගොඩ වී තිබෙනු දැකගත හැක.
'තන්තිරිමලේ' නමෙහි විකාශනය
විජය කුමරු ලක්දිවට පැමිණ අනුරාධපුරය සිය රාජධානිය කරගත් අතර, විජය රජුගේ අමාත්‍යවරයෙකු වූ 'උපතිස්ස' මල්වතු ඔයට කනදරා ඔය හමුවන ස්ථානය මුල්කොට ගනිමින් ඇති කළ 'උපතිස්සග්‍රාමය' යනු මෙම තන්තිරිමලය ප්‍රදේශය බව කියවේ.
ජනප්‍රවාදයන්ට අනුව සාලිය කුමරු හා අශෝකමාලාවන්ගේ අසම්මත විවාහයට දුටුගැමුණු රජු විරුද්ධ වීම නිසා ඔවුන් දෙදෙනා කලක් මෙම ප්‍රදේශයේ සැඟව සිට තිබේ. පසුව දුටුගැමුණු රජු දැඩි සේ රෝගාතුර වූ අවස්ථාවකදී අශෝකමාලාවන් මෙම ප්‍රදේශයේ තිබෙනා 'රත්තම්පළා' නම් පළා වර්ගයකින් ව්‍යංජනයක් සාදා දුටුගැමුණු රජු වෙත යවා ඇත.
නමුත් රජු සැඩොල් කුලයේ ආහාර තමා අනුභව නොකරන බව කියමින් එය ප්‍රතික්ෂේප කර තිබේ. එම අවස්ථාවේදී වෙදැදුරන් රජුට පවසා ඇත්තේ රජුගේ රෝගී තත්ත්වය සුව කළ හැකි ඔසු ඇත්තේ මෙම ආහාරයේ බවයි. පසුව රජු ඒවා ආහාරයට ගෙන ඇති අතර, සුව ලැබූ රජු ඉන් ඉතා සතුටට පත්ව 'තන්තිරි' යන සමනළ විශේෂයේ හැඩය සහිත වටිනා රන්මාලයක් තනවා අශෝකමාලාවන්ට තෑගි කොට තිබේ. එම මාලය මෙම ප්‍රදේශයේ නිදන්කොට තිබෙන නිසා මෙම ප්‍රදේශයට 'තන්තිරිමාලේ' යන නාමය ලැබී ඇති බව කියැවේ.
පුදබිම අවට විල්පත්තු ගම්මාන ආශ්‍රිතව තිබෙන ඓතිහාසික නටඹුන් නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙනවා
තන්තිරිමලය රජ මහා විහාරයේ විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නාහිමි
''තන්තිරිමලේ බොදු උරුමය රැකගන්න අමිල මෙහෙවරක් සිදුකළේ මාගේ ගුරුදේවයාණන් වන කුඩාකෝන්ගස්කඩ විමලඥාන හිමිපාණන්. උන්වහන්සේ ගෙන ගිය මෙහෙවර අදත් සිදුකරගෙන යනවා. මෙවර පොසොන් පොහොයට සමගාමීව සිදුවන ආලෝක පූජා පිංකම සඳහා පැමිණෙන ජනතාවට අවශ්‍ය පොදු පහසුකම් සැලසීම මේ වන විට සිදුකරගෙන යනවා.
පූජා භූමියේ සංවර්ධන කටයුතු අතින් ගත්තාම ධර්ම ශාලාවක් නොමැති වීම විශාල අඩුපාඩුවක්. ජනාවාසයේ අභ්‍යන්තර මාර්ගවල අඩුපාඩු, විදුලිය නොමැති වීම ආදිය නිසා මේ ජනතාව ලොකු පීඩාවකට ලක් වී සිටිනවා. ඒ වගේම මේ ප්‍රදේශයට බලපා තිබෙන දැඩි නියං තත්ත්වය ජනජීවිත තව තවත් අඩාල කරලා තිබෙනවා.
පුදබිම තුළ තිබෙන නටඹුන් සංරක්ෂණය කරලා ආරක්ෂා කරගන්න දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණත්, මේ අවට විල්පත්තු ගම්මාන ආශ්‍රිතව තිබෙන ඓතිහාසික නටඹුන් රැකගන්න නිසි වැඩපිළිවෙළක් නොමැති නිසා අද ඒ ස්ථාන නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්වී තිබෙනවා.
තන්තිරිමලේ පොසොන් ආලෝක පූජා පිංකම මෙවර 14 වැනි වරටත් පැවැත්වෙන්නේ සුපුරුදු පරිදි විජය පුවත්පත් සමාගමේ අනුග්‍රහයෙන්. විජය පුවත්පත් සමාගම මේ සද්කාරය ආරම්භ කළේ 2004 වසරේදී.
ඒ කාලයේ සිටම තිබූ ත්‍රස්තවාදී තර්ජන, ගමනාගමන අපහසුතා මධ්‍යයේ අඛණ්ඩව සෑම පොසොන් පොහොයකදීම මේ පිංකම සිදුකරන්න මේ සමාගම ඇප කැප වුණා. ඒ නිසා මේ පූජා භූමිය ගැන රටත්, ලෝකයත් දැනගත්තා. එයින් ජනපදයට වගේම විහාරයටත් විශාල ආලෝකයක් ලැබුණා.''
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු