Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
විදුලි මෝටර් රථ පැමිණීමෙන් ලංකාවේ මිනිරන් සහ ගෑස් සම්පතට අලුත් අගයක් හිමිවන බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේය.
ඔහු මෙම අදහස් පළ කළේ දෙස් විදෙස්හි දේශපාලන හා සමාජීය කාරණා විශ්ලේෂණය කරමින් තම ෆේස්බුක් පිටුවට අදහස් එක් කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසන්නේ ‘පසුගිය කාලයේ යුරෝපා සංගමයේ රටවල් බහුතරයක් ප්‍රකාශ කර සිටියේ 2040 හෝ 2050 දී ඔවුන් තමන්ගේ පෞද්ගලික මෝටර් රථ සියල්ලම තෙල් හෝ ගෑස් භාවිතයෙන් තොරව විදුලියෙන් ධාවනය කරවන බවයි.
මේ සම්බන්ධයෙන් ඔහු දැක්වූ අදහස් මේ ආකාරයෙන් දක්වමු.
''බොහෝ දෙනෙක් අසන ප්රශ්නය වී තිබෙන්නේ අනාගතයේ තෙල් හා ගෑස් සම්පතට කුමක් සිදුවේද යන්න පිළිබඳවයි. ඇත්තටම තෙල් හා ගෑස් සම්පතත්, ඒ හා බැඳුණු ප්‍රවාහන සේවයත්, ඒ වගේම ඒ සම්බන්ධයෙන් සිදු වූ ප්‍රධානම නිර්මාණශීලී සොයාගැනීම වූ අපි ICE නමින් හඳුන්වන Internal combustion engine නොහොත් අන්තර් දහන එන්ජිමත් මේ ලෝකයේ විශාල විප්ලවයක් සිදු කළ බව අප සියලු දෙනා දන්නවා.
යුරෝපයේ සිදු වූ කාර්මීකරණයේ යුග තුනක් පසුකොට දැන් අප ගෙවමින් සිටින්නේ හතරවැනි යුගයයි. පළමු යුගයේදී සිදු වූයේ ශ්‍රමයේ ඵලදායිතාව ඉහළ නංවන යන්ත්‍රෝපකරණ ගොඩනැගීමයි. ක්‍රි.ව. 1760 සිට 1860 දක්වා කාලයේ මෙය සිදු වුණා. දෙවැනි යුගය 1860 සිට 1960 දක්වා වූ වසර 100 තුළ පොසිල ඉන්ධන යුගය ලෙස අපි හඳුනාගන්නවා.
තෙල්, ගෑස්, ගල් අඟුරු අපේ ජීවිතවල විශාල වෙනසක්, විප්ලවයක් ඇති කළා. තෙල් අපේ ලෝකයේ අනාදිමත් කාලයක සිට විවිධ පුද්ගලයන් විවිධ දේ සඳහා භාවිත කළා. නමුත් ප්‍රථම වාණිජ තෙල් ළිඳ ෆ්‍රැන්සිස් ඩ්‍රේක් ඇමෙරිකා එක්සත් ජනපදයේදී කණිනු ලැබුවේ 1956 වැනි වකවානුවක.
එය ඉතාමත් බලගතු ව්‍යාපාරයක් බවට පරිවර්තනය වෙනවා ඊළඟ වසර 40 ඇතුළත. ඒ සඳහා මුල් වුණේ ස්ටෑන්ඩඩ් ඔයිල් සමාගම. ඒ වගේම 1859 දී යුරෝපයේ ජීවත් වූ ලෙනෝ නැමති විද්‍යාඥයෙක් අන්තර් දහන එන්ජිම සොයාගත්තා.
තෙල්වල පවතින රසායන ශක්තිය චාලක ශක්තිය බවට පත් කර වාහනයක් ධාවනය කරවීමට හැකි බවට වූ ප්‍රථම නිර්මාණය කළේ ඔහුයි. ඉන්පසු මෙයට කානොට් විසින් ඉතා බලගතු නිර්මාණශීලී දායකත්වයක් කළා. ඒ මගින් වර්තමාන අන්තර් දහන එන්ජිම නොහොත් ICE එක බිහි වීම සිදු වුණා.
තෙල් ආරම්භක යුගයේදී ජොන් ඩී. රොකෆෙලර් ඇති කළ ඒ ඛනිජ තෙල් විප්ලවයත් සමග බොහෝ දුරට භාවිත වූයේ ගෙවල් ආලෝකකරණ ක්‍රියාවලියක් ලෙසයි. ඒ සඳහා කලින් භාවිත කළ තල්මසුන්ගෙ තෙල් පාවිච්චි කිරීම අතහැර භූමිතෙල් භාවිත කර ගෙවල් ආලෝකකරණයට විශාල ඉල්ලුමක් ඇති වුණා.
තෝමස් අල්වා එඩිසන් විදුලි බල්බය සොයාගැනීමත්, එම කාලයේදීම යුරෝපයෙත් මෙම නිර්මාණය සිදුවීමත් ආරක්ෂිත විදුලි පහනක් ලෙස විදුලි බල්බය ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. ඒ හා සමගම නිවෙස් ආලෝකකරණයට තිබූ ඉල්ලුම පහළ වැටුණා. මෙන්න මේ අවස්ථාවේදී තෙල් සමාගම්වල උපකාරයට ඉදිරිපත් වුණේ අන්තර් දහන එන්ජිම.
විශේෂයෙන්ම ඒ කාලයේ මතයක් තිබුණා, ගෑස් බලයෙන් දුවපු, තෙල් බලයෙන් දුවපු වාහනවලට වඩා අශ්වයන් ලවා මේ කටයුත්ත කිරීම ඉතාමත් වේගවත් බව. ඒ සඳහා බොහොම උපහාසයෙන් තමයි මුල් කාලයේදී මේ මෝටර් රථය නමැති දේ බාර ගත්තේ.
නමුත් 1894 දී ප්‍රංශයේ සිදු වූ විශේෂිත ප්‍රදර්ශනයකදී තෙල් දහනය කරන ලද මෝටර් රථ සෙසු මෝටර් රථ අබිබවා ඉදිරියට ආවා. ඒ වගේම එම කාලයේදීම විදුලි බලයෙනුත් මෝටර් රථ ධාවනය කළ හැකි බව පවසමින් විදුලි බලයෙනුත් දිව යන මෝටර් රථ සැකසූ බවයි වාර්තා වෙන්නේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ හෙන්රි ෆෝඩ්, ජර්මනියේ බෙන්ස් සමාගම, පර්ජෝ සමාගම, රෝල්ස් රොයිස් සමාගම වැනි සමාගම් ගණනාවක් මෙම මෝටර් රථ කර්මාන්තය ඉහළ අඩියකට ගෙන ආවා. ඉතා කෙටි කලකින් අශ්වයන් විසින් ගෙන යන ඒ වාහන වෙනුවට, ඒ වගේම වාෂ්පවලින් දුවන වාහන වෙනුවට විදුලි වාහන වෙනුවට තෙල් යොදා ධාවනය කරන ප්‍රමාණය ශීඝ්‍රයෙන් වැඩි වුණා.
ජපානය මේ ක්‍රියාවලියට එකතු වීමත් සමග 'ටෙයොටා', 'මිට්සුබිෂි', 'නිසාන්' විප්ලවයත් සමග ඉතාමත් අඩු තෙල් ප්‍රමාණයකින් වැඩි දුරක් ධාවනය කළ හැකි කාර්යක්ෂම සුමට වාහන බිහිවීමත් සිදු වුණා. ඒ වගේම එතෙක් කල් ගල් අඟුරුවලින් වාෂ්පවලින් දිවූ දුම්රිය, නැව් ඛනිජ තෙල් භාවිත කර ධාවනය ආරම්භ කළා. ඒ දෙකටම පළමුවෙනි ලෝක මහා සංග්‍රාමය ඇති වෙච්ච යුදමය අවශ්‍යතා ඉතාම දැඩි ලෙස බලපෑවා. කෙසේ වෙතත් මේ මගින් ලෝක ප්‍රවාහනයේ විශාල විප්ලවයක් සිදු වුණා.
අද වනවිට ලොකයේ මෝටර් වාහන ප්‍රමාණය බිලියනයක් පමණ වෙතැයි කියා තක්සේරු කර තිබෙනවා. ලෝක ජනගහනය බිලියන 07යි. රථවාහන ප්‍රමාණය බිලියනයකට ආසන්නයි. මේකෙන් විශාලතම වාහන ප්‍රමාණය ඇමෙරිකා එක්සත් ජනපදයෙත්, යුරෝපයේත්, චීනයෙත් අද වනවිට පවතිනවා.
දැන් මේ නව විදුලි මෝටර් රථ නිසා මේ පැරණි මෝටර් රථයට අභියෝගයක් එල්ල වෙමින් තිබෙනවා. තවමත් ලෝකයේ මෝටර් රථවලින් විදුලි බලයෙන් දුවන මෝටර් රථ ප්‍රමාණය 01%ක් පමණ පොඩි ප්‍රමාණයක්. නමුත් මේ මෑතකදී කරන ලද විවිධ පුරෝකථනයන් මගින් පෙනී ගියා විදුලි මෝටර් රථයට ආවේණිකව තිබූ යම් යම් අඩුපාඩු සකස් කරගෙන ඉදිරියට පැමිණි බව.
විදුලි මෝටර් රථය දුවයන බැටරිය චාර්ජ් කරගැනීමෙන් පසුව කිලෝමීටර් 20 - 30කට වඩා වැඩි දුරක් යන්න මෝටර් ධාවනයට අසමත් වීම ප්‍රධාන හේතුවක් වුණා. නමුත් අද වනවිට ටෙස්ලා වැනි ආයතනවල මැදිහත් වීම නිසා කිලෝමීටර් 600 - 1000 තරම් සීමාවකට ළඟා වී තිබෙනවා. ඒ අනුව එක්වරක් පණගැන්වීමෙන් පසු කිලෝමීටර් 1000ක් තරම් දුරකට ගමන් කිරීමට මේ විදුලි මෝටර් රථ සමත් වෙලා තිබෙනවා.
ඊළඟට පැන නැගුණු ගැටලුව තමයි මේ විදුලි මෝටර් රථවල මිල ගණන්. බැටරි විස්ථාපනය කිරීමට යන වියදම මෝටර් රථයට යන වියදම යනාදී කාරණා. ඒ කරුණු සම්බන්ධයෙන් සලකා බලන විට මේ විදුලි මෝටර් රථවල ගැලවීමට ඉදිරිපත් වුණේ චීනය. චීනයේ මහා පරිමාණ කර්මාන්තකරුවන් විසින් දැන් විදුලි මෝටර් රථවල මිල ගණන් ශීඝ්‍රයෙන් අඩු කර ඒවා සාමාන්‍ය ජනතාවගේ භාවිතයට ගත හැකි තත්ත්වයකට පරිවර්තනය කර තිබෙනවා.
එවිට ඒ බාධකයත් ඉවත් වුණා. ඊළඟට තෙවැනි කාරණය තිබුණේ කොහේද මේවා අවශ්‍ය වේලාවට ආරෝපණ ගන්වන්නේ, එහෙම නැත්නම් චාර්ජ් කරන්නේ කියලා. මේවා ගෙදරදී ද චාර්ජ් කර ගන්නේ කියන එක. කොරියාව වැනි රටවල් වාහනය යද්දීම චාර්ජ් වෙන ක්‍රමවේද සොයාගෙන තිබෙනවා. ඒ නිසා විදුලි මෝටර් රථයට අනාගතය බරපතළ විදිහට දැන් විවෘත වී තිබෙනවා.
ඊළඟට තිබූ වැදගත්ම බාධකය තමයි මෙහි වේගය. වේගයෙන් ධාවනයේ යෙදීමට නොහැකිය යන කාරණය. බොහෝ විට නගරවල මාර්ග තදබදය නිසා ප්‍රයෝජනවත් වාහනයක් වුණාට එය වේගයෙන් යන්න බැහැ කියන පසුබිම පදනම්ව තිබුණා. නමුත් මේ වනවිට පැයට කිලෝමීටර් 100 - 200 තරම් යා හැකි විදුලි මෝටර් රථ බිහි වී තිබෙනවා. එ වගේම විදුලි මෝටර් රථයේ අතිරේක ප්‍රයෝජනය වී තිබෙන්නේ මේ මගින් වායු විමෝචනයක් සිදු නොවන නිසා පරිසර දූෂණයට, ගෝලීය උණුසුම වැඩිවීමට දැනට පෙට්‍රල්, ඩීසල් දක්වන දායකත්වය සැලකිය යුතු ප්‍රමාණයකින් මේ මගින් අඩුවීමට ඉඩ ඇති බවයි.
කෙසේ වෙතත් පවතින පුරෝකථනය අනුව ලොකයේ වාහනවලින් 50%ක් පමණ 2030 වනවිට පෞද්ගලික මෝටර් රථ, විදුලි මෝටර් රථ ලෙස දැකගත හැකි බවයි පෙනී යන්නේ. ඒ වගේම විදුලි මෝටර් රථවල ඇති වී තිබෙන ඊළඟ විප්ලවය නම් රියදුරෙක් නොමැතිව ස්වයං පරිගණක පද්ධතියක් හා කැමරා පද්ධති මගින් ධාවනය වන රථවාහනත් ශීඝ්‍රයෙන් ජනප්‍රිය වීමයි.
ප්‍රධාන සමාගම් 'ටෙස්ලා', 'ගූගල්', 'බෙන්ස්' ආදී ප්‍රධාන සමාගම් බොහොමයක් මෙයට දැන් ඉදිරිපත් වී තිබෙනවා. විශේෂයෙන් දුර ගමන් යාමේදී වාහන පාර්ක් කර ගැනීමේදී, කාන්තාවන් වාහන එළවීමේදී ආදි මතුවන දුෂ්කරතා සියල්ලම ජයගන්න මේ ස්වයංව ධාවනය වන මෝටර් රථ සමත්ව තිබෙන බව වාර්තා වී තිබෙනවා.
ඇත්තටම මමත් යුරෝපයේදී 'බෙන්ස්' සමාගම මගින් නිෂ්පාදනය කරන ලද මෝටර් රථයක ගමන් කිරීමට වාසනාව ලැබුවා. එහිදී මට පෙනී ගියේ සාමාන්‍ය රියදුරෙකුට වඩා ඉතාම කඩිනමින්, ඉතාමත් කලබලකාරී වීදීවල ගමන් කිරීමටත්, නිවැරදිව පාර්ක් කිරීමටත්, මාර්ග නීති නිවැරදි අයුරින් ගමන් කිරීමටත් ස්වයංකාරී විදුලි මෝටර් රථ සමත්වන බවයි. ඒ නිසා ස්වයංකාරී මෝටර් රථත් ඉදිරි කාලයේදී ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වීමට නියමිතයි.
කෙසේ වෙතත් ලෝකයේ තෙල් හා ගෑස්, ඉන්ධනවලට තිබෙන ඉල්ලුම අඩුවෙයිද? කිසියම් දුරකට පෙට්‍රල් හා ගල් අඟුරුවලට තිබෙන ඉල්ලූම මෙයින් අඩුවිය හැකියි. කෙසේ වෙතත්, දුම්රිය, බර වාහනවලට තිබෙන විසඳුමක් තවමත් ලැබිලා නැහැ. ඩීසල් නමැති ජර්මන් ජාතිකයා බිහිකළ ඩීසල් එන්ජිම තමයි බර වාහනවලට හසු වුණේ.
දුම්රිය වැනි ප්‍රධාන ප්‍රවාහනය සිදුවන, බඩු ඇද යන ඒවා වගේම ප්‍රධාන බස් රථ, මගී ප්‍රවාහන සේවා ශක්තිමත් කිරීම සිදු වුණේ මේකෙන්. තවමත් මේ සඳහා විසඳුමක් ලැබී නැහැ. ඒ අනුව අනාගතයේ විසඳුමක් ලැබීමට ඉඩ තිබෙනවා. කෙසේ වෙතත් බැටරිවල අධික බර සහ බැටරි තැනීමට අවශ්‍ය කරන නොයෙක් රසායන ද්‍රව්‍යවල තිබෙන හිඟය විසින් මෙය කිසියම් දුරටකට සීමාකාරී වී තිබෙනවා.
ඒ වගේම අනාගතය සඳහා ගමන් කිරීමේදී යම් දුරකට පෙට්‍රල් හා ඩීසල්වල අඩුවක් දැකගන්න ලැබුණත් ගෑස්, ගල් අඟුරු වැනි දේවල් තවදුරටත් අනාගතයට අවශ්‍ය වෙන්න නියමිතයි. 2040 වනවිට මුළු ලෝකයේම පෞද්ගලික වාහන විදුලි බලයෙන් දිව්වත් ගෑස් සහ ගල් අඟුරුවල ඉල්ලුම අඩු වීමට ඉඩක් නැහැ.
එයට හේතුව කොහෙන් හෝ විදුලිය නිපදවීම අවශ්‍ය නිසා. ඒ නිසා විදුලිය නිපදවීමේ උපාය මාර්ගයක් ලෙස මේ සියවස වෙනතෙක්ම වාගේ ගල් අඟුරුවලටත්, ඒ වගේම ගෑස්වලටත් තිබෙන ඉල්ලුම යම් ආකාරයකින් පවතී යයි විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. ඒ අනුව ගෝලීය උණුසුම වැඩිවීමේ වර්ධන වේගය යම් ආකාරයකින් පාලනය වුණත් එය අඛණ්ඩව වර්ධනය වීමට ඉඩකඩ තවදුරටත් තිබෙනවා.
මෙහිදී ශ්‍රී ලංකාවටත් විශේෂ තත්ත්ව දෙකක් තිබෙනවා. එකක් තමයි විදුලි මෝටර් රථ තැනීම සඳහා භාවිත කරන මිනිරන්වලින් තනන ග්‍රැෆීන් නමැති නව නැනෝ මූලද්‍රව්‍යය. ලංකාවේ මිනිරන් ලෝකයේ තිබෙන පිරිසුදුම මිනිරන්. ඒ අනුව ග්‍රැෆීන් ලංකාවේ සෑදිය හැකි බව විද්‍යාඥයන් කිහිප දෙනෙක් විසින්ම ඔප්පු කර තිබෙනවා.
ඒ අනුව මේ නවීන විදුලි මෝටර් රථවලට අවශ්‍ය කරන මූලික අමුද්‍රව්‍යයක විශේෂ හැකියාවක් ලංකාවට තිබෙනවා. ඒ වගේම අපේ වෙරළ තීරයේ සහ අපේ මුහුදු සීමාවේ ගෑස් සම්පත බහුලව තිබෙනවා. අවාසනාවකට තවමත් අපි මේ ගැන නිසි අවධානය යොමු කර නැහැ. මන්නාරම් ද්‍රෝණියේ ගෑස් සම්බන්ධව පර්යේෂණයක් කළා.
ගෑස් සම්පත හා තෙල් සම්පත තිබෙන බව ඒ මගින් ඔප්පු වුණා 2003 - 2008 කාලයේ. ඒ වගේම එම ස්ථානයේ ස්ථාන තුනක කැණීම් කටයුතු සිදු කළා. බැරිකියුඩා සහ ඩොරැඩෝ නමින් ගෑස් ළිං දෙකක් අපට හමු වුණා. මෙය ඇත්තටම තව වසර 40කට ලංකාවේ විදුලිබල ක්ෂේත්රයේ දැනට පවතින ඉන්ධනවලින් දුවන විදුලි බලාගාර ගෑස්වලින් ධාවනය වීමට සමත් තරම් විශාල ප්‍රමාණයක්.
මේ ගෑස් අපි මන්නාරමේ සිට කොළඹ කෙරවලපිටියට ගෙන ආ විට ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක් වනවාට සැකයක් නැහැ. විශේෂයෙන්ම නිවාසවලට මේ ගෑස් ලබාගැනීමටත්, ඒ වගේම අතිරේක දේවල් නිෂ්පාදනයට, පොහොර, නයිලෝන් වැනි තවත් රසායනික නිෂ්පාදන ගණනාවකට මෙය තුඩු දෙනවා.
ඒ අනුව ලංකාව වහාම ප්‍රමුඛතාවක් ලෙස මේ ගෑස් සම්පත උකහාගැනීමට යොමු විය යුතුයි. මේ විදිහට බැලුවාම අනාගත ලෝකයේ ඇතිවන මේ ක්‍රියාවලියේදී සූර්යය බලය හා සුළං බලය වැනි ප්‍රතිචක්‍රීකරණ, විශේෂයෙන්ම හරිත බලශක්තිවලට විශාල ඉඩකඩක් විවෘත වුණා.
නමුත් තවමත් මේ සියවස අවසන් වන තෙක් අපේ ජීවිත කාලය තුළ අපට දැකගැනීමට හැකිවන්නේ ගෑස් හා ගල් අඟුරුවල ඉල්ලුම අඩු නොවන බවයි.
ඒ නිසා ශ්‍රී ලංකාව ගෑස් ගවේෂණය හා නිෂ්පාදනයටත්, ඒ වගේම අපේ මිනිරන් ඉතාම අඩු මුදලකට විදේශයන්ට නොයවා, මිනිරන් ව්‍යාපාරය ජාතික සම්පතක් ලෙස සලකා අපේ විද්‍යාඥයන්ගේ නිර්මාණශීලිත්වයත් එකට කැටිකර ග්‍රැෆීන් නිෂ්පාදනයට අපි යොමු වුවහොත් අපට විශාල ශක්තියක් විදුලි මෝටර් රථ නිෂ්පාදනයෙන් ලැබෙනවා.''
මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd