Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
මෙරට තුළ දිනකට සිදුවන මරණවලින් 70%කට වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ බෝ නොවන රෝග වැලඳීමෙන් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. රට තුළ වසංගතයක් සේ පැතිර යන බෝ නොවන රෝග නිසා රෝගී වන ප්‍රමාණය සිය ගණනකි.
එහෙත් ඔවුන්ට තමන් රෝගියෙකු බව හඳුනාගැනීමට හැකි වන විට රෝගය සුව කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව හමාරය. රට තුළින් වාර්තා වන බෝ නොවන රෝග අතර ප්‍රධානම තැනක් ගෙන තිබෙන්නේ දියවැඩියාව, හෘදරෝග, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල්, පිළිකා හා වකුගඩු ආදී රෝගයන්ය.
මෙම රෝග ඇතිවීමට ප්‍රධානතම හේතුව ලෙස වැරදි ආහාර භාවිතය බලපාන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මේ නිසා දිගින් දිගටම රටේ ජනතාව රෝගීන් බවට පත්වෙමින් තිබෙන අතර, මේ ආකාරයට රෝගී වන ජනතාව රටට බරක් වන තත්ත්වයටද පත්වෙමින් තිබේ.
බෝ නොවන රෝග ගණයට අයත් වන මෙම රෝග වැලඳුණු පසු රෝගියාගේ ජීවිතය ආරක්ෂා කරගැනීම සඳහා සමස්ත ජීවිත කාලය පුරාම ඖෂධ ප්‍රතිකාර ලබාගත යුතුය. නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක වන රටක් නිසාත් මෙම රෝගී ජනතාව නඩත්තු කිරීම සඳහා වාර්ෂිකව විශාල මුදලක් වැය කිරීමට රටට සිදුව ඇත.
මේ ආකාරයට රෝගී ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා ලබාදෙන ඖෂධ විදේශ රටවලින් ගෙන්වීමට සිදුව තිබෙන අතර, රෝගී තත්ත්වයේ ප්‍රමාණය සොයාබැලීමට අවශ්‍ය උපකරණ හා රසායන ද්‍රව්‍ය පවා ගෙන්වීමට සිදුව තිබෙන්නේ විදේශ රටවලිනි.
මේ අනුව රට දියුණු කිරීමට යෙදවිය යුතු අතිවිශාල මුදල් ප්‍රමාණයක් රෝගී ජනතාව වෙනුවෙන් වැය කිරීමට සිදුව තිබේ.
මීට අමතරව රටේ ආර්ථිකයට දායක විය යුතු ජනතාව රෝගීන් වීම නිසා රටේ ආර්ථිකය දියුණු කිරීමට දායකත්වය සැපයීමට මෙම පිරිසට හැකියාවක් නැත. මේ නිසා රටේ ආර්ථිකයටද මෙම රෝගීන් විසින් බලපෑමක් එල්ල කරනු ලබයි.
වනචාරී යුගයක් ගතකිරීමෙන් පසු කෘෂිකර්මාන්තය ආශ්රිත ජීවන රටාවකට හුරු වී සිටි මිනිසාට සියලු ආහාර අවශ්‍යතා ස්වාභාවික පරිසරයෙන් සොයා ගැනීමට හැකි විය.
ඉන්පසුව දියුණු යුගයට පැමිණි මිනිසා වගා කටයුතු කිරීමෙන් හා ස්වාභාවික පරිසරයෙන් සොයාගන්නා ද්‍රව්‍යවලින් ආහාර සකස් කරගෙන තිබෙන අතර, පසුකාලීනව කුළුබඩු වැනි ද්‍රව්‍ය භාවිත කරමින් ආහාර අවශ්‍යතා සපුරාගෙන තිබේ.
අතීතයේ සිටම ගම්මිරිස්, කුරුඳු, කරඳමුංගු, වසාවාසි, ගොරකා, කරාබු නැටි වැනි කුළුබඩු සඳහා ශ්‍රී ලංකාව ලෝකය පුරා ප්‍රසිද්ධියක් ඉසිලූ අතර, අදටත් කුරුඳු, ගම්මිරිස්, ගොරකා ආදියට ජාත්‍යන්තරයේදී ඉහළම මිලක් හිමිවන්නේ අප රටේ භාණ්ඩවලටය.
මීට අමතරව ලංකාව තුළ නිෂ්පාදනය කරන වියළි මිරිස්, රතුලූනු, ඉඟුරු, තක්කාලි, දෙහි ආදියේ තත්ත්වයද ලෝකයේ අන් රටවලට වඩා ඉදිරියෙන් පවතී. එහෙත් රතුලූනු, වියළි මිරිස් තක්කාලි ආදිය අපනයනය කිරීමක් සිදුවන්නේ නැත.
මෙම ද්‍රව්‍යවලට අමතරව ආහාර රසගැන්වීම සඳහා රම්පේ, කරපිංචා, සේර, සුදුලූනු වැනි ද්‍රව්‍යද භාවිත කරන අතර, මෙම සියලුම ද්‍රව්‍ය ශ්‍රී ලංකාව තුළ නිපදවා ගැනීමේ වාසනාවද ශ්‍රී ලාංකිකයන්ට හිමි වී තිබේ.
මේ ආකාරයේ ස්වාභාවික රසකාරක හා ස්වාභාවික වර්ණකාරක යොදන ආහාර රටාවකට හුරු වී සිටි ජනතාව අද වනවිට කෘත්‍රිම ආහාර රටාවකට හුරුවෙමින් සිටිති. මේ නිසා මීට දශකයකට දෙකකට පෙර දක්වා බෝ නොවන රෝග තත්ත්ව පිළිබඳ අසන්නට නොලැබුණද, අද වනවිට එම රෝග තත්ත්වයන් ජාතික ව්‍යසනයක් දක්වා වර්ධනය වී තිබේ.
එදා බතක් රසවත් කරගැනීම සඳහා ලුණු, රම්පේ වැනි ද්‍රව්‍ය භාවිත කළ අතර, මේ අනුව සුවඳට අමතරව යම් රසයක් ලබාගැනීමටද හැකි විය. එහෙත් අද වනවිට එම ද්‍රව්‍ය භාවිතය ඉවත දමා බත රස කරගැනීමට හා සුවඳවත් කරගැනීමට කෘත්‍රිම ද්‍රව්‍ය භාවිත කිරීමේ ප්‍රවණතාවක් මතුව තිබේ.
ගෙදරක සැකසෙන පොල් සම්බෝලයකට, ෙපාල් මැල්ලුමකට, ලූනු සම්බෝලයකට ආවේණික රසයක්, සුවඳක් සහ වර්ණයක් තිබූ අතර, එදා ඒවා ලබාගැනීමට භාවිත කෙරුණේ ස්වාභාවික ද්‍රව්‍යයන්ය. මීට අමතරව ව්‍යාංජන සකස් කිරීමේදීත්, මස් හෝ මාළු සකස් කරගැනීමේදීත් රසය හා වර්ණය රැකගැනීම සඳහා කුළුබඩු සහ විවිධ කොළ වර්ග භාවිත කෙරිණි.
එහෙත් අද වනවිට මස්වලට, මාළුවලට විවිධ රස හා වර්ණ සකස් කරගැනීම සඳහා ගෘහිණියෝ කෘත්‍රිම රසායන ද්‍රව්‍ය විශාල ලෙස භාවිත කරති. අවාසනාවට කරුණ වී තිබෙන්නේ එදා පරිප්පු ව්‍යාංජනය මේ රටේ ජනතාව බැලුවේ පරිප්පු වශයෙනි. එහෙත් පරිප්පු හොද්ද පවා කුකුළු මස් රසගැන්වීම සඳහා බහුජාතික සමාගම් විසින් විවිධ රසකාරක හඳුන්වා දී තිබේ.
මේ අනුව උමාමි රසය හෙවත් මස් රසය ලබාගැනීම සඳහා පරිප්පු ව්‍යාංජනයට රසකාරක එකතු කරනු ලබයි. මීට අමතරව පොලොස් රස බැලීමට නම් පොලොස් ගැට නොහොත් කොස් ගසේ හටගන්නා නොමේරූ කොස් අවශ්‍යය. එහෙත් අද වනවිට පොලොස් රස විඳීමට භාවිත කරනු ලබන්නේ කෘත්‍රිමව සකස් කළ සෝයාමීට් වැනි ද්‍රව්‍යයන්ය. දැල්ලෝ රසය, මාලු ඇඹුල් තියල් රසය, ඉස්සෝ රසය, කුකුළු මස්, දඩමස් රසය ආදිය රස ලබාදීමටද ඕනෑ තරම් සෝයාමීට් වර්ග බිහි වී තිබේ.
එහෙත් ජාන වෙනස් කළ භාණ්ඩයක් ලෙස සැලකෙන මෙම ද්‍රව්‍ය හරහා මිනිස් සෞඛ්‍යයට බලපෑම් එල්ල කරන බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
මීට අමතරව ආහාර රසගැන්වීම සඳහා Mohosodla හා Glutamate භාවිතයට ශ්‍රී ලාංකිකයෝ විශාල ලෙස හුරු වී සිටිති.
එම්.එස්.ජී. ලෙස කෙටි නාමයකින් හැඳින්වෙන මෙම රසකාරක විවිධ වෙළෙඳනාම වර්ග 20කට වැඩි ප්‍රමාණයකින් රට තුළ අලෙවි වන බවට හෙළි වී තිබේ. ග්‍රෑම් දෙක, පහ වැනි කුඩා ප්‍රමාණවලින් වෙළෙඳ පොළ අරක්ගත් එම්.එස්.ජී. රසකාරකය අද වනවිට කිලෝග්‍රෑම්වලින් අලෙවි වන තත්ත්වයකට පත්ව තිබේ.
ඇමෙරිකාව ඇතුළු මාංශ හා තිරිඟු පිටි භාවිතය ඉහළ රටවල කෘත්‍රිම රසයක් ඇති කිරීම සඳහා නිෂ්පාදනය කර තිබෙන මෙම රසකාරකය ශ්‍රී ලාංකිකයන් විසින් වසරකට මෙට්‍රික් ටොන් 2000 – 2200ත් අතර ප්‍රමාණයක් භාවිත කරන බවට වෙළෙඳ පොළ වාර්තා තහවුරු කර තිබේ.
මෙම රසකාරකය මෙරට වෙළෙඳ පොළ ආක්‍රමණය කර තිබෙන තරම කොතරම්ද යත්, එදා දෙහි බින්දු කිහිපයකින් උම්බලකඩ කැබලි කිහිපයකින් රසවත් කළ ගැමි ගෙදරක පොල් සම්බෝලයකට පවා මෙම රසකාරක භාවිත කරන තැනට අද පත්ව ඇත. මීට අමතරව ලුණු රසයෙන් මිරිස් රසයෙන් රසවත් වූ බයිට් වර්ග සඳහා අද භාවිත කරන්නේද එම්.එස්.ජී. කාණ්ඩයේ රසකාරකයන්ය.
මෙම රසකාරකය ඇබ්බැහි වන ආකාරයේ රසකාරකයක් නිසා කුඩා දරුවෝ මෙම ද්‍රව්‍ය ඇති කෑම වර්ග ආහාරයට ගැනීමට විශාල කැමැත්තක් දක්වති.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ පෙන්වාදීම්වලට අනුව වයස අවුරුදු 03ට අඩු දරුවන්ට එම්.එස්.ජී. රසකාරකය අහිතකර විය හැකි බවට පෙන්වා දී ඇත.
මීට අමතරව යම් ආහාර ද්‍රව්‍යයකට මෙම කාණ්ඩයේ රසකාරක යොදනවා නම් එය ග්‍රෑම් දශම පහකට අඩුවිය යුතු බවට පෙන්වා දී ඇත. එහෙත් අවාසනාවට කරුණ වී තිබෙන්නේ ලංකාවේ බොහෝ ප්රදේශවලසකස් කරන කොත්තුවල එම්.එස්.ජී. රසකාරකය ග්‍රෑම් 06කට වඩා පවතින බවට පර්යේෂණ කණ්ඩායම් විවිධ අවස්ථාවල සොයා ගැනීමය.
මීට අමතරව බයිට් වර්ගවල සහ ඇසුරුම් කරන ලද කෘත්‍රිම ආහාර ද්‍රව්‍යවල අධික ලෙස මෙම රසකාරකය අඩංගු බවට සොයාගෙන තිබේ. එහෙත් බොහෝ කෘත්‍රිම ආහාර ද්‍රව්‍යවල මෙම රසකාරකය අඩංගු ප්‍රමාණය සඳහන් කර නොමැති අතර, සඳහන් කර තිබෙන ඇසුරුම්වල පවා එය ජනතාවට ඍජුවම බලාගත හැකි ආකාරයයට සඳහන් කර නැත.
මීට අමතරව ඇසුරුම් නොකළ ආහාරවලට යොදන ප්‍රමාණය කොතරම්ද යන්න නිෂ්පාදකයා හෝ දන්නවාදැයි සැක සහිතය. මන්ද යත් කිලෝ ගණනින් ලබාගන්නා මෙම ද්‍රව්‍ය අතට අහුවන ප්‍රමාණයක් යෙදීමට ආහාර සකස් කරන්නන් කටයුතු කරන නිසාය.
එම්.එස්.ජී. රසකාරකය ලෙස මාධ්‍ය වාර්තා කළද, වෙළෙඳ පොළ තුළ මෙම රසකාරකය අලෙවි වන්නේ ජනප්‍රිය වෙළෙඳ නාමයක් යටතේය. එහෙත් ලංකා‘වේ පවතින නීතිරිතිවලට අනුව මෙම රසකාරකය මිනිස් ශරීරයට කොතරම් අහිතකර වුවද, එහි වෙළෙඳනාමය ප්‍රසිද්ධියට පත් කරමින් ඒ පිළිබඳ කතා කිරීම නීතිවිරෝධී වෙයි. එම වෙළෙඳනාමයෙන් ප්‍රචලිත ද්‍රව්‍යය සෞඛ්‍යයට අහිතකර බව ප්‍රසිද්ධියට පත්නොවන නිසා ජනතාව නොදැනුවත්වම මෙම ද්‍රව්‍ය භාවිත කිරීමට පෙළඹී තිබේ.
මෙම රසකාරකය කොතරම් විෂ සහිතද යත්, පූර්ණ වල්නාශකයක් වූ ග්ලයිෆොසේට් භාවිතය තහනම් කළ පසු වල් මර්දනය සඳහාද මෙම රසකාරක යොදාගන්නා බවද කෘෂිකර්මාන්තයට අදාළ පර්යේෂකයෝ පෙන්වාදෙති.
ග්ලයිෆොසේට් පූර්ණ වල්නාශකය රට තුළ භාවිත කිරීම තහනම් කෙරුණේ එම වල්නාශකය හරහා වකුගඩු රෝග පිළිකා රෝග ඇතුළු රෝග ගණනාවක් ඇති කරන නිසාය.
මෙවන් තත්ත්වයක් තුළ ග්ලයිෆොසේට් තහනම් කර තිබියදී එම පූර්ණ වල්නාශකයේ විෂ සහිත තත්ත්වයක් ඇති එම්.එස්.ජී. භාවිත කරමින් ආහාර සකස් කරන්නන් ඒ පිළිබඳ සිය දහස් වරක් සිතිය යුතුය. මීට අමතරව කෘත්‍රිම වර්ණකාරක හරහා මිනිස් ශරීරයට අහිතකර බලපෑම් එල්ල කරන බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
එසේ තිබියදී මස් හෝ මාළු ව්‍යාංජනයක, පරිප්පු, පොල් සම්බෝලයක්, ව්‍යාංජනයක වර්ණය ලබාගැනීම සඳහා මේ රටේ ගෘහිණියෝ හා ආහාර සකස් කරන්නෝ කෘත්‍රිම වර්ණකාර භාවිත කරති.
රස, ගුණ, වර්ණය, සුවඳ ආදිය ආහාරයක ගුණාංග ලෙස හඳුනාගෙන තිබුණද කෘත්‍රිම ද්‍රව්‍ය හරහා මෙම ගුණාංග ලබාගැනීමට යාම මරණයට අත වැනීමකි.
මන්දයත් මෙරට තුළ දෛනිකව මිය යන දහසකට අධික ප්‍රමාණයෙන් 700කට ආසන්න ප්‍රමාණයක් මිය යන්නේද බෝ නොවන රෝගවලින් බවට වාර්තා වේ. බෝ නොවන රෝග ඇති වීම සඳහා කෘත්‍රිම රසකාරක, කෘත්‍රිම වර්ණකාරක, කෘත්‍රිම ආහාර ද්‍රව්‍යවලට අමතරව අධික ලෙස සීනි, ලුණු, තෙල් භාවිතය, මත්ද්‍රව්‍ය භාවිතය සහ පරම්පරාගත රෝගකාරක බලපාන බවටද සොයාගෙන තිබේ.
මේ නිසා රටේ ජනතාව සෞඛ්‍ය සම්පන්න ජනතාවක් කිරීම සඳහා රජයටද විශේෂ වගකීමක් පැවරී ඇත.
එනම් බහුජාතික සමාගම් මැදිහත් වී සිදුකරන මෙම නිෂ්පාදන රට තුළ භාවිත කිරීම තහනම් කිරීමට නොහැකි නම් මෙම ආහාර ද්‍රව්‍ය, රසකාරක සහ වර්ණකාරකවලින් ඇතිවිය හැකි අහිතකර තත්ත්වය පිළිබඳ පවුල් ඒකක වශයෙන් දැනුවත් කිරීමේ අඛණ්ඩ වැඩපිළිවෙළක් සකස් කිරීමය.
එහෙත් අද දවසේ සිදුවන්නේ ජාත්‍යන්තර දින තේමා කරගනිමින් මෙම ද්‍රව්‍යවල අහිතකරභාවය පිළිබඳ මාධ්‍ය සන්දර්ශන පැවැත්වීම පමණි. රටක් වශයෙන් ගත්කල ග්‍රාමීය නාගරික ප්‍රජාව ආවරණය වන අාකාරයට සෞඛ්‍ය බලධාරීහු රට පුරා විසිරී සිටිති. එනම් සමස්ත ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා ආයුර්වේද මධ්‍යස්ථාන, දේශීය වෛද්‍යවරු සිටිති.
මේ නිසා පවුල් ඒකකය මුල් කරගනිමින් පවුලේ සෞඛ්‍ය ඉහළ දමාගැනීමට අවශ්‍ය රජයේ සහයෝගය ලබාදීමට හොඳ ශක්තිමත් යාන්ත්‍රණයක් තිබේ. එහෙත් රජයක් වශයෙන් තවමත් එවැනි වැඩපිළිවෙළකට යොමු වී නැත. රජය සෑම විටම උත්සාහ කරන්නේ රෝගී වන ජනතාවට ප්‍රතිකාර කිරීමටය. රෝගී ජනතාවට ප්‍රතිකාර කරනවා සේම රෝග නිවාරණයද අතිශය වැදගත් කාරණයකි.
මන්ද යත් රෝග නිවාරණය හරහා ජනතාව රෝගීන් වීම වළක්වාගැනීමට හැකියාව තිබෙන නිසාය. බෝ නොවන රෝග ගණයට අයත් වන අතිබහුතර රෝග ප්‍රමාණයක් සුව කිරීමට අවශ්‍ය ඖෂධ සොයාගැනීමට ලෝකයා තවමත් සමත් වී නොමැති නිසාය. මේ නිසා සිදුකළ හැකිවන්නේ රෝග පාලනය පමණි. රෝග පාලනය කිරීම යනු ඔහු හෝ ඇය සදාකාලික රෝගියෙකු බවට පත් කිරීමයි.
මෙම රෝගී තත්ත්වයේ වයස් සීමාව මීට පෙර තිබුණේ අවුරුදු 35 - 40ත්, 60 – 70ත් වශයෙනි. එහෙත් අද වනවිට අවුරුදු දෙක තුනේ දරුවන්ට පවා පිළිකාව වැනි බෝ නොවන රෝග ගණයට අයත් රෝග වැලඳෙයි. වකුගඩු රෝග ගතහොත් වයස අවුරුදු
15 – 16 ක් තරම් වූ අඩු වයසක පුද්ගලයන්ට පවා රෝගය වැලඳී තිබේ.
මේ නිසා අනාගතයේ දවසක මේ රටේ ළදරුවන්, පාසල් ශිෂ්‍යයන්, තරුණ තරුණියන්, මවුවරුන්, පියවරුන්, ආච්චිලා, සීයලා ඇතුළු සමස්ත පරම්පරාවම රෝගීන් බවට පත්වෙනවා නියතය.
මෙවන් තත්ත්වයක් රටට උදාවෙමින් තිබෙන්නේ ලොව බොහෝ ජාතීන්ට කලින් බතක් පිසගෙන, සෞඛ්‍යාරක්ෂිතව සකසාගත් ව්‍යාංජන කිහිපයක් සමග ආහාර අනුභව කළ ජාතියකටය.
අප බතක් පිසගෙන ව්‍යාංජන කිහිපයක් සමග අනුභව කරන විට නොදියුණු සමාජයක සිටි බටහිර ජාතීන් පසුකාලීනව ලොවට හඳුන්වාදුන් කෘත්‍රිම ආහාර, රසකාරක වර්ණකාරක වැලඳගැනීමේ පාපයෙන් ගැලවීමේ කාලය එළඹ තිබේ. ඒ සඳහා ජනතාවත් බුද්ධිමත්ව තීන්දු තීරණ රාශියක් ගත යුතුව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd