Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජුලි මස 16 වන බදාදා
2025 ජුලි මස 16 වන බදාදා
ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකු පිළිබඳව ලෝකයා දැනගෙන නොසිටියත්, අර්ජුන රණතුංග (දේශපාලකයෙකු වශයෙන් නොව ක්‍රීඩකයෙකු ලෙස), අරවින්ද ද සිල්වා, රන්ජන් මඩුගල්ල, සිදත් වෙත්තමුණි, රෝයි ඩයස්, රුමේෂ් රත්නායක, සනත් ජයසූරිය, රොමේෂ් කලුවිතාරණ, අසංක ගුරුසිංහ, කුමාර් ධර්මසේන,චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, රංගන හේරත්, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග ඇතුළු නම් කී නොකී බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන් ලෝකය හඳුනන්නේය.
එසේ ලෝකයේ ඉහළම තත්ත්වයක තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දැන් තරමක් දුරකට පහළ බැස තිබේ. කිසියම් කණ්ඩායමක් සංක්‍රාන්ති සමයක සිටින විට පරාජයට පත්විය හැකිය. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙන් පරාජයන් ලබාගනීවි යැයි සිතීමට නොහැකිය. මේ සඳහා පසුගිය වසර තුනක කාලයක එක්දින, විස්සයි20 හා ටෙස්ට් තරග ප්‍රතිඵල පිළිබඳව අවධානය යොමුකිරීම වටී. ඒ මෑතකාලීනව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට, ක්‍රිකට් ආයතනයට විවේචන එල්ල වීම සඳහා බලපෑ ප්‍රමුඛතම කරුණක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයන්ය. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයන් වූ මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර හා තිලකරත්න ඩිල්ෂාන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමත් සමග මෙම පරාජයන් හි ආරම්භය සිදුවිය.
මේ සමගම ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඇති දේශපාලනය නැවත වරක් කරළියට පැමිණියේය. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේක මහතා ක්‍රිඩකයන්ගේ බඩ ගැන කතා කරන්නට විය. එයට පිළිතුරු දෙමින් අර්ජුන රණතුංග අමාත්‍යවරයා සඳහන් කළේ ක්‍රිකට් ක්‍රීඩාවේ %ෆිට්නස්^ වෙනස් බවයි. එසේම හිටපු ක්‍රිඩකයන්ද මේ සම්බනධයෙන් විවිධ අදහස් ප්‍රකාශ කරන්නට විය. අතීතයේ පටන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවත් සමග දේශපාලනය මුහුව තිබුණි. දේශපාලකයන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විවිධ වාසි ලබාගැනීමට කටයුතු කළේය. ජේ. ආර්. ජයවර්ධනගේ ජනාධිපතිවරයාගේ සිට වත්මන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දක්වාම සියලුම ජනාධිපතිවරුන් මෙන්ම අමාත්‍යවරුන්ද ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී ස්ථානයක් ලබාදෙමින් කටයුතු කරයි.
ලෝක කුසලානයක් හෝ වේවා වෙනත් තරගාවලියක් ජයග්‍රහණය කර පැමිණෙන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා මුලින්ම කටුනායකට යන්නේ දේශපාලකයන්ය. නමුත් පරාජයට පත්ව පැමිණෙන කණ්ඩායම පිළිගැනිමට යන්නේ ප්‍රේක්ෂකයන්ය. ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඇති දේශපාලනය එසේය. 1986 වසරේදී ප්‍රථම වතාවට ආසියානු කුසලාන ශූරතාව දිනාගන්නා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එවකට ජනපති වශයෙන් කටයුතු කළ ජේ.ආර්. ජයවර්ධන මහතා රන්අලියෙකු තෑගි කරයි. (අලියා යනු එක්සත් ජාතික පක්ෂයේ ලාංඡනයයි) තරගය ජයග්‍රහණය කිරීමට පසුදින නිවාඩු දිනයක් ලෙස නම් කිරීමටත් ඔහු කටයුතු කරයි.
ක්‍රිකට් හා දේශපාලනය අතර මුසුව එයින් නවතින්නේ නැත. මෑත කාලීනවද උදාහරණ කිහිපයක් ගත හැකිය. කුමාර් සංගක්කාර ටෙස්ට් පිටියෙන් සමුගැනීම සටහන් කළ තරගය නැරඹීම සඳහා වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක්විය. එහිදී කෙටි කතාවක් කළ ජනපතිවරයා සඳහන් කළේ කුමාර් සංගක්කාරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් තනතුර බාර ගන්නා ලෙසයි. සංගාගේ අවසන් තරගය නැරඹීමට පැමිණි ජනපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා ඩිල්ෂාන්ගේ අවසන් තරගය නැරඹීමට නොපැමිණියෝය. ඒ ඒ ක්‍රීඩකයාට ඇති ප්‍රේක්ෂක ආකර්ෂණ මෙන්ම ක්‍රීඩකයන්ගේ දේශපාලන දර්ශනය අනුව දේශපාලඥයන්ගේ හැසිරීම වෙනස් වන බවට මෙය උදාහරණයක් පමණි.
අනෙක් අතින් ක්‍රිකට් ක්‍රීඩකයක් දේශපාලනයට පිවිසි විට ඔවුන්ට පහසුවෙන්ම මැතිවරණ ජයග්‍රහණය කිරීමට හැකියාවක් ලැබෙන අතරම සනත් ජයසූරිය මෙන්ම අර්ජුන රණතුංග ඒ සඳහා හොඳම උදාහරණ වෙයි. 2010 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන සනත් ජයසූරිය එහිදී මනාප ඡන්ද 74352ක් ලබාගනිමින් මාතර දිස්ත්‍රික්කයේ පළමුවැනියා බවට පත්වෙමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙයි. අර්ජුන රණතුංග එම මැතිවරණයේ ප්‍රාජාතන්ත්‍රවාදී පෙරමුණෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කළ පාර්ලිමේන්තුවට පිවිසෙන අතර පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි එක්සත් ජාතික පෙරමුණ යටතේ ගම්පහින් තරග කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ දේශපාලකයෙකුට පක්ෂයක් හෝ පාටක් නොමැතිව ඕනෑම දිස්ත්‍රික්කයකින් තරග කර ජයග්‍රහණය කිරීමට ඇති හැකියාව පෙන්වමිනි.
ක්‍රිකට් ක්‍රීඩාවේ දේශපාලනය එසේ තිබියදී කණ්ඩායම දිගින් දිගටම තරග පරාජය වීම හේතුවෙන් ප්‍රේක්ෂකයන්ගේ තිබූ කෝපය ඉන්දියාවට එරෙහිව දඹුල්ලේදී මෙන්ම පල්ලෙකැලේ පිටියේ පැවති එක්දින තරගවලදී පුපුරා ගියේය. දඹුල්ලේදී ආරම්භ වූ ඉන්දීය එක්දින තරගාවලියට පෙරාතුව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩකයන් හමුවීමට ක්‍රීඩාංගණයට ගියේය. එහිදී ලසිත් මාලිංග සමගත් ඔහු පිළිසඳරක යෙදිණි. මේ කිසිවකින් ක්‍රිකට් ක්‍රීඩාවේ පරාජයන් වැළකුණේ නැත. සිදුවූයේ තව තවත් අර්බුදයකට යාම පමණි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්රයටම දැවැන්ත කළු පැල්ලමක් ඉතිරි කරමින් පල්ලෙකැලේ පිටියේදී කුපිත වූ ප්‍රේක්ෂකයන් පිටියට බෝතල් හා වෙනත් දෑ විසිකිරීමට කටයුතු කළ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට එවැනි සිදුවීමක් වාර්තා විය.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයන් හමුවේත්, ඇතැම් විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගනු ලැබූ හිතුවක්කාර තීරණ හේතුවෙනුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිටි පුහුණුකරු ග්රැහැම් ෆෝඩ් මහතා ප්‍රධාන පුහුණුකරු තනතුරින් ඉවත්වීමට තීරණය කළ අතර, වේගපන්දු පුහුණුකරු වූ චම්පක රාමනායක මහතාද සිය ධුරයෙන් ඉවත්විය. නවක ක්‍රීඩකයන් හැසිරවීමේ මනා පළපුරුද්දක් ඇති පුහුණුකරුවෙක් ලෙස ග්රැහැම් ෆෝඩ් හැඳින්වෙන අතර, ඔහු අහිමිකර ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලැබූ තවත් ප්‍රධාන පෙළේ පරාජයක් වනු ඇත. ලෝක කුසලානයට තවත් වසර එකහමාරක් වැනි කාලයක් තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තවත් ප්‍රධාන පුහුණුකරුවෙක් නොමැත, ස්ථිර පිතිකරණ පුහුණුකරුවෙක් නොමැත, ස්ථිර වේග පන්දු යවන පුහුණුකරුවෙක් නොමැත. පාකිස්තාන තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් කෙටි කාලයක් වන අතර, මේ දක්වාම එම ගැටලු සඳහා විසඳුම් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නොහැකි වී ඇත.
මේ අතර ඉන්දීය තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවද ඉල්ලා අස්වූ අතර, සනත් ජයසූරිය තේරීම් කමිටු සභාපතීත්වයට සමු දුන්නේය. සිය පළමු ධුර කාලයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශේෂී ජයග්‍රහණ ලබාදුන් සනත්ට දෙවැනි ධුර කාලයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එතරම් සුවිශේෂී ජයග්‍රහණ ලබාදීමට නොහැකිවිය. ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීම හා දකුණු අප්‍රිකාවේදී හා ඔස්ට්‍රේලියාවේදී විස්සයි20 ජයග්‍රහණ ලබාදීම ඔහුගේ දෙවැනි ධුර කාලයේදී ලැබූ ජයග්රහණයන් වුවත්, දිගින් දිගටම ශ්‍රී ලංකාව පරාජයට පත්වීම හේතුවෙන් එම ජයග්රහණයද ප්‍රේක්ෂකයන්ගේ මතකයෙන් ගිලිහී ගියේ සනත්ට අවාසිදායක අයුරිනි.
ක්‍රිකට් ආයතනය පැත්තෙන් එසේ වැරදි සිදුවෙද්දී ක්‍රීඩකයන් පැත්තෙන්ද වැරදි සිදුවෙයි. ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීම මෙහිදී ප්‍රධානම කරුණක් විය. ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතා පිළිබඳ ගැටලුව නිරන්තරයෙන්ම ඉදිරියට පැමිණි මාතෘකාවක් විය. මෙහිදී ඇතැම් ආබාධ පිටිය තුළදී සිදුවන වළක්වාගත නොහැකි ආබාධ වූ අතර, ඇතැම් ආබාධ සිය ශාරීරික යෝග්‍යතා මට්ටම අනුව වළක්වාගත හැකිව තිබූ ආබාධ විය. නිමාවට පත්වූ ඉන්දීය තරගාවලියේදී පමණක් අසේල ගුණරත්න, නුවන් ප්‍රදීප්, රංගන හේරත්, දිනේෂ් චන්දිමාල්, චාමර කපුගෙදර, ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන් ආබාධවලට ලක්විය. මෙහිදී අසේල ගුණරත්න පිටිය තුළදී ආබාධයකට ගොදුරු විය. එනම් උඩපන්දුවක් රැක ගැනීමට යෑමේදී සිදුවූ ආබාධයයි. කෙසේවෙතත් නුවන් ප්‍රදීප් කළවා ප්‍රදේශයේ ආබාධයකටත්, රංගන හේරත් හා චාමර කපුගෙදර කොන්දේ ආබාධයන් වර්ධනය වීම හේතුවෙනුත් තරග අහිමි කර ගත්තේය. මේ ආබාධ යම්කිසි ආකාරයකට කළමනාකරණය කිරීම හරහා වළක්වාගත හැකි ආබාධ වෙයි.
අනෙක් අතින් කණ්ඩායම තුළ ගන්නා තීන්දු තීරණ සඳහා ක්‍රීඩකයන් ගරු කළ යුතුය. ක්‍රීඩකයන්ගේ විවේකාගාරය තුළ බිස්කට් ඇතුළු ක්ෂණික කෑම තහනම් කිරීමට කළමනාකරණය තීරණය කරයි නම් එයට සියලුදෙනාගේම සහාය දැක්විය යුතුය. කණ්ඩායම තුළ ක්ෂණික කෑම තහනම් කළ විට එක් ක්‍රීඩකයෙක් වරක් සිය සමාජ මාධ්‍ය ගිණුමට ඡායාරූපයක් හරහා ක්ෂණික කෑමක් ආහාරයට ගන්නා අයුරු එක්කර තිබුණි.
ක්‍රිකට් කණ්ඩායම පරාජයන් ලැබූවාට ක්‍රීඩකයන්ට වගේ වගක් නොමැති බවට ජනතාව අතර දැන් මතයක් නිර්මාණය වෙමින් තිබේ. බැලූ බැල්මට එහි සත්‍යතාවක් තිබුණත් තවමත් කණ්ඩායම තරග පරාජය වන විට ක්‍රීඩාගාරයට වී හඬන ක්‍රීඩකයන්ද නැතිවාම නොවේ. ක්‍රිකට් ක්‍රීඩාව දැන් වෘත්තීමය ක්‍රීඩාවකි. එහි ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ද වෘත්තියෙන් ක්‍රීඩකයෝ වෙති. ඒ අනුව වෘත්තිකයන් සාර්ථක වන්නේ තමන් අදාළ වෘත්තිය තුළ කොතරම් දක්ෂතා දක්වන්නේද යන කරුණ මතය. අපේ ක්‍රීඩකයනුත් තව තවත් වෘත්තීමය හැකියාවන් වර්ධනය කරගත යුතුය. ඒ සඳහා ක්‍රිකට් ආයතනයද අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කළ යුතුය.
එසේ පහසුකම් ලබාදීම සඳහා ක්‍රිකට් ආයතනයට මූල්‍යමය ලෙස ගැටලුවක් නොවේ. ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල් නිසියාකාරව කළමනාකරණය කිරීම හරහා මෙය සිදුකළ හැකිය. නිමා වූ ඉන්දීය තරගාවලියේදී පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපයාගත් ආදායම අමෙරිකානු ඩොලර් මිලිය 18 – 20ත් අතර ප්‍රමාණයක් විය. ඒ අනුව ක්‍රිකට් ආයතනය වටා සංසරණය වන මුදල් ප්‍රමාණය පිළිබඳව ඔබට අමුතුවෙන් සඳහන් කළයුතු නොවේ.
ක්‍රිකට් ක්‍රීඩාවේ අගාධයෙන් ගොඩ ඒමට නම් ශ්‍රී ලංකාව දැන්වත් දැක්මක් සහිතව ක්‍රීඩා කළ යුතුය. ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර ඡන්ද වෙනුවෙන් වැඩ නොකළ යුතුය. ක්‍රිකට් ක්‍රීඩාව නිසි මාවතට යොමුකළ යුතුය. ඒ සඳහා පාසල් ක්‍රිකට් හා අපගේ පළමු පෙළ ශක්තිමත් කළ යුතුය. පාසල් ක්‍රිකට් නැංවීම සඳහා දැනටමත් මහේල ජයවර්ධන හා සිදත් වෙත්තමුණි ඇතුළු පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව සිටිති. ඒ අනුව එය නිවැරදි දැක්මක් සහිතව ක්‍රියාත්මක වනු ඇතැයි විශ්වාස කළ හැකිය.
මේ අකාරයෙන්ම සිදත් වෙත්තමුණි මහතා අතුරු කමිටු සභාපති වශයෙන් කටයුතු කළ කාලයේදී පළමු පෙළ ක්‍රීඩා සමාජ තරගාවලිය පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඡන්ද ව්‍යුහය පිළිබඳව වැදගත් යෝජනාවක් මහේල ඉදිරිපත් කළ අතර, එය ක්‍රියාවට නැංවීමට ප්‍රථම අතුරු කමිටුව විසුරුවා හැරුණි. ඒ අනුව මහේලගේ යෝජනාවලියද යට ගියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd