මෙය මුළුමහත් සිංහල ජාතියම කඳුළු හෙළිය යුතු සංවේදී කතාවකි. ක්‍රි.ව. 459 වැන්නේදී අනුරාධපුර අගනුවර රජ පැමිණි ධාතුසේන නිරිඳුන් විසින් අනුරපුර අගනුවර විසූ දෙනෝදාහක් ජනතාවගේ පිපාසය සංසිඳුවන්නට ඔහු විසින්ම ඉදිරිපත් කළ කලාවැවේ සිට සැතපුම් 54ක් දුරින් සහ අඩි 4 1/2ක් උසින් පිහිටි තිසාවැවට දියවර ගෙන යන්නට විශ්මකර්ම යෝධ ඇළ ඉදිකරනු ලැබීය. යෝධ ඇළ සිංහල ජනතාවගේ උරුමයකි. යෝධ ඇළ ඊටම ආවේණික වූ ශිල්පීය ක්‍රමයක් හරහා පහත් බිමින් උස් බිමට ගලාගිය ලෝකයේ දෙවන වාරියයි. මෙහෙව් අද්භූත නිර්මාණයක එහෙව් ජාතියේ උරුමයක් මහවැලි මගින් ළෙන්ගතුකමක් නැතිව නටබුන් කර දමා අවභාවිතයට පත් කළහ. ජාතියේ උරුමයන් මෙසේ විනාශ කර දැමීමේ සාපරාධය මහානාම හිමියන් සිටියේ නම් මතු පරපුරට දැනගැනීමට මහා වංශයේ කළු අකුරින් ලියා තබනු ඇත.
යෝධ ඇළ තුළ ගැබ්වී ඇත්තේ පහත් බිමේ සිට උස් බිමට දියවර ගෙන යාමේ අද්භූතයයි. මේ පිළිබඳව ජනප්රවාදයේ විවිධ කතාන්දර පවතී. ගැබ්ගත් එළිච්චියක් ඉදිරිමගට දමා ඇයගේ ගමන අනුකරණය කරමින් යෝධ ඇළ නිර්මාණය කළ බව එක් ජනප්රවාදයකින් කියවේ. වංගු සහිත යෝධ ඇළ දිගේ දිය ගමන යෑමට සලස්වා ජල ධාරාව වංගුවේදී ඉදිරි ඉවුරේ හැපීමට සලස්වා එයින් උද්ගත වන ජල වේගය මගින් උස් බිම තරණය කළ බව තවත් මතයකින් කියවේ. හැම වංගුවක් පාසාම දිය කලියක් පිහිටුවා දියකලිය උතුරා යාමට සැලැස්වීමෙන් ඉදිරි උස්බිම් තරණය කළ බව තවත් එක් මතයකි. මේ සියලු ජනප්‍රවාද අභිභවා යමින් වසර දෙදහසකට වඩා පැරණි යැයි කියවෙන කිරිඅමුණුකොළේ අයියනායක දේව වාසලට ගොස් තමන්ට දිය මග ගෙනයාමට උපකාර වන ලෙස ධාතුසේන රජු බාරයක් වී දෙවියන්ගෙන් ඉල්ලීමක් කර ඇත. පසුදින ධාතුසේන රජු කලාවැවට ගොස් බැලූ විට වනය මැදින් අනුරාධපුරය දෙසට අතුහන් කඩා ගෙන ගොස් තිබිණි. ඒ සලකුණ තේරුම්ගත් ධාතුසේන රජු අතුහන් කඩා තිබූ ඉසව්ව ඔස්සේ යමින් යෝධ ඇළ ඉදිකරන ලද බව අයියනායක දේව වාසලේ කපු මහතා විස්තර කළේය.
යෝධ ඇළේ දිය ගමන රිළාහකු ක්‍රමයට සිදුවී තිබේ. රිළවා එහෙන් මෙහෙන් හක්කේ පුරවාගෙන ආරක්ෂිත තැනට ගොස් කෑම කයි. යෝධ ඇළේ දිය ගමනේද වංගුවක් ඇතිකොට එතැන දියවර පුරවා උතුරා යෑමට සැලැස්වීමෙන් උස් බිම් තරණය කර තිබේ. දියකලි වශයෙන් හඳුන්වන්නේ මෙසේ දිය එක් කළ තැන්ය. හැලඹගහකලිය, කෝනගහකලිය, මීගහකලිය ආදී වශයෙන් යෝධ ඇළ දිගටම මෙවැනි දියකලි දකින්නට ලැබෙන බව කපු මහතා විස්තර කළේය.
යෝධ ඇළ කොතැනකවත් හාරා නැත. දියවර ගලා ගොස් ඇත්තේ පොළොව මතුපිටිනි. පොළොවේ පිහිටි බැස්ම අනුව යෝධ ඇළේ බැම්ම ඉදිකර තිබේ. කලා වැවේ සිට බටුවත්ත දක්වාම යෝධ ඇළේ බැම්ම දමා ඇත්තේ බස්නාහිර පැත්තෙනි. බටුවත්ත සිට අනුරාධපුරය දක්වාම බැම්ම දමා ඇත්තේ නැගෙනහිර දිසාවෙනි. පොළොවේ පිහිටි බැස්ම අනුව ඇළේ බැම්ම සකස් කර තිබේ.
යෝධ ඇළේ බැම්ම සකස් කර ඇත්තේ යටාවතිනි. උඩාවත ලා බෑවුම සහිතය. මේ නිසා කලා වැවේ දියවරට අමතරව උඩාවතට වැටෙන වැසි ජලයද එක් වන්නේ යෝධ ඇළටය. මෙම දෙවැදෑරුම් ජල එකතුව නිසා යෝධ ඇළ නිරතුරුව දික්වැව සේ ජලයෙන් පිරී පවතී. නිතර දියවර පිරී පවත්වනා නිසා විශේෂයෙන් දයකලි අලිඇතුන්ට සහ වනසතුන්ට මහත් සෙතක් විය.
යෝධ ඇළ තැනින් තැන බැම්ම පතුලේ සිට අඩි දෙකක් පමණ ඉහළින් හොරොව්ව ඉදිකර තිබුණි. වතුරේ පවත්නා අපද්‍රව්‍ය පතුලට කිඳා බසින්නට හැර පිරිසුදු වතුර පමණක් මේ සොරොව්වලින් මුදාහරින්නට ඇත. මේ සෑම සොරොව්වකින්ම පිට කළ ජලය මහ වැවකට ගලා ගොස් එල්ලංගා පද්ධතිය අනුව යාය වැව්වලට ගලා ගිය බව ඉතිරිව පවත්නා නටබුන් වලින් පෙනේ.
රුපියල් කෝටි දහ අටදහසක් ලෝක බැංකුවෙන් ණයට ගෙන මහවැලි එච්. කලාපය නිර්මාණය කරනු ලැබීය. ලෝක බැංකුවෙන් ණය මුදල් දුන්විට ඒ ව්‍යාපෘතියේ උපදේශකයන් ලෙස කටයුතු කිරීමට විදේශීය වාරි ඉංජිනේරුවරුන්ද පැමිණියහ. අපේ ශිල්පීන් කටයුතු කළේ ඔවුන්ගේ උපදේශවලට අනුගතවය.
මහවැලි ජලය කලාවැව හරහා එච්. කලාපයට ගලායන හෙයින් වැව්වලට බිම්කඩ වෙන්කළ යුතු නැතැයි කියා කලාවැවේ සිට එප්පාවල දක්වා පැවති යාය වැව් 144ක් පොෙළාවට සමතලා කර දමා ඒ තැන්වලද කුඹුරු අස්වැද්දූහ. මෙම දේශද්‍රෝහී ක්‍රියාවට එප්පාවල ජනතාව එරෙහි වීම නිසා වැව් කැපීම එප්පාවල සිට නවත්වන ලද නමුත් එතැන් පටන් නොච්චියාගම දක්වා පැවති යාය වැව් 128ක් නටබුන් වන්නට අත්හරින ලදී. ඒ මගින් නුවර කලාවියේ පැවති වැව් ගම්මාන සංස්කෘතිය විනාශ කර දමන ලදී. දේශයේ වාරි හා වාපි සංස්කෘතියට ඔවුන් කළ සාපරාධය එතැනින් නැවතුණේ නැත. වැව් අමුණු පුරවමින් ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලමින් කලාවැවේ සිට තිසාවැව දක්වා ගලා ගිය යෝධ ඇළේ දිය ගමන පමා වැඩියයි කියා ඔවුන්ගේ උපදෙස් පරිදි කලාවැවේ සිට බටුවත්ත දක්වා අලුත් ජයගඟ නිර්මාණය කරනු ලැබීය. අලුත් ජයගඟ ඉදිකර ඇත්තේ එක එල්ලේම ජලය බැස යන්නටය. මේ නිසා වංගු සහිතව ගමන් කරමින් පැවති යෝධ ඇළ බොහෝ තැන්වලින් දෙබෑවී ගොස් නටබුන් විය. ඒ අනුව මහඉලුප්පල්ලම සිට බටුවත්ත දක්වා සැතපුම් 15ක් පමණ දුරට යෝධ ඇළ අවභාවිතයට පත්විය.
යෝධ ඇළේ අවභාවිතයට පත්වූ කොටස් යාබද ජනතාව විසින් අල්ලා ගන්නා ලදුව ඒවායේ බුලත් කොටු, කොහිල කොටු, කුඹුරු, කෙසෙල්, කෙසෙල් කොටු ආදිය ඉදිකර ගත්හ. සමහරු ඇළ බැම්ම සමතලාකොට ගෙවල් දොරවල් ඉදිකර ගත්හ. සමහර අය ඇළ බැම්ම කපා ගඩොල් සෑදූහ. මහවැලිය මගින් අවභාවිතයට පත් කළ යෝධ ඇළේ කොටස් පාළුගෙයි වළං බිඳින්නාක් මෙන් ජනතාව විසින් විනාශ කර දැමූ නමුත් මහවැලිය ඇහැක් ඇර බැලුවේ නැත. ජාතියේ හා දේශයේ ඓතිහාසික උරුමයක් මේ අන්දමට විනාශකර දැමීම ගැන මහවැලිය රටට ජාතියට වගකිව යුතුය.
යෝධ ඇළ වෙනුවට විදේශීය උපදෙස් මත ඉදිකරන ලද ජයගඟ එක එල්ලේ ගලා බැසීමේදී සමහර තැනක අඩි 50,60, 70 ගැඹුරට ඇළ කපා ඇත. යකල්ලේගම, ගැටදිවුල වැනි ගම්මාන මැදින් ගිය ජයගඟ අඩි 50, 60 ගැඹුරට කපා ඇති නිසා ඇළ දෑලේ ඇති ගම්මානවල ළිං සිඳී ගොස් ගහකොළ වේළී කාන්තාර බවට පත්වී තිබේ. එපමණක් නොව නව ජයගඟ ගමන් කර ඇත්තේ කිරිඅමුණුකොළේ, කෝන්වැව, කිරලෝගම යන පුරාණ වැව් හරහා නිසා ඒ වැව් අඩි 2ක් පමණ මේ වනවිට රොන්මඩවලින් පිරී ගොස් ඇත. තවත් කලක් යනවිට මේ මහවැව් තුන පිට්ටනි බවට පත්වනු ඒකාන්තය.
මේ අන්දමට ධාතුසේන නිම්නයේ පැවති වැව් ටික සමග වැව් ගම්මාන සංස්කෘතිය විනාශ කර දැමූ අතර, යෝධ ඇළ විනාශ කර දමා ජාතියේ වාරි උරුමයද වළලා දැමීමේ පාපය සිදුකරන ලද්දේ මහවැලියයි. මහවැලිය මගින් සිදුකරන ලද මේ ජාතික අපරාධය නිවැරදි කිරීම විශේෂයෙන් අනුරාධපුර දිසාවෙන් පාලනයට එක්වූ මැති ඇමතිවරුන්ගේ මූලික වගකීම වුවත්, ඔවුන්ට බල ලෝභය හා වරදාන මිසක් දේශයේ උරුමය රැකගැනීමේ රුදාවක් නැත. අක්මුල් සිඳී ගිය මිනිසුන් සේ ඔවුන්ට මේ ජාතික අපරාධය ගැන ඇහැක් ඇර බලන්නටවත් වුවමනාවක් නොවීය. උතුරු මැද හදන්නට පළාත් සභාවක් පත්වී දැනට වසර 25ක් පමණ ගෙවී ගොස් ඇතත් දේශයේ උරුමයක් ගැන සොයා බලන්නට පළාත් සභාවට අගයක් නොවීය.
යෝධ ඇළේ දිය කෙළියෙන් කොලු වයස ගත කළ අමාත්‍යවරයෙකුව සිටි එස්.එම් චන්ද්‍රසේන මහතා නැතිවී ගිය යෝධ ඇළේ ජාතික උරුමය පුනරුත්ථාපනය කරන්නට මුලපිරූ නමුත් එයද සාර්ථක නොවීය. එවකට සිටි ජනාධිපතිතුමාගේ නියමයෙන් යෝධ ඇළ පුනරුත්ථාපනය කිරීමට විශේෂ කමිටුවක්ද පිහිටුවා යෝධ ඇළ හදන්නට ගලෙන් නෙළු ස්මාරකයක්ද ස්ථානගත කළහ. වැඩය පටන්ගත්තා පමණි. එස්.එම්. චන්ද්‍රසේන මහතා වෙනත් අමාත්‍යාංශයකට පත්ව ගියේය. පටන්ගත් වැඩය ලත් තැනම ලොප් විය. ඒ සඳහා පිහිටුවන ලද සෙල්මුවා ස්මාරකය පවා මේ වනවිට කවුරුන් විසින් හෝ කුඩුපට්ටම් කර දමා ඇති අතර, එම ස්ථානයේ යෝධ ඇළ සතු බිම්කඩ උරුම කරගැනීම් කටයුතුද සිදුවෙමින් පවත්නා බව දැනගන්නට ඇත.
පසුගිය රජයේ පුරාවිද්‍යා කටයුතු භාරව සිටි අමාත්‍යවරයා කලක් උතුරු මැද ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කරනු ලැබීය. ජාතියේ උරුමයක් වූ විශ්වකර්ම වාරි නිර්මාණයක් වූ යෝධ ඇළ පුනරුත්ථාපනය කිරීමේ අවශ්‍යතාව කීපවරක්ම ලිපි මගින් ඔහුට දන්වන ලද නමුත් ඒ ගැන රුදාවක් නොවීය. පුරාවිද්‍යා භාරව මෙවැනි අය පත්වීම ජාතියේම අවාසනාවකි. පුරාතන යෝධ ඇළ අනාගතයට සංරක්ෂණය කර තැබීමේ වැදගත්කම හිටපු ජනාධිපතිවරයාට ලිඛිතව අවස්ථා ගණනාවකදී දක්වන ලද නමුත්, මේ ලිපි එකක්වත් ඔහුට යොමු වී නැත. ලේකම්වරුන් විසින් ඒ මේ අතට බෝලය පාස් කරමින් ප්රශ්නය යටකර දැම්මේය. ඊට පසු වර්තමාන ජනාධිපතිටද මේ ගැන ලිඛිතව තොරතුරු වාර්තා කරන ලදී. මෙහිදීද ලේකම්වරු බෝලය ඒ මේ අතට පාස් කරමින් ප්රශ්නය යටගැසූ අතර පසුව ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම්වරයාට මේ පිළිබඳව දැන්වීමෙන් පසු ඔහු මේ ගැන සොයා බලා මූල්‍ය ගැටලු මත ප්රශ්නය අමතක කර දමා ඇත.
මහවැලිය විසින් විනාශ කර දමන ලද ජාතියේ විශ්වකර්ම වාරි නිර්මාණයක් වූ යෝධ ඇළ පුනරුත්ථාපනය කිරීම පිළිබඳව ජනාධිපතිතුමන් ඇතුළු කැබිනට්ටුවේද ප්‍රධාන අමාත්‍යතුමන් ඇතුළු උතුරු මැද පළාත් සභාවේ ජාතික උරුමයේ නාමයෙන් විශේෂ අවධානය යොමු වී යෝධ ඇළ පුනරුත්ථාපනය කරනු දැකීම ප්‍ර‘දේශයේ ජනතාවගේ ප්‍රාර්ථනාවයි.
එප්පාවල - රත්න බී. ඒකනායක