Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
පුරාවිද්‍යා විෂය ක්ෂේත්රයට අදාළව19 වැනි සියවසේ අවසාන දශකයේදී (1890) ආරම්භ කළ Archaeological Survey Of Ceylon (ආකියෝලොජිකල් සර්වේ ඔෆ් සිලෝන්) මෙකල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නම් වූ රාජ්‍ය ආයතනය පිහිටුවන ලද්දේ බ්‍රිතාන්‍ය පාලන සමයේදීය. එම රාජ්‍ය ආයතනය පිහිටුවීමට පසුව 20 වැනි සියවසේ පනහ දසකයේදී විශ්වවිද්‍යාලවල පුරාවිද්‍යා අධ්‍යයන ක්ෂේත්රය තුළ සිදු වූ සුවිශේෂ සිදුවීම වූයේ ඉහතින් සඳහන් කළ පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙසින් සේවය කළ (ප්‍රථම ලාංකික පුරාවිද්‍යා කොමසාරිස්වරයා) ආචාර්ය සෙනරත් පරණවිතාන විද්වතා (එහි සේවයෙන් විශ්‍රාම ලැබීමෙන් පසුව) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එවකට පැවති ඉතිහාස අංශයට බද්ධ කර පිහිටුවන ලද පුරාවිද්‍යා අධ්‍යයන අංශයයි.
එහි මහාචාර්යවරයා වූ සෙනරත් පරණවිතාන විද්වතාණන්ට පසුව විශ්වවිද්‍යාල පුරාවිද්‍යා අධ්‍යයන ශික්ෂණයේ සුවිශේෂී වූ අවස්ථා දෙකක් විසිවැනි සියවසේ අසූව දසකයේදී සිදුවූයේය. එයින් එක සිදුවීමක් නම් 1980 දසකයේ යුනෙස්කෝ ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණය යටතේ 1982 දී මධ්‍යම සංස්කෘතික අරමුදල පිහිටුවීමයි. දෙවැන්න වූයේ කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධව පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය බිහිවීමයි. සංස්කෘතික ත්‍රි‘කෝණයට සම්බන්ධ වූ පුරාවිද්‍යා ව්‍යාපෘති භාරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා පුරාවිද්‍යා විෂය හදාරන තරුණ උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන්ට පුරාවිද්‍යා ක්ෂේත්‍ර පුහුණුවටද එයින් ලැබුණේ ඉමහත් පිටුවහලකි.
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධව ඇති කිරීම නිසා පුරාවිද්‍යා පශ්චාත් උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීමටද තරුණ විද්‍යා උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන්ට අවස්ථාව ලැබිණි. මෙම පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නිර්මාතෘවරයාණන් වූයේ මීට වසකරට ඉහතදී අභාවප්‍රාප්ත වූ අපගේ ගුරුදෙවියෙකු වන මහාචාර්ය සේනක බණ්ඩාරනායක විද්වතාණන්ය.
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ප්‍රථම අධ්යක්ෂවරයා ලෙසින් වසර ගණනාවක් මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා සේවය කිරීම පමණක් නොව ඊට ඉහත කාලයේ සිට කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපතිවරයා ලෙසින් 1983 සිට 1993 තෙක් සේවය කිරීම නිසාද තරුණ පුරාවිද්‍යාවේදීන් බිහි කිරීමෙහිලා එතුමා විසින් දෙන ලද දායකත්වය සදාකල්හිම අනුස්මරණීය වනු ඇත.
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ඉතාමත් විශ්ෂ්ටතම යුගය ලෙසින් ඒ යුගය හඳුන්වාදිය යුතුව ඇත. අද මෙකල පුරාවිද්‍යා ක්ෂේත්රයේ සිටි සහ දැනට සිටින විද්වතුන් රැසක්ම මහාචාර්ය සේනක බණ්ඩාරනායක විද්වතාණන්ගේ සෙවණෙහි එතුමාගේ උපදෙස් අනුව අධ්‍යයන කටයුතුවල යෙදුණු අය බව මෙහිදී සඳහන් කළ යුතුව ඇත.
ඊට අමතරව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ අංශාධිපතිවරයා ලෙසින්ද, වසර 40 ක පමණ කාලයක් තිස්සේ පුරාවිද්‍යා ක්ෂේත්රය තුළ දේශීය හා විදේශීය වශයෙන් ඉටු කරන ලද මෙහෙය අප රටේ උරුමය සම්බන්ධ විද්වතුන් අතර මෙන්ම ජනතාව අතරද ප්‍රචලිත කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක නියමුවා වූයේ මාහාචාර්ය සේනක බණ්ඩාරනායක විද්වතාණෝය. විශ්වවිද්‍යාල අධ්‍යයන ශික්ෂණයේ සේවාවට අමතරව එතුමා 1997 දී කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුරෙන්ද පුදනු ලැබුයේ එතුමාගේ දක්ෂතාවයන් පරිපාලනමය හැකියාවන්ද ඇති නිසාවෙනි.
එපමණක්ද නොවේ, පුරාවිද්යාදෙපාර්තමේන්තුවට අමතරව 1982 දී අංක 47 දරණ ආඥාපනත යටතේ පිහිටුවන ලද මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රථම පුරාවිද්‍යා අධ්යක්ෂ ජනාරාල්වරයා වූයේ ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතාය. ඔහුගේ සේවයෙන් පසු ඊළඟට එම ආයතනයේ අධ්යක්ෂ ජනරල්වරයා ලෙසින්ද මහාචාර්ය සේනක බණ්ඩාරනායක විද්වතා ඉමහත් සේවාවක් ඉටු කළේය.
සීගිරිය සහ දඹුල්ල ව්‍යාපෘතිවල (මධ්‍යම සංස්කෘතික අරමුදලේ) අධ්යක්ෂවරයා ලෙසින් මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා විසින් සිදුකරන ලද සේවාවද, මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාට පසු සීගිරියේ පර්යේෂණ ඉතා පුළුල් ලෙසින් සිදු කිරීමද වැදගත් වේ. විශේෂයෙන්ම මෙම පර්යේෂණවලදී තරුණ උපාධිධාරීන් දිරිගන්වමින් ඔවුන් පුහුණු කරවීම පමණක් නොව පර්යේෂණ කාර්යයන්හි දායකත්වයක් ලබාදීමට නිසි නායකත්වයක් යටතේ කටයුතු කිරීම අගය කළ යුත්තකි.
උදාහරණයක් ලෙසින් මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාට පසුව සීගිරි කුරුටු ගී පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනයක් කිරීම පිණිස තරුණ පර්යේෂකයෙකු වූ අචාර්ය බෙනිල් ප්‍රියංකට ඒ සඳහා නිසි මඟපෙන්වීම පමණක් නොව ඇගයීමද මගින් මහාචාර්ය සේනක බණ්ඩාරනායක විද්වතාණන් විසින් දෙන ලද ආදර්ශය විශ්වවිද්‍යාලවල සිටින ඇතැම් ආචාර්යවරුන්ටද කදිම ආදර්ශයක් ලෙසින් අපි දකින්නෙමු. ඔහු විදේශීය විද්වතුන්ගේ සහායද සීගිරි ගවේෂණවලට යොදාගත්තේය.
මහාචාර්ය සේනක බණ්ඩාරනායක අප ඇඳුරිඳු විසින් විශ්වවිද්‍යාල පුරාවිද්‍යා ක්ෂේත්රය තුළ ලද ජයග්රහණයන් එතුමාගේ පෞද්ගලික ජයග්‍රහණයක් නොවේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂවරයා සහ සීගිරිය දඹුල්ල ව්‍යාපාතිවල අධ්යක්ෂවරයා ලෙසින් ක්‍රියා කිරීමෙන් ඒ තනතුරුවලින් බැබළීමට වඩා එම තනතුරු බැබළවූ විද්වතෙකු ලෙසින් පුරාවිද්‍යා ඉතිහාසයේ ලියැවෙන කරුණකි. ඒවා ඇත්ත වශයෙන්ම එතුමා ලද ජයග්‍රහණවලට වඩා පොදු ජයග්‍රහණ ලෙසින් සඳහන් කළ යුත්තේ එයින් ඉතා විශාල විද්වතුන් සංඛ්‍යාවක් පුරාවිද්‍යා ක්ෂේත්රයට බිහි කිරීමට එතුමාගේ උත්සාහය සමත් වූ හෙයිනි.
එතුමා දරන ලද සියලුම පුරාවිද්‍යා ක්ෂේත්රයේ තනතුරුවලට පමණක් නොව ප්‍රංශයේ සහ ඉන්දියාවේ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ තානාපති සේවය අනුවද එතුමාගෙන් ඉතා විශිෂ්ට සේවයක් වූ බවද ඉතා ප්රකටය.
මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතාගේ විශේෂිත වූ දායකත්වයෙන් නූතන තාක්ෂණික උපකරණ සහිත සීගිරි කෞතුකාගාරය 2009 ජූලි 28 වැනිදා විවෘත වූයේය. එය ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ අනුග්‍රහ‘යෙන් නිර්මාණය කරන ලදී.
වර්ග මීටර් 4000ක් විශාල ගොඩනැගිල්ලක් වන මෙය නැරඹුම් මැදිරි 06කින්ද සමන්විතය. මීට අමතරව අධ්‍යයන හා පර්යේෂණ කටයුතු කිරීම සඳහා නවීන විද්‍යුත් මාධ්‍යවලින් සහ මුද්‍රිත මාධ්‍යවලින් දායකත්වය ලබාදීමට පුහුණු පිරිසක්ද යොදා ඇත. පරිසර හිතකාමී මෙම සීගිරි කෞතුකාගාරය සැබැවින්ම මාහාචාර්ය සේනක බණ්ඩාරනායක විද්වතාණන්ගේ සිහිනයක් සැබෑවීමක් ලෙසින්ද සැලකේ.
සීගිරිය පිළිබඳ මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා විසින් ලියන ලද පර්යේෂණ වාර්තාව (1982) විශිෂ්ට වූවකි. මෑත භාගයේදී ඒ පිළිබඳ ලියැවුණු අගනා ශාස්ත්‍රීය පර්යේෂණයක් ලෙසින් එය සැලකේ. එතුමා විසින්ම ලියන ලද (සීගිරිය ගැන) ග්‍රන්ථයක මෙසේ සඳහන් වේ.
'ආසියාවේ ප්රමුඛ පෙළේ පුරාවිද්‍යාත්මක ස්ථාන අතුරින් එකක් වූ ද, ලෝක උරුම නගරයක් වූ ද (The World Heritage city) සීගිරියේ රජමාලිගය පිහිටි සීගිරිය පුරාවිද්‍යා ස්ථානය ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ දී නිර්මාණය කරන ලද නගර නිර්මාණ සැලසුම් පුරාණ වාස්තු විද්‍යාත්මක සැලසුම්, ජල තාක්ෂණය, ගෘහ නිර්මාණ, බිතුසිතුවම්, මූර්ති සහ කැටපත් පවුරේ සීගිරි ගීවලින් ද යුක්ත සුවිශේෂී පුරාවිද්‍යාත්මක සංකීර්ණයකි.
ක්‍රිස්තු වර්ෂ 19 වන සියවසේ තරම් කාලයක සිට පුරාවිද්‍යාඥයන්ගේ විශේෂ අවධානයට ලක් වූ සීගිරිය 1890 ගණන්වනවිට පුරාවිද්‍යා සොයාබැලීම සඳහා යොමු වී තිබුණු විශේෂිත ස්ථානයකි. මීටර් 180 (අඩි 600) පමණ උසින් යුතු සීගිරි පර්වතය මධ්‍යගත කොටගෙන ස්වාභාවික වනාන්තරයකින් ද වට වී ඇති අතර, සංස්කෘතික හා සොබාව සෞන්දර්යයෙන්ද යුක්ත පුරාඓතිහාසික හා ප්රාග් ඓතිහාසික යුගයතෙක් අතීතයට සීගිරි පරිසරය දිව යන්නේය.' (Sigiriya – city garden Monasteries painting prof-senakabandaranayake P.9. Central Cultural Fund – 2005)
නූතන ලෝකයේ නව පුරාවිද්‍යාව පිළිබඳ දැනුම මෙරට පුරාවිද්‍යා අධ්‍යයන ක්ෂේත්රයට හඳුන්වාදෙමින් ඉටුකළ මෙහෙය අනුස්මරණීය වේ.
විශේෂයෙන්ම පුරාණ උරුම කළමනාකරණ විෂය පිළිබඳ දැනුම එතුමාගේ නායකත්වය යටතේ ලබා දුන්නේය. පුරාවිද්‍යාව යනු විෂයයන් රැසකගේ දායකත්වයකින් යුක්ත විෂයයකි.
මහාචාර්ය සේනක බණ්ඩාරනායක විද්වතා නවීන තාක්ෂණය හා පරිගණක භාවිතය අනුව වාර්තා සැකසීම සිදු කළේය.ඔහු පුරාවිද්‍යාඥයෙක් මෙන්ම කලා ඉතිහාසඥයෙක්ද විය. එතුමාගේ ආචාර්ය උපාධිය සඳහා පැරණි ලංකාවේ ආරාමික වාස්තුවිද්‍යාව පිළිබඳ ග්රන්ථයට නෙද්ර්ලන්තයෙන් ආචාර්ය උපාධිය පිරිනැමිණි.
එම ග්‍රන්ථය පුරාණ ලංකාවේ බෞද්ධ ආරාම ආශ්රිත වාස්තු විද්‍යාව පිළිබඳ පර්යේෂණයක් ලෙසින් දේශීය සහ විදේශීය විද්වතුන්ගේද සම්භාවනාවට භාජනය වී ඇත.
නේපාලයේ ලුම්බිණියේ සිදුහත් කුමරු උපත සිදුවූ පුදබිම 2011 – 2013 තෙක් එංගලන්තයේ ඩරම් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය රොබින් කොනිංහැම් ප්රමුඛ පුරාවිද්‍යාඥයන් විසින් පර්යේෂණයක් සිදුකරන ලදී. ඒ පුරාවිද්‍යා කැණීම සිදුකළේ සිදුහත් කුමරු උපන් මායාදේවී විහාරය (ඒ විහාරය සිදුහත් කුමරු උපන් සල් වෘක්ෂය වටා සාදන ලද්දකි) ආශ්‍රිතවය.
මෙම පුරාවිද්‍යා කැණීමේදී මහාචාර්ය රොබින් කොනිංහැම්ගේ පුරාවිද්‍යා කැණීම් පර්යේෂණ වාර්තාව සඳහන් කරන්නේ ලංකාවේ පුරාවිද්‍යා මහාචාර්ය සේනක බණ්ඩාරනායක විද්වතා විසින් බෝධිඝරය පිළිබඳ ලියන ලද පර්යේෂණය උපයෝගී කරගෙන තිබූ අයුරින් මෙම මායාදේවි විහාරය ආශ්‍රිතව එදා (බෝධිඝරයක් ලෙසින්) එම සල් වෘක්ෂය වටා සාදා තිබුණු බවය.
මහාචාර්ය රොබින් කොනිංහැම් එහිදී මාහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා ලියූ (Sinhalese Monastic Architecture – The Vihara Of Anuradhapura Prof.SenakaBandaranayake P.161 1974 Leiden E.J.Brill) ගැනද සඳහන් කරයි. (Antiquity University Of Dharam. Report onLumbini Excavation p.1113 – 2013)
ජාත්‍යන්තර වශයෙන් මහාචාර්ය සේනක බණ්ඩානාරයක මහතාගේ පුරාවිද්‍යා පර්යේෂණය ගැන ඉතා මෑත භාගයකදී කළ සඳහනක් එසේ ඉදිරිපත් කළේ එතුමාගේ මෙම පර්යේෂණ ජාත්‍යන්තර පුරාවිද්‍යාඥයන් අතරේ කෙතරම් ප්‍රචලිත වීද යන්න පිළිබඳ එක් සාක්ෂියක් ලෙසින් පමණි.
විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකු ලෙසින් සිය විෂය පිළිබඳ නිබඳවම පර්යේෂණය පැවැත්වීමද ශිෂ්‍ය ප්‍රජාවට නව දැනුම පොත්පත් ලිවීමද (ග්රන්ථකරණය) සිදුකළ යුතු වන්නේය. මේ සියල්ලෙන්ම පරිපූර්ණ වූ මහාචාර්ය සේනක බණ්ඩාරනායක පඬිවරයා විසින් ලියන ලද ශාස්ත්‍රීය ග්රන්ථ දහයකට වඩා අධිකය. ශාස්ත්‍රීය ලිපි දහස් ගණනකි.
එයින් ලොව පුරා ප්‍රකට ග්රන්ථ අතරේ 'The rock and wall Painting Of Sri Lanka' නම් ග්‍රන්ථය වසර 2000කට වඩා ඈත අතීතයකට දිවයන මෙරට කලා ඉතිහාසය (බිතුසිතුවම්) ආශ්‍රිතව ලියන ලද ඉතා ප්‍රකට ග්රන්ථයකි. 1999දී ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා ලෙසින් පත් කරන ලද මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා යුනෙස්කෝහි ශ්‍රී ලංකාව නියොජනය කරන ලද නිත්‍ය නියෝජිතයා ලෙසට ද පත් කරන ලදී.
විදේශීය විශ්ව විද්‍යාලවලද පුරවිද්‍යා විෂය පිළිබඳ දේශන පැවැත්වීම සඳහා එතුමාට අවස්ථා ගණනාවක්ම ලැබී තිබුණි.
මේ සියල්ලෙන්ම පරිපූර්ණ වූ මහාචාර්ය සේනක බණ්ඩාරනායක විද්වතාණෝ ඉතා සරල චාම් ජීවිතයක් ගත කළ පඬිවරයෙකි. පුරාවිද්‍යා විෂය වෙනුවෙන් සිය ජීවිතය කැපකළ එතුමා විද්‍යාජෝති නම් වූ ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලැබීය. එතුමාගේ වියෝවෙන් සිදුවූ ඒ අඩුපාඩුව පිරිමැසීමට නොහැකිය. මේ සියල්ල සමග එතුමා ඉතා සුහද වූ ද, විශ්වවිද්‍යාල ප්‍රජාව අතර මෙන්ම සමාජය තුළද බැබළුණු චරිතයක් ලෙසින් සඳහන් කළ යුතුය. එතුමාට අපි නිවන් සුව පතමු.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂ සිරිසමන් විජේතුංග
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd