Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 06 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 06 වන සිකුරාදා
භාරත ලක්ෂ්මන් මහතා ඇතුළු සිවු දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි විත්තිකරුවන් දහතුන්දෙනාගෙන් විත්තිකරුවන් අට දෙනෙකු නිදොස් කොට නිදහස් කළ එම නඩුව විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල චෝදනාවන්ට වරදකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට මරණ දඬුවම නියම කළේය.
භාරත ලක්ෂ්මන් මහතා මෙන්ම ඔහුගේ ආරක්ෂක නිලධාරීන් ලෙස කටයුතු කළ තිදෙනාගේ ඝාතනයන්ට මෙම විත්තිරුවන් වරදකරුවන් බව පිටු 297කින් යුත් බෙදුණු තීන්දුවකින් මගින් තීරණය කළ එම නඩුව විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විත්තිකරුවන් සියලු දෙනාටම මරණ දඬුවමට අමතරව වසර 24 1/2 බැගින් බරපතළ වැඩ සිහිත සිර දඬුවම් මෙන්ම රුපියල් 40,000 බැගින් වූ දඩද නියම කළේය.
විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කොට තිබූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි මෙම නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුවරුන් වන පද්මිණි රණවක මහත්මිය හා එම්.සී.බී.එස්. මොරායස් මහතා විසින් බහුතර තීන්දුවකින් විත්තිකරුවන් පස්දෙනාට නියම කළ මෙම දඬුවම්වලට අමතරව ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සිහිත සිර දඬුවමක්ද නියම කෙරිණි.
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ ශිරාන් ගුණරත්න මහතා විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කොට තිබූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි සඳහන් කරමින් මෙම විත්තිකරුවන් පස්දෙනා ඇතුළු සියලුම විත්තිකරුවන් සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතු යැයි තීරණය කළේය.
බහුතර තීන්දුවට අනුව මෙලෙස දඬුවම් නියම වූයේ නඩුවේ පළමුවැනි විත්තිකාර විතානගේ අනුර තුෂාර ද මෙල්, 03 වැනි විත්තිකාර ශ්‍රීනායක පතිරණගේ චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, කෝවිලේ ගෙදර දිසානායක මුදියන්සේලාගේ සරත් බණ්ඩාර, දැනට අතරුදන්ව සිටින දිසානායක මුදියන්සේලාගේ ප්‍රියන්ත ජනක බණ්ඩාර ගලගොඩ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමාදුර ලෝරන්ස් රෙමෙලෝ දුමින්ද සිල්වා නමැත්තන්ටය.
චෝදනාවන් ඔප්පු කොට නොමැති බව තීරණය කරමින් මෙලෙස නිදහස් කරන ලද්දේ මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වූ චන්දන ජගත් කුමාර, ලංකා රසාංජන, මාලක සමීර, විදානගමගේ අමිල, සුරංග ප්‍රේමලාල්, චමින්ද සමන් කුමාර අබේවික්‍රම, රෝහණ මාරසිංහ, නාගොඩ ලියනාරච්චි ශමින්ද නමැත්තන්ය.
මෙම නඩුව විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සලකමින් විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුමැතිය ලැබීම නිසා නඩුව විභාග කිරීමට පත් කළ මහාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න (සභාපති), පද්මිණි රණවක, එම්.සී.බී.එස්. මොරායස් මහත්ම මහත්මීන් ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් හමුවේ නඩුව විභාග කෙරිණි.
2011 ඔක්තෝබර් මස 08 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බස්නාහිර පළාත් සභා ඡන්දය පැවැති දින අංගොඩදී නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් හිටපු ඇමතිවරයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, ජලාබ්දීන් මොහෙමඩ් අසීම්, මනිවෙල් කුමාරස්සාමි සහ දමිත දර්ශන ජයතිලක නමැත්තන්ගේ මරණ සිදු කළ බවද රාජ්පුරගේ දමිත දර්ශන ජයතිලක නමැත්තාට වෙඩි තබා මරා දැමීමට තැත් කරන ලදැයිද නීතිපතිවරයා චෝදනා නගා ඇත.
2011 ඔක්තෝබර් මස 08 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බස්නාහිර පළාත් සභා ඡන්දයේදී ඡන්දදායකයන්ට ගිනිඅවි පෙන්වා සාපරාධී ලෙස බියගැන්වීම පොදු අරමුණ කරගත් නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් අංගොඩ රාහුල විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානයේ සිටි පිරිසට බලහත්කාරය හා ප්රචණ්ඩත්වය යොදා කැරලි ගැසූ බවටද, එහි රාජකාරියේ යෙදී සිටි දමිත් සුරංග නමැති පොලිස් නිලධාරියාගේ පපුවට පිස්තෝලයක් තබා තර්ජනය කළ බවටද නීතිපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නගා ඇත.
2015 ඔක්තෝබර් මස 12 වැනිදා මෙම නඩුවේ සාක්ෂි විභාග කිරීම ආරම්භ කරන ලද අතර, එදින සිට මේ දක්වා දින 52 ක කාලයක් පුරා මෙම නඩුවේ සාක්ෂි විභාග කරන ලද අතර, එහිදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 42ක්ද, භාණ්ඩ 86ක්ද, ලේඛන 126ක්ද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැමිණිල්ලේ නඩුව අවසන් කරන ලදී.
ඉන් අනතුරුව විත්තිය වෙනුවෙන් තුන්වැනි විත්තිකාර දෙමටගොඩ චමින්ද නමැත්තා වෙනුවෙන් ආගමන විගමන පාලක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකුද, දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් ඔහුගේ පියා වන වින්සන්ට් ප්‍රේමලාල් ද සිල්වා මහතාද සාක්ෂි දුන් අතර, විත්තිකරුවන් සියලු දෙනාම විත්ති කූඩුවේ සිටම ප්‍රකාශ ලබා දුන්හ.
මේ සාක්ෂි විභාගය අතරතුර පැමිණිල්ලේ ඉල්ලීමකට අනුව විනිසුරු මඬුල්ල අපරාධ ස්ථානය නැරඹීමටද ගියහ. ඉන්පසු පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාද විත්තිකරුවන් වෙනුවෙන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුද දේශන ඉදිරිපත් කළහ.
වසර එකහමාරක කාලයක් පුරා නඩුව විභාග කිරීමෙන් අනතුරුව පසුගිය ජූලි මස 14 වැනිදා මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ඊයේ (08දා) දිනයට නියම විය.
මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ ඊයේ (08දා) දිනය වනවිට කොළඹ මහාධිකරණ සංකීර්ණයට පිවිසෙන අලුත්කඩේ මාර්ගයට මෙන්ම මහාධිකරණ සංකීර්ණ පරිශ්‍රය තුළටද ගිනිඅවි සහිත පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් හා පොලිස් නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව සලසා තිබිණි.
කොළඹ මහාධිකරණ පොලිස් මුරපොළේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උඩුවැල්ල මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ අධිකරණය තුළ හා ඒ අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූ අතර, මෙම නඩුවට අදාළ පුද්ගලයන් පමණක් අධිකරණ ශාලාව තුළට ගැනීමට ඒ අනුව කටයුතු කෙරිණි. යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් හා විශේෂ පුහුණුව ලත් පොලිස් නිලධාරීන් යොදවා අධිකරණ ශාලාව පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව උදෑසන 9.30 ට පමණ පිටස්තර පුද්ගලයන් දැඩි සෝදිසි කිරීම්වලින් අනතුරුව අධිකරණ ශාලාවට ඇතුළත් කරන ලදී. උදෑසන 9.45 පමණ වනවිට මෙම සිද්ධියට අදාළව රිමාන්ඩ් භාරයට පත් කොට සිටි දෙමටගොඩ චමින්ද හා සරත් බණ්ඩාර නමැති විත්තිකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණ ශාලාවට කැඳවාගෙන පැමිණි අතර, ඒ වනවිට දුමින්ද සිල්වා මහතා හැර සෙසු විත්තිකරුවෝ අධිකරණ ශාලාවට පැමිණ සිටියහ.
උදෑසන 9.50 පමණ වනවිට දුමින්ද සිල්වා මහතා අධිකරණයට පැමිණියේ ඔහුගේ පියා වන වින්සන්ට් සිල්වා මහතා සහ සහෝදරියන් සමගිනි.
උදෑසනම භාරත ලක්ෂ්මන් මහතාගේ බිරිඳ අධිකරණයට පැමිණ සිටි නමුත්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණ කටයුතු ආරම්භ කිරීමට සුළු වේලාවකට පෙර අධිකරණ ශාලාවට පැමිණියාය.
ඉන් සුළු වේලාවකට පසු උදෑසන 10.35 ට පමණ විනිසුරු මඬුල්ල විනිශ්චයාසනාරූඪ වූ අතර, සුළු මොහොතක් පමා වීම සම්බන්ධයෙන් විනිසුරු මඬුල්ල කනගාටුව පළ කළේය.
ඉන් අනතුරුව විත්තිකරුවන් විත්ති කූඩුවට නැංවූ පසු උදෑසන 10.40 ට පමණ සාමාජික විනිසුරු පද්මිණි රණවක ගුණතිලක මහත්මිය විසින් නඩු තීන්දුව කියවීම ආරම්භ කරන ලද අතර, විනාඩි 25 ක පමණ කාලයක් පුරා පිටු 297කින් යුත් නඩු තීන්දුවේ වැදගත් පිටු විශාල ප්‍රමාණයක් අධිකරණය හමුවේ කියැවීය.
11 වැනි විත්තිකාර දුමින්ද සිල්වා මහතාට තිබූ දේශපාලන සම්බන්ධතා අනුව හා ඔහුගෙන් ඒ කාලයේ තිබූ බලපෑම් මත සමහර පුද්ගලයන් ඒ කාලයේ පක්ෂග්රාහීව රහස් පොලීසියට ප්‍රකාශ ලබා දී ඇති බව අධිකරණය නිරීක්ෂණය කළේ යැයි සඳහන් කළ විනිසුරුවරිය මෙම නඩුවේදී පොලිස් නිලධාරීන් ප්‍රකාශ ලබාදුන් ආකාරය අනුව ඔවුන් කෙරෙහි දැඩි විශ්වාසයක් අධිකරණයට ඇති බවද සඳහන් කළාය.
මෙම නඩුවට පාදක වූ දිනය මැතිවරණ දිනයක් බවත්, එදින ඡන්ද කලබල ඇති කිරීමේ පොදු අරමුණ ඉටු කරගැනීම සඳහා කටයුතු කිරීමේදී මෙම සිද්ධිය සිදු වී ඇති බවත් තීන්දුවේ සඳහන් කොට ඇතැයි සඳහන් කළ විනිසුරුවරිය එදින මෙම නඩුවේ 11 වැනි විත්තිකාර දුමින්ද සිල්වා මහතාගේ නායකත්වයෙන් යුතුව මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් කටයුතු කොට ඇති බව පෙනෙන්නට ඇතැයිද කීවාය.
දුමින්ද සිල්වා මහතාගේ නායකත්වයෙන් යුතු සෙසු විත්තිකරුවන් එදින උදෑසන වැල්ලම්පිටිය තමිල්නාඩුවත්තේ සිට ඇති බවත්, එතැන සිට අංගොඩ, හිඹුටාන, මුල්ලේරියාව වැනි ප්‍රදේශවලදී රාහුල විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානය, කන්දේ විහාර ඡන්ද මධ්‍යස්ථානය, රාජසිංහ විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානය හා ඉන් අනතුරුව මෙම නඩුවේ ප්‍රධානම සිද්ධිය සිදු වූ ස්ථානයට ගමන් කර ඇති බව සාක්ෂි මගින් හෙළි වන බව කී විනිසුරුවරිය ඔවුන් එලෙස ගමන් කරන අතර ඡන්ද කලබල ඇති කරමින් එහි සිටි පුද්ගලයන්ට පහරදීම් ආදිය සිදු කළ බව සාක්ෂි මගින් හෙළි වී ඇතැයිද සඳහන් කළාය.
11 වැනි විත්තිකාර දුමින්ද සිල්වා මහතාගේ නායකත්වයෙන් යුතුව කටයුතු කිරීමේදී මෙම නඩුවට අදාළ සිද්ධිය සිදු වී ඇති අතර, ඔහුගේ ක්‍රියාකලාපය නිසා මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවත්, ඒ හේතුව මත භාරත ලක්ෂ්මන් මහතා ඇතුළු පුද්ගලයන්ගේ මරණ සිදු වී ඇති බවත් තීන්දුවේ සඳහන් බව පැවසූ විනිසුරුවරිය විත්තිකාර දුමින්ද සිල්වා මහතා භාරත ලක්ෂමන් මහතා සමග දැඩි වෛරයකින් පසු වූ බව දුමින්ද සිල්වා මහතාගේ පෙර හැසිරීම මගින් පෙනෙන්නට ඇතැයිද සඳහන් කළාය.
භාරත ලක්ෂමන් මහතාගේ මෙන්ම ඔහුගේ ආරක්ෂක නිලධාරීන්ගේ මරණ සිදු වී ඇත්තේ ටී-56 ගිනි අවියකින් නිකුත් වූ උණ්ඩ වැදීමෙන් බවත්, එම ටී-56 ගිනි අවිය හමුදාව හා කොටි සංවිධානය අතර පැවැති යුද්ධයේදී අස්ථානගත වූ එකක් බවත් සඳහන් කළ විනිසුරුවරිය භාරත ලක්ෂ්මන් මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු වූ උපාලි නමැත්තාගේ ගිනිඅවියෙන් නිකුත් වූ උණ්ඩවලින් දුමින්ද සිල්වා, රෝහණ මාරසිංහ සහ එන්.එල්. ශාමින්ද නමැත්තන්ට තුවාල සිදු වී ඇති බවද සඳහන් කළාය.
භාරත ලක්ෂ්මන් මහතාගේ හිසේ පිටුපසට ටී-56 ගිනි අවියකින් නිකුත් වූ උණඩයක් වැදීමෙන් මොළය දැඩි ලෙස හානිවීමෙන් ඔහුගේ මරණය සිදු වී ඇති බවත්, අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ සාක්ෂියට අනුව මෙම වෙඩි පහර වැදීමත් සමග ක්ෂණිකව භාරත ලක්ෂ්මන් මහතාගේ මරණය සිදු වී ඇති බවත් තීන්දු කළ විනිසුරු මඬුල්ල මෙම අපරාධය සිදු කිරීම සඳහා සෙසු විත්තිකරුවන් සිවුදෙනා සක්‍රියව දායකත්වය ලබා දී ඇති බවද තීන්දු කළේය.
දුමින්ද සිල්වා මහතාට වෙඩි වැදීම නිසා ඔහුට අමතක වීම් සිදුවිය හැකි බවත්, දුමින්ද සිල්වා සිද්ධිය වනවිට මත්පැන් බී සිට ඇති බවට සාක්ෂි ඇතිමුත් භාරත ලක්ෂ්මන් මහතා මත්පැන් පානය කොට ඇති බවට සාක්ෂි ඉදිරිපත්ව නැතැයිද සඳහන් කළ විනිසුරු මඬුල්ල දුමින්ද සිල්වා මහතා ඔහුගේ පොදු අරමුණ ඉෂ්ට කරගැනීමට කටයුතු කිරීම නිසා මෙම සිද්ධිය සිදු වී ඇතැයිද, ඒ අනුව ඔහු මෙන්ම ඔහුගේ නායකත්වය යටතේ කටයුතු කළ සෙසු සියලුම විත්තිකරුවන් ඊට වගකිවයුතු යැයිද සඳහන් කළේය.
කෙසේ නමුත් මෙම නඩුවේදී 2, 4, 5, 6, 8, 9, 12 සහ 13 වැනි විත්තිකරුවන්ට එරෙහිව වූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීන්දු කළ විනිසුරු මඬුල්ල එම විත්තිකරුවන් අට දෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය.
මෙහි පළමු විත්තිකාර අනුර තුෂාර ද මෙල් නමැත්තා පොලිස් නිලධාරියෙකු වුවද මෙම නඩුවේ විත්තිකරුවන් වූ සෙසු විත්තිකාර පොලිස් නිලධාරීන් සිවුදෙනා ලෙස කටයුතු කොට නැතැයිද, ඔහු දුමින්ද සිල්වා මහතාගේ බලය අතට ගෙන කටයුතු කොට ඇතැයිද තීරණය කළ විනිසුරු මඬුල්ල ඔහුට එරෙහි චෝදනා 07කට ඔහු වරදකරු බව තීරණය කළේය.
විත්තිකාර දුමින්ද සිල්වා මහතා ඔහුට පළමුව වෙඩි වැදී ඇති බව කීවද මෙම සම්පූර්ණ සිද්ධියට නායකත්වය ලබා දී ඇත්තේ ඔහු බවත්, ඔහුගේ පොදු අරමුණ ඉෂ්ට කරගැනීමට කටයුතු කිරීමේදී මෙම අපරාධ සිද්ධිය වී ඇති බවත් තීරණය කළ විනිසුරු මඬුල්ල තමන්ට මෙන්ම භාරත ලක්ෂ්මන් මහතාගේ ආරක්ෂාව සඳහාද පොලිස් නිලධාරීන් සිටින බව දුමින්ද සිල්වා මහතා දැනගත යුතු බවත්, මෙවැනි සිද්ධියක් ඇති වුවහොත් ආරක්ෂක පොලිස් නිලධාරීන් වෙඩි තබනු ඇති බව ඔහු දැනගත යුතු බවත් සඳහන් කළේය.
විනිසුරු පද්මිණි රණතුංග මහත්මියගේ තීන්දුව සම්බන්ධයෙන් තමන් එකඟ වන බව විනිසුරු එම්.සී.බී.එස්. මොරායස් මහතා මේ අවස්ථාවේදී අධිකරණය අමතමින් සඳහන් කළේය.
ඒ අනුව උදෑසන 11.05 ට පමණ නිදහස් කළ විත්තිකරුවන් අටදෙනා විත්ති කූඩුවෙන් බිමට බස්සවා අධිකරණ ශාලාවෙන් පිටත් කර හැරි අතර, සෙසු විත්තිකරුවන් පස්දෙනා අතුරින් අධිකරණයේ නොමැති ගලගොඩ නමැති විත්තිකරු හැර අනෙකුත් විත්තිකරුවන් සිවුදෙනා විත්ති කූඩුවට නංවන ලදී.
ඉන් අනතුරුව වෙනම තීන්දුවක් ප්‍රකාශයට පත් කළ මෙම විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න මහතා සිය තීන්දුවේ වැදගත් කොටස් අධිකරණය හමුවේ කියවමින් යම් යම් හේතූන් නිසා අපරාධයකදී තමන් දකින දේ නොකියන අවස්ථා දැකිය හැකි යැයි සඳහන් කළේය.
මෙම නඩුවේ තුන්වැනි විත්තිකරු අත්අඩංගුවට ගැනීමේ විෂමතාවක් ඇතැයිද, ඒ අනුව මෙම විමර්ශනය සිදුකළ ආකාරය පිළිබඳ බලවත් සැකයක් ඇතැයිද තීන්දු කළ සභාපති විනිසුරුවරයා තුන්වැනි විත්තිකරුට අයත් කුලියට ලබා දී ඇති නිවසක තිබී මෙම අපරාධයට යොදාගත් ගිනිඅවිය සොයාගත්තද, එම අවි සොයාගැනීම සඳහා ගත වී ඇති කාලය සලකා බැලීමේදී ඒ පිළිබඳ සැකයක් මතුවන්නේ යැයි සඳහන් කළේය. මෙම සිද්ධියේ විමර්ශන නිලධාරීන් නිසි ලෙස විමර්ශනයක් සිදු කර නැති බවත්, මෙම විමර්ශනය පිළිබඳ බලවත් සැකයක් මතුවන බවත් කී විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති බව සිය තීන්දුවේ සඳහන් කළේය.
මේ අනුව මෙම අපරාධය සිදු කළේ මෙම විත්තිකරුවන්ද යන්න පිළිබඳ බලවත් සැකයක් මතුවන බව තීන්දු කරමින් මතුවන සැකයේ වාසිය විත්තිකරුවන්ට දිය යුතු බව සඳහන් කළ විනිසුරුවරයා, ඒ අනුව විත්තිකරුවන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කිරීමට තමන් තීරණය කරන්නේ යැයි පැවසීය.
බහුතර තීන්දුවට අනුව විත්තිකරුවන් වරදකරුවන් බව තීරණය කොට ඇති හෙයින් විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීමට පෙර, ඔවුන්ගේ දඬුවම් අඩු කරගැනීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස විත්තිකරුවන්ගේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය. ඒ අනුව නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය අමතමින් මිනීමැරීමේ චෝදනාවට තම සේවාදායකයා වරදකරු කර ඇති හෙයින්ද, එයට ලබාදිය යුතු දඬුවම මරණ දඬුවම බව නිශ්චිත හෙයින්ද දඬුවම් අඩු කිරීමට කරුණු ඉදිරිපත් කොට අධිකරණයේ කාලය නාස්ති කිරීමට තමන් අදහස් නොකරන හෙයින් අධිකරණයෙන් ලබාදෙන දඬුවම තමන් පිළිගන්නේ යැයි කීය.
නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා තුන්වැනි විත්තිකරු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් මෙම තීන්දුව ලිවීමේදී ඇති වූ ගැටලු මත බෙදුණු තීන්දුවක් ලබා දී ඇති බවත්, ඒ අනුව තම සේවාදායකයාට ලිහිල් දඬුවමක් නියම කරන්නැයිද ඉල්ලා සිටියේය.
නීතිඥ රවීන්ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කරමින් එම කරුණු තම සේවාදායකයා වෙනුවෙන්ද අදාළ කරගන්නා ලෙස ඉල්ලා සිටියේය.
විත්තිකාර දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු ඉදිරිපත් කරමින් බරපතළ මොළයේ අමාරුවකින් පෙළෙන තම සේවාදායකයාට යම් තැතිගැන්මක් ඇති වුවහොත් ඔහු සුවකළ නොහැකි ලෙස රෝගී විය හැකි බව ඔහුට ප්‍රතිකාර කළ සිංගප්පූරු රෝහලේ විශේෂඥ වෛද්‍ය කීත් ගෝ මහතා සඳහන් කොට ඇතැයි කීය.
කෙසේ නමුත් මේ වනවිට තම සේවාදායකයා වරදකරු කොට ඇති හෙයින් දැන් කිරීමට දෙයක් නැතැයිද, විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා තමන්ගේ සියලු නීතිමය කරුණු සැලකිල්ලට ගෙන ඇතැයිද කී ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා තම සේවාදායකයා වරදකරු කරන ලෙස විශාල වශයෙන් බාහිර බලපෑම් පැමිණි බව තමන් දන්නා නමුත් මෙම උසාවියට බලපෑම් පැමිණි බව තමන් පවසන්නේ නැතැයි පැවසීය.
සිංගප්පූරූ රෝහලේ විශේෂ්‍යඥ වෛද්‍ය කීත් ගෝ මහතාගේ වාර්තාවේ සඳහන් සමහර කරුණු අධිකරණය හමුවේ කියවමින් ඒ පිළිබඳ අධිකරණයේ අවධානය යොමු කළ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා තම සේවාදායකයාට ඇතිවිය හැකි තත්ත්වය ගැන සැලකිල්ලට ගෙන ඔහුට ලිහිල් දඬුවමක් පනවන්නැයි ඉල්ලා සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා සඳහා ලබාදිය හැකි දඬුවම් පිළිබඳ අධිකරණයේ අවධානය යොමු කළේය. ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරිය ඡන්දදායකයන් බියගැන්වීම පොදු අරමුණ කරගත් නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කිරීමේ චෝදනාවට විත්තිකරුවන්ට මාස 06 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් හා රුපියල් 10,000 බැගින් දඩ නියම කළ අතර, එම දඩ මුදල් නොගෙවුවහොත් මාස තුන බැගින් සිර දඬුවම් නියම කළේය.
එම නීතිවිරෝධී රැස්වීමේ සාමාජිකයන් ලෙස කටයුතු කරමින් රාහුල විද්‍යාලයීය ඡන්ද මධ්‍යස්ථානය අසලදී තිදෙනෙකුට බැණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් වෙන වෙනම වසර 02 බැගින් වසර හයක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ අතර, එම දඬුවම්වලට අමතරව රුපියල් 10,000 බැගින් රුපියල් 30,000 දඩ නියම කළේය. එම දඩ මුදල් නොගෙවුවහොත් අමතක කෙරිණි.
මෙම අපරාධ සිදු කිරීම සඳහා ගිනිඅවි භාවිත කිරීමේ චෝදනාවන්ට විනිසුරු මඬුල්ල විත්තිකරුවන්ට ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් නියම කළේය.
මෙම සිද්ධියේදී භාරත ලක්ෂ්මන් මහතාගේ සහ තවත් තිදෙනෙකුගේ මරණ සිදු කිරීමේ චෝදනාවන්ට දඬුවම් ලෙස මරණ දඬුවම් නියම කළ යුතු බවත්, එම දඬුවම නියම කිරීමට පෙර පැවසිය යුතු යමක් ඇත්නම් පවසන ලෙසත් විත්තිකරුවන්ට දැනුම් දුන්නේය. ඒ අනුව පළමු විත්තිකාර මෙල් නමැත්තා අධිකරණය අමතමින් මෙම චෝදනාවන්ට තමන් නිර්දෝෂී යැයි කීය.
දෙමටගොඩ චමින්ද නමැත්තා අධිකරණය අමතමින් “මේ නඩුවේ සාක්ෂි දෙන විට මං අහගෙන හිටියා. මං බොරු කිව්වේ නැහැ. මං නිර්දෝෂීයි" යැයි කීය. සරත් බණ්ඩාර නමැත්තා අධිකරණය අමතමින් "මං එතැන හිටියේ නැහැ. තමිල්නාඩු වත්තට මං උදේ ආවාට දවල් වනවිට මං එතැනින් ගියා. මං නිර්දෝෂීයි" කීය.
විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අධිකරණය අමතමින්, "මං කිසි දෙයක් කරලා නැහැ. මං මේ කිසිදේකට සම්බන්ධ නැහැ. මේ සියලු දේවලට මං නිර්දෝෂී කෙනෙක්" යැයි කීය.
ඉන් අනතුරුව විනිසුරු මඬුල්ල ඇතුළු අධිකරණ ශාලාවේ අසුන් ගෙන සිටින සියලු දෙනාම නැගී සිටි අතර, අධිකරණ ශාලාවේ දැල්වෙමින් තිබූ විදුලි බුබුළු හා ක්‍රියාත්මක වෙමින් තිබූ විදුලි පංකා අක්‍රිය කොට තිබියදී විත්තිකරුවන්ට මරණීය දඬුවම් නියම කෙරිණි.
විත්තිකරුවන් වැලිකඩ බන්ධනාගාරයට ගෙනගොස් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා නියම කරන දිනයක හා වේලාවකදී විත්තිකරුවන්ගේ ගෙළ වැළලා ප්‍රාණය නිරුද්ධ වනතුරු බෙල්ලෙන් එල්ලා තැබීමට නියම කෙරුණු අතර, අදාළ දඬුවම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විනිසුරු මඬුල්ල විනිශ්චයාසනයෙන් බැස ගියහ.
ඉන් අනතුරුව විත්තිකරුවන් දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඔවුනගේ ඇඟිලි සලකුණු ගැනීම සඳහා මහාධිකරණ පොලිස් මුරපොළ වෙත කැඳවාගෙන යනු ලැබිණි.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.
පළමු විත්තිකරු වෙනුවෙන් නීතිඥ ඉරෝමි ජයරත්න, අනුෂ්කා සමගලියනාරච්චි, නයනා දිසානායක, සනත් වික්‍රමසිංහ, මහින්ද මතුගම සමග නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතාද, 2, 4, 5, 6, 8, 9 විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ කිතිසිරි ලියනගේ, රෝහිත රාජපක්ෂ, සමග නීතිඥ අශෝක වීරසූරිය මහතාද, 03 සහ 07 විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ රවින්ද්‍ර සිල්වා මහතාද, 11 වැනි විත්තිකරු වෙනුවෙන් නීතිඥ ලසන්ත මනෝජ් නානායක්කාර, දන්ත නිරංජන්, ධනරාජ් සමරකෝන්, චන්දික පීරිස් සමග ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතාද, 13 වැනි විත්තිකරු වෙනුවෙන් නීතිඥ සංකනාත් රත්නායක, උදාර විජේසිංහ යන මහත්වරුද පෙනී සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd