එළඹෙන සැප්තැම්බර් මස පළමුවැනිදා සිට පොලිතින් හා ප්ලාස්ටික් තහනම ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ අනුව එදින සිට පොලිඑතිලින් ආහාර දවටන (Polyethylene lunch sheets), සිලි සිලි මලු ඇතුළු වැඩි ඝනත්වයකින් යුතු පොලිඑතිලින් මලු (High Density Polyethylene), ප්‍රසාරිත පොලිස්ටයරින්වලින් නිෂ්පාදිත ආහාර බඳුන් (Expanded polystyrene lunch box) ආදිය නිෂ්පාදනය විකිණීම සහ භාවිතය තහනම් වනු ඇත.
එහෙත් අද වනවිට පොලිතින් එදිනෙදා කටයුතු පහසුවෙන් සිදුකරගැනීම සඳහා මිනිසාට අත්‍යවශ්‍යම සාධකයක් ලෙස ජනතාව සලකන බැවිනි. කෙසේ වෙතත් අද මේ සටහන ගෙන එන්නේ ඒ අත්‍යවශ්‍යම සාධකයක් ලෙස සැලකූ පොලිතින්වල ඔබ මෙතෙක් නොදත් විග්‍රහයක් ගෙන ඒමටය.
දිගුකල් පවත්නා කාබනික දූෂක සහ එහි අහිතකර බලපෑම්
අනුර ජයතිලක (අධ්යක්ෂ - පරිසර දූෂණ පාලන හා රසායනික ද්‍රව්‍ය කළමනාකරණ අංශය) මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය
''පොලිතින් කියනදේ ගැටලුවක් වෙන්නේ අපි භාවිත කරන ආකාරය අනුවයි. පොලිතින් අවභාවිතය සම්බන්ධ ගැටලුව වඩාත් උග්‍ර අතට හැරුණු නිසයි අද අපිට පොලිතින් හා ප්ලාස්ටික් තහනමක් දක්වා යන්න සිදුවෙලා තිබෙන්නේ. ප්‍රධාන වශයෙන් ඇසුරුම් කටයුතු සඳහා සහ බෝතල්, යන්ත්‍ර සූත්‍ර කොටස්, වාහන අමතර කොටස්, වෛද්‍ය උපකරණ, ආහාර බඳුන් වගේ විශාල පරාසයක් පුරා විහිදුණු භාණ්ඩ විශාල ප්‍රමාණයක් පොලිතින් සහ ප්ලාස්ටික්වලින් නිෂ්පාදනය කරනවා.
පොලිතින් මූලික වශයෙන් ප්ලාස්ටික් කියන වර්ගයට අයත් වෙනවා. ප්ලාස්ටික්, පොලිඑතිලින් වැනි විශේෂිත අණු වර්ග බහු අවයවීකරණයට ලක්වීමෙන් දාමයක් ලෙස සකස් වුණු කෘත්‍රීම ලෙස නිපදවන රසායනික ද්‍රව්‍යක්. ඒ සැකැස්ම නිසාවෙනුයි විවිධ කටයුතු සඳහා භාවිත කරන්න හැකියාවක් තිබෙන්නේ. මේ ප්ලාස්ටික් වර්ග බොහොමයක් අපට ලැබෙන්නේ ඉන්ධනයක් ලෙස යොදාගන්න පෙට්‍රෝලියම් නිස්සාරණයේදී ලැබෙන අතුරුඵලයක් විදියටයි.
මෙහි තිබෙන විශේෂත්වය වෙන්නේ ඉතා මෘදු අවස්ථාවක සිට විවිධාකාරයේ හැඩතලවලට මේවා නිර්මාණය කරගැනීමට ඇති හැකියාව. මේ නිසයි අද ලෝකයේ ප්ලාස්ටික් භාවිතය ඉතාමත් සුලබවී තිබෙන්නේ. මෙවැනි කාබනික රසායනයන් ජෛව විද්‍යාත්මකව සාමාන්‍ය පරිසරයේ සිදුවන ක්‍රියාදාමයන් මගින් විනාශ වෙන්නේ හෝ වියෝජනය වීමක් සිදුවන්නේ නැහැ.
සාධක හේතුකරගෙන පොලිතින් හා ප්ලාස්ටික් නිසා අපිට පාරිසරික ගැටලු, සෞඛ්‍ය ගැටලු, සමාජීය ගැටලු සහ ආර්ථිකමය ගැටලු රැසකට මේ වෙද්දි මුහුණ දෙන්නට සිදුවෙලා තියෙන්නේ. ඒ නිසයි මේ සඳහා නිසි කළමනාකරණයක් සිදුකළ යුත්තේ. මෙම කාබනික විෂ රසායන පරිසරයේ දිගු කලක් රැඳෙමින් තවතවත් ප්‍රදේශ වෙත ගමන් කරනවා.
ඒ වගේම මෙම දිගු කල් පවතින කාබනික දූෂක දෙයාකාරයකින් මිනිසා සහ සතුන්ගේ ශරීරගත වීම සිදුවෙනවා. එනම් මිනිසා සහ අනෙකුත් සතුන්ගේ පටකවල ජීවගත සංචරණය වීම සහ ආහාරදාම ඔස්සේ එකතු වීම හෙවත් ජීවගත විශාලනය සිදුවීම කියන දෙයාකාරයෙන් මේ විෂ කොටස් ජීවීන්ගේ ශරීර තුළට ඇතුළු වෙනවා. ජීවගත සංචරණය වීම පැහැදිලි කරනවා නම් මෙහිදී සිදුවෙන්නෙ පරිසරයේ පවතින රසායනික ද්‍රව්‍ය පරිසර දූෂක වැනි කොටස් ජීවි පද්ධතිය තුළට සාන්ද්‍රණය වීමයි.
මෙහිදී ආහාරදාමයේ ඉහළ මට්ටමකින් ජීවීන්ගේ පටකවල විෂ සහිත රසායන ද්‍රව්‍ය අන්තර්ගත වෙනවා. මීලඟට ජීවගත විශාලනය පැහැදිලි කරනවා නම්, දීර්ඝ කාලීනව පරිසරයේ පවතින දූෂක බැරලෝහ වැනි මිනිසාට අහිතකර රසායනික ද්‍රව්‍ය ආහාරදාම හා ආහාරජාල මගින් ඉහළ පෝෂක මට්ටම් කරා ගමන් කිරීම මෙහිදී සිදුවෙනවා.
පෝෂක මට්ටම්වලදී එම අහිතකර දූෂක ද්‍රව්‍යය පහළ පෝෂක මට්ටම්වලට සාපේක්ෂව ඉහළ සාන්ද්‍රණයකින් පැවතීමේ සංසිද්ධිය තමයි අපි ජීව විශාලනය කියලා හඳුන්වන්නේ.
මෙම ජෛවගත සංසරණය වීම සහ ජෛව විශාලනය වීම දීර්ඝ කාලීනව පරිසරයේ පැවතීම හේතුවෙන් මිනිසා ඇතුළු අනිත් ජීවීන්ගේ සෞඛ්‍යයට සහ පරිසරයට විශාල බලපෑමක් එල්ල කරනවා. දැනට දිගුකල් පවතින කාබනික දූෂක ද්‍රව්‍ය 21ක් පමණ හඳුනාගෙන තිබෙනවා. ඒවායින් ප්‍රධාන වශයෙන් හඳුනාගෙන ඇති පෝෂක ද්‍රව්‍ය 12ක් පමණ තිබෙනවා.
ඇල්ඩ්රින්, ක්ලෝර්ඩේන්, ඩියෙල්ඩ්රින්, එන්ඩ්රන්, හෙප්ටාක්ලෝර්, හෙක්සාක්ලෝරෙබෙන්සීන්, මයිරෙක්ස්, ටොක්සෆීන්, පොලික්ලෝරිනේට්ඩ්බයිසිනයිල්ස් මේවායින් සමහර රසායනික ද්‍රව්‍ය තවමත් ශ්‍රී ලංකාවේ භාවිත වෙනවා සහ ප්ලාස්ටික් විවෘත දහනය නිසා පරිසරයට නිකුත් වන දිගුකල් පවතින කාබනික දූෂක වායු වර්ග දෙකක් තිබෙනවා. ඩයොක්සීන් සහ ෆියුරාන්. මේ වායූන් දෙවර්ගය මිනිසාට සහ පරිසරයට විශාල හානියක් සිදුකරනවා වගේම, ශ්‍රී ලංකාව විසින් භාවිතයෙන් ඉවත් කර තිබෙන දිගුකල් පවතින කාබනික රසායන ලෙස ඩී.ඩී.ටී. සහ ලින්ඩේන් පෙන්වා දෙන්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ දැනට ඉවත් කිරීමට කටයුතු කරගෙන යන රසායන ද්‍රව්‍ය දෙකම පවතින කාබනික රසායන වර්ගයක් තමයි පොලික්ලොරිනෙඩ්බයිෆීනයිල් කියන රසායනික ද්‍රව්‍යය. මේ රසායනය ඇතැම් පරණ transformer වල අඩංගු වෙනවා. 2014 වසරේ ගැසට් පත්‍රයක් මගින් මෙම රසායනිකය ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබෙනවා.
මෙය සම්පූර්ණයෙන්ම පිළිකා කාරකයක්. එය හෝමෝන පද්ධතියට විශාල බලපෑමක් එල්ල කරනවා. 1986 වසරට පෙර නිපදවූ transformerවල මෙම රසායනිකය අඩංගු වුවද දැනට ලෝකයේම මෙය භාවිතයෙන් ඉවත් කර තිබෙනවා.
පොලිතින් සහ ප්ලාස්ටික් පිළිස්සීම හා අපගේ සෞඛ්‍ය
ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර (සෞඛ්‍ය අමාත්‍යාංශය)
පොලිතින් සහ ප්ලාස්ටික් දහනය නිසා පිට කෙරෙන අහිතකර වායූන් හේතුවෙන් සිදුවන වායු දූෂණය මිනිසාගේ සෞඛ්‍ය වෙත විශාල බලපෑමක් සිද්ධ කරනවා. යම් යම් අහිතකර වායූන් දූවිලි සහ ගන්ධයන් පරිසරයට මුසු වීමෙන් ජීවීන්ට අහිතකර බලපෑම් සිදුවීම වායු දූෂණය ලෙස හඳුන්වනවා මෙය කොටස් දෙකකට සිදුවෙනවා.
අභ්‍යන්තර වායු දූෂණය
බාහිර වායු දූෂණය
පොලිතින් සහ ප්ලාස්ටික් නියමිත උෂ්ණත්වවලදී නොමැතිව අඩු උෂ්ණත්ව මට්ටමක දහනය වනවිට කාබන්ඩයොක්සයිඩ්, කාබන්මොනොක්සයිඩ්, ඩයොක්සින්ස්, ෆියුරාන්ස්, පොලිඇරෝමැටික් හයිඩ්‍රොකාබන් වැනි අහිතකර වායූන් විශාල වශයෙන් පරිසරය වෙත මුදා හැරෙනවා.
ශ්වසනය මගින් මේ වායු ශරීරගත වීම නිසා කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ලෙස දෙයාකාරයකින් සෞඛ්‍ය ගැටලු පැන නගිනවා. මෙයින් සුලබව ඇති වෙන්නේ දීර්ඝ කාලීන සෞඛ්‍ය ගැටලු. පෙණහලු ආසාත්මිකතා, පෙණහලුවලට හානි සිදුවීම, ඇදුම වැනි රෝග තත්ත්වයන්, ආඝාතය, හෘද රෝග වගේම, පෙණහලු පිළිකා වැනි බරපතළ රෝගී තත්ත්වයන් පවා මෙමගින් ඇති කරනවා වගේම, ලෝකයේ සිදුකර තිබෙන නවතම පරීක්ෂණවලට අනුව මළ දරු උපත්, අඩු බර උපත්, හෝමෝන පද්ධතියට සිදුවන හානි නිසා මතුවන දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග, මදසරුභාවය යන මෙවැනි රෝගී තත්ත්වවලට පොලිතින් සහ ප්ලාස්ටික් පිලිස්සීමෙන් නිකුත් වන වායූන් හේතුවෙලා තිබෙනවා.
ඒ විතරක් නෙවෙයි නවතම පරීක්ෂණවලට අනුව, මේ තත්ත්වය ලෝකයේ ගැහැනු-පිරිමි සමතුලිතතාවයට වගේම කාන්තාවන්ගේ ඔසප් චක්‍රය වෙතත් බලපෑම් කිරීමට සමත්ව තිබෙන බව. ශ්‍රී ලංකාව ගත් විට ගෘහාශ්‍රිතව සිදුවන වායු දූෂණය ඉතාමත් සුලබයි වගේම විශාල ගැටලුවක් නිර්මාණය කර තිබෙනවා.
මෙම සෞඛ්‍ය ගැටලු මගින් වැඩි බලපෑමක් තිබෙන්නේ නූපන් දරුවන්, තරුණ දරුවන්, ගැබිනි මවුවරුන් කාන්තාවන් සහ වැඩිහිටියන් කියන කාණ්ඩවලට. මෙයින් හොඳින්ම පෙන්නුම් කරන දෙයක් තමයි මේ තත්ත්වය අපේ මුළු මහත් ලෝකයටම විශාල බලපෑමක් එල්ල කරන බව. සෞඛ්‍යමය වශයෙන් ඇති වන ගැටලු, සමාජ ගැටලු සහ ආර්ථික ගැටලු නිර්මාණය කිරීමට සමත් වෙනවා. ඒ නිසා අප සියලුදෙනාම මේ පොලිතින් සහ ප්ලාස්ටික්වල තිබෙන අහිතකර තත්ත්වයන් වටහා ගැනීම ඉතාමත් වැදගත්.