ජනවාරි පළමු වැනිදා තෝරාගත් පොලිතින් නිෂ්පාදන කිහිපයක් සම්බන්ධයෙන් වන තහනම ක්‍රියාත්මක වී මේ වනවිට මාස හයක පමණ කාලයක් ගතව තිබේ. මුල් කාලසීමාව තුළ එහි යම් ප්‍රගතියක් පෙන්නුම් කළද, මේ වනවිට විවිධ ප්‍රදේශවල තහනමට ලක්වූ පොලිතින් නිෂ්පාදන අලෙවි වනු දක්නට ලැබේ. කොළඹ, ගම්පහ, කුරුණෑගල, ගාල්ල සහ මාතර ප්‍රදේශවල %අද^ අප සිදුකළ ගවේෂණයකදීද තවමත් තහනමට ලක්වූ පොලිතින් නිෂ්පාදන හඳුනාගැනීමට හැකි විය. පොලිතින් තහනමේ වත්මන් තත්ත්වය පිළිබඳ වගකිවයුතු පාර්ශ්ව දෙකකින් අප කළ මත විමසුම මෙසේ ඔබ වෙත ගෙන එමු.
සුළු සිදුවීම් වාර්තා වුණත් පොලිතින් සහ ප්ලාස්ටික් තහනම සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙනවා - අජිත් වීරසුන්දර මහතා (අධ්යක්ෂ - අපද්‍රව්‍ය කළමනාකරණ අංශය, මධ්‍යම පරිසර අධිකාරිය)
දශක දෙකකට ආසන්න කාලයක සිටම ශ්‍රී ලංකාව ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් විශාල අර්බුදකාරී තත්ත්වයකට මුහුණපාමින් සිටිනවා. එවැනි තත්ත්වයක් තුළදී අපට පොලිතින් සහ ප්ලාස්ටික් තහනමක් දක්වා යන්න සිදුවුණේ පොලිතින් සම්බන්ධයෙන් අපේ රටේ විශාල ලෙස අවභාවිතාවන් සිදුවන නිසයි.
පොලිතින් සහ ප්ලාස්ටික් මේ ආකාරයෙන් විශාල වශයෙන් අවිධිමත්ව විවෘත පරිසරයට බැහැර කිරීම මානව සෞඛ්‍යයට සැලකිය යුතු බලපෑමක් එල්ල කරන්න සමත් වුණා. ඩෙංගු රෝගයේ වුණත් ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන්න මේ විවෘත පරිසරයට මුදාහැර ඇති පොලිතින් සහ ප්ලාස්ටික් උපකාරී වුණා. ඒ වගේම ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන තම බලප්‍රදේශවල අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කරගැනීමට අසමත් වීම නිසා කුණුකඳු නිර්මාණය වෙලා පසුගිය කාලයේදී අවාසනාවත්ත සිදුවීමකටත් මුහුණ දෙන්න අපට සිදුවුණා.
නමුත් මේ පොලිතින් සහ ප්ලාස්ටික් නියාමනය සම්බන්ධ කටයුතු අපි සූදානම් කර තිබුණේ මීතොටමුල්ලේ ඒ අවාසනාවන්ත සිදුවීමට පෙරයි. ඒ කියන්නේ 2015 වසරේදියි මේ නියාමනයන් ගෙන එන්න කටයුතු සූදානම් කළේ. නමුත් නීති සම්මත කරගනිමින් කැබිනට් අනුමැතිය ලබාගෙන ගැසට් පත්‍රය නිකුත් කරන්න සිදුවුණේ 2017 වසරේ සැප්තැම්බර් මාසයේදියි. එහිදී මානව සෞඛ්‍යයට සහ පරිසරයට වැඩි හානියක් සිදුකළ හැකි තෝරාගත් භාණ්ඩ කිහිපයක්ම තහනමට ලක්වුණා.
මෙම ගැසට් නිවේදනය යටතේ 2017 වසරේ සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ රෙගුලාසි හයක් පැනවීම සිදුකළා. ඒ අනුව ආහාර දැවටීම සඳහා බහුලව භාවිතයට ගන්න ලන්ච් ෂීට් එක පොලිතින් හෙවත් ඝනත්වයෙන් වැඩි පොලිඑතිලින්වලින් හා ඝනත්වයෙන් අඩු පොලිඑතිලින්වලින් නිෂ්පාදනය කිරීම සහ පොලිපොපිලීන්වලින් නිෂ්පාදනය කිරීම තහනමට ලක්කෙරුණා. ඒ වගේම ආහාර රැගෙන යෑමට භාවිත කරපු එක්ස්ටයිරි ෆෝම්වලින් නිෂ්පාදනය කළ රෙජිෆෝම් පෙට්ටියත් තහනමට ලක්කෙරුණා. ඊට අමතරව වැඩි ඝනත්වයෙන් යුතු සාමාන්‍ය පොලිතින් බෑගයත් තහනම් කළා.
2017 වසරේ සැප්තැම්බර් මාසයේදී ගැසට් නිවේදනය නිකුත් කරමින් තහනම ප්‍රකාශයට පත්වුණත් වෙළෙඳ ප්‍රජාව අපගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකළා පවතින නිෂ්පාදන ඉවත් කරගන්න යම් කාලයක් ලබාදෙන ලෙසට. ඒ අනුව අපි වැටලීම් සිදුනොකර ඔවුන්ට 2018 ජනවාරි පළමුවැනිදා වනතෙක් කාලය ලබාදුන්නා. එතනින් පසුව පසුගිය ජනවාරි පළමුවැනිදා සිට නීතිය බලාත්මක කෙරුණා. ඒ අනුව මුළු දිවයිනම ආවරණය වන පරිදි තහනමට ලක්වූ පොලිතින් වැටලීම සිදුවුණා.
සැප්තැම්බර් මාසයේ සිට ජනවාරිය දක්වාත්, ඉන් අනතුරුව මුල් මාස කිහිපය දක්වාත් මේ තහනමේ යහපත් ප්‍රගතියක් දකින්නට ලැබුණා. වැටලීම් පවා නොකඩවා සිදුවුණා. නමුත් මේ වෙද්දි නැවතත් තහනමට ලක්වූ භාණ්ඩ අතරින් පතර විවිධාකාරයෙන් වෙළෙඳ පොළ වෙත පැමිණෙමින් තිබෙන බව අපි පිළිගන්නවා. ජෛව හානියට ලක්වන පොලිතින් බෑගයක සහ ආහාර දවටනයක මිල සාමාන්‍ය බෑගයක හා දවටනයකට වඩා දෙගුණයක් සහ තුන් ගුණයක් මිල අධිකයි. ඒ නිසා සමහර නිෂ්පාදකයන් තහනමට ලක්ව තිබෙන අමුද්‍රව්‍ය යොදාගනිමින් අඩු ඝනත්වයෙන් යුත් පොලිතින් නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කරනවා අඩු මිල ගණන්වලට, ජෛව හානියට පත්වන ප්ලාස්ටික් සහ පොලිතින් මුවාවෙන්. වෙළෙඳ මහතුන් ඒ පිළිබඳ දැනුවත්ව හෝ නොදැනුවත්ව අඩු මිල නිසා ඒ නිෂ්පාදන මිලදී ගන්නවා. ඒ පිළිබඳ විශාල වශයෙන් අපට තොරතුරු වාර්තා වෙමින් පවතිනවා.
අපි මේ වෙද්දිත් නිරන්තරයෙන් වැටලීම් සිදුකරනවා. පසුගිය දිනකත් අපි ප්‍රධාන කර්මාන්ත ශාලාවක් වටලන අවස්ථාවේ එහි තහනමට ලක්වූ පොලිතින් නිෂ්පාදනය කරමින් සිටියා. ඊට අපි දැඩි පියවර ගන්න කටයුතු කළා. නිෂ්පාදකයන්ට, අතරමැදි වෙළෙඳුන්ට සහ භාවිත කරන්නන් කියන පාර්ශ්ව තුනටම අපි නීතිය ක්‍රියාත්මක කරනවා. මෙතනදි %භාවිත කරන්නන්^ කියලා අදහස් වෙන්නේ සාමාන්‍ය පාරිභෝගික ජනතාව නෙවෙයි ආයතන, හෝටල්, වෙළෙඳ සැල් වැනි මහා පරිමාණයෙන් භාවිත වන අවස්ථා තමයි මීට අයත් වෙන්නේ. ජනවාරියේ සිට මේ දක්වා අපි ආයතන 2093කටත් වැඩි ප්‍රමාණයක් පරීක්ෂාවට ලක්කරලා තිබෙනවා. බොහෝමයකට නීතිමය පියවර අරගෙනත් තිබෙනවා.
ඇත්තටම මෙවැනි සුළු සිදුවීම් වාර්තා වුණත් මේ පනවන ලද පොලිතින් සහ ප්ලාස්ටික් තහනම සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ගැසට් නිවේදනය යටතේ අපි සැරසිලි කටයුතු සඳහා පොලිතින් භාවිත කිරීමත් තහනමට ලක්කළා. පසුගිය මැතිවරණ සමයේදී එහි සාර්ථකත්වය අපට හොඳින්ම දකින්න ලැබුණා. ඒ වගේම විවෘත පරිසරයේ පොලිතින් සහ ප්ලාස්ටික් දහනය අපි තහනමට ලක්කළා එය මානව සෞඛ්‍යයට දැඩි අහිතකර බලපෑමක් එල්ල කරන නිසා. ඒ පිළිබඳවත් ජනතාව හොඳින් දැනුවත් වෙලා තිබෙනවා.
නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවන නිසා තහනම් පොලිතින් හැමතැනම තියෙනවා - අනුර හේරත් මහතා (ලේකම් - සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ සහ ප්රතිචක්රියකරන්නන්ගේ සංගමය)
පරිසර දිනයේදි ජනාධිපතිතුමා ප්‍රකාශයක් කළා පොලිතින් තහනමේදී කැබිනට් මණ්ඩලය පවා විරුද්ධ වුණා, පොලිතින් නිෂ්පාදකයෝ ඊට විරුද්ධව පෙළපාළි ගියා, නමුත් තමන් ජයග්‍රහණය කළා කියලා. නමුත් අපි එතුමාට මතක් කරන්න කැමැතියි අපි පෙළපාළි හෝ උද්ඝෝෂණ කළේ එතුමාගේ පොලිතින් තහනම් කිරීමේ නියෝගයට විරුද්ධව නොවෙයි. රජය අපි ගැන පොඩ්ඩක්වත් හිතලා බලන්නේ නැතිව එකපාරටම කිව්වා සති 06ක් ඇතුළත කර්මාන්ත ශාලා ටික වහන්න කියලා. ඒ විදිහට එම තීරණයේ නිසි සැලැස්මක් නැති එකට විරුද්ධවයි අපි විරෝධතා දැක්වුවේ. මේ වනතෙක් ජනාධිපතිවරයා අපට සාකච්ඡාවක් සඳහාවත් අවස්ථාවක් ලබාදීලා නැහැ. දිගින් දිගටම අපිව මගහැරියා.
පොලිතින් තහනම් කරනවා කියමින් සැප්තැම්බර් පළමු වැනිදා ගැසට් නිවේදන හයක් නිකුත් කළත්, තහනම ක්‍රියාත්මක වෙනවා කිව්වත් තවමත් කිසිම පුද්ගලයෙකුට තහනම් පොලිතින් යටතේ නඩුවක් දාන්න මේ රජය අසමත් වෙලා තිබෙනවා. මේ තහනමේදි වුණේ ලන්ච් ෂීට් එක ජෛව හායනයට ලක්වන අමුද්‍රව්‍ය මගින් නිෂ්පාදනය කිරීමට යොමු කිරීම සහ පොලිතින් බෑග් නිෂ්පාදනය පොලිතින් එකකින් තවත් පොලිතින් එකකට මාරු කිරීම පමණයි. කොහොම වුණත් විශාල වශයෙන් ප්‍රශ්නවලට තුඩු දුන්න ලන්ච් ෂීට් එක ස්වාභාවික ජෛව හායනයට පත්වන ද්‍රව්‍යයවලින් නිෂ්පාදනය කිරීමට යොමු කිරීම මේ රජය ගත්ත හොඳ තීරණයක් කියලා පෙන්වා දෙන්න පුළුවන්. නමුත් මේ රජය මේ නිෂ්පාදන ජනතාව අතර ප්‍රචලිත කරන්න හෝ වැටලීම් නිසි ලෙස සිදු කරන්න තවමත් අසමත් වෙලා තිබෙනවා.
අපට විශාල වියදමක් දරන්න වුණා මේ නිෂ්පාදන සිදුකළ හැකි යන්ත්‍ර සූත්‍ර ගෙන්වන්න. නමුත් ඒ පාඩුව අපේ කර්මාන්තකරුවන් විසින්ම දරාගත්තා. මේ සඳහා රජය දෙන්නම් කියලා පොරොන්දු වුණු බදු සහන කිසිවක් මේ වෙනකම් අපට ලැබිලා නැහැ. ස්වාභාවික ජෛවහායනයට පත්වන ආහාර දවටනය හදන්න භාවිත කරන්නේ ස්වාභාවික බඩඉරිඟු පිටි. එවැනි අමුද්‍රව්‍යයකින් පොලිතින් එකක් හදන්න විශාල දැනුමක් වගේම අධික වියදමක් දරන්න අපට සිදුවෙලා තිබෙනවා. එක බහලුමකට අපට ලක්ෂ 18ක බදු ගෙවන්න සිදුවෙලා තිබෙනවා. ඒ ආකාරයෙන් අධික වියදම් සහ පාඩුවක් දරාගෙන අපේ කර්මාන්තකරුවො මේ නිෂ්පාදන සිදුකළත් වංචනික නිෂ්පාදකයන්ගේ තහනම් නිෂ්පාදන නිසි ලෙස වටලන්නේ හෝ ඊට නීතිය ක්‍රියාත්මක නොවන නිසා අපට විශාල අසාධාරණයක් වෙලා තිබෙනවා. අදටත් හැමතැනකම තියෙනවා තහනම් පොලිතින් නිෂ්පාදන.
අපට දැන් තියෙන ලොකුම ප්රශ්නය වෙලා තිබෙන්නේ මේ අමුද්‍රව්‍ය ස්වාභාවික නිසා මේ වෙද්දි ගබඩා කර තිබෙන අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන දිරාපත් වෙමින් යනවා අලෙවි වෙන්නත් පෙරම. අපේ නිෂ්පාදක මහත්මයෙක් මේ ළඟදී අපිව දැනුවත් කළා ටොන් 400ක පමණ අමුද්‍රව්‍ය දැන් කරගන්න දෙයක් නැතිව දිරායනවා, එතුමා විශාල ප්‍රශ්නයකට මැදිවෙලා ඉන්නේ කියලා. මේකට හේතුවෙලා තිබෙන්නේ නිෂ්පාදකයා සැලැස්මක් ඇතිව ක්‍රියා කළත් රජයට සැලැස්මක් නැති නිසා නිෂ්පාදකයන් අසරණ වීම. මේ ප්‍රශ්න ගැන සහ තහනමේ අවිධිමත් තැන් පිළිබඳ කතා කරන්නයි අපි ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලන්නේ.