ඈත අතීතයේ පටන්ම රාජ්‍ය පාලනයේදී රාජ්‍ය බලය තහවුරු කර ගැනීම මෙන්ම ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් විය. මේ නිසා කලින් කලට ඇති වන විදේශ ආක්‍රමණ හා රට අභ්‍යන්තරය තුළ සිදුවන කැරළි කෝලාහල වලින් රාජ්‍ය බලය ආරක්ෂාකර ගැනීමට විවිධ වූ ක්‍රම අනුගමනය කිරීමට සිදුවුණි.
රට ආරක්ෂා කර ගැනීමට හමුදාවක් අවශ්‍ය විණි. එමෙන්ම සතුරු උවදුරු ඉක්මනින් හඳුනා ගැනීමටත්, සංවිධානගත වී සතුරාට පහර දීමටත් බළකොටු ඉදිකිරීමේ අවශ්‍යතාව පැන නැගිණි.
පෙර රජවරුන්ගේ සිට 16 වැනි සියවසේ පටන් අප රටට පැමිණි පෘතුගීසි, ලන්දේසි, ඉංග්රීසීන්ද තම බලය ආරක්ෂාකර ගැනීමට මෙරට බළකොටු රැසක් ඉදිකර තිබුණි. අද ඒවා සියල්ල නටඹුන් ලෙස දක්නට ලැබේ.
මෙසේ ඉදිකළ බළකොටු අතරින් බොහෝදෙනෙක් දන්නේ ජනප්‍රිය බළකොටු කිහිපයක් පමණි. ඒ අතර ගාලු කොටුව, මාතර ලන්දේසි බළකොටුව, මාතර තාරකා කොටුව, කොළඹ ඕලන්ද කොටුව, යාපනය කොටුව, ත්‍රිකුණාමලය ෆෙඩ්රික් කොටුව ඒ අතර ජනප්‍රියය. නමුත් එසේ ජනප්‍රිය නොවූ සහ බොහෝ පිරිසක් නොදන්නා බළකොටුද තිබේ. එසේ වැඩි කතාබහට ලක් නොවූ බළකොටුවක් ලෙස කල්පිටිය ඕලන්ද බළකොටුව හැඳින්විය හැකිය.
පෘතුගීසීන්ගේ පාලනයට නතුව තිබූ කල්පිටිය ප්‍රදේශය වර්ෂ 1644දී ලන්දේසීන්ගේ යටතට පත්විණ. අනතුරුව වැදගත් වෙළෙඳ නගරයක් වූ කල්පිටිය ලන්දේසි ගෘහනිර්මාණ ශිල්පයට අනුව ලන්දේසීන් විසින් නැවත ගොඩනගන ලදී. මෙම වෙළෙඳ නගරයේ ආරක්ෂාව සඳහා වර්ෂ 1606දී කල්පිටිය බළකොටුව ඉදිකර ඇත. ගලින් නිමවා ඇති මෙම බළකොටුව ඉදිකිරීමට හිරිගල්, කොරල්, මී ඉටි සහ මී ලාටු යොදාගැනීම විශේෂත්වයකි. එවැනි ක්‍රම යොදාගෙන ඇත්තේ වඩා ශක්තිමත් කර ගැනීමටය.
ගලින් නිමවා ඇති මෙම බළකොටුවේ ප්‍රවේශ දොරටුව ආරුක්කු හැඩයෙන් යුක්ත වේ. එම දොරටුවෙන් ඇතුළු වූ විට මැද මිදුලකට පිවිසේ. එහි එක් පසක සේවා නිවාස ඉදිකර තිබේ.
18 වැනි සියවස අවසාන කාලසීමාව වනවිට ඉන්දියන් සාගරයේ බලය ලන්දේසීන්ගෙන් ගිලිහී ඉංග්‍රීසීන් අතට පත්විණි. වර්ෂ 1795දී නාගපට්ටම් සිට පැමිණි ඉංග්‍රීසි හමුදා කල්පිටියේ වෙරළ ආසන්නයේ රැකවල්ලා සිටියහ. එයින් අනතුරුව කිවි ගිවිසුම් උපදෙස් පරිදි මෙම බළකොටුව ඉංග්‍රීසි හමුදා වෙත භාරදෙන ලදී.
කල්පිටිය කොටුව ඉදිකර ඇත්තේ මුලින්ම පෘතුගීසීන් අල්ලාගෙන සිටි තැනය. එහි ක්‍රිස්තියානි නිකායික දේවස්ථානයක් හා සිවිල් ජනාවාසායක් පැවතී ඇත.
ලන්දේසීන් යාපනයේ තිබූ පෘතුගීසීන් සතු අවසාන බළකොටුව අල්ලා ගැනීමෙන් පසුව රටේ වෙළෙඳාම පාලනය කිරීමේ අරමුණින් කල්පිටියේ බළකොටුව ඉදිකිරීමට පියවර ගෙන ඇත. එය ඔවුන් ඉදිකරේ එතැන වූ පැරණි පෘතුගීසි දේවස්ථායට මැදිවන්නටය.
මෙම බළකොටුව ගෘහ නිර්මාණයෙහි සුවිශේෂීත්වයන් සමුදායක් ඇත. ඉන් එක් විශේෂත්වයක් වන්නේ බළකොටුව නිර්මාණය කර ඇත්තේ දේවස්ථානයක ස්වරූපයකිනි. එයට ප්‍රධාන හේතුව වන්නේ බළකොටුවක් ඉදිකිරීම සම්බන්ධව සිංහල රජුගේ තිබූ විරෝධතාවයයි. මෙය බළකොටුවක් ලෙස පවත්වාගෙන යන බව වසං කිරීම සඳහා මේ උපක්‍රම යොදාගෙන ඇත.
මෙම බළකොටුවට පිවිසෙන ස්ථානයේ පැරණි අතිවිශාල දැවමය දොරටුවක් තිබෙන අතර, එය කුඹුක් ලීයෙන් කළ නිර්මාණයකි. එම දොරටුවේ මෙම බළකොටුව ඉදිකළ කාල සටහන්ව තිබෙන්නේ මේ ආකාරයටය.
MDCCLIX = 1759 ලෙසය. 'ක්‍රිස්තු වර්ෂ' යන්න, ANNODOMINI යනුවෙන් සටහන් කර ඇත.
මෙම බළකොටුව හතර පැත්තක් සහිත හතර මුදු සහිත ප්‍රහාරක බළකොටුවක් ආකාරයට ඉදිකර ඇත. එහෙත් එහි නැගෙනහිර දොරටුවේ අමුතු වෙනසක් දකින්නට ඇත. මෙහි ප්‍රහාරක කුටි හා කාලතුවක්කු සිදුරු සකස්කොට ඇත්තේ කිසිදු සතුරෙකුට කොටුවේ කිසිදු බිත්තියකින් කොටුව තුළ ඉන්න කවරෙකුට හෝ නොපෙනී නැගීමට නොහැකි වන අන්දමිනි. යමෙකු කොටු පවුරට නැගුණහොත් ඔහු එහි සවිකොට තිබූ කාලතුවක්කු ප්‍රහාරයකට නිසැකවම ගොදුරු වන අන්දමිනි.
එසේම මෙහි නැරඹුම් කුටිද ඉදිකර ඇති අතර, ඒවා දහවල් කාලයේ සිසිලසක් ඇති අතර, රාත්‍රී කාලයේ උණුසුමක් දැනෙන අයුරින් නිර්මාණය කර තිබීමද විශේෂත්වයකි.
එසේම පිටතින් සතුරාගෙන් එල්ල වන කාලතුවක්කු ප්‍රහාර වලින් ආයුධ ගබඩාව ආරක්ෂා කිරීමට, සතුරා නොමග යවන ආකාරයට මෙහි ඉදිකිරීම් සිදුකර ඇත.
මෙම බළකොටුවෙහි යුද අධිකරණයක්, රැස්වීම් ශාලාවක්, සිරකුටි සහ වෙඩි බෙහෙත් ගබඩා ඇත. බළකොටුව මධ්‍ය‘යේ යුද පුහුණු කිරීම් සඳහා පිට්ටනියක් ඇත.
එසේම මෙම බළකොටුව යටින් උමං මාර්ගයක් පවතින අතර, එය අසල ඇති දේවස්ථානයටත්, හැමිල්ටන් ඇළ දක්වාත් විහිද ඇත. මෙම උමං මාර්ගය යොදාගෙන ඇත්තේ හැමිල්ටන් ඇළ මාර්ගයේ සිට යුද උපකරණ සහ භාණ්ඩ හොර රහසේ ප්‍රවාහනය කිරීම සඳහාය.
මෙම බළකොටුව වර්තමානයේ පවතින්නේ කල්පිටිය නාවික හමුදා කඳවුර යටතේය. මෙය නැරඹීම සඳහා කල්තබා දැනුම්දීමක් කර අවසර ගන්නවා නම් වඩාත් සුදුසුය. නමුත් හතර පස් දෙනෙකු වැනි සුළු පිරිසකට නම් ඒ මොහොතේ වුවත් කඳවුරේ ඇති සම්බන්ධීකරණ කාර්යාලයෙන් අවසර ලබාගත හැකිය.
මෙම බළකොටුව වර්තමානය වන විට ශීඝ්‍රයෙන් විනාශ වීගෙන යයි. නමුත් ඒ සඳහා කිසිඳු විසඳුමක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගෙන නොමැති බව නාවික හමුදා කඳවුරෙන් පැවසුවේය.
පසුගිය වැසි සමයේ මෙම බළකොටුව අභ්‍යන්තරයේ පිහිටි දේවස්ථානය කඩාවැටී විනාශ වී ඇත. එයට ප්‍රධාන හේතුව මේවා ආරක්ෂා කිරීමට කිසිදු පිළියමක් නොයෙදීමයි. ඒ නිසා මෙවැනි පෞරාණික නටඹුන් ආරක්ෂා කිරීමට කඩිනමින් පිළියම් යෙදිය යුතුය. එසේ නොවුණහොත් අනාගත පරපුරට මේවා දැක බලා ගැනීමේ හැකියාව වැළලී යනු ඇත. එම නිසා මේ සම්බන්ධව බලධාරීන්ගේ සහ මේ පුරාවිද්‍යා ආයතනයන්හී අවධානය යොමු වීම ඉතා කඩිනමින් සිදුවිය යුතුය.