නාමල් උයන මෙන්ම වනවාසී රාහුල හිමියන්වද මේ වන විට නොදන්නා කෙනෙකු නොමැති තරම්ය. මීට වසර 27කට පෙර නාමල් උයන ප්‍රසිද්ධියට පත් කරනවාට වඩා නොසිතූ තරම් ප්‍රසිද්ධියක් අද නාමල් උයනට ලැබී තිබේ. නාමල් උයන මෙන්ම රෝස තිරුවානා වැටියද තවදුරටත් අප ආරක්ෂා කරගත යුතු සම්පත්ය. මේ නිසාම නාමල් උයනේ 27 වෙනි සංවත්සරයේදී ඒ වෙනුවෙන් පියවරක් ගැනීමට වනවාසී රාහුල හිමියන් තීරණය කර තිබේ. ඒ සම්බන්ධව සහ නාමල් උයනේ වසර 27ක ඉතිහාසය පිළිබඳ මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.
ජාත්‍යන්තර කීර්තියට පත් නාමල් උයන 1991 මාර්තු 28 දින මෙලොව එළිය දකින විට එය මේ තරමට විශ්ව කීර්තියට, ලෝක ප්‍රසිද්ධියට පත්වන්නක් යැයි විශ්වාස නොකරන්නට ඇත. අපේ රටේ හතු පිපෙන්නා සේ කලින් කලට විවිධ දේ බිහිවන, එළිදකින වේගයටත් වඩා වේගයෙන් ජනතා සිත්සතන්වලින් ඒවා ඈත් වී යන අයුරු අපි අත්දැක ඇත්තෙමු. පරිසර හිතකාමී වනවාසී රාහුල හිමියන් විසින් ලෝකයාට හඳුන්වා දුන් ජාතික නාමල් උයනටත් ඒ ඉරණම අත්වනු ඇතැයි ඇතැමෙකු එදා සිතුවාට කිසිදු සැකයක් නැත. එහෙත් අව්‍යාජත්වය, අවංකත්වය, උත්සාහය, ඉවසීම ඇති ඕනෑම කෙනෙකුට හෝ තැනකට ස්වභාව ධර්මයේ ආශීර්වාදය ලැබෙනු ඒකාන්තය. ඒ යථාර්ථය ජාතික නාමල් උයන ගැන කරුණු විමසීමේදී වඩාත් හොඳින් පැහැදිලි වී ඇති බව ඒ දෙස ආපසු හැරී බැලීමකදී පසක් කරගත හැකිය.
මීට වසර 27කට ප්‍රථම මහවැලි එච් කලාපයේ රක්ෂිත වන පෙදෙසක් වූ අක්කර දෙදහසක් පමණ වූ මෙම භූමි භාගය දඩයක්කරුවන්ගේ හා දැව ජාවාරම්කරුවන්ගේ කෙම්බිමක්ව පැවතිණි. රණව විහාරස්ථානයේ වැඩ සිටින සමයේ එහි ගම්මුන් කිහිපදෙනෙකුත් සමගින් මෙම වනපෙතට පිවිසි රාහුල හිමියන්ට එහිදී දක්නට ලැබුණ දෙයින් කිසිදාක ලබා නැති සොම්නස් සහගත සිතිවිල්ලක් හටගත්තේය. සෞන්දර්යයාත්මක හා පරිසර විද්‍යාත්මක වශයෙන් වැදගත් වන ජාතික සම්පතක් වූ මෙම භූමි භාගය ලෝකයාගේ අවධානය යොමු කරමින් මතු පරපුර සඳහා ආරක්ෂා කරමියි යන දැඩි චේතනාව සිත්හි රඳවා ගත්හ.
වනවාසී රාහුල හිමියන් 1991 මාර්තු 28 දින පටන් මෙම වනපෙතට අධිගෘහිත වූයේ අඩි 40ක් පමණ උස්වූ මොරගසක් මත තනාගත් පැල්කොටයක ලැගුම් ගනිමිනි. එලෙසින් ආරම්භ වූ මොරගහ උඩ මහා පෙරළිය ජාතික මෙන්ම ජාත්‍යන්තර කීර්තියට පත්කරලීමට හැකි වූයේ කෙසේද? යහපත් සිතිවිල්ලකින් අරඹන ඕනෑම දෙයක් වරදින්නේ නැතිය යන බෞද්ධ සිද්ධාන්තය රාහුල හිමියන්ට මග පෙන්වන්නට ඇත.
සමාජයේ විවිධ ක්ෂේත්රයන්හි නොයෙක් පුද්ගලයන්ගේ විවිධාකාර වූ කෙනෙහිලිකම්, කකුලෙන් ඇදීම්, රැවුම් - ගෙරවුම් උපේක්ෂාවෙන් බැහැර කළ උන්වහන්සේ, නාමල් උයන තුළින් ලොවට දායාද කර ඇති ස්වභාව ධර්මයේ විස්මිත මැවීම අනාගත පරපුරට දායාද කරලීමේ පවිත්‍ර චේතනාව මත දැඩි ලෙස පිහිටා සිටියේය. පැමිණි විවිධ බාධක දුෂ්කරතා මධ්‍ය‘යේ වුවද මේ වටිනා දායාදය සුරක්ෂිතව පවත්වාගෙන යමින් එය දෙස් විදෙස් සංචාරකයන්ගේ අවධානයට යොමු කරලීමේදී එදා සිට අද දක්වා මිල කළ නොහැකි මාධ්‍ය මෙහෙවරක් කරන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්ට උන්වහන්සේ විසි හත්වසක් සපිරෙන මේ මොහොතේදී සිය කෘතවේදීත්වය පුදකර සිටිති.
එයින් නොනැවතී 2006 වසර තුළ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන 38කට පරිසර ප්‍ර‘බෝධනී සම්මානය පුද කිරීමට තරම් උන්වහන්සේ යුක්තිගරුක විය. විශේෂයෙන් මෙහිදී සඳහන් කළයුතු ප්‍රධානම කරුණ වන්නේ මෙහි සාර්ථකත්වයට හේතු වූ නිසි කළමනාකාරීත්වයයි. එය ඕනෑම ආයතනයකට, පුද්ගලයෙකුට අවශ්‍යම ගුණාංගයකි. එය ස්වාභාවික පරිසරය රැක ගනිමින් ජාතික නාමල් උයන තුළ සිදුකිරීමද අගය කළ යුතුය.
පරිසර හා සෞන්දර්යයාත්මක වටිනාකමට පරිබාහිරව ඓතිහාසික හා භූගෝලීය වටිනාකමකින්ද අනූන මෙම අතිසුන්දර වූ භූමි භාගය වනවාසී රාහුල හිමියන්ගේ රැකවරණය නොලැබෙන්නට මේ වන විට තවත් හිස් වූ ගස්වලින් ශුන්‍ය වූ එක් මුඩු භූමියක් වන්නට ඉඩ තිබිණ. විවිධ ජාතීන්ට, විවිධ ආගම්වලට අයත් ශ්‍රී ලංකාවේ විවිධ බලප්‍රදේශවල පාසල් දරුවන් සහ දේශීය විදේශීය සංචාරකයන්ගේ පැමිණීම මෙම ස්ථානය ජාතික වශයෙන් හා ජාත්‍යන්තරව පිළිගැනීමට හේතු වූ බව මෙහිදී ප්‍රකාශ කළ යුතුය. වනවාසී රාහුල හිමියන්ගේ 27 වසරක ජාතික මෙහෙවරේ වැදගත්ම සංධිස්ථානය වන්නේද මෙම ප්‍රගතිය පිළිබඳ ආපසු හැරී බැලීමයි.
එමෙන්ම වනවාසී රාහුල හිමියෝ ජාතික නාමල් උයන සතු පුබ්බෝගම නගරයේ ඇති කෝටි දෙකහමාරක් වටිනා නිශ්චල දේපළ ජනතා සුබසාධනය වෙනුවෙන් මහවැලි සංවර්ධන අධිකාරියට පරිත්‍යාග කරමින් ගිහි - පැවිදි සමාජයට ආදර්ශයක් ලබාදුන්නා සේම, ජාතික නාමල් උයනේ සියලුම ආදායම් සහ නිශ්චල දේපළ මේ මොහොත වන විට මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරා දීමට අවසන් පිඹුරුපත්ද සකසා ඇත. මේ රටේ ජාතික සම්පතක් වූ ජාතික නාමල් උයන සහිත ප්‍රා‘ග් ඓතිහාසික යුගයට අයත් දකුණු ආසියාවේ විශාලතම රෝස තිරිවානා නිධිය මතු පරපුර සඳහා ආරක්ෂා කර තැබීම වනවාසී රාහුල හිමියන්ගේ අවසාන බලාපොරොත්තුවද වේ.
සමස්ත නා වනය පුරාම අපවිත්‍ර දෑ කිසිවක් නැත. පොලිතින්, ප්ලාස්ටික් පරිසරයට අහිතකර වන කිසිවක් මේ වනයට තහනම්ය. තවද අසැබි චරිත මවන්නා වූ පෙම්වතුන් සඳහාද නා වනය තහනම්ය. එයින් කියාපාන්නේ පරිසරය රැකගැනීමේ වගකීම පමණක් නොව සිංහල බෞද්ධ සභ්‍යත්වය ආරක්ෂා කරගැනීමේ උදාර මෙහෙවරක උන්වහන්සේ යෙදී සිටින බවයි.
මේ වන විට මේ රටේ පළමු පුරවැසියාගේ පටන් විවිධ ක්ෂේත්රවල විවිධ වූ අයගේ පා පහස නාමල් උයනේ බිමට ස්පර්ශ වී ඇති ආකාරය එහි නිර්මාතෘ රාහුල හිමියන් සිහිපත් කරන්නේ මහත් ආඩම්බරයකිනි. ඒ අහිංසක වූ ආඩම්බරය තම ජීවිතයේ ආත්ම ලාභයක් පිණිස නොවේ. මේ තුළින් ප්‍ර‘දේශයට ලැබුණා වූ දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රසිද්ධියත්, ප්‍ර‘දේශය වැඩිදියුණු වන්නා වූ යටිතල පහසුකම් හරහා ජනතාව ලද ජයග්‍රහණයත් ගැන එහිමියෝ සිහිපත් කරන්නේ සතුටිනි. එහෙත් නාමල් උයනෙන් එදා මෙදාතුර සිදුවූ සේවාව පිළිබඳව කියන්නට තරම මිනිසුන්ගේ හදවත් විවර නොවීම ගැන කනගාටුවක් වනවාසී රාහුල හිමියන්ගේ සිත් තුළ තිබේ.
27 වසරක් සපිරෙන මේ මොහොතේ වනවාසී රාහුල හිමියන් මෙලෙස අදහස් එක් කළේය.
“වසර විසි හතක් පුරාවට කිසිදු ජාති ආගම් බේදයකින් තොරව සියලුම දෙනා වෙත නාමල් උයන විවෘතව තැබීමට මම කටයුතු කළා. ඒත් මේ තුළින් වෙන සේවාව පිළිබඳ කතා කරන්නට පොදුවේ මිනිස්සුන්ගේ හදවත් විවෘත නැහැ කියලා මම කනගාටුවෙන් වුණත් කියනවා. කොහොම වුණත් මගෙන් පසුව නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරා දීමට තීරණය කළා. ඒ සම්බන්ධයෙන් සියලු සාකච්ඡා සිදුකර තිබෙනවා. විසය භාර අමාත්‍ය, අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා මේ කටයුතුවලට සහයෝගය දුන්නා. ඒ අනුව මේ වන විට අදාළ ගිවිසුම අත්සන් කරන්න විතරයි තිබෙන්නේ. මේ සතිය ඇතුළත එය සිදුවේවි. මගේ ඉල්ලීමක් අනුවයි නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරන්නේ.
නාමල් උයන අනාගතය වෙනුවෙන් සංරක්ෂණය කරගැනීම වර්තමාන අප සතු යුතුමක් බව අප සියලුදෙනා අවධාරණය කරගත යුතුය.