ශ්‍රී ලංකාවේ 09 වැනි ජාතික වනෝද්‍යානය වන්නේ ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයයි. පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ පිහිටි මෙම වනෝද්‍යානය මැදින් පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගය දිවයයි. එහි ගල්ලෑල්ල හා මනම්පිටිය අතර ප්‍ර‘දේශයේදී මෙම උද්‍යානය හමුවේ. පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ දෙපස වනෝද්‍යානයට කැළිකසළ බැහැර කිරීම නිරන්තරයෙන් සිදුවන අතර, ඒ හේතුවෙන් පරිසර පද්ධතිය මේ වනවිට විනාශයට ලක්වෙමින් තිබේ.
1984 අගෝස්තු මස 07 වැනි දින ජාතික වනෝද්‍යානයක් ලෙස ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත්කළ අතර, එය ප්‍රමාණයෙන් හෙක්ටයාර 17530 ක් පමණ වේ. උතුරින් සෝමාවතිය ජාතික උද්‍යානය හා දකුණින් වස්ගමුව ජාතික උද්‍යානය යා කරමින් මහවැලි ගඟ දෙපස මෙම විශේෂ පරිසර පද්ධතිය පිහිටා ඇත.
විශේෂයෙන් ඉහත උයන් දෙක අතර සතුන්ගේ සංක්‍රමණික මාර්ගය වන්නේ මෙම ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයයි. මෙරට පවතින විශේෂිත පරිසර පද්ධතියක් වන විල්ලු ප්‍ර‘දේශවල හිමිකාරීත්වයද මෙම උද්‍යානය සතුය. දිඹුලාගල හා තමන්කඩුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට මෙම උද්‍යාන කලාපය අයත් වන අතර, ප්‍රසිද්ධ මනම්පිටිය පාලමද මෙම උද්‍යානය තුළ පිහිටා ඇත. පෙරියආරු හා කොටලීය යන ප්‍රධාන ඇළ මාර්ග දෙකක්ද මෙහි පිහිටා ඇත. විල්ලු පරිසර පද්ධති තුළ දැකිය හැකි ජලජ ශාක හා පන් වර්ගද, තෘණ පිට්ටනිද, මුවා, ගෝනා, කොටියා, වලසා, කුළු හරකා, කිඹුලා, විවිධ කොක්කු වර්ග, කොරවක්කා, රතුමල් කිරලා, දම් කිරලා වැනි ජලජ පක්ෂීන්ද මෙම උද්‍යානය තුළ දැකිය හැකිය.
මෙම පරිසර පද්ධතියට ආවේණික සුවිශේෂී අලින් කොටසක් වන විල් අලින් වෙසෙන භූමි ප්‍ර‘දේශයද මෙම උද්‍යානය වේ. මඩ සහිත විල්ලු ප්‍රදේශවල ගමන් කිරීමට පහසුවීම සඳහා අනෙක් අලින්ට සාපේක්ෂව විශාල පාද පිහිටා තිබීම මෙම අලින්ගේ විශේෂත්වය වේ.
මෙවන් විශාල වටිනාකමක් සහිත පරිසර පද්ධතියක් ආරක්ෂා කරගැනීම සඳහා මෙම ප්‍රදේශය වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කළ අතර, අද වනවිට මෙම පරිසර පද්ධතියට විශාල ලෙස හානි සිදුවෙමින් ඇත. විශේෂයෙන්ම මාර්ගය දෙපසට විවිධ කැළිකසළ බැහැර කිරීම නිසා සුන්දර පරිසර පද්ධතියට අප්‍රසන්න දසුනක් ලබාදී ඇත.
රාත්‍රී කාලයේදී මෙම ප්‍ර‘දේශයට වීදුරු කැබලි, පොලීතීන්, සත්ත්ව අපද්‍රව්‍ය හා සත්ත්ව කොටස් (කුකුල් හා මාළු), මිය ගිය සතුන් ආදිය හොර රහසේම බැහැර කිරීම හේතුවෙන් දුර්ගන්ධය හමන කසළ ගොඩක් බවට මාර්ගය දෙපස පත්ව ඇත. මෙම අපද්‍රව්‍ය උද්‍යානයේ වූ ජල මාර්ගවලට එක්වීමෙන් එම මාර්ගයද දූෂණයට ලක්වෙමින් ඇත.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ මෙම උද්‍යානය පවතින අතර, මනම්පිටිය මහවැලි ගඟ අසල බීට්ටු වන ජීවී කාර්යාලයක්ද පිහිටුවා ඇත.
මෙම ප්‍ර දේශයේ කැළිකසළ දැමීම තහනම් බවට දැන්වීම් ප්‍රදර්ශනය කර තිබුණද ප්‍රතිඵලයක් අත්වී නොමැත. පරිසරය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබිඹු කරමින් ජනතාව දැනුවත් කිරීමට තිබූ දැන්වීම් පුවරු බොහොමයක් අතුරුදන් වී සහ විනාශ වී ඇත. එමෙන්ම කසළ ආහාරයට ගැනීම නිසා (පොලිතීන්) පසුගිය වසර කිහිපය තුළ වන අලින් කිහිප දෙනෙකුම මිය ගිය අතර, මෙම තත්ත්වය ඉදිරියටද සිදුවිය හැකිය.
එබැවින් මෙම උද්‍යානය ආරක්ෂා කර ගැනීමටත් එම ප්‍ර‘දේශය සුන්දර පරිසර පද්ධතියක් ලෙස විඳ ගැනීමට ජනතාවට අවස්ථාව උදාකර දීමත්, සතුන්ගේ ජීවිත ආරක්ෂාව සලසා දීමත් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේත් තමන්කඩුව හා දිඹුලාගල ප්‍රාදේශීය සභාවේත් සියලු බලධාරීන්ගේත් වගකීමකි.
දිඹුලාගල - අනිල් කුමාර