Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
තිස් වසරකට වැඩි කාලයක් අතිශය කුරිරු යුද්ධයකට ඔබ අප සියලු දෙනා මුහුණ දුන්නෙමු. ඒ කුරිරු යුද්ධය පිටුපස තිබුණේ වර්ගවාදයෙන් උදම් වූ සියලු ප්‍රශ්න ලෙයින් සහ උණ්ඩයෙන් තීරණය කළ ත්‍රස්තවාදී දේශපාලනයක් මෙන්ම ජාතිකත්වයට මුවා වී ජාතිවාදය පොදුජන මනසට විසර්ජනය කළ දේශපාලනයකි.
එකී පාපකාරී දේශපාලනයට බොහෝ සෙයින් ගොදුරු වූයේ දකුණේ ජනතාවට වඩා උතුරේ ජනතාවයි. කෙසේනමුත් අවසානයේදී යුද ගිනි නිමා වුවද අප ඉන් නිසි පාඩම් ඉගෙන ගත්තේද යන්න ඉදිරියේ තවමත් ඇත්තේ ප්‍රශ්ණාර්ථයකි. එමෙන්ම අදටත් සියලුම ශ්‍රී ලාංකිකයන් වෙත බලපාන්නා වූ පොදු ගැටලු පවා තවමත් විවරණය වන්නේ උතුරේ ගැටලු දකුණේ ගැටලු ලෙස වර්ගීකරණයක් ඇතිවය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශය පසුගියදා යාපනය ප්‍රදේශයේ සංචාරය කරමින් සමීක්ෂණයක් සිදුකළා. ඒ සඳහා යුද්ධය පිළිබඳ තරුණ අදහස් විමසීම සහ සංහිඳියාව ඇතිකිරීම සඳහා ඔවුන්ගේ අදහස් දැනගැනීමත් සිදුකළා. එම අත්දැකීම් තුළින් වත්මන් උතුර ගැන විශ්වවිද්‍යාල සිසුන් පවසන කතාව මෙසේ ඔබ වෙත ගෙන එමු.
''මේ සංචාරයට පෙර අපි උතුර දැක්කේ වසර ගණනාවක් පුරාවට වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සන්නද්ධ අරගලයක නියුතු වී ඉඳලා ඒ අරගලයට සහය දුන්නු සහ දකුණේ ජනතාවත් සමග මත ගැටුමක ඉන්න මිනිසුන් පිරිසක් සිටින ප්‍රදේශයක් විදියට. ඊට අමතරව දකුණේ ජනමාධ්‍ය විසින් ගොඩනගපු මතයක් සහ චිත්‍රයක් තමයි උතුර ගැන අපේ හිත්වල තිබුණේ. ඒවත් එක්ක උතුර ගැන දැනගන්න අපිට ලොකු කුතුහලයක් තිබුණා.
අපේ අධ්‍යයන චාරිකාවේ පළමු දවසේ ඉඳලම උතුර ගැන අපේ පෙර තිබූ අදහස් ඉක්මනින් වෙනස් වෙන්න පටන් ගත්තා. ඇත්තටම ඔවුන් සහ අපි අතරේ තිබුණේ කතා කරන භාෂාවේ වෙනස්කමක් විතරයි.
අපි ගැන ලොකු ළෙංගතුකමක්, අපි එක්ක කතාබහ කරන්න ලොකු උනන්දුවක් ඔවුන් තුළ තියෙනවා අපි දැක්කා. සමහර තැන්වලදී ඒ ගෙවල්වලට ගිහින් කතාබහ කරද්දී ඒ නිවසෙන් පිටවෙන්න නොහිතෙන තරමට ඔවුන් අපි එක්ක සම්බන්ධ වුණු අවස්ථා ගොඩාක් තිබුණා.
උතුරට දැන් තියෙන ගැටලුවලින් වඩාත්ම කැපී පෙනෙන ගැටලුව තමයි පවතින උග්‍ර විරැකියාව. උතුරේ තරුණ තරුණියන් බහුතරයකට රැකියා නැහැ. කාගෙවත් අවධානය ඒ ප්‍රශ්නෙට යොමුවෙලා නැහැ. උපාධිධාරීන් පවා ඉන්නවා රැකියාවක් නොමැතිව.
ඒ ගැටලුව උතුරේ ජනතාවගේ ජනජීවිතයට විශාල බලපෑමක් කරලා තියෙනවා වගේම ඒ ප්‍රදේශවල මේ වෙද්දී වැඩිවෙමින් යන අපරාධ රැල්ලටත් හේතුවක් වෙලා තියෙනවා.
අප එක්ක කතාබහ කරපු මිනිස්සු බොහෝදෙනෙක් කියපු කතාවක් තමයි හැන්දෑව වෙනකොට ගෑනු ළමයෙක්ට පාරේ යන්න බැරි තත්ත්වයක් වගේම දවාලටත් තනියම යන්න බැරි තත්ත්වයක් ඒ ප්‍රදේශවල නිර්මාණය වෙලා තිබෙනවා කියන කාරණය.
ඒ වගේම සොරකම් විශාල වශයෙන් වැඩිවෙලා තිබෙනවා. මුදල් පමණක් නොවෙයි, ගෘහ භාණ්ඩ පවා සොරාගන්නා තත්ත්වයක් තිබෙනවා. මේ වෙද්දී තරුණ පිරිස් අතර මත්ද්‍රව්‍ය භාවිතය පවා සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගිහින් තිබෙනවා.
උතුරේ ජනතාව අතර තවත් තදින් දකින්නට ලැබෙන සමාජීය ගැටලුවක් තමයි උග්‍ර කුලවාදය. මේ ගැටලුව එළිපිටම දකින්නට ලැබෙනවා. අඩු කුලවල පිරිස්වලට කෝවිලකට පවා යන්න තහනම් තත්ත්වයක් තමයි දකින්න ලැබෙන්නේ. තමන්ගේ නිවස වටේ තාප්පයක්වත් ඉදිකරන්න ඔවුන්ට අයිතියක් නැහැ.
තවත් විශාල ගැටලුවක් වෙන්නේ ඒ ප්‍ර‘දේශවල පාසල්වල තිබෙන අධික ගුරු හිඟය. අනිවාර්ය විෂයන්වලට පවා ගුරුවරු නැති තත්ත්වයක් දකින්නට ලැබෙනවා. ඒ නිසා අධ්‍යාපනය තුළත් ඔවුන් පීඩාවන් අත්විඳිනවා. ඒ වගේම ජනතාව අතර යම් මතයක් සහ සැකයක් තියෙනවා පොලීසිය මගින් හරි ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක වෙනවද කියලා. ඔවුන් හිතනවා ඉහළ කුලවල බලපුළුවන්කාරයන්ට විතරයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතන තවත් පැතිකඩක් තියෙනවා.
ඒ තමයි ද්‍රවිඩ ජාතික පොලිස් නිලධාරීන්ට වඩා ඔවුන් කැමතියි සිංහල ජාතික පොලිස් නිලධාරීන් පැමිණිලි විභාග කිරීමේ කටයුතු කරනවට. ඔවුන් තුළ විශ්වාසයක් තියෙනවා සිංහල නිලධාරීන් පක්ෂග්රාහී ආකාරයෙන් කටයුතු කරන්නේ නැහැ කියලා. ප්‍රධාන නගර ආශ්‍රිතව මහාමාර්ග සහ ප්‍රවාහන සේවා දකුණේ ප්‍රදේශවලටත් වඩා උතුරේ හොඳින් තිබෙනවා. නමුත් අභ්‍යන්තර මාර්ග සහ ප්‍රවාහන සේවා සතුටුදායක මට්ටමක නැති බවත් අපිට නිරීක්ෂණය කරන්න ලැබුණා.
උතුරේ ජනතාවට ලොකු ජීවිත බලාපොරොත්තු නැහැ. එදා වේල කොහොමහරි හොයාගන්න විතරක් උනන්දු වෙන තත්ත්වයක් තමයි මේ වෙද්දි දකින්න ලැබෙන්නේ. දකුණේ සහ උතුරේ දේශපාලනඥයන් කතා කරන ව්‍යවස්ථා සංශෝධන ගැනවත්, ෆෙඩරල් රාජ්‍ය ගැනවත් ඔවුන් දන්නේ නැහැ. දේශපාලන සාක්ෂරතාව ඉතාමත්ම පහළ මට්ටමකයි මේ ජනතාව අතර දකින්න ලැබෙන්නේ. දේශපාලනය ගැනවත්, යුද්ධය ගැනවත් කතා කරන්න ඔවුන් ඉතාම අකමැතියි. ඡන්දය ගැන දැනුමක්වත්, අවශ්‍යතාවයක් වත් නැහැ.
ඔවුන් ඡන්දය දෙන්නේ වැඩිම පිරිසක් එක්ක ගෙයින් ගෙට එන දේශපාලඥයාට. ඒ තරම්ම දේශපාලන සාක්ෂරතාව පහළයි. ඒ තත්ත්වය උතුරේ දේශපාලනඥයන් තමන්ගේ පටු අරමුණු ඉටු කරගන්න භාවිත කරනවා. උතුරේ ජනතාව තවමත් ස්වයං පාලනයක් පිළිබඳව මතවාදී අරගලයක ඉන්න බවක් දකින්න ලැබෙනවා.
ඊට හේතුවෙලා තියෙන්නේ ද්‍රවිඩ දේශපාලන පිරිස් මේ ජනතාවගේ ඔළුවලට දාලා තියෙන ආකල්ප. ප්රභාකරන්ගේ අරගලය වැරදියි කියලා උතුරේ මිනිස්සු විශාල පිරිසක් කියනවා. ඔවුන්ට දෙමළ ජාතික ගීයක්, උතුරේ බුදුපිළිම ඉවත් කරන්න අවශ්‍යතාවයක් කිසිසේත්ම නැහැ.
මේ හැමදෙයක්ම උතුරේ දේශපාලනඥයන්ගේ සහ දකුණේ සමහර දේශපාලනඥයන්ගේ අවශ්‍යතාවයන් විතරයි. මොකද බෙදුම්වාදය සහ ජාතිවාදය තිබෙන තාක් පමණයි ඔවුන්ට පැවැත්මක් තිබෙන්නේ.
උතුරේ තවමත් හමුදා කඳවුරු පවතින නිසා උතුරු ජනතාවගේ ඉඩම් තවමත් ඔවුන්ට අහිමි වෙලයි තිබෙන්නේ. ද්‍රවිඩ දේශපාලනඥයන් මේ හරහා තමයි ඔවුන්ගේ සමහර උද්ඝෝෂණ, පෙළපාලි, හර්තාල් කරගෙන යන්නේ. ජනතාවට අවශ්‍ය ඉඩම් විතරයි. සමහර අය තවම ඉන්නේ කුලී නිවසවල. ඔවුන් ජනතාවගේ ඔළුවලට දාල තියෙනවා ඉඩම් ලබාගන්න නම් දේශපාලනඥයන්ගේ ක්‍රියාකාරකම්වලට එක්වෙන්න ඕන කියලා.
උතුරේ ජනතාව තවමත් හමුදාව සමග හොඳ හිතකින් නෙවෙයි පසුවෙන්නේ. නමුත් පොලීසියට ලොකු ගෞරවයක්, අවනත වීමක් දක්වන බව පේනවා. 'සිංහල හමුදාව' කියලයි තවමත් ඔවුන් යුද හමුදාව හඳුන්වන්නේ. නමුත් උතුරේ දේශපාලනඥයෝ දැන් ගෙනියන මතයන් සහ ක්‍රියාකාරකම් එක්ක යුද හමුදාව උතුරින් ඉවත් කිරීම අනුමත කළ නොහැකි තත්ත්වයකයි තිබෙන්නේ. උතුරේ ජනතාවත්, දකුණේ ජනතාවත් දුරස්කරලා තියන්න තවත් හේතුවක් තමයි මාධ්‍ය.
උතුරේ ජනතාවට දකුණ ගැන දේශපාලනඥයන් නිර්මාණය කර දෙන චිත්‍රය මිසක් දකුණ ගැන දැනගන්න ක්‍රමයක් නැහැ. හරි හැටි දෙමළ නාළිකාවක් හෝ පුවත්පතක් ඒ ප්‍රදේශවල නැහැ. උතුරේ මිනිස්සු හිතන්නේ දකුණේ ඉන්නේ තමන්ට වඩා වරප්‍රසාද, පහසුකම් භුක්තිවිඳිමින් සැපසේ ඉන්න ජනතාවක් කියලා. ඒ නිසා නිවැරදි තොරතුරු සහ මතයන් ගෙනියන්න නිසි මාධ්‍යයක් උතුරේ දකින්නට නොලැබීම විශාල ගැටලුවක්.
තවත් දෙයක් තමයි සමහර තරුණ පිරිස්, ව්‍යාපාරිකයන් සහ උගත් පිරිස අතර හිටපු ජනාධිපතිවරයා ගැන විශාල ආකර්ෂණයක් දකින්නට ලැබීම. ඔවුන් කියන්නේ හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ ඔවුන්ට රැකියා තිබුණා, සංවර්ධනයක් තිබුණා කියලා. ඒ වගේම උතුරේ වෙලා තිබෙන සංවර්ධනය පිටුපස හිටපු ජනාධිපතිවරයා ඉන්න බව තරුණ පිරිස් පිළිගත්තත්, මැදිවියේ පිරිස් සහ උතුරේ දේශපාලනඥයන් ඒක පිළිගන්න මැලිකමක් දක්වනවා. උතුරේ සංවර්ධනය ගැන කතා කරද්දී හිටපු ජනාධිපතිවරයාගේ නම තහනම් වචනයක් වෙලා තියෙනවා.
ඒ කොහොම වුණත් දකුණේ සහ උතුරේ ජනතාව අතර මේ දුරස්ථභාවය නැති කළොත් තමයි බෙදුම්වාදය නැති කරන්න පුළුවන්. උතුරේ ජනතාව ඉතා කැමැත්තෙන් ඉන්නවා දකුණේ මිනිස්සු එක්ක එකතු වෙන්න. නමුත් බෙඳුම්වාදී දේශපාලන ඒකට ඉඩ නොදීම තමයි මෙතන ගැටලුව වෙලා තිබෙන්නේ. සමස්තයක් විදියට ගත්තාම දකුණේ ගැටලුම තමයි උතුරෙත් දකින්නට ලැබෙන්නේ''
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති මහාචාර්ය මයුර සමරකෝන් මහතා,
උතුරේ ගැටුලුව ගැන කතා කරද්දී අද හිතෙන දෙයක් තමයි ඒ ඇතිවූ අරගලයට යම්කිසි සාධාරණත්වයක් තිබුණාදෝ කියලා. උදාහරණයක් ගත්තොත් අද අපිට දකින්න ලැබෙන්නේ ඉතාමත් සංවර්ධිත උතුරක්. ඒ සංවර්ධනය දකුණේ සමහර නගර අරඹයා නැහැ. නමුත් මේ අරගලයට පෙර උතුරේ එවැනි සංවර්ධිත තත්ත්වයක් තිබුණේ නැහැ.
අපේ දේශපාලනඥයන් පෙරදී උතුර යොදා ගත්තේ තමන්ගේ බහට අවනත නොවන රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් මාරු ලබාදෙන ප්‍රදේශයක් විදියට. එතැනින්ම උතුර අපි කොන් කළා කියලා පිළිගත යුතුයි. ඒ තත්ත්වයත් සමග උතුරේ ජනතාවට යම් යම් කෙනෙහෙළිකම් සිදුවුණා තමයි. නමුත් දිගින් දිගටම ඒ කෙනෙහෙළිකම් සිදුවනවාය කියමින් දැනටත් වර්ගවාදී ගැටලු ඇති කරමින් ඉන්නේ උතුරේ ජනතාව නෙවෙයි. උතුරේ ජනතාව කැමතියි දකුණේ ජනතාව සමග සමගියෙන් ඉන්න.
දකුණේ ජනතාවත් කැමතියි උතුරේ ජනතාව සමග සමගියෙන් ඉන්න. නමුත් ජාතිවාදය, බෙදුම්වාදය තමන්ගේ පැවැත්ම කරගත්තු දේශපාලනය තාමත් ඊට අකුල් හෙළමින් ඉන්නවා. උතුරේ අපි කරපු මේ සංචාරයේදී උතුරේ ජනතාව අපිට පුදුමාකාර ළෙංගතුකමක් දැක්වූවා.
එතැනින් පේනවා ජනතාව සූදානම් කියලා සංහිඳියාවක් ඇතුව ජීවත් වෙන්න. නමුත් උතුරේ සමහර ද්‍රවිඩ දේශපාලනඥයන්ගේත්, දකුණේ සමහර දේශපාලනඥයන්ගේත් පැවැත්ම තිබෙන්නේ උතුරේ ජනතාවත් දකුණේ ජනතාවත් භේදභින්න වීම තුළ. ඒ නිසා ඔවුන් මීට ඉඩදෙන්නේ නැහැ.
දකුණෙත් තරුණයන් දෙසැරයක් ආයුධ අතට ගත්තා. එතැනදී දකුණේ රැකියා විරහිතභාවය, නීතියෙන් ආර්ථික සම්පත් බෙදී යාමේ අසමානතාව, ඉහළ යැයි සම්මත ධනපතියන් නිර්ධන පංතියේ ජනතාව පීඩනයට ලක්කිරීම වැනි දේ හේතු වුණා. ඒ වගේම උතුරේ තරුණයන්ට එවැනි පීඩනයක් නොතිබුණා කියල කියන්න බැහැ.
උතුරේ තරුණයන්ට එතැනින් එහා ගිය පීඩනයක් තිබුණා. ඒක තිබුණේ දකුණේ ජනතාවගෙන් නෙවෙයි. සමස්ත සමාජයෙන්ම. නමුත් මෙතනදී උතුරේ ගැටලු සහ දකුණේ ගැටලු ලෙස වර්ගීකරණයක් වුණා. දකුණ හිතුවේ උතුරට ගැටලු නැහැ, අපිට විතරයි කියලා. උතුර හිතුවෙත් ඒකේ අනිත් පැත්ත.
එහි වාසිය ගත්තේ ප්රභාකරන් වැනි අය. එතැනදී තමයි අවුරුදු 30 පුරා ගිය යුද්ධයක් ඇරඹුණේ. අපි පිළිගන්න ඕන මුල් කාලයේ ඔහු වටා එක්වුණේ සැබෑ සමාජ අරගලයක් අපේක්ෂා කරපු තරුණ පිරිස් කියන එක. ප්රභාකරන්ට ඒ අරගලයට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දුන්නේ උතුරේ ද්‍රවිඩ දේශපාලනඥයන්. දකුණේ දේශපාලනඥයනුත් ඊට අවශ්‍ය උල්පන්දම් ලබාදුන්නා.
ඒ යාපනය පුස්තකාලය ගිනි තැබීම, ඒ වකවානුවේ තිබූ සංවර්ධන සභා ඡන්දය ඉතා අසාධාරණ විදියට පැවැත්වීම වැනි ක්‍රියා මගින්. දකුණ මේ ගැටලුව හරි විදියට තේරුම් ගත්තේ දකුණට ත්‍රස්තවාදී තර්ජන දැනිලා ජන ජීවිතය අස්ථාවර වෙන්න පටන් ගත්තාට පස්සේ. උතුරේ ජනතාව කිසිසේත්ම සූදානම් නැහැ ප්රභාකරන් වීරයෙක් ලෙස සලකන්න. උතුරේ දේශපාලනඥයන් පමණයි ඒ මතය ගෙනියන්නේ.
උදාහරණයක් විදියට උතුරේ කොටි සැමරුම් කරපු බෙදුම්වාදී දේශපාලනඥයන්ගේ ඒ උත්සවවලට අතේ ඇඟිලි ගාණටවත් සෙනඟ හිටියේ නැහැ. මාධ්‍යවල පිහිටෙන් ජාතිවාදී දේශපාලනයේ නියැළෙන්නන් පමණයි තවමත් මේ ගින්නට පිදුරු දමන්න උත්සාහ කරන්නේ. ඒ ජනතාව ඉල්ලන්නේ සමාන නීතිය, සමාන අධ්‍යාපනය සහ සමාජයේ සමානව ජීවත්වීමේ අවස්ථාව. ඇයි ඒක අපිට දෙන්න බැරි. අනිත් අතින් ගත්තාම දකුණේ ජනතාවටත් මේ සමාන වරප්‍රසාද නැහැ. ඇත්ත තමයි උතුරට වඩා අද දකුණේ තරුණයන් ලොකු පීඩනයකයි ඉන්නේ.
තවමත් සමාජ ජාල වෙබ්අඩවිවල පවා ජාතිවාදය ඇවිස්සීමකුයි සිදුවන්නේ. මෙය නැවැත්විය යුතුයි. උතුරේ ජනතාවට දකුණට යෑමටත්, දකුණේ ජනතාවට උතුරට යෑමටත් ඉඩහසර ලබාදිය යුතුයි.
වැදගත්ම දේ තමයි මේ ගැටලු උතුරේ සහ දකුණේ ලෙස වර්ග නොකර සියල්ල ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලු ලෙස හඳුනාගැනීම
සියලු සත්ත්වයන් වෙත මෙත් වඩන්නට යැයි දෙසූ බුදුන් වහන්සේ ද්‍රවිඩ ජනතාව ඊට අදාළ නොවන බව කෙදිනකවත් දෙසුවේ නැත. පිහිට පතා තම දෙවොල කරා එන සිංහල ජනතාවට පිහිට නොවන ප්‍රතිපත්තියක් දෙවියන්ටද නැත. එනිසා තව තවත් බෙදී වෙන්ව සිටීමේ තේරුම කුමක්ද යන්න ශ්‍රී ලාංකික අප සැම නැවත නැවතත් සිතිය යුතුය.
ශ්‍රී ලාංකික අප සැමට සතුටින් වෙසෙන්නට අමුතුවෙන් මේ කුඩා බිම්කඩ තුළ ඊළමක් හෝ එක් ජාතියකට පමණක් වෙන්වූ රටක් අවශ්‍ය නැත. අවැසි වන්නේ සියල්ලෝම එකම රටක උපන් මිනිසුන් බව සිතන එක් ශ්‍රී ලංකාවක් පමණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd