Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජුලි මස 16 වන බදාදා
2025 ජුලි මස 16 වන බදාදා
සෙංකඩගල පුරවරයේ පාරිසරික උරුමය
දිවයිනේ අවසන් රාජධානිය වන මහනුවර නගරයේ පාරිසරික හදවත ලෙස හැඳින්වෙන්නේ උඩවත්තකැලේ රාජකීය වන උයනයි. හෙක්ටයාර් 104ක භූමි වපසරියක් පුරා පැතිරෙන මෙම සුන්දර වන පියස 1897 බ්‍රිතාන්‍ය පාලකයන් විසින් රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. මෙහි සුවිශේෂත්වය වනුයේ ඉංග්‍රීසින් නම් කළ පළමු වැනි රක්ෂිතය උඩවත්තකැලය වීමයි. තවද මෙම රක්ෂිතය වනජීවී අභයභූමියක් ලෙස 1938 දී ප්‍රකාශයට පත්කරන ලදී.
තෙත් කලාපීය වනාන්තර ලක්ෂණ විදහාපාන මෙම වන උයන ජෛව විවිධත්වයෙන් අනූන වන කලාපයකි. මෙහි ශාක විශේෂ 460ක් පමණ හමුවී ඇත. මේවා අතරින් ශ්‍රී ලංකාවට ආවේණික ශාක විශේෂ 09ක්ම උඩවත්තකැලේ තුළ දක්න ලැබේ. නුග, මොර, දූරියන්. සපු, කිතුල්, පිහිඹිය, කොස්, මදටිය, වල් දෙල්, කුරුඳු වැනි ශාක බහුලව දක්නට ලැබෙන අතර, වෙසක් ඕකිඩ් වැනි දුර්ලභ ශාකද, කට්ටකුමන්ජල් වැනි ආක්‍රමණශීලී ශාක වර්ගයද මෙම වනාන්තරය තුළ දක්නට ලැබේ. උඩවත්ත කැලය තුළ ඇති ශාක අතර නා ශාකය ප්රමුඛ වේ. නා ශාකය බහුල ප්‍රදේශය %‘නා වනය’ නමින් හඳුන්වයි. වන පියස තුළ දැකිය හැකි තවත් සුවිශේෂී ශාක විශේෂයක් වනුයේ යෝධ පුස්වැලයි. වසර 300ක පමණ ඉතිහාසයකට හිමිකම් කියන මෙම ශාකය වන පියසේ සුන්දරත්වය තවත් ඔප්නංවයි. වනාන්තරය තුළ කඳුගැට කිහිපයක් දක්නට ලැබෙන අතර, උසම ස්ථානය වනුයේ මුහුදු මට්ටමේ සිට අඩි 1899ක පමණ උසින් පිහිටි කොඩිමලේ කඳුගැටයයි.
උඩවත්තකැලේ වූ කල්හී පක්ෂීන්ට රජදහනකි. පොළොස් කොට්ටෝරුවා, රත්මුහුණත් කොට්ටෝරුවා, කහ කුරුල්ලා, අළු කොබෙයියා, නීලකොබෙයියා, ලංකා ගිරා මලිත්තා, අළු ගිරවා, සැළලිහිණියා, සර්ප උකුස්සා වැනි පක්ෂීහු ඒ අතර ප්රමුඛ වෙති. එමෙන්ම ඉත්තෑවා, ලේනා, වන ඌරා, හඳුන් දිවියා, ඕලු මුවා, මීමින්නා, උනහපුළුවා, හාවා, කබල්ලෑවා, දඬු ලේනා ආදී සත්ත්ව විශේෂ රාශියක්ද දක්නට ලැබෙන අතර, වඳුරන් රංචු වශයෙන් සුලභව දක්නට ලැබේ. නයා, පිඹුරා, මුහුදු කරවලා, පොළොන් තෙළිස්සා, හාල්දණ්ඩා, කටකලුවා වැනි සර්ප විශේෂ 21ක් පමණද, සමනල් විශේෂ 75ක් පමණද වනපියස තුළින් වාර්තා වී ඇත. අංකටුස්සා මෙම වනය තුළ දැකිය හැකි ඉතා දුර්ලභ කටුසු විශේෂයකි. ගේ මැසියා, පිහිඹු ගස් ගෙම්බා, දුඹුරු මොටා, හොඹු මැඩියා, මහනුවර පඳුරු මැඩියා යන උභය ජීවීන්ද, වනාන්තරය තුළ ඇති ජල පොකුණේ විවිධ මත්ස්‍ය සහ ඉබි විශේෂයන්ද දක්නට ලැබේ.
වනාන්තරය තුළ පිහිටි සුන්දර දිය පොකුණ එක්කරනුයේ අමුතුම චමත්කාරයකි. පැරැන්නන්ගේ මතය අනුව එහි සිට නගර මධ්‍යයට රහස් උමඟක් පවතියි. ගත සිත නිවන නිසල පරිසරය තුළ ආරණ්‍ය සේනාසන කිහිපයක් දක්නට ලැබේ. තපෝවනය විහාරය, කීර්ති ශ්‍රී පොත්ගුල් විහාරය, සිරිවර්ධනාරාමය, පෞරාණික ගංගාරාම විහාරය ඉන් ප්රමුඛ වේ. ඉංග්‍රීසි පාලනයේ වැදගත් ඓතිහාසික සටහනක් මෙම වනය තුළ පිහිටා ඇත. එනම් මෙරට ඉංග්‍රීසි ජාතිකයන් භූමදානය කළ %ගැරිසන් සොහොන් භූමියයි'
නූතන කාර්මික පාරිභෝජනවාදී සංවර්ධනය තුළ මෙම වනය රැකගැනීමේ වගකීම අප සතු වේ. පෞද්ගලික ලීසිං සමාගමක් මේ වන විට උඩවත්ත කැලය රැක ගැනීමේ හා පෝෂණය කිරීමේ සත්කාරයට දායක වී ඇත. එම සමාගම ආරම්භ කර ඇති 'තුරු' පාරිසරික වැඩසටහන් හරහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ උඩවත්ත කැලය වන උයනේ ආක්රමණික ශාකවලින් හානි වූ ප්‍රදේශවල රුක් රෝපණය කිරීම හා ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් දැනටමත් ආරම්භ කර ඇත.
ක්‍රි.ව. 114-136 දක්වා අනුරාධපුර යුගයේ රජ කළ ගජබා රජුගේ පාලන සමයේදී ඔහුගේ බෑණා වන සිරිවර්ධන සෙනෙවිරත්න ලවා මේ ආශ්‍රිතව මුල් වරට ගමක් ඇතිකර තිබේ. පසුව ක්‍රි.ව. 1302 - 1326 දක්වා කුරුණෑගල රජ කළ පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා මෙහි ජනවාස පිහිටුවා ඇත. ක්‍රි.ව. 1371දී මහ සේනා සම්මත වික්‍රමබාහු රජු විසින් තම රාජධානිය මෙහි පිහිටුවා තිබෙන අතර, පසුව එකල මෙම වනයේ සිටි සංකණ්ඩ නමැති බමුණා විසූ සංකණ්ඩ ලෙන ආශ්රයෙන් තම රාජධානිය සෙංකඩගල රාජධානිය ලෙස නම් කිරීමට සේනා සම්මත වික්‍රමබාහු රජු පියවර ගෙන තිබේ.
මහනුවර රාජධානිය පාලනය කළ සෑම රජ කෙනෙකුම තම මාලිගයට අයත් භූමි ප්‍රදේශයක් ලෙස සැලකීම හා රජ පවුලේ සාමාජික, සාමාජිකාවන්ගේ විවේකය ගත කිරීම, විනෝදාස්වාදය, රජ පොකුණේ දිය කෙළීම, සතුරු උපද්‍රවවලදී සැඟවී සිටීමට මෙම වනය යොදාගැනීම හා ඒ නිසාම රජුගේ ‘තහනම් කැලය’ ලෙස පසුව මෙම වනය හඳුන්වා තිබේ.
ඉංග්‍රීසි පාලනයේ මුල් කාලයේදී මෙම වනාන්තරයේ බූවැලි කන්ද මුදුනෙහි අක්කර 02ක් පමණ කොටසක් මැක්ඩොවෙල් බළකොටුව සඳහා එනම් Easten Redubt නමැති හමුදා ආරක්ෂක බළකොටුවේ කටයුතු සඳහා යොදාගෙන ඇත. එහි වූ ආරක්ෂිත අගල්වල ශේෂ ලකුණු අද වන විටද දැකිය හැකිය. ඉංග්‍රීසි සොල්දාදුවන් සෙන්පතීන් හා ප්රභූන්ගේ මළසිරුරු තැන්පත් කිරීම සඳහා ක්‍රි.ව. 1822දී මෙම වනයෙන් කොටසක් යොදාගෙන ඇති අතර, එය ගැරිසන් සොහොන් භූමිය ලෙස හැඳින්වේ. නමුත් පසු කාලයේදී වනාන්තරයේ පරිහානියත් සමග මහනුවර නගරයේ පාරිසරික තත්ත්වයන් වෙනස් විය. ඒ අනුව මෙම වනාන්තරයේ පැවැත්ම නගාසිටුවීමට හා අනවසර ක්‍රියා පාලනයට පියවර ගැනීමට වනාන්තරය පෝෂණය සඳහා විවිධ ශාක යොදා ගනිමින් පෝෂණීය වන වගා ක්‍රමය හඳුන්වා දීමට පියවර ගෙන තිබුණි. එහිදී උඩවත්ත කැලය රක්ෂිත වනයක් බවටත්, අභය භූමියක් බවටත් නීත්‍යනුකූලව ප්‍රකාශයට පත්කිරීම සිදුවිය. ඉංග්‍රීසි ප්‍රභූ පවුල්වල විවේකය හා විනෝදාස්වාදය ගත කිරීම සඳහා යෝග්‍ය වන පරිදි මෙම වනාන්තරයම හොඳින් ආවරණය වන පරිදි මංමාවත් පද්ධතියක් ඉදිකර තිබිණ. මෑත යුගයේදී අනුගමනය කරනු ලබන ආරක්ෂිත හා සංරක්ෂණ පියවර හේතුවෙන් මින් දැනට භාවිතයට ගැනෙනුයේ සීමිත මංමාවත් ගණනකි.
උඩවත්තකැලේ අවට ප්‍රදේශවාසීන්ගේ ප්‍රයෝජනය සඳහා බර්න්ස් ආණ්ඩුකාරවරයාගේ කාල වකවානුවේදී රජ පොකුණට පහළ කොටසේ විශ්කම්භය අඩි 08ක් හා ගැඹුර අඩි 40ක් පමණ වන ළිඳක් ඉදිකර ඇති අතර, ඉංග්‍රීසීන් විසින් ඉදිකරන ලද පැරණිතම ළිඳ ලෙස මෙය අද දිනයේදීද භාවිතයට ගනු ලබයි.
මෙම වනය තුළ පිහිටි රජ පොකුණේ පතුලේ රන් සෙම්බුවක කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ වස්තු සඟවා ඇති බවත්, එය සෑම වර්ෂයකම එක් දිනයකදී දිය මතුපිටට පැමිණ සැඟවී යන බවත් එය ගැනීමට යන අයවලුන් දියේ ගිලී මිය යන බවටත් ජනප්‍රවාදයක් පවතියි. එසේම එහි සිට දළදා මාලිගාව ඉදිරිපිටට ඇති නුවරවැව මැද පිහිටි ජයතිලක මණ්ඩපය දක්වා රහස් උමඟක් තිබූ බවටද ජනප්රවාදයේ සඳහන්ය.
සෙංකණ්ඩ ලෙන අසලදී නරිෙයකු පසුපස හාවෙකු හඹා යාමේ සිද්ධියක් (හාවෙකුට බියවී නරියෙකු දිවීම) දුටු අයෙකු ඒ බව ගම්පළ රාජධානිය පාලනය කළ සේනාසම්මත වික්‍රමබාහු රජතුමාට දැන්වීමෙන් පසු මේ ස්ථානය ජය භූමියක් ලෙස සලකා රජු තම රාජධානිය මෙම වනාන්තරය ආශ්‍රිතව පිහිටු වූ බවටද ජනප්‍රවාදයක් පවතියි. තවද මෙම වනාන්තරය තුළ පිහිටි ගල්ලෙන් හා ඒ ආශ්‍රිතව නිධන් සඟවා ඇති බවටද මහජනයා අතර විශ්වාසයක් පවතියි.
මෙම වනාන්තරය තුළ පිහිටි සෙංකණ්ඩ ලෙන, චිත්ත විශුද්ධි ලෙන, මෛත්‍රී ලෙන, බූවැලි කන්ද ලෙන යන ගල්ලෙන් ඈත අතීතයේ සිට කලින් කල භාවනානුයෝගීන් හා භික්ෂූන් වහන්සේලා තම ආගමික කටයුතු සඳහා භාවිත කර ඇත. වර්තමානයේදීද චිත්ත විශුද්ධි ලෙනෙහි හිමිනමක් භාවනානුයෝගීව වැඩ වෙසේ. මීට අමතරව ශ්‍රී දළදා තපෝවන ආරණ්‍ය සේනාසනය, සේනානායක ආරණ්‍ය හා ජර්මන් විහාරය යන බෞද්ධ මධ්‍යස්ථානද මෙම කැලය තුළ පිහිටන අතර, මෙම සිද්ධස්ථාන මගින් විවිධ ආගමික සේවාවන් ඉටු වේ. රාම විහාරය, ගංගාරාමය, ශ්‍රී වර්ධනාරාමය හා කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරය යන විහාරස්ථාන උඩවත්ත කැලයට ආසන්නයේ පිහිටා ඇති අතර, ඈත අතීතයේදී මෙම පූජනීය භූමීන් පිහිටි ප්රදේශයන්ද උඩවත්තකැලේ වනාන්තරයට අයත්ව තිබී ඇත.
මෙම ආගමික ස්ථානවල නේවාසිකව වැඩ නොසිටියද වස් වැසීම, භාවනා කිරීම වැනි ආගමික අරමුණු ඉටුකර ගැනීම සඳහා කලින් කල භික්ෂූන් වහන්සේලා මෙම වනයට වැඩම කිරීම සිදුවේ.
උඩවත්ත කැලය තුළ ශාක විශේෂ 405කට පමණ අයත් තුරුලතාවන් ඇතුළු පැළෑටි දක්නට හැකිය. ඒ අතර ආවේණික, දුර්ලභ, වඳවී යන මෙන්ම ඖෂධීය වශයෙන් වැදගත්කම් දරන සංඛ්‍යාව ඉතා ඉහළය. මෙහි තුරු වියන නිරීක්ෂණයේදී වියන, උප වියන, බිම් ස්ථරය වශයෙන් ප්‍රධාන වියන් ස්ථර 03ක් හඳුනාගැනීමට හැකිය. වියනේ, අපවියනේ, තුරු හිස් ඝනව හා එකිනෙකට යාව වැඩී ඇති බැවින් වනාන්තරය තුළට සූර්යාලෝකය පතිත වීම සීමාකාරීය. ශාක විවිධත්වය, ඝනත්වය, රූපාකාරය, පැතිකඩ නිරීක්ෂණය සැලකිල්ලට ගැනීමේදී මෙම වනය තෙත් කලාපීය වනාන්තරයක ලක්ෂණ පෙන්නුම් කරයි. වල් දෙල්, ඇටඹ, මලබඩ, කළුකේර, දත්කැටිය, හීන්කැබැල්ල, රවන්ඉදල, වල්කරපිංචා, මාවේවැල් යන ශාකයන් මෙහි දැකිය හැකි ශ්‍රී ලංකාවට ආවේණික ශාක වර්ගවලින් කිහිපයකි.
ශ්‍රී ලංකාවේ ජනාකීර්ණ නගරයක් වන මහනුවර නගරයට ආසන්නව අනෙකුත් වනාන්තරවලින් වෙන්ව පිහිටා ඇති කුඩා වනාන්තරයක් වුවද ශාක විවිධත්වයෙන් මෙන්ම සත්ත්ව විවිධත්වයෙන්ද මෙම වනය අද්විතීය ස්ථානයක් ගනියි.
ආවේණික, දුර්ලභ හා වඳවී යන කාණ්ඩයන්ගෙන් යුතු පක්ෂීන් 79, ක්ෂීරපායීන් 12, සමනලුන් 74, කටුසු වර්ග 04, සර්ප විශේෂ 32ක්ද, කෘමීන්, කටුස්සන්, උභයජීවීන් ගොළුබෙල්ලන්ද රජ පොකුණ ආශ්‍රිතව වෙසෙන මත්ස්‍යයන් ඇතුළු ජල ජීවින්ගේද සංචාරක පක්ෂීන්ගේද යුතු මෙම වන පියස ඔවුන්ගේ ගොදුරු බිම් හා නිවහන් වේ. ලංකා ගිරාමලිත්තා, වල්අවිච්චියා, ලංකා අඳුරු මැසි මාරා, ලංකා හිස දුඹුරු දෙමලිච්චා, ලංකා මයිලගොයා යන පක්ෂීන්ද, ශ්‍රී ලංකා රිළවා, පලා පොළගා, රන්හෝතඹුවා, උනහපුළුවා, කරමල් බෝදිලියා යන සතුන්ද මෙහිදී දැකිය හැකි ලංකාවට ආවේණික වනසතුන් අතරින් කිහිපදෙනෙකි.
උඩවත්තකැලේ වනාන්තරය වාගොල්ල, වටපුළුව, බණ්ඩායවත්ත යන ප්‍රදේශවල පිහිටි පානීය කෘෂිකාර්මික ජල මූලාශ්රයන් සඳහා මෙන්ම නුවර වැවේද ජල පෝෂකයන් ලෙස ක්‍රියාකරන අතර, මෙයින් පෝෂණය වන ඇළදොළ අවසන් වශයෙන් මහවැලි නදියට එක්වේ.
දිවුල් වැව කොටසේ කඳු මුදුනෙහි පිහිටි රජවරුන් ඇතුළු රාජකීයන් නගර සිරි නැරඹීම, වෙහෙස නිවාගැනීමටත් පරිහරණය කළ අසුනයි.
මෙම ආරණ්‍යයට ආයත් කුටිවල භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා වැඩ සිටියහ. ආගමික වැඩසටහන් නිතර පැවැත්වේ.
මෙම යෝධ උණ ගස් පඳුරු (dedrocalamusgiganteus) විසිතුරු ශාකයක් ලෙස හඳුන්වා දී ඇත. මෙම ශාක මීටර් 35 ක් පමණ උස යන අතර, වට ප්‍රමාණය සෙන්ටිමීටර් 35ක් පමණ වේ.
සෙංකණ්ඩ නමැති බමුණා විසූ ඉපැරණි ලෙනයි. මහනුවරට සෙංකඩගල පුරවරය යනුවෙන් හඳුන්වනු ලබන්නේ මෙම ගල්ලෙන මුල්කර ගෙනය.
මෙ එළිමහන් ගල්ලෙනකි. මහනුවර නගරය ජනාකීර්ණ වීමත් සමග ආගමික කටයුතුවලට සුදුසු නොවීම හේතුවෙන් අත්හැර දමා ඇතැයි සැලකේ.
ඉංග්‍රීසි පාලන යුගයේ ප්‍රභූන්, සෙන්පතීන්, සොල්දාදුවන් ඇතුළු පවුල්වල අයගේ සොහොන් බිම වේ. මෙහි ස්මාරක 163ක් පිහිටා ඇත.
මෙම තොරතුරු මධ්‍යස්ථානය තුළ මෙම රාජකීය වන උද්‍යානය පිළිබඳව සියලු තොරතුරු ලබාගත හැකිය.
මෙම වනාන්තරයේ උසම ස්ථානයයි. ඈත අතීතයේදී මෙම ස්ථානයේ ජාතික හා ආගමික කොඩි ඔසවා තිබී ඇත.
භික්ෂූන් වහන්සේලා භාවනානුයෝගීව වැඩ සිටින ස්ථානයකි. මෙහි සවිකර ඇති ඵලකයේ මෙයි පරිහරණය කළ හැකි අයුරු සඳහන්ව පවතියි.
උඩවත්තකැලේ පිහිටි විශාලතම ගල්ලෙනයි. වර්තමානයේදීද භාවනානුයෝගී භික්ෂූන් වහන්සේ නමක් මෙහි වැඩ සිටිති.
ඈත අතීතයේ සිට මෙම ලෙනද භාවනානුයෝගීන් විසින් පරිහරණය කර ඇත. වඩාත් නිස්කලංක පරිසරයක පිහිටි ගල් ලෙනකි.
විදේශීය භික්ෂූන් වහන්සේලා වැඩසිටි බුදුදහම පිළිබඳ විවිධ භාෂාවලින් ග්රන්ථ ප්‍රකාශයට පත්කිරීම මෙයින් සිදුවන විශේෂ මෙහෙවරකි.
කොඩිමලයට ආසන්නව පිහිටි උඩවත්තකැලේ පැරණිතම හා විශාලතම පුස්වැල මෙය වසර 300ක් පමණ පැරණිය.
ලේඩ් හෝර්ටන් මාවතේ නා වනයට ආසන්නව දර්ශනීය මෙම පුස්වැල පිහිටා ඇත. මෙහි මුලෙහි වට ප්‍රමාණය අඩි 6 1/2 කි.
නා යනු ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂයයි. උඩවත්තකැලේ තුළ නා ශාකය බහුල වශයෙන් පැතිර පවතින අතර, මෙම ශාක 1926 දී මෙහි රෝපණය කරන ලද ඒවාය.
උඩවත්ත කැලය තුළ වැඩි වශයෙන් වේවැල් දැකිය හැකි ප්රදේශයයි.
පිහිටීම - උතුරු අක්ෂාංශ 70-17 'හා 80-19' අතර නැගෙනහිර දේශාංශ 800-80-39' අතර
විශාලත්වය - හෙකටයාර් 105 කි. (අක්කර 257කි)
වනාන්තර වර්ගය - තෙත් කලාපීය වනාන්තරයක ලක්ෂණ පෙන්නුම් කරයි
වර්තමාන භාරකාරත්වය හා පාලනය - වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
භූ විෂමතාව - උච්චත්වය මුහුදු මට්ටමේ සිට මීටර් 500ත් 600ත් අතර දළ බෑවුම 0 අංශක 30-70 දක්වා කඳු වැටියේ ප්‍රධාන විහිදීම, ගිනිකොන, වයඹ දිශාවට
ප්රමුඛ පස් වර්ග - රතු දුඹුරු ලැටොසොලික් පස
ප්රමුඛ පාෂාණ වර්ග - ඩොලමයිට්, ක්වාට්ස්, චනොකයිට්ස්, ගානට්
වර්ෂාපතනය - නිරිතදිග හා ඊශානදිග මෝසම් දෙකෙන්ම වැසි ලැබේ. වාර්ෂික වර්ෂාපතනය සාමාන්‍ය අගය මි.ලි 1780.
උෂ්ණත්වය - වාර්ෂික උපරිම උෂ්ණත්වය සාමාන්‍ය අගය සෙ.ග්‍රේ 29.7. වාර්ෂික අවම උෂ්ණත්වය සාමාන්‍ය අගය සෙ.ග්‍රේ 20.3
සාපේක්ෂ ආර්ද්‍රතාව - දිවා කාලය සාමාන්‍ය අගය 74.4%
රාත්‍රී කාලයේ සාමාන්‍ය අගය 93.6%
(ඉහත සඳහන් වර්ෂාපතන උෂ්ණත්ව හා සාපේක්ෂ ආර්ද්‍රතා තොරතුරු උඩවත්තකැලේ සිට කිලෝමීටර් 04ක් දුරින් කටුගස්තොට පිහිටි කාලගුණික දෙපාර්තමේන්තුවේ කාලගුණ මධ්‍යස්ථානයේ 2002 සිට 2006 වර්ෂය දක්වා එක්රැස් කරන ලද දත්තයන්ට අනුව වේ)
ඡයාරූප - මහනුවර අඩවිවන කාර්යාලය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd