Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
මෙම ගැටලුව පිළිබඳ ජනතා අදහස් විමසීමේදී නිරතුරුවම මතුව ආ ප්‍රධානතම කරුණක් වූයේ මේ වන විට ශ්‍රී ලංකාවේ බහුතරයක් මාර්ගවල ධාවනය වන වාහන ප්‍රමාණය ඉතා ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම ඊට සරිලන ලෙස බොහෝ මාර්ග වසර ගණනාවකින් පුළුල්කොට නොමැති වීමද තවත් හේතුවකි. පොලීසිය කලින් කලට විවිධ රථ වාහන සැලසුම් ක්‍රියාත්මක කළද එය එතරම් සාර්ථක වී නොමැත. තවද වසර ගණනාවකට පෙර සවි කළ ඇතැම් මාර්ගවල තිබෙන ආලෝක සංඥා පද්ධති යාවත්කාලීන නොවීම තවත් ගැටලුවකි.
දවස පුරාම පවතින මෙම තදබදය නිසා පීඩාවට පත්වන පිරිස් සුළුපටු නැත. පාසල් සිසුන්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් කලට වේලාවට තම ගමනාන්ත වෙත යාමට නොහැකි වීම හේතුවෙන් දවසේ කාර්යයන් නිසි ලෙස ඉටුකර ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවන්ට පමණක් නොව මානසික ආතතීන්ට පවා ලක්වේ. විශේෂයෙන් රාජ්‍ය සේවකයන් ආතතියට ලක්වීම ජනතාව ආතතියට ලක් කරන්නක් බව අමුතුවෙන් කිවයුතු නැත. ඇතැම් අවස්ථාවලදී රෝගීන් රැගෙන යන ගිලන් රථ පවා වාහන තදබදයට හසුවීමෙන් රෝගී ජීවිත අවදානමට ලක්වීම අප කොතෙකුත් දැක ඇත.
එමෙන්ම කොළඹ මූලික කොටගෙන සිදුකරන්නා වූ විවිධ විරෝධතා පාගමන්, උද්ඝෝෂණ ආදිය හේතුවෙන්ද ජනතාව තව තවත් අපහසුතාවන්ට පත්වේ. හදිසි මාර්ග නඩත්තු කටයුත්තක් වුවත් මෙම මාර්ගවල සිදුකිරීමට යාම අධික තදබදයක් ඇතිකිරීමට හේතුවක් වෙයි.
පදිකයන් සඳහා පාර මාරුවීමට මාර්ගවල සවිකර ඇති ආලෝක සංඥාවන්ට අවනත නොවන ඇතැම් පදිකයන් හේතුවෙන්ද වාහන අධිකව ධාවනය වන මාර්ගවල අනවශ්‍ය තදබදයක් ඇතිවේ. එපමණක් නොව රිය අනතුරු පවා ඇතිවීමට ඉඩ තිබේ. ධාවනයට නුසුදුසු අබලන් වූ වාහන මෙවැනි මාර්ගයක ධාවනය වන අතරතුර හදිස්සියේ ක්‍රියා විරහිත වුවහොත් එයද මාර්ග තදබදයට අතවනන්නකි. එමෙන්ම තදබද සහිත ප්‍රධාන මාර්ගයකට අතුරු මාර්ග ඔස්සේ පැමිණ වාහන ඇතුල් කිරීමද, සමහර මාර්ගවල අවිධිමත් ලෙස සවිකර ඇති ආලෝක සංඥාවන්, අවිධිමත් ඉදිකිරීම්, වර්ෂාවලදී මාර්ග ජලයෙන් යටවීම් මාර්ග තදබද ඇතිවීමට හේතු ලෙස ජනතාව දක්වති.
මෙය අධ්‍යයනය කරන විට හොඳින්ම පෙනෙන කරුණක් වනුයේ පසුගිය 2011 සිට 2014 වර්ෂයන්ට වඩා වාහන වැඩි ප්‍රමාණයක් 2015 වසරේදී ලියාපදිංචි කර ඇති බවයි. එය 2011 වසරට සාපේක්ෂව 27.3%ක වැඩි වීමක් වුවත් 2014ට සාපේක්ෂව 55.72%ක ශීඝ්‍ර ඉහළ යාමකි. 2012 සහ 2013 වසරේදී එක්වරම පහත වැටීමක්ද පෙන්නුම් කරයි. කෙසේනමුත් මේ වන විට මෙරට වාහන ප්‍රමාණය වැඩිය යන චෝදනාව සැබෑ බව මෙමගින් නිගමනය කළ හැකිය.
පසුගිය රජයෙන් කොළඹට පැමිණෙන වාහන සීමා කිරීමට සුඛෝපභෝගී බස් රථ යොදා ගනිමින් වැඩපිළිවෙළක් ආරම්භ කළද, එම වැඩපිළිවෙළද එතරම් කාලයක් පැවතුණේ නැත. ජනතාව පවසන ආකාරයට පොදු වාහන සේවාවන්හි පවතින දුර්වලතාවද මීට එක් හේතුවකි. උදේ සවස ධාවනය වන කාර්යාලයීය දුම්රියවල මගීන් ගමන් ගන්නා ආකාරය දකින විට දුම්රිය සේවයට ජනතාව සැබෑ ලෙසටම සෙත සෑදීමට නම් තවත් කෙතරම් දුරක් යාමට තිබෙනවාදැයි සිතාගත හැක. බස් රථවලද පවතින අධික තදබදය සහ කලට වේලාවට රාජකාරියට වාර්තා කිරීම සඳහා ඇති නොහැකියාව නිසාම බොහෝ මගී ජනතාව පෞද්ගලික වාහන භාවිතයට යොමු වෙයි. එලෙස පෞද්ගලික වාහන මාර්ග තුළ වැඩි වීම තව තවත් මාර්ග තදබදයට හේතුකාරකයක් වී තිබේ. මේ සියල්ල සිදුවන්නේ රට තුළ නිසි ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක නොවීම නිසාය. එම නිසා පොදු ප්‍රවාහන සේවාව මීට වඩා කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව අදාළ වගකිවයුතු අංශ වටහාගත යුතුය.
රාජ්‍ය සේවාවන්හි කාර්යාලයීය ආරම්භක වේලාවන් වෙනස් කිරීම පිළිබඳ පසුගිය දිනවල කතාබහට ලක්වූ අතර, ජනතාවද ඒ සඳහා ප්‍රසාදය පළකර සිටියත් තවමත් එම වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක වී නොමැත. එමෙන්ම කොළඹ නගරය මුල්කොට ගනිමින් විසිරී පිහිටා ඇති රජයේ ආයතන තදාසන්න ප්‍ර‘දේශවලින් ඉවත්කොට එක් ප්‍ර‘දේශයක ස්ථාපනය කිරීමෙන් මෙම තදබදය අවම කිරීමට හැකිවේ යැයි ජනතාව පෙන්වා දෙති. පසුගිය රජය සමයේ ජල මාර්ග ඔස්සේ පොදු ප්‍රවාහන සේවයක් සැලසීමට යෝජනා වූවද එයද යෝජනාවකට පමණක් සීමා විය. මෙලෙස විසඳුම් ඉතා ඈතින් තිබෙන විට ජනතාව මෙම ගැටලුව නිසා එදිනෙදා ජීවිතයේදී ආර්ථික සහ සාමාජීය වශයෙන් විදින ගැහැට බොහෝය.
අප කළ විමසීම්වලදී රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවයේ නියුතු වූවන් කියා සිටියේ රාජකාරි කටයුතු සඳහා යෑමට ඔවුනට අලුයම් කාලයේ සිටම අවදිව සූදානම් වීමට සිදුව ඇති බවයි. උදේ 9ට කාර්යාලයට වාර්තා කිරීමට නම් අවම වශයෙන් උදෑසන 7ට වත් පිටත්විය යුතු බවත්, ඇතැමිවිට එම කාලයද ප්‍රමාණවත් නොවන බවත් ඔවුහු කියා සිටියි. සවස් කාලයේද පොදු ප්‍රවාහන සේවාවන්හී තෙරපෙමින් අධික තදබදයට ලක්ව නිවෙස් වෙත යන විට ඇතැම් අවස්ථාවල රාත්‍රී 8 පවා පසුවන බවත් ඔවුහු පෙන්වා දෙති. සිය පවුලේ සාමාජිකයන්, දරුවන් හා ගත කිරීමට ඔවුන්ට ලැබෙන කාලයද මෙමගින් සීමා වේ.
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍ර‘දේශවල සේවයේ නියුතු බස් රථ රියදුරන් පවසන්නේ මෙම අධික තදබදය නිසාවෙන් ඔවුන්ට දෛනිකව නියමිත ගමන්වාර ප්‍රමාණය සම්පූර්ණ කිරීමට බාධා ඇති බවයි. ඇතැම් විට මීළඟ ගමන් වාරය අවලංගු වන අවස්ථාවන්ටද මුහුණ දීමට සිදුවන බව පවසන ඔවුන් මේ හේතුවෙන් සිදුවන ඉන්ධන නාස්තිය සහ අහිමි වන ලාභය සුළුපටු නොවන බව පෙන්වා දෙති.
මෙම ගවේෂණයේදී අප දුටු තවත් කරුණක් වූයේ බොහෝ අවස්ථාවන්හිදී රියදුරන්ගේද නොඉවසිලිමත්කම හා විනයක් නොමැතිකම නිසාත් රථවාහන තදබදයන් ඇතිවීමයි.
තවද වාහන දෙකක් සුළු වශයෙන් ගැටුණු අවස්ථාවලදී පවා ඇතැමුන් වාහනවල පිහිටීම ලකුණුකොට මාර්ගයේ පසෙකට වාහනය ගන්නවා වෙනුවට මාර්ගයේ මධ්‍ය‘යේම ගැටුණු වාහන තබාගෙන එකිනෙකාට දෝෂාරෝපණය එල්ලකර ගනියි. අනෙක් වාහනවලට යෑමට ඇති ඉඩ එමගින් ඇහිරීම නිසා අනවශ්‍ය තදබදයක් හට ගැනීමට එවන් ක්‍රියා හේතු වේ.
මේ අනුව බලනවිට අප රට දියුණුව කරා යන ගමනට මාර්ග තදබදය ඇතිකරන බලපෑම සුළුපටු නොවන බව අප දනිමු. දෛනිකව මේ අපතේ යන්නේ මහජනතාවගේ මෙන්ම රටේත් ධනය, ශ්‍රමය, කාලය වන බව අප අමතක නොකළ යුතුය. ඉබේම මාර්ග පළල් වන ආශ්චර්යයක් ලොව කොතැනකවත් සිදුනොවන නිසා රජය මීට වහ වහා පියවර ගත යුතුමය. එමෙන්ම තනි අතින් අත්පුඩි ගැසීමට නොහැකි නිසා ජනතාවද මීට පිළියම් යෙදීමේ කාර්යයට තම උපරිම දායකත්වය සපයා දිය යුතුය. එසේ වුවහොත් මාර්ග තදබද ඉතා අවම රටක් බවට මේ රට පත් කිරීමට හැකිවන දිනය වැඩි ඈතක නොවනු ඇත.
"ප්‍රවාහන තදබදයට ප්‍රධාන වශයෙන් හේතු කිහිපයක් තිබෙනවා. ඒ තමයි කොළඹ නගරය මධ්‍යස්ථානයක් වශයෙන් පිහිටීම. ඒ කියන්නේ රජයේ ආයතන, ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන, උසාවි, වරාය, ප්‍රධාන දුම්රියපොළ ආදී තවත් බොහෝ වැදගත් ආයතන හා ස්ථාන පිහිටා තිබෙන්නේ කොළඹ නගරය මුල් කොටගෙන. අනෙක් කාරණය තමයි පසුගිය කාලවකවානුව තුළ අපේ රටේ මධ්‍යම පාංතික ප්‍රජාවේ වැඩි වීමක් සිදුවුණා. නමුත් ඔවුන්ට සරිලන ආකාරයෙන් රටේ පොදු ප්‍රවාහන පද්ධතියේ දියුණුවක් සිදුවුණේ නැහැ. මේ නිසා ඔවුන් යොමු වුණා ණය වෙලා හරි තමන්ගේම කියා වාහනයක් මිලදීගෙන තම ගමන්බිමන් සඳහා යොදාගන්න.
මේ ආකාරයෙන් මාර්ග පද්ධතියේ ධාවනයට එක්වුණු පෞද්ගලික වාහන ප්‍රමාණය දස ගුණයකින් පමණ වැඩි වුණා. ඒ වගේමයි ජනතාව තුළ තිබෙන ශික්ෂණය ඉතාමත් අඩුයි. අපි ප්‍රධාන වශයෙන් හඳුනාගත් ගැටලුවලට පිළියම් යොදන්න වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙලා ඉන්නවා. මුලින්ම අපි ජනතාව අතර මාර්ග ශික්ෂණයක් ඇතිකරන්න අවශ්‍යයයි. ඒ සඳහා නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන්නත්, තදාසන්න ප්‍ර‘දේශවල CCTV කැමරා පද්ධතියක් සවිකරලා වැරදි කරන රියදුරන්ට දඩය නිවසටම ලැබෙන ආකාරයේ ක්‍රමයක් ස්ථාපනය කරන්නත් සැලසුම් කරනවා.
තවත් ගැටලුවක් තමයි වාහන ගාල් කිරීම කියන කාරණය. කොළඹ ආශ්‍රිතව වාහන ගාල් කරන්න පහසුකම් ප්‍රමාණවත් නොවන නිසා රියදුරන් යොමුවෙල තිබෙනවා වාහන මාර්ග අයිනේ ගාල් කරන්න. එය වාහන තදබදයට හේතුවක් වෙනවා. මේ නිසා අපි පියවර ගෙන තිබෙනවා කොළඹ නගරය පාදක කරගෙන ප්‍රධාන මාර්ගයෙන් මඳක් ඈත්ව වාහන ගාල් කිරීමට පහසුකම් සලසන්න. මේ සඳහා මේ වන විට ඉඩම් හඳුනා ගනිමින් යනවා. තව මාස කිහිපයකින් එය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන් මාර්ග තදබදය හටගන්නේ උදේ සහ සවස කාර්යාලයීය වේලා වල.
මීට පිළියමක් වශයෙන් අපි සූදානම් වෙනවා රජයේ ආයතන සඳහා නම්‍යශීලී කාර්යාලයීය වේලාවන් හඳුන්වා දෙන්න. මේ ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් සමග සාකච්ඡා කරලා කැබිනට් අනුමැතියක් ලබාගෙන තිබෙනවා. විශේෂයෙන්ම පාසල් වේලාවන් නිසා හටගන්න තදබදය අවම කරන්නත් පාසල් බස්රථ යොදාගෙන ක්ර‘ම‘වේදයක් සකසන්න සූදානම් වෙලා සිටිනවා. මේවා කෙටිකාලීන ව්‍යාපෘති. අනික තමයි ආලෝක සංඥා පද්ධති. CCTV කැමරා මගින් වාහන ගමන් කරන ප්‍රමාණය නිරීක්ෂණය කරලා ඒ අනුව ස්වයංක්‍රීයව ගමන් කාලය සකසන්න පුළුවන් විදියට ආලෝක සංඥා පද්ධති ක්‍රමයක් සකසන්නත් මේ වනවිට අවධානය යොමුවෙලා තිබෙනවා.
පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් බස් රථවල ගුණාත්මකභාවය වැඩිකරන්න රජයේ වගේම බස් සංගම්වලත් සූදානමක් තිබෙනවා. ඒ වෙනුවෙන් සුඛෝපභෝගී නවීන පහසුකම් සහිත බස්රථ සේවාවක් හඳුන්වා දෙනවා. ඒ වගේම ඇතැම් මාර්ග සඳහා බස් රථවලටත්, මගීන් වැඩි දෙනෙක් ගමන් ගන්නා රථවලටත් ප්‍රමුඛතා මංතීරුවක් ඇති කරන්නත් කටයුතු කරගෙන යනවා. දුම්රිය සේවාවත් මීට වඩා කාර්යක්ෂම සහ වැඩිදියුණු කරන්න අවධානය යොමුවෙලා තියෙනවා. වේයන්ගොඩ සිට පානදුර දක්වා තිබෙන මුහුදුබඩ දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස සකසලා නවීන පහසුකම් සහිත විදුලි දුම්රිය සේවයක් ආරම්භ කරන්න සැලසුම් කරමින් යනවා.
ඊට අමතරව කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන මාලඹේ, කඩවත, කඩුවෙල, වැල්ලවත්ත වැනි ප්‍ර‘දේශවලට විසිරී යන ආකාරයෙන් සැහැල්ලු දුම්රිය පද්ධතියක් (Light rail) සකස් කරන්න මේ වෙද්දී ශක්‍යතා අධ්‍යයන සිදුකරමින් යනවා. මේ සියල්ල දිගුකාලීන ව්‍යාපෘති.
මේ ව්‍යාපෘති සිදුකරගෙන යාමේදී විවිධ අභියෝග මතුවෙනවා කෙටිකාලීන ව්‍යාපෘති මේ වෙද්දී ක්‍රියාත්මක කරන්න කටයුතු සූදානම්. නමුත් දිගුකාලීන ව්‍යාපෘති ක්‍රියාත්මක කරද්දී අපිට පරිසරය ගැන සිතන්න අවශ්‍යයයි. ඒ වගේම ශක්‍යතා අධ්‍යයන සිදුකරන්න අවශ්‍යයයි. මේ ව්‍යාපෘති බහුතරයක් අපි සිදුකරන්න යන්නේ රාජ්‍ය පෞද්ගලික අංශයේ ආයෝජන විදියට. ඒ නිසා පෞද්ගලික ආයෝජකයන් මීට සම්බන්ධ කරගන්න දැන් කටයුතු සිදුකරමින් යනවා. කෙසේනමුත් මේ දිගුකාලීන ව්‍යාපෘති වසර 5-10ත් අතර කාලයක් තුළ ක්‍රියාත්මක කරන්න අපිට හැකිවේවි.
පසුගිය කාලයේ කතාබහට ලක්වුණා මොනොරේල් ව්‍යාපෘතිය පිළිබඳව. මොනොරේල් ව්‍යාපාතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම ගැන අධ්‍යයන සිදුකරද්දී ඊට පැමිණි විශේෂඥ කණ්ඩායම් ඒකමතිකව කියා සිටියා මොනොරේල් වැනි පද්ධතියක් මෙරටට නොගැළපෙන බව. ඒ නිසා එය අත්හැර දැමුවා. ඒ වෙනුවටයි ලයිට් රේල් (Light Rail) හෙවත් සැහැල්ලු දුම්රිය පද්ධතිය හඳුන්වා දුන්නා. මෙයත් පීලි දෙකක් මත ගමන් කරන සාමාන්‍ය දුම්රියකට වඩා මඳක් කුඩා දුම්රිය පද්ධතියක්. මෙය රාජ්‍ය සහ පෞද්ගලික ආයෝජන හැටියටයි ක්‍රියාත්මක කෙරෙන්නේ. මේ පද්ධතියේ ලයින් 7ක් පමණ තිබෙනවා. ඉන් 2ක් මේ වෙද්දී ශක්‍යතා අධ්‍යයන සිදුකරනවා. ඉතිරි 5ත් ඉක්මනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.අවසාන වශයෙන් කියන්න කැමතියි මේ වනවිට ජලමාර්ග ඇසුරු කරගනිමින් මගී බෝට්ටු යොදාගෙන පොදු ප්‍රවාහන සේවයක් ඇති කරන්නත් රජය මේ වෙද්දී සූදානමින් ඉන්නවා."
"කොළඹ නගරයට දෛනිකව ආසන්න වශයෙන් රථවාහන ලක්ෂ 5ක් පමණ ප්‍රමාණයක් ඇතුල් වෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන රැසක් ස්ථාපිත වෙලා තිබෙන්නේ කොළඹ නගරය කේන්ද්‍රකරගෙන. මේ සංසරණය වන අධික වාහන ප්‍රමාණය නිසි පරිදි හැසිරවීම එතරම් පහසු කටයුත්තක් නෙවෙයි. පොලීසිය මේ තදබදය අවම කරන්න බොහෝ පියවර ගෙන තිබෙනවා.
එකක් තමයි මංතීරු හඳුනාගෙන නිසි මංතීරුවේ ගමන් කරන්න රියදුරන් දැනුවත් කිරීම. ඒ වගේම තදබදය අධික ප්‍ර‘දේශවලට නිරතුරුවම පොලිස් නිලධාරීන් යොදවා තිබෙනවා. මාර්ග නීතිරීති උල්ලංඝනය කරන රියදුරන්ට දඩ නියම කිරීම, නඩු පැවරීම සහ අනිවාර්ය මාර්ගෝපදේශන වැඩසටහන් සඳහා සහභාගී කරවීම නිරතුරුවම සිදුකරනවා. ඒ වගේම ඒ ඒ දිශාවන්ට වාහන ගමන් කරන ප්‍රමාණය බලලා අපේ නිලධාරීන් විසින් ඇතැම් ආලෝක සංඥා පද්ධති දුරස්ථපාලක මගින් ක්‍රියාත්මක කරනවා.සමහර මාර්ගවල එක් දිශාවකට පමණක් වාහන ධාවනයට ඉඩදීම මගින් පවා තදබදය අවම කරන්න අපි පියවර ගෙන තිබෙනවා.
මේ තදබදයට හේතු වශයෙන් මූලිකවම අපි දකිනවා රියදුරන්ගේ විනයක් නොමැතිකම වගේම කොළඹට පැමිණෙන වාහන ගාල් කිරීම සඳහා ප්‍රමාණවත් ලෙස ඉඩපහසුකම් නොතිබීම. රියදුරන්ගේ දැනුවත්භාවයට අවශ්‍ය පරිදි සහ ප්‍රමාණවත්ව මාර්ග සංඥා පුවරු, උපදෙස් පුවරු නොතිබීමත් හේතු වෙනවා. පොලීසිය මෙතනදි වගකීම්වලින් එහාට ගිහින් වගවීම් පවා ඉටුකරනවා. මේ නිසා පොලීසිය වගේම අනෙකුත් වගකිව යුතු අංශවල අවධානයත් මීට යොමුවෙනවා නම් මේ මාර්ග තදබදය අවම කරන්න අපට හැකිවෙනවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd