මැයි 01 වැනිදා වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් දිනාගත් දිනය ලෙස ලෝකයේ බොහෝ රටවල් මහා විශාල සමරු උත්සව පවත්වමින් සමරන දිනයක් බවට පත් කරගෙන තිබේ. ශ්‍රී ලංකාව තුළත් මෙම දිනය සැමරීමට කටයුතු කරන අතර, ඒ සඳහා වැඩකරන ජනතාව නියෝජනය කරන වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ ලහි ලහියේ සූදානම් වෙමින් සිටී.
වැඩ දිනය පැය 08ක් බවට පත්කර ගැනීමේ ඓතිහාසික සිදුවීම සැමරීම සඳහා ලොව පුරා වැඩකරන ජනතාව පෙළගැසී සිටියත්, පැය 08කට සීමා වූ වැඩ දිනයක් හෝ කිසිදු කම්කරු අයිතිවාසිකමක් නොමැති ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ ලොවේ දියුණුව වෙනුවෙන් විශාල මෙහෙයක් කරනු ලබයි. එහෙත් එම ජනතාව පිළිබඳව කම්කරු දිනයේදීවත් කතාබහක් කරන ආකාරයක් දක්නට ලැබෙන්නේ නැත.
ලංකාව ගතහොත් කය වෙහෙසා වැඩ කරන බර උසුලන්නන් (නාට්ටාමි), කරත්තකරුවන්, වෙෙළඳාම් කරන්නන්, ත්‍රිරෝද රථකරුවන් ඇතුළු කුඩා කුඩා ව්‍යාපාර පවත්වාගෙන යන කිසිවෙකුටත් පැය 08 වැඩ දිනයක් උරුම වී නැත. ජීවිතයේ සැඳෑ සමය ගත කිරීමට අවශ්‍ය වන විශ්‍රාම වැටුපක් හෝ අර්ථසාධක අරමුදලේ දායකත්වයක් වත් මෙවුන්ට හිමි නොවේ. එහෙත් හිමිදිරියේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා මෙම පිරිස් සිදුකරන කටයුතු නිසා මෙරටේ ආර්ථිකයට ලැබෙනා දායකත්වය මිල කළ නොහැකිය.
එහෙත් ඔවුන්ගෙන් ලැබෙනා දායකත්වය කොතරම්ද යන්න සොයා බැලීමටවත් මෙතෙක් මෙරට පාලනය කළ ඇත්තන්ට හෝ වර්තමාන පාලක ඇත්තන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැත. තමන්ට හිමි අයිතිවාසිකම් ලබාදෙන ලෙස ඉල්ලා මේ ආකාරයේ අවධිමත් රැකියාවල නිරත වන පිරිස් උද්ඝෝෂණ හෝ පිකටිං ව්‍යාපාර පවත්වන්නේද නැත.
අනෙකුත් ක්ෂේත්‍ර මෙන් මෙම පිරිස වෙනුවෙන් පෙනී සිටීමට හැකි ප්‍රබල වෘත්තීය සමිති ආවරණද නැති තරම්ය. වෘත්තීය සමිති තිබුණද ඒවා බොහෝවිට ක්‍රියාත්මක වන්නේ දේශපාලඥයන් හෝ සිවිල් සංවිධාන යටතේය. මේ නිසා නිහඬව සේවාවක් සිදුකරන මෙම ජන කොට්ඨාස පිළිබඳව රටේ පාලකයන්ට හෝ රටේ ජනතාවගෙන් බහුතරයකට දැනුමක්ද නැත. එසේ දැනුමක් තිබෙනා පිරිස් පවා මෙම ජනතාව පිළිබඳ නිසි ඇගයීමක් සිදුකරන්නේ නැත.
අපි තමයි ලොකුම ප්‍රවාහන සේවය කරන්නේ - අබ්දුල් කාදර් (ත්‍රිරෝද රථ රියදුරු)
මගේ රැකියාව ආරම්භ වෙන වෙලාවක් නෑ. අවසන් වෙන වෙලාවකුත් නැහැ. මම ලංකාවේ ලොකුම ප්‍රවාහන සේවාවේ සාමාජිකයෙක්. මගේ වගකීම තමයි පැය 24 පුරා රටේ ජනතාවට ප්‍රවාහන පහසුකම සැලසීම. රාජකාරියට අව්ව වැස්ස අදාළ නැහැ. අපි මහන්සි වෙන තරමට තමයි දවස ගෙවාගන්න ඕන ආදායම ලැබෙන්නේ. ලැබෙන ආදායම දවසේ වියදමට ප්‍රමාණවත් උනත් නැතත් කරන්න දේකුත් නැහැ. වැටුප් වර්තා, ස්ථිර රැකියා නාම නැති නිසා බැංකුවකට ගිහිල්ලා හදිස්සියකට මුදලක් ණයට ගන්නත් බැහැ. රටේ ජනතාව සිතන ආකාරය අනුව අපි ත්‍රිරෝද රථකාරයෝ නිසා දරුවෙක් ඉස්කෝලෙකට දාගන්න ගියත් වැඩි සැලකිල්ලක් නැහැ.ඒකට හේතුවෙලා තියෙන්නේ ත්‍රිරෝද රථ සේවාව අභිමානවත් වෘත්තියක් බවට පත්කිරීමට වගකිවයුත්තන් කටයුතු නොකිරීම.
පලතුරු තරමට අපේ ජීවිත රසවත් නෑ -අනුලා ලේකම්ගේ (පලතුරු වෙළෙඳාමේ නිරතවන්නියක්)
පවුලේ 06 දෙනෙක් නඩත්තු කරන්නේ මම. දවසේ වැඩ පටන් ගන්නේ උදේ 7ට විතර. වැඩ අවසන් වෙන වෙලාවක් කියන්න බැහැ. මොකද ගත්තු බඩු ටික විකුණන්න රෑ 7, 8 වෙනකම් වුණත් වෙළෙඳාම කරන්න ඕන.පැය අටේ කතාව අපිට අදාළ නැහැ. අපි මහන්සි වෙන තරමට තමයි අපේ බඩකට පිරෙන තරම තීරණය වෙන්නේ.
රජයේ නිවාඩු දින, කම්කරුවන්ගේ දිනය ලෙස කතා කරන මැයි පළමුවැනි දිනත් අපට විශේෂ දවසක් නෙවෙයි. කෙනෙකුට මම පලතුරු විකුණන එක විතරයි පේන්නේ. ඒත් මම විකුණන පලතුරු හදන ගොවියාට මේ තුළින් සේවාවක් වෙනවා. ගොවියාගෙන් පලතුරු අරගෙන අපිට පලතුරු විකුණන කෙනාටත් මේ තුළින් සේවාවක් වෙනවා. මම පලතුරු විකුණන තරම අනුව තමයි අනෙක් අයගේ ආදායම තීරණය වෙන්නේ. ඒ වගේම පලතුරු වගාකරුවා ළඟ කම්කරුවෝ වැඩ කරනවා නම් ඔවුන්ගේ ආදායම කොතරම්ද කියලත් මේ තුළින් තීරණය වෙනවා. ඒත් අපි කරන සේවාව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ.
ශක්තිය නැතිදාට අවලංගු කාසි වෙනවා - ඊ.කේ. උපාලි (බර උසුලන්නෙක් - නාට්ටාමි)
මේ රැකියාව කරන්න හැකි වෙන්නේ ඇගේ හයිය තියෙනව නම් විතරයි. එහෙම නැතිවුණු දාට අපි අවලංගු කාසි. ඒත් ශක්තිය තියෙන කාලේ කිලෝ සීය, එකසිය පනහ බර භාණ්ඩ එහාට මෙහාට ගෙනහින් දීලා අපේ සේවාව සිදුකරනවා. අපිට ලොකු බලාපොරොත්තුවක් නැහැ. ලොකු බලාපොරොත්තු ඇතිවුණත් ඒවා කරගන්න පුළුවන් ආදායමක් අපිට නැහැ. ලොරියකට හරි කන්ටේනර් එකකට හරි බඩු පටවන්න, බාන්න තිබුණොත් දවසේ වියදම හොයාගන්න පුළුවන්.
මේ රාජකාරියට අව්ව වැස්ස අදාළ නැහැ. උණක් හෙම්බිරිස්සාවක් වගේම ඊට වඩා ලොකු ලෙඩක් හැදුණත් දවසේ රාජකාරිය අපි කරනවා. මොකද වැඩ කළොත් පමණයි බඩගින්න නිවාගන්න පුළුවන් වෙන්නේ. මැයි රැලිවලට ගිහිල්ලා අපිට කියන්න දෙයක් නැහැ. ඉල්ලන්න දේකුත් නැහැ. අපේ ප්‍රශ්න කිව්වත් ඒවට උත්තර දෙන්නෙත් නැහැ. හැබැයි අපි මේ රටේ සංවර්ධනයට කැප කිරීම් කරන පිරිසක්.
හැබැයි ඇගේ ශක්තිය නැතිවුණු දාට අපි නිකම්ම නිකන් මිනිහෙක් විතරයි. එදාට ඇගේ හයිය තියෙද්දී අපේ සේවාව ලබාගත් කෙනෙක්වත් හැරිල බලන්නේ නැහැ.
අර්ථසාධක සේවක භාරකාර අරමුදල් අපිට නෑ - මොහොමඩ් යූසුෆ් (කරත්තකරු)
මැයි දිනය ගැන මොකුත් දන්නෙ නෑ. කොල්ලො කාලේ ඉඳලම කළේ කරත්ත රස්සාව. උදේ 3ට වැඩ පටන් ගන්නවා. වැඩ අවසන් වෙන වෙලාවක් කියන්න බැහැ. දවසට කිලෝ දෙතුන්දාහ එහාමෙහා ගෙනියනවා. ලැබෙන මුදලින් එදාවේල කාලා ඉන්නවා. ලොකු බලාපොරොත්තු නැහැ. බලාපොරොත්තු තියාගන්නත් බැහැ.
දවසේ වැඩ ඉවර උනාම කරන්නෙම බුදියගන්න එක. ඇගේ හයිය තියෙනකම් කරත්ත තල්ලු කරන්න පුළුවන්. බැරිවුණදාට මහපාරට ගිහිල්ලා හිඟා කනවා. මොකද අපිට අර්ථසාධක සේවක භාරකාර අරමුදල් නැහැනේ විශ්‍රාම ගියාම භාවිත කරන්න. සමෘද්ධි නැහැ, වැඩිහිටි දීමනා නැහැ. අපේ වැඩට අව්ව වැස්ස කියලා වෙනසක් නැහැ.
ජනතාවගේ නිරුවත වහන්න රෙදි මහනවා - සාබ්දින් නිශා
අපි වගේ කුඩා ව්‍යාපාර කරන අය ගැන බලන්න කවුරුත් නැහැ. මැයි දිනයට යන පිරිස වගේම රටේ ජනතාව තමන්ගේ නිරුවත වහගෙන ඉන්නේ අපි වගේ ඇඳුම් මහන අය නිසා.රටේ ජනතාවට තමන්ගේ නිරුවත වහගන්න රෙදිමහලා දුන්නට අපේ ව්‍යාපාර දියුණු කරගන්න අද වෙනකම් කවුරුත් උදව් කරලා නැහැ.
ව්‍යාපාර දියුණු කරගන්න බැංකු ණයක් ගන්න ගියත් කරදර ගොඩාක් විඳින්න සිදුවෙනවා. අපි කරන දේ නිසා නූල් හදන කෙනා, බොත්තම් හදන කෙනා වගේම අපෙන් රෙදි අරගෙන විකුණන කෙනාත් ජීවත් වෙනවා.මැයි දිනය කියල එකක් අපිට නැහැ. උදේ 8ට 9ට මහන්න පටන් ගත්තාම රෑ දහය දොළහ වෙනකම් මහනවා. වැඩකරන තරමට ආදායම ඉතුරුවක් නැත. අනාගතය ගැන පොඩ්ඩක්වත් හිතන්න බැහැ. මොකද ලැබෙන ආදායම දවසේ වියදමටත් මදි.
කම්කරු අයිතිවාසිකම් බහුතරයකට නෑ
සුනිල් ජයවර්ධන (සභාපති ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනය)
මැයි දිනය සමරන්නේ දිනාගත් කම්කරු අයිතිවාසිකම් රැක ගැනීමට හා තව තවත් අයිතිවාසිකම් දිනාගැනීමට. ඒත් මේ රටේ ස්වයං රැකියාවල නිරත ලක්ෂ ගණනකගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න කවුරුත් නැහැ. ඔවුන්ට හිමි අයිතිවාසිකම් ලබාදෙන්නත් කෙනෙක් නැහැ. කුඩා කුඩා වෙළෙඳ සැල් පවත්වාගෙන යමින් ස්වයං රැකියාවල නිරත වන පිරිස 22,000කට අධිකයි. ඔවුන් රටට බරක් නොවී රටට බදු ගෙවමින් තම කටයුතු කරගෙන යනවා. ඒත් නගර අලංකරණය කියලා හරි, පාරවල් ලොකු කරනවා කියල හරි මේ ජනතාව ක්‍රම ක්‍රමයෙන් ජනාකීර්ණ ප්‍රදේශවලින් ඉවත් කරනවා. ඒ වගේම බර උසුලන්නන් ලෙස රට තුල 3000කට වැඩි පිරිසක් ඉන්නවා.
වට්ටි අම්මලා කියන කණ්ඩායම 5000කට වැඩියි. ත්‍රිරෝද රථ රියදුරන් ගත්තාම ලක්ෂ 11ක් ඉන්නවා. ඒත් මේ ජනතාවගේ සමාජ ආරක්ෂණය වෙනුවෙන් රට තුළ වැඩපිළිවෙළක් නැහැ. ගෙවී ගිය කම්කරු දින සැමරුම් ගණන 130ක්. ඒත් මේ රටේ වැඩ කරන බහුතරයකට චිකාගෝ නගරයේදී අරගල කරලා දිනාගත් කම්කරු අයිතිවාසිකම නැහැ.