කතරගම ඇසළ මහා පෙරහර හෙට සිට (24දා) අගෝස්තු 07 දක්වා
කතරගම ඓතිහාසික පුදබිමකි. බුදුරජාණන් වහන්සේ ජීවමාන යුගයේ සිටම පූජනීයත්වය පත් වූ බවට දෙස් දෙනු සාධක බොහෝය. ඒ අතරම කතරගම දෙවියන් ජීවමානව වැඩසිටින්නේද මේ පින් බිමෙහිය. මෙකී සුවිශේෂී කාරණා මත කතරගම ලක් දෙරණෙහි ප්රමුඛ ස්ථානයක් හිමිකරගෙන ඇත.
ඇසළ මාසයේ පැවැත්වෙන පෙරහර මංගල්‍යයන් අතර කතරගම පෙරහරට සුවිශේෂී වටිනාකම් රැසක් හිමිව ඇත. ආගමික සහනශීලීත්වයේ තරම මොනවට ප්‍රකට කෙරෙන මේ බිම සුවිශාල දෙස් විදෙස් බැතිමතුන්ගේ පිදුම් ලබන වග නොරහසකි. කතරගම දෙවියන් වෙනුවෙන් රුහුණු කතරගම මහා දෙවොලේ පෙරහර මංගල්‍ය තුනක් පැවැත්වේ.
ඇසළ පෙරහර, ඉල් මහකච්චි හෙවත් කාත්ති උත්සවය හා අලුත් අවුරුදු උත්සවය යනු එම මංගල්‍ය තුනයි. ඒ අතරින් වඩාත් වැදගත් සහ ප්‍රසිද්ධ මංගල්‍යය වනුයේ කතරගම මහා දෙවොලේ චිරාගත සම්ප්රදයානුකූලව පැවැත්වෙන ඇසළ පෙරහර මංගල්‍යයයි.
කතරගම ඇසළ පෙරහර මංගල්‍යය හා බැඳුණු එයටම ආවේණික වූ පුද සිරිත් රැසක්ම පවතී. ඇසළ මංගල්‍යයට සමගාමීව මුලින්ම සිදුකෙරෙන මංගල්‍යය වනුයේ කණු කපන මංගල්‍යයයි. පුරාණතම චාරිත වාරිත්රයන්ට මුල්තැනක් ලබාදෙමින් අද මෙකී චාරිත්‍රය සිදුකෙරේ. සුබ කටයුත්තකට පළමු පියවරක් වන මෙය ඉතා වැදගත් වූවකි. එක පඳුරේ වැඩුණ කණු දෙකක් සහිත 'රත් කරව්' නමැති ගස් වර්ගය මේ සඳහා යොදා ගනී. උදෑසනම සිදුකෙරෙන මෙම මංගල්‍යයද සුවිශේෂී වූවකි.
කණු කපා ගෙනැවිත් රඳවා තොටුපළේ සිදුකරන නානුමුර මංගල්‍ය‘යෙන් අනතුරුව කප වල්ලිඅම්මා දේවාලයේ තැන්පත් කිරීම සිදුවේ. එම කප කතරගම දෙවොලට ගෙන යාම ඊට පසුදින උදෑසන සිදුකෙරේ. කප සඳහා රත්කරව් ලීයක් යොදා ගැනීම සඳහා හේතු වූ ජන විඥානයේ තැන්පත් වූ පුරාවෘතයක් මෙසේය.
“දුටුගැමුණු රජු එළාර රජු සමග සටනකට යාමට පෙරාතුව කතරගම දෙවියන්ට බාරයක් විය. ජයග්‍රහණ‘යෙන් අනතුරුව දේවාලය ඉදිකරන ස්ථානය පිළිබඳ දුටුගැමුණු රජුට ප්‍රශ්නයක් විය. එහිදී කතරගම දෙවි වැඩ සිටි කන්දේ සිට හීයක් විදීය. එය වැටුණු තැන දේවාලය ඉදි කළ යුතු විය. එම හීය වැටුණේ වර්තමානයේ මහා දේවාලය පිහිටි ස්ථානයෙහිය. මෙහිදී හීය වශයෙන් යොදාගෙන ඇත්තේ රත්කරව් ලීයකි. මේ හේතුවෙන් කප සඳහා රත්කරව් ලීයක් යොදගත් බව පිළිගැනේ''
කප් සිටුවීම පෙරහර මංගල්‍යයට පෙරාතුව සිදුකෙරෙන තවත් එක් සුවිශේෂී මංගල්‍යයකි. කප් සිටුවීමෙන් අනතුරුව දින හතළිස් පහක් (45) ගතවනවාත් සමගම ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වේ. කතරගම දෙවියන්ට පෙරහර මංගල්‍ය සමයේ වාසස්ථානය වන්නේ මේ කප යැයි සැලකේ.
ඒ අනුව ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන මුළු කාලය තුළදීම කතරගම දෙවියන් මිනිස් ලොවට වැඩ මේ කපෙහි වාසය කරයි යන විශ්වාසය ජනවිඥානයේ නිදන්ගතව පවතී. කතරගම දෙවොලේ පෙරහර මංගල්‍ය පැවැත්වෙන අතරතුර සිදුකෙරෙන තවත් සුවිශේෂී මංගල්‍යයක් ලෙස ගිනි පෑගීමේ මංගල්‍යය සැලකීමට පිළිවන. පුරා දින ගණනක් පේවීමෙන් අනතුරුව සිදුකෙරෙන මෙම මංගල්‍ය‘යේදී කතරගම දෙවියන් කෙරෙහි බැතිමතුන් දක්වන භක්තිය කවරාකාරද යන වග පසක් වේ.
එමෙන්ම මෙහිදී දෙවියන් කෙරෙහි පවතින අචල ශ්‍රද්ධාව බෙහෙවින්ම වැදගත් වේ. දෙවියන් කෙරෙහි අතිමහත් භක්තියෙන් කටයුතු කරන බැතිමතුන් පේවී මැණික් ගංගාවේ ස්නානය කොට මෙකී කටයුත්තට සහභාගී වේ. කතරගම දේව බල මහිමයේ ශක්තිය කවරාකාර වූවක්ද යන්න මෙමගින් වඩාත් තහවුරු වේ.
පුරා දින 15ක් පුරාවට පැවැත්වෙන කතරගම ඇසළ පෙරහර මංගල්‍යය අවසන් කෙරෙන්නේ දිය කැපීමේ මංගල්‍යය සිදුකිරීමෙන් අනතුරුවය. දිය කැපීමේ මංගල්‍යයට ද වෙන් වූ චිරාගත සම්ප්‍රදායානුකූල චාරිත්‍ර විධි රාශියක් පවතී. කතරගම දෙවොලත්, මැණික් ගඟත් එකට අත්වැල් බැඳගත් මෙම මංගල්‍යයද දෙවියන් කෙරේ අචල ශ්‍රද්ධා භක්තියෙන් යුතු බැතිමතුන් විශාල සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් සිදුකෙරේ.
ඇසළ මංගල්‍යයට සමගාමීව සිදුකෙරෙන මෙම දිය කැපීමේ මංගල්‍යය හා බැඳුණු කතා පුවත් කිහිපයක්ද වේ. බොහෝ කලක් අසුරයන් යටතේ පීඩාවට ලක්වූ සුරයන් නිදහස් කරගෙන කතරගම දෙවියන් ස්වකීය බල තේජස වර්ධනය කරගත් බැව් තහවුරු කෙරෙන සාහිත්‍යමය සාධකයක් ලෙස කහකුරුළු සන්දෙස පෙන්වා දීමට පුළුවන.
තෙද බල විකුම් පෑ දිනසෙන් මඩ තෙද ග
බැඳ හල තමන් යස දද දස දිග යට ග
කතරගම දෙවොලේ දිය කැපීමේ මංගල්‍ය‘යේ අරමුණ තහවුරු කෙරෙන ඇතැම් සාධක පුරාවෘත්ති හා එකට අත්වැල් බැඳි පවතින බැව් තහවුරු වේ. දුටුගැමුණු මහරජ එළාර සමග යුද වැදි සමයේ මැණික් ගං තෙරින් ගමන් කරමින් සිටියේය. එහිදී දුටුගැමුණු රජුට කතරගම දෙවි මුණගැසුණි.
එහෙත් දුටුගැමුණු රජුට කතරගම දෙවි වෙත ළඟා වීමට නොහැකි වන සේ මැණික් ගංගාවේ ජලය ඉහළ ගොස් ඇත. එම අවස්ථාවේ දුටුගැමුණු රජු කතරගම දෙවි වෙත ළං වී ඇත්තේ ස්වකීය කඩුවෙන් දිය කපාගෙනය. මෙකී සිදුවීම මුල්කරගෙන කතරගම ඇසළ මංගල්‍ය‘යේ සමාප්තිය උදෙසා දිය කැපීමේ මංගල්‍යය සිදුකරයි යන්න මතයක් පවතී.
දිය කැපීමේදී එයටම වෙන් වූ චාරිත්‍ර විධි රාශියක් පවතී. දෙවියන් කෙරේ පවතින අතිමහත් භක්තිය තීව්ර කෙරෙන මෙම මංගල්‍ය‘යේදී දෙවියන්ගේ ආශිර්වාදය නෙක දනන් වෙත අස්වැසිල්ලක් වනු නොඅනුමානය. දිය කැපීමේ මංගල්‍ය‘යේදී කුණම නමින් හැඳින්වෙන විශේෂිත යානයක් උපයෝගී කර ගැනීමද තවත් සුවිශේෂී කරුණකි.
මැණික් ගඟේ තොටුපොළවල් අතර සුවිශේෂිත වූ ජීවමලේ තොට මුල්කරගෙන දිය කැපීමේ මංගල්‍යය පැවැත්වේ. දෙවියන් කෙරේ අතිමහත් භක්තියෙන් බැතිමතුන් විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගී වේ.
දේව භක්තියේ සුවිශිෂ්ටත්වය ප්‍රකට කෙරෙන මෙදින කතරගම දෙවොලේ උත්සවශ්රීය මොනවට පැහැදිලි වේ. එදින සිදුකෙරෙන මුරුතැන් පූජාවද, කැවිලිපෙවිලි ආදියෙන් යුක්ත වීමද විශේෂත්වයකි. දිය කැපීමේ මංගල්‍යයට අනතුරුව සංහිඳ බෝධිය අසල සිදුකෙරෙන සංහිඳ චාරිත්‍ර‘යෙන් අනතුරුව මේ මංගල්‍යය නිමාවට පත්වේ.
කතරගම ඇසළ පෙරහර මංගල්‍ය සමයේ සිදුකෙරෙන මෙකී චාරිත්‍ර විධි ඔස්සේ කතරගම දෙවියන් කෙරේ බැතිමතුන් දක්වන අතිමහත් භක්තියේ තරම ප්‍රකට කරයි. මේ කාල සීමාවේදී අචල දේව විශ්වාසයෙන් යුතු බැතිමතුන් විශාල පිරිසක් විවිධාකාර වූ පූජා විධීන්හී නිරත වේ. පේවීම, බිම පෙරළීම, දේව කන්නලව් කිරීම, උල් කටු ගසා ගැනීම, කාවඩි නර්තනවල යෙදීම ආදිය ප්‍රධාන වේ.
දෙස් විදෙස් අතිමහත් වූ බැතිමතුන් විශාල සංඛ්‍යාවකට සෙත සැලසෙන මෙම අපූරු පෙරහර මංගල්‍යය පුරා දින 15ක කාලයක් පැවැත්වේ. පෙනෙන මානයේ සුදෝසුදින් බබළන කිරිවෙහෙර මහ සෑ රඳුන්ගේ අපිරිමිත ආශිර්වාද ශක්තියෙන් තුන් ලොවට එක සේ දිවැස් හෙළන කතරගම දෙවි රඳුන්ගේ අපරිමිත විශ්වීය ශක්තියත්, පෙරහර මංගල්‍යයට නිතැතින්ම අස්වැසිල්ලක් වනු නොඅනුමානය.
උඩරට, පහතරට, සබරගමු යන නර්තන කලාවන්ගෙන් මෙන්ම මේ පෙදෙසට අනන්‍ය වූ නර්තන රැසකින් මෙම පෙරහර මංගල්‍යය විචිත්‍රවත් වනු ඇත. අලි ඇතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයද මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුය.
අපේ අතීත ප්‍රෞඪත්වයේ තරම මොනවට ලොවට හඬ ගා කියන කතරගම ඇසළ පෙරහර මංගල්‍යය දොළොස් නෙතින් දිවැස් හෙළන කතරගම දෙවිඳුන්ට ඉමහත් උපහාරයකි.
කතරගම පෙරහර අවසානයේ කතරගම විහාරස්ථානය මගින් දෙවියන් හා රටවාසීන් හට ආශිර්වාදය ලබාදීම සඳහා පැවැත්වෙන තුන්තිස් පැයේ මහා පරිත්‍රාණ ධර්ම දේශනාව මගින් පිරිත් දේශනා කර දෙවියන්ට පුද පූජා පවත්වා, ශ්‍රී ලංකා වාසීන්ට ආශිර්වාද කිරීම චාරිත්රමය පිංකමකි.
මෙවර ඇසළ මහා පෙරහර අති උත්කර්ෂවත් අන්දමින් පෞරාණික සම්ප්‍රදායට අනුව රංගනයන් යොදවමින්, දෙස් විදෙස් ජනතාවට අපේ ප්‍රෞඪත්වය විදහා දැක්වීම සඳහා දින පහළොවක් පුරාවට පැවැත්වේ.
රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
කතරගම අභිනවාරාමාධිපති
ශාස්ත්‍රපති පූජ්‍ය කපුගම සරණතිස්ස නාහිමි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

