Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා
2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා
වසර 12000කට ඉහතදී මිනිසා කෘෂිකාර්මික ශිෂ්ටාචාරය ආරම්භ කරන විට ගෘහස්ථකරණය කළ පළමු ශාකය වූයේ කංසා. එසේ සිදුකළේ එයින් ලබාගත හැකි වූ අමුද්‍රව්‍ය ඔවුන්ගේ ජීවිතයට නැතිව බැරි වූ නිසයි. කෘෂිකර්මය සමග ආරම්භ වුණු වෙළෙඳාම සමග කංසා ආශ්රිත කරගත් විවිධ නිෂ්පාදන ලොව පුරා ව්‍යාප්ත වීමට පටන්ගෙන තිබෙනවා. ඒ හා සමගාමීවම චීනයේ අල්තායි කඳුවැටියෙන් බිහි වූ කංසා ශාකයත් ලොව පුරා ව්‍යාප්ත වන්නට පටන් ගත්තා.
චීනයේ සිට කංසා ශාකය ඉන්දියාවට රැගෙන ආවේ ආර්යයන් විසින්. ඔවුන් වෙළෙන්ඳන්. මධ්‍යධරණී ප්‍රදේශයට සහ යුරෝපයට රැගෙන ආවේ සයිතියන් වෙළෙන්දන් විසින්. අප්‍රිකාවට රැගෙන ගියේ අරාබි ජාතික වළෙන්ඳන්. ශ්‍රී ලංකාවට රැගෙන එන්නට ඇත්තේ රාවණා රජු ලංකාද්වීපයේ පාලකයා වූ කාලයේදී බව සැලකෙනවා. යුරෝපයේ සිට ඇමරිකාවට කංසා රැගෙන ගියේ ක්‍රිස්ටෝපර් කොලොම්බස් විසිනුයි. යුරෝපයේ සිට ඔස්ට්‍රේලියාවට කංසා රැගෙන ගියේ කැප්ටන් ආතර් පිලිප් විසින්. ඒ වසර 1787දියී. කංසා සහ මිනිසා අතර මෙවන් දැඩි සම්බන්ධතාවක් ඇතිවීමට හේතුව තේරුම් ගැනීමට නම් විශ්වය ආරම්භයේ සිට සිදුවූ දෑ තේරුම්ගත යුතුයි.
විශ්වය ආරම්භය සිදු වූ බව සැලකෙන්නේ වසර බිලියන 13.7කට ඉහතදීයි. ඉන්පසුව ක්‍රමයෙන් සෞරග්‍රහ මණ්ඩල නිර්මාණය වී තිබෙනවා. පෘථිවි ග්‍රහවස්තුවේ සාගරවල ජීවය ඇරඹුණා. ජීවයේ රසායනික පදනම DNA බවට පත්වුණා. DNA සහිත ඒකසෛලික ජීවීන් පරිණාමය වීමෙන් බහුසෛලික සංකීර්ණ ජීවීන් බවට පත් වුණා. මෙම සංකීර්ණ සතුන්ගේ ශාරීරික යහපාලනය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා වසර මිලියන 600කට ඉහතදී ජෛව රසායනික පද්ධතියක් බිහිවුණා. වර්තමාන විද්‍යාඥයන් විසින් එම ජෛව රසායනික පදනම හඳුන්වා දෙන්නේ එන්ඩෝකැනබිනොයිඩ පද්ධතිය ලෙසයි. මෙම ජෛව රසායනික පද්ධතිය සක්‍රීය කරන්නේ මොළයෙන් නිපදවන රසායන දෙකක් මගින්. එම රසායන දෙක විද්‍යාඥයන් නම්කර ඇත්තේ ආනන්දමයිඩ් සහ විරෝධ්මයින් ලෙසයි.
එන්ඩෝකැනබිනොයිඩ පද්ධතිය ක්‍රියාත්මක වන විට මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය වැඩි වීම සිදුවෙනවා. ඒ ඔස්සේ රෝගාබාධවලට ගොදුරු වීම අඩු වෙනවා. ආහාර රුචිය වැඩි වෙනවා. අනවශ්‍ය දේ අමතක කිරීම පහසු වෙනවා. මනසට ආනන්දය ලැබෙනවා. පොදුවේ ගත්විට හිත සිරුර සහ මනසේ පාලනය යහපත්ව පවත්වා ගැනීමටද හැකියාව ලැබෙන බව තහවුරුකොට තිබෙනවා.
එන්ඩෝකැනබිනොයිඩ පද්ධතිය නිර්මාණය වී වසර මිලියන 600කට පමණ පසුව මධ්‍යම ආසියාවේ අල්තායි කඳුවැටියේදී කංසා ශාකය බිහි වී ඇති බව සැලකෙනවා. මේරූ ගැහැනු කංසා ශාකවල කරටිවලින් පැනනගින ගැහැනු මල් වටා ඇති නිපත්‍ර සහ පත්‍රවලින් මැලියම් වර්ගයක් ශ්‍රාවය වනවා. එහි රසායන 500ක් සහ කංසා ශාකයටම ආවේණික වූ රසායන 80ක් පමණ තිබෙනවා. වර්තමානයේදී විද්‍යාඥයන් විසින් ඒවා පිළිබඳව අධ්‍යයනය කර කාණ්ඩ 8කට වර්ගීකරණය කර තිබෙනවා. එයින් කාණ්ඩ දෙකකට එනම් ටෙට්රාහයිඩ්රෝකැනබිනොයිඩ සහ කැනබිඩයෝල්වලට සතුන්ගේ සිරුර තුළ ඇති එන්ඩෝකැනබිනොයිඩ පද්ධතිය සක්‍රීය කිරීමට හැකියාව පවතිනවා. මෙම රසායන දෙකට මනසෙන් නිපදවන ආනන්දමයිඩ් සහ විරෝධ්මයින්වලින් සිදුකරන ක්‍රියාවම සිදුකළ හැකියි.
කංසා ඇටවල පිෂ්ටය, ප්‍රෝටීන සහ මේදය බහුලයි. ඔමේගා 3 සහ 6 ෆැටි ඇසිඩ් වර්ග මිනිස් සිරුරට අවශ්‍ය වන පරිදි 1-3 අනුපාතයෙන්ම පවතින බව පර්යේෂණ මගින් තහවුරුකොට තිබෙනවා. කංසා කඳ වටා ඇති පොත්තේ ශක්තිමත් නම්‍යශීලී තන්තු බහුලයි. කංසා අරටුව ශක්තිමත් සහ නම්‍යශීලීයි.
මිනිසා බිහිවන්නේ කංසා ශාකය බිහි වී වසර මිලියන 30ක් පමණ ගෙවී ගිය පසුවයි. එනම් වසර ලක්ෂ දෙකකට පමණ ඉහතදීයි. අප්‍රිකාවේදී බිහි වූ මිනිසා චීනයට පැමිණෙන්නේ වසර 25,000කට පමණ ඉහතදීයි. මිනිසාට ප්‍රථම වතාවට කංසා ශාකය හමුවන්නේ වසර 12,000කට පමණ ඉහතදීයි. කංසා ශාකයෙන් ලබාගත හැකි ප්‍රයෝජන අත්දකින මිනිසා කංසා ශාකය ගෘහාශ්‍රිත භෝගයක් ලෙස වගාකර තිබෙනවා. මිනිසාගේ එන්ඩෝකැනබිනොයිඩ පද්ධතියද කංසා නිසා සක්‍රීය වුණා. එකල කංසා ශාකය බහුකාර්ය භෝගයක් ලෙස පරිභෝජනය කර තිබෙන බවට සාක්ෂි තිබෙනවා. ආහාර, ඖෂධ, රෙදි විවීම, රූපලාවණ්‍ය, ඉන්ධන, විනෝදය සහ ආධ්‍යාත්මික ජීවිතය ඉහළ නංවා ගැනීම සඳහා කංසා ශාකය නිසි ලෙස භාවිත කර තිබෙනවා. සයිතියන්වරු කූඩාරම් සෑදීමට භාවිත කර තිබෙන්නේ කංසා දඬුයි.
කෘෂිකාර්මික ශිෂ්ටාචාරය ආරම්භ වන්නේ චීනයේදීයි. පසුව ක්‍රමක්‍රමයෙන් මිනිස් සමාජය නාගරීකරණයට ලක්වුණා. නාගරීකරණය නිසා ආහාර රටා වෙනස් වුණා පමණක් නොවෙයි ආහාරයේ තිබූ විවිධත්වයද අඩු වුණා. නැවතත් සෞඛ්‍ය සම්පන්න වීම සඳහා අවශ්‍ය ආහාර, වනාන්තරයේ වූ ශාක, සත්ත්ව සහ පාෂාණවලින්ම ලබා ගැනීමට විවිධ සේවාවන් බිහි වුණා. මෙම නව සේවාව ඖෂධ සැපයීම වුණා. ඒ ඖෂධ බෙදාහැරීමට දක්ෂ මිනිසුන් වෛද්‍යවරු ලෙස දේවත්වයට පත් වී තිබෙනවා.
ශිෂ්ටාචාරයේ මුල්වැසියන් නව පරම්පරාවට දැනුම ලබාදුන්නේ ප්‍රායෝගිකව පුහුණු කිරීම සහ කාව්‍යමය ආකාරයටයි. ලේඛනකරණය ආරම්භ වීමත් සමග තොරතුරු වෙන වෙනම ලේඛනගත වී තිබෙනවා. ආහාර සහ ඖෂධ පිළිබඳ තොරතුරු අඩංගු ලේඛන ඖෂධ සංග්‍රහ ලෙස හඳුන්වනවා. ඉන්දියානුවන්ගේ මුල්ම ඖෂධ සංග්‍රහය ඇතුළත් වුණේ වේද ග්‍රන්ථවලයි. චීනයේ මුල්ම ඖෂධ සංග්‍රහය ලෙස සලකන්නේ %පෙන්ෂෝචින්ග්^ නම් ග්‍රන්ථය. පර්සියානුවන්ගේ ඖෂධ සංග්‍රහය %මාක්ෂාන් අල් අද්වියාවි^. ශ්‍රී ලංකාවේ මුල්ම ඖෂධ සංග්‍රහය %සාරාර්ථ සංග්‍රහය ලෙස සැලකෙනවා. යුරෝපයේ සෑම රටකට මෙන්ම ඇමරිකාවේද ඖෂධ සංග්‍රහයන් තිබී තිබෙනවා.
ලතින් බසින් %මැටීරියා මෙඩිකා^ නම් වූ ඖෂධ සංග්‍රහය ඉංග්‍රීසි බසින් %ඩිස්පෙන්සරි^ හෝ පාර්මැකෝපියා නම් වෙනවා. මෙම සියලු ඖෂධ සංග්‍රහවල තිබූ ප්‍රධානම ඖෂධීය ශාකයක් තමයි කංසා.
වසර 1200දී සම්පාදනය වූ ආනන්දකණ්ඩම් නමැති ඉන්දීය ඖෂධ සංග්‍රහයට අනුව කංසා පරිභෝජනයෙන් සියලු දෝෂ සහ රෝග නැසෙන බව සැලකෙනවා. මතකය තීව්ර වීම, ආහාර රුචිය වැඩි වීම, මලබද්ධය දුරු වීම. මකුණන් සහ උකුණන් නැසීම වගේ ප්‍රයෝජන වගේම මෛථුන ශ්‍රාවයන්ගේ නිෂ්පාදනය වැඩි කිරීමට, ඥානය වර්ධනයට සහ ධාර්මික ගුණ වැඩිකිරීමට කංසා ශාකය නිසි ලෙස භාවිතකොට තිබෙනවා.
දේශ ගවේෂණයත් සමග යටත්වි ජිතවලින් ගෙන්වාගත් ඖෂධ අධිරාජ්‍යවාදීන්ගේ ඖෂධ සංග්‍රහවලට එකතු වී තිබෙනවා. එංගලන්තයේ සහ ඇමරිකාවේ ඖෂධ සංග්‍රහවලට කංසා, අබිං සහ කොකා එකතු වූයේ ඒ අයුරින්. මත්පැන් සහ දුම්කොළ යටත් විජිතවලට හඳුන්වාදීමද මේ අතරේ සිදුවී තිබෙනවා.
ඇමරිකාවේ සහ යුරෝපයේ එවකට සිටි රසායන විද්‍යාඥයන් විසින් මෙම ප්‍රධාන ඖෂධ තුනෙහි ක්‍රියාකාරී රසායනය සොයා පර්යේෂණ සිදුකළා. වසර 1804දී අබිංවල ඇති ක්‍රියාකාරී රසායනය හඳුනා ගැනීමට පර්යේෂකයන්ට හැකි වුණා. ඉන්පසුව එම රසායනය නිස්සාරණය කර වෙළෙඳ පොළට ඉදිරිපත් කෙරුණා. දුම්කොළවල ක්‍රියාකාරී රසායනය වන %නිකොටින්^ හඳුනාගත්තේ ජර්මන් ජාතික පර්යේෂකයන් දෙදෙනෙකු විසින් වසර 1828දීයි. කොකා ශාකයේ ක්‍රියාකාරී රසායනය වන %කොකේන්^ හඳුනාගත්තේ වසර 1855දීයි. මුල්කාලීනව කොකේන්, මොර්ෆීන් සහ හෙරොයින් ඖෂධ ලෙස භාවිත කෙරුණා. එකල තිබූ අනෙක් ජනප්‍රිය ඖෂධය වුණේ කංසා.
වසර 1900 වන විට ලෝකයේ සෑම රටකම කංසා, අබිං, මොර්ෆීන්, හෙරොයින් සහ කොකේන් ඖෂධ ලෙස භාවිත කරන්නට පෙළඹුණා. කොකා, අබිං සහ කංසා ශාක අතරෙන් බහුකාර්ය භෝගයක් වූයේ කංසායි. රෙදි විවීම, කඩදාසි නිපදවීම, ඉන්ධන, ආහාර සහ රූපලාවණ්‍ය සඳහා භාවිත කළේද කංසා ශාකයෙන් ලබාගත් අමුද්‍රව්‍යයන්.
මේ අතර කාලයේ කොකේන් හෙරොයින් සහ මොර්ෆීන් සමාජ ව්‍යසනයක් බවට පත්වුණේ අවභාවිතාවත් සමග සිදුවූ ඇබ්බැහි වීම නිසයි. ඒවා පාලනයට ඇමරිකානු මත්ද්‍රව්‍ය අධිකාරිය පිහිටුවන්න ඇමරිකානු රජය විසින් පියවර ගත්තා. කොකේන්, මොර්ෆීන් සහ හෙරොයින් පරිභෝජනයට නුසුදුසු ද්‍රව්‍ය බවට පත් කරන්න යෙදුණා. ඒ සමගම කොකා ශාකය සහ අබිං ශාකය වගා කිරීම සහ භාවිතය තහනම් කෙරුණා.
රසායන විද්‍යාවේ ප්රගමනයත් සමග පෙට්‍රෝලියම් අමුද්‍රව්‍ය භාවිතයෙන් කෘත්‍රිම ද්‍රව්‍ය නිෂ්පාදනය ආරම්භ වුණත් කෘත්‍රිම භාණ්ඩ සඳහා වෙළෙඳ පොළ නිර්මාණය කිරීම අපහසු වුණා. වසර 1940දී කෘත්‍රිම හෙවත් සින්තටික් අමුද්‍රව්‍යවලින් සෑදූ භාණ්ඩ වෙළෙඳ පොළ ආක්‍රමණය කරන්න ගත්තා. රසායනාගාරවලදී කෘත්‍රිම ඖෂධ වර්ග මහා පරිමාණයෙන් නිෂ්පාදනය කෙරුණා. කැලෑ ගස් කපමින් දැව තලපයෙන් කඩදාසි නිපදවීම ආරම්භ වූයේත් මේ කාලසීමාවේදීයි. ඒ සමගම පරිසරයට පිළිකාකාරක ඩයොක්සීන් වැනි රසායන එකතු වීම ක්‍රමක්‍රමයෙන් ආරම්භ වුණා. දුම්කොළ භාවිතය නිසා පිළිකා සෑදෙන බව වසර 1952 වන විට පර්යේෂණවලින් හෙළි වුණත් දුම්කොළ තහනමක් පැමිණියේ නැහැ.
කෘත්‍රිම අමුද්‍රව්‍ය භාවිතයෙන් ඇඳුම්, බෙහෙත්, ලණු, කඹ ආදී කංසාවලින් සිදුකළ බොහෝ දේවල් කිරීමට හැකියාව තිබුණා. නමුත් කෘත්‍රිම ඖෂධ විකුණා ගැනීම සඳහා වෙළෙඳ පොළ නිර්මාණය කිරීම ඉතා අපහසු වූ නිසා ඇමරිකාවේ මූල්‍ය ආයතනය, මත්ද්‍රව්‍ය අධිකාරිය සහ මාධ්‍ය ජාලයක හිමිකරුවෙකු එකතුවෙලා කංසා ශාකය ගොවිබිමෙන් ඉවත් කිරීම සඳහා විවිධ උපක්‍රම යෙදුවා. කංසා කියන්නේ හුදෙක් මත්ද්‍රව්‍යයක් බවත් එම නිසා කංසා ශාකය පරිභෝජනයට නුසුදුසු ද්‍රව්‍ය කාණ්ඩයට ඇතුළත් කළයුතු බවත් ඔවුන් යෝජනා කළා. ඒ අනුව ඇමරිකානු ෆෙඩරල් රජය කංසා තහනමට ලක් කළා. ඇමරිකානු ඖෂධ සංග්‍රහයෙන් කංසා ඉවත් කෙරුණා. ප්‍රාන්ත රජයන් විසිනුත් කංසා තහනම් කළා. ඉන්පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එකතු වී ලොව පුරා කංසා වගාව සහ භාවිතය තහනම් කිරීම සිදුවුණා.
මේ සමගම කංසා රසායනයන් ශරීරගත වීම අඩු වීම නිසා සින්තටික් රසායන, සාන්ද්‍රණය අධික මදයසාර සහ නිකොටින් ශරීරගත වීම බහුලව දකින්න ලැබෙනවා. ශ්‍රී ලංකාවට ගෙන්වන ඖෂධවලට පාලනයක් තිබිය යුතු බව පෙන්වා දුන්නේ මේ කාලයේදීමයි. ඒ වෛද්‍ය සේනක බිබිලේ මහතා විසින් වසර 1970දීයි. පිළිකාව සමාජය පුරා ව්‍යාප්ත වන අතරේ කංසාවලට පිළිකා නැසිය හැකි බව 1974දී පර්යේෂණ මගින් තහවුරු කෙරුණා. වසර 1976 සිට 1992 දක්වා වූ කාලයේදී ඇමරිකානු පිළිකා රෝගීන්ට වසරකට කිලෝ නවයක කංසා සලාකයක් ලැබී තිබෙනවා. ඒ පිළිකාවෙන් සහනය ලබා ගැනීමටයි.
බටහිර ජාතිකයන්ගේ පර්යේෂණවලට අනුව කංසා ප්‍රතිශක්තිය වැඩි කරන්න සමත් වෙනවා. පර්යේෂණ අනුව බැක්ටීරියා විනාශ කිරීම, පිළිකා වර්ධනය නැවතීම, ස්නායු ආරක්ෂා කිරීම, රුධිරයේ සීනි ප්‍රමාණය අඩු කිරීම, අස්ථි වර්ධනය කර ශක්තිමත් බව වැඩි කිරීම, වලිප්පුවට, ආසාදන වැළැක්වීම, රුධිරවාහිනී හිරවීම වැළැක්වීම, කුඩා බඩවැලේ ආසාදන සහ අපහසුතා අඩු කිරීම, ඔක්කාරය නැවැත්වීම, වේදනා නාශනය, කාංසාව දුරු කිරීම, මාංසපේශී ලිහිල් කිරීම සහ ස්පොරියාසිස් වැනි චර්ම ආසාදන වැළැක්වීම වැනි ගුණාංග කංසා සතු බව පර්යේෂණ මගින් තහවුරු කර තිබෙනවා.
වසර 2015 වන විට පමණක් කංසා ආශ්රිත ඖෂධ වර්ග 650කට පමණ අන්තර්ජාතික පේටන්ට් බලපත්‍ර ලබාගෙන තිබෙනවා. මේ වන විට ලෝකයේ රටවල් 40කට ආසන්න ප්‍රමාණයක් කංසා වගා කිරීම අරඹා තිබෙනවා. කංසා ශාකයෙන් ලබාගන්නා අමුද්‍රව්‍යවලින් ඖෂධ, ආහාර, තෙල් කඩදාසි, රෙදි, ප්ලාස්ටික්, ගොඩනැගිලි ද්‍රව්‍ය, රූපලාවණ්‍ය සහ විනෝදාස්වාදය ලැබිය හැකි බියර් සහ ආනන්දය ලැබිය හැකි මරිජුවානා හෙවත් ගංජාද පාලිත ක්‍රමවේද යටතේ නීත්‍යනුකූලව නිපදවමින් කංසා මත පදනම් වන ආර්ථිකයක් දක්වා ඔවුන් ගමන් කරමින් සිටිනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd