ජපානය යනු තෝකියෝවයි යැයි වරෙක බටහිර දේශ ගවේෂකයෙකු වූ ඉයන් මැකන්සේ නමැත්තා සඳහන් කළේය. ලොව දියුණුම රාජ්‍යයන් අතරින් එකක් ලෙස සැලකෙන ජපානයේ අගනගරය හා වෙළෙඳ නගරය වන තෝකියෝව මිහිමත ඇති සෞභාග්‍ය නගර කිහිපයෙන් එකකි. තොකුගාවා පාලනයෙන් ශෝගුන් රාජධානිය පිහිටුවීමත් සමග එදෝ නමින් හැඳින්වුණු මේ නගරය මේජි අධිරාජ්‍යයාගේ කාලයේදී එනම් 1868 දී තෝකියෝ යනුවෙන් නම වෙනස්විය. හිරෝහිතෝ අධිරාජ්‍යයා විසින් එය ජපානයේ අගනගරය ලෙසින් ප්‍රකාශයට පත්කරන ලදී.
වර්තමාන තෝකියෝවේ ආර්ථික මෙන්ම සාමාජීය වෙනස්කම් හේතුවෙන් අතීත උරුමයන් මෙන්ම අතීත ජීවන රටාවන් දැකගැනීම උගහටය. විශේෂයෙන්ම ජපානයේ අතීත ගෘහ නිර්මාණ ශිල්පය අද වනවිට තෝකියෝවෙන් වියැකී ගොස් අවසානය. අතීත ගෘහ නිර්මාණ ශිල්පය, පැරණි මිතුන්මිත්තන්ගේ ජීවන රටා, ඔවුන් වෙළහෙළඳාම් සිදුකළ අයුරු මෙන්ම එවකට පැවති නගරවල ස්වරූපය වර්තමාන පරපුරට දැකගැනීම මෙන්ම ඒ සම්බන්ධයෙන් දැනුම ලබාදීමේ අවශ්‍යතාව දැනුණු එවකට තෝකියෝ නගරයේ ප්‍රධානම රාජ්‍ය ආයතනයට (ලංකාවේ නගර සභාවට සමාන රාජ්‍ය ආයතනයක්) අපූරු අදහසක් පහළ විය.
ඒ අනුව ඔවුන් 1993 දී අක්කර හතක භූමි භාගයක එදෝ තෝකියෝ එළිමහන් වාස්තු විද්‍යා කෞතුකාගාරය (Edo-Tokyo Open-air Architectural) ඉදිකරන්නට විය. මෙහි ඇති නිවාස, කඩ සාප්පු, ව්‍යාපාරික ආයතන, මුර කුටි ආදී සියල්ලක්ම ඒ ඒ ප්‍රදේශවලින් රැගෙනවිත් අතීතයේ පැවති සියලු අංගෝපාංගවලින් සමන්විතව වර්තමාන පරපුරට මෙන්ම අනාගත පරපුරට දැකබලා ගැනීමට සහ අවබෝධයක් ලබාගැනීමට නැවත ඉදිකර ඇත. එකී උත්සාහය අතීත තෝකියෝව වර්තමාන අග නගරය තුළ ජීවමාන කරවීමට සමත්වී ඇත. තවද මුතුන් මිත්තන්ගේ දෛනික ජීවිතය පිළිබඳ අවබෝධයක් ලබාදීම සඳහා අඟහරුවාදා සිට ඉරිදා දක්වා උදෑසන 10.00 හා පස්වරු 4.00 අතර කාලය තුළ ස්වේච්ඡා ක්‍රියාකාරකම්ද කෞතුකාගාර පාලන අධිකාරිය විසින් සංවිධානය කරනු ලබයි.
කොරෙකියෝ තකහාසි නිවස
මෙයිජි පාලනයේ සිට ශෝවා පාලන සමයේ ආරම්භය දක්වා ජපන් දේශපාලනයේ වැදගත් චරිතයක් වූ කොරෙකියෝ තකහාසි සිය ජීවිතයෙන් බොහෝ කාලයක් ගත කර ඇත්තේ මෙම නිවසේදීය. බටහිර ආභාෂය ඇතිව ඉදිකර ඇති මෙහි කාමරවල බිම සඳහා දැව භාවිත කර ඇත. දෙවන මහල අධ්‍යයන කටයුතු සහ නිදන කාමර වෙනුවෙන් වෙන්කර ඇත. මෙම නිවස 1902 දී අකාසාකා හි ඉදිකරන ලද්දකි.
හචිරොයුඉමොන් මිට්සුයි වලව්ව
ප්‍රධාන ගොඩනැගිල්ල සහ අනිකුත් කොටස් සමග 1952 වර්ෂයේදී මිනාටෝ ප්‍රදේශයේදී ප්‍රථමයෙන් භාවිත කර ඇත. එහෙත් මෙහි දක්නට ලැබෙන ගබඩා ශාලාව 1874 දී පමණ භාවිතයට පැමිණ ඇති බව වාර්තා වේ. එමෙන්ම අමුත්තන්ගේ කාමරය සහ ආහාර ගැනීම සඳහා ඉදිකර ඇති කාමරය ජපන් ජන සමාජයේ භාවිතයට පැමිණ ඇත්තේ 1897 කියෝටෝ ප්‍රදේශයේදීය.
අතීත වෙළඳ සැලක ආකෘතියෙන් ඉදිකළ ගිමන්හල
කෞතුකාගාර භූමි භාගයේ නැගෙනහිර දිසාව වන්නට පිහිටි පැරණි වෙළෙඳ සැලක ආකෘතියෙන් ඉදිකළ ගිමන්හලෙහි බිම් මහල විවේක ගැනීම සඳහා ඉදිකර ඇති අතර, දෙවැනි මහල ආහාරපාන අනුභව කිරීම වෙනුවෙන් වෙන්කර ඇත. කෞතුකාගාරය නැරඹීමට පැමිණෙන සියලු දෙනාටම ගිමන්හලට ගොඩවැදී අතීතයේදී අතින් සකස් කරනු ලැබූ ජපානයටම ආවේණික රසින් යුතු නූඩ්ලස්වල රස බැලීමේ අවස්ථාව කෞතුකාගාර පාලන අධිකාරිය විසින් සලසා ඇත.
උස් ධාන්‍යාගාරය
මෙය ජපන් ජන සමාජයට හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ අමාමි-ඕෂිමා දූපත් වැසියන්ටය. තෙතමනයෙන් සහ කෘමීන්ගෙන් තම ධාන්‍ය ආරක්ෂා කරගැනීමේ පරමාර්ථයෙන් ධාන්‍යාගාරය පොළොව මට්මමේ සිට තරමක් උසින් වන්නට ඉදිකර ඇත. එකල බහුල වශයෙන් භාවිත කර ඇති මෙය ක්‍රම පසුව ක්‍රමයෙන් ජපන් ජන සමාජයෙන් ඈත්ව ගොස් ඇත. (එදෝ පාලන සමය 1603-1867)
ජෝර්ජ් ඩි ලලන්ඩේ නිවස
ජර්මානු ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ ජෝර්ජ් ඩි ලලන්ඩේ ගේ මැදිහත්වීම මත 1910 දී බටහිර ගෘහ නිර්මාණය ශිල්පයට අනුව ඉදිකර ඇති මෙය අද වනවිට අවන්හලක් ලෙසින්ද භාවිත කරයි. නිවස පිහිටි ඉඩමද ඇතුළත් වන පරිදි 1993 දී කෞතුකාගාරය ඉදිකිරීමට බලධාරීන්ට අවස්ථාව හිමිව ඇත. අතීත උරුමයන් වැනසී නොයන අයුරින් සිය ව්‍යාපාරික කටයුතු කිරීමට ඔවුහු වගබලා ගනිති. 1910 සිට 1956 වනතුරු හිමිකරුවන් කිහිපදෙනෙකු යටතේ පැවති අතර, ඉන් අනතුරුව ජෝර්ජ් ඩි ලලන්ඩේ නිවසේ හිමිකාරිත්වය මිෂිමා කයියුන් පවුල විසින් හිමිකරගෙන ඇත. මිෂිමා කයියුන් යනු කාබනේටවලින් තොර සිසිල් බීම ජපානයට හඳුන්වාදුන් කැල්පිස් ආයතනයේ නිර්මාතෘවරයාය.
මයුසෝලෙයුම් විහාරය
1652 දී චියෝ කුමරිය සිය මෑණියන් වෙනුවෙන් මයුසෝලෙයුම් විහාරය ඉදිකර වත්පිළිවෙත් සිදුකොට ඇත.
ත්සුනාෂිප් පවුලේ ගොවි නිවස
සිහින් උණ බටවලින් සෙවිලි කරන ලද වහලකින් සහ විශාල ශාලාවකින් යුක්තව ටමා ගඟ දර්ශනය වන අයුරින් උස් සමතලා භූමි භාගයක %ත්සුනාෂිප්^ පවුලේ ගොවි නිවස අතීතයේදී නිමවා ඇත. තරමක විශාල ප්‍රමාණයේ කණු ශාලාව වටේට සෘජුකෝණාස්රාකාර හරස් බෙදීම් ඇතිවන අයුරින් ඉදිකර ඇත. එමෙන්ම ඉපැරණි ශෛලියේ වේදිකාවක් මෙන්ම සැරසිලිවලින්ද ශාලාව අලංකාර කර ඇත. (එදෝ පාලන සමය 1603-1867)
ඩෙන් එන්චොෆු හි ඕකාවා නිවස
1925 දී ඩෙන් එන්චොෆු ප්‍රදේශයේදී බටහිර ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාෂය ඇතිව මෙම නිවස නිර්මාණය කර ඇත. නිවසෙහි සාලය කේන්ද්‍ර කරගනිමින් නිදන කාමරය, කෑම කාමරය සහ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙන්වූ කාමරය පිහිටා ඇත.
නිෂිකාවා පවුලේ දෙවන නිවස
ඉතා උසස් තත්වයේ අමුද්‍රව්‍ය භාවිත කරමින් 1992 දී අකිෂිමා ප්‍රදේශයේදී එවකට පටරෙදි කර්මාන්තයේ දැවැන්තයෙකු වූ %ඊෂායිමොන් නිෂිකාවා^ සිය නිවස තානායමක ලක්ෂණ ඇතිව ඉදිකර ඇත.