උමා ඔය ව්‍යාපෘතියෙන් සිදුවිය හැකි විනාශයන් පිළිබඳ විධිමත් පර්යේෂණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්
උමා ඔය ව්‍යාපෘතියෙන් සිදුවිය හැකි විනාශයන් පිළිබඳ විධිමත් පර්යේෂණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි - විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක
ජනතාවට උපරිම ආරක්ෂාව, වන්දි මුදල් සහ ජීවන තත්ත්වය යථාතත්ත්වයට පත් කිරීමට දිය හැකි සියලු දේවල් ලබා දෙනවා - මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න
''උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය හරහා අඛණ්ඩව එල්ල වෙමින් පවතින දැඩි පාරිසරික බලපෑම් මෙන්ම ඒ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට මුහුණදීමට සිදුව ඇති ජීවන අර්බුදය පිළිබඳ පසුගියදා (21දා) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට ලක්විය. ස්ථාවර නියෝග 23/2 යටතේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් මෙලෙස ප්‍රශ්න කර සිටි අතර, මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ඊට පිළිතුරු ලබා දුන්නේය.'' එම සංවාදය පහත පරිදි වෙයි.
අනුර කුමාර දිසානායක මහතා -
''උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය හේතුවෙන් මහජනතාව මුහුණ පා ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. 2008 අප්‍රේල් 29 වැනි දින උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සඳහා මුල්ගල තබනු ලැබුවේ විවිධ අරමුණු ප්‍රකාශයට පත් කරමිනි. කෙසේ නමුත් මේ වනවිට මෙකී ව්‍යාපෘතිය මගින් භෞතික සම්පත් විනාශයන්ද, මහජන පීඩාවන්ද, පාරිසරික විනාශයන්ද නොකඩවා සිදුවෙමින් තිබෙනවා. මේ විනාශය ගරු කථානායකතුමනි, දළ වශයෙන් මෙහෙමයි.
මේ වනවිට නිවාස 4625ක් පුපුරා, ඉරිතැලී විනාශ වී ඇති අතර පූජනීය ස්ථානද, පාසල් ද ගණනාවක් පවතිනවා. මකුල්ඇල්ල විහාරස්ථානය, එගොඩගම විහාරස්ථානය, හීල්ඔය විහාරස්ථානය, කුරුඳුගොල්ල විහාරස්ථානය, දික්අරාව මෙහෙණි ආරාමය, උඩුපේරුව භාවනා මධ්‍යස්ථානය, පල්ලෙපේරුව මුස්ලිම් දේවස්ථානයද ඒ අතර වෙනවා. මකුල්ඇල්ල පාසලද පුපුරා, ඉරිතලා හානියට ලක්ව ඇති අතර බණ්ඩාරවෙල අධිකාරම් පාසලද බණ්ඩාරවෙල ධර්මාශෝක මධ්‍ය මහා විද්‍යාලයද පුපුරා ඉරිතලා තිබෙනවා.
එසේම, මෙම හානියට ලක්වූ ප්‍රදේශවල ළිං, උල්පත්, දියකඳුරු, ඔයවල් 2333ක් සහමුලින්ම සිඳී ගොස් තිබෙනවා. ඒ අතර බණ්ඩාරවෙල ආසන මධ්‍යයෙහි වන හීල්ඔයද අනතුරට මුහුණපා තිබෙනවා. බහුතරයක් ගොවි ජනතාව ජීවත්වන මේ කලාපයේ ජල මූලාශ්‍ර සිඳී යාම හේතුවෙන් අක්කර දසදහස් ගණනක වගාබිම් අත්හරින්න සිදුව තිබෙනවා. තමුන්නාන්සේලා මේ යෝජනා කරන ලද ව්‍යාපෘතියේ අනිසි ප්‍රතිඵල අද ඒ පළාත්වල ජීවත්වන ජනතාවට විඳින්න සිදුව තිබෙනවා.
මෙම මහා ව්‍යසනය හේතුවෙන් කුඩා තේ වතුද අර්බුදයකට මුහුණපා ඇති අතර ස්වයං රැකියාලාභීන් විශාල ප්‍රමාණයක්ද ජලය නොමැති වීම හේතුවෙන් වගාවන් අත්හැර දමන තත්ත්වයට පත්ව තිබෙනවා. අප රටේ ඉතා සෞම්‍ය දේශගුණයකින් යුත් ස්වභාව සෞන්දර්යයෙන් අනූන වූ කලාපයක සිදු වෙමින් පවතින මෙම මහා විනාශයේ ප්‍රධානම හානියට ලක්වන නගරය බවට අද වනවිට බණ්ඩාරවෙල නගරය පත් වී තිබෙනවා.
කොළඹ-බදුල්ල මාර්ගය පුපුරා, ඉරිතලා, ගිලා බැසීමට ලක්ව ඇති අතර, බණ්ඩාරවෙල හීල්ඔය මාර්ගයෙහිද ස්ථාන ගණනාවක් දැඩි පිපුරුම්වලට ලක්ව තිබෙනවා. එසේම, නගරයේ පවතින ලොකු, කුඩා ව්‍යාපාරික ස්ථාන විශාල ප්‍රමාණයක්ද, නිවාසද අඩි දෙක තුන ගිලාබැසීම්වලට හා ඇලවීම්වලට ලක්වීම හේතුවෙන් බරපතළ අවදානමකට ලක්ව තිබෙනවා.
ප්‍රදේශවාසීන්ට අනුව, මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන උමඟ සඳහා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරඳගොල්ල ගම්මානයේ සිට වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඉදිකරමින් පවතින ඩයරබා ජලාශය දක්වා කිලෝමීටර 15.2ක දිගකින් යුතුව කැණීම් කළ යුතුව තිබෙනවා.
මේ වනවිට මෙම උමඟේ කැණීම් කරගෙන යාමේදී භූ අභ්‍යන්තරයේ දුර්වල පාෂාණ ස්ථර හානි කරමින්ද, භූ අභ්‍යන්තරයේ වන ජල සංචිත හා ජල මාර්ග විනාශ කරමින්ද ගමන් කරමින් තිබෙන බවට අනාවරණය වූයේ භූ අභ්‍යන්තරයේ විශාල දිය කාන්දු ආරම්භ වීමෙනුයි.
මේ වනවිට තත්ත්පරයට වතුර ලීටර 976ක සුවිශාල දිය කාන්දුවක් සිදුවෙමින් ඇති බවට වාර්තා වෙනවා. මෙහිදී, භූ අභ්‍යන්තරයේ වන ජලය දිනකට වතුර ලීටර 84,326,400ක් බැගින් ගලා යමින් තිබෙනවා.
ඌව පළාතේ ප්‍රධාන ජනාකීර්ණ ප්‍රදේශවල මතුපිටට වඩා විශාල විපර්යාස ප්‍රමාණයක් ඌව අභ්‍යන්තරයේ සිදුවන බවත්, මෙම සිදුවන දිය කාන්දු වසා දැමීම සඳහා ශ්‍රී ලංකා රජයට හෝ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් සමාගම වන ඉරානයේ ෆරාබ් සමාගමට හෝ තාක්ෂණික හැකියාවක් නොමැති බව ජනතාවගේ අදහසයි.
එමෙන්ම, මෙම දිය කාන්දු වැළැක්වීම සඳහා කන්ටේනර් පිටින් ගෙන එනු ලබන ටොන් ගණනාවක රසායනික ද්‍රව්‍ය මේ වනවිටත් මධ්‍යම කඳුකරයේ භූ අභ්‍යන්තරයේ ජලයට මුසුකර තිබීම පිළිබඳ ඔවුන් සැක පළකර තිබෙනවා.
විශේෂයෙන් මේ වනවිට මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම පුරා ඉරිතලා පුපුරායාම් දක්නට ලැබෙනවා. මෙම පිපිරීම්, මතුපිට ඇති වූ පිපිරීම් නොවන බවත්, පිපිරීම්වල ආරම්භය අඩි 600-700 යටින් යන උමඟේ සිට සිදුවන බවට නොනිල ලෙස දැනගන්නට ඇතැයි ජනතාව පවසනවා.
තත්ත්වය මෙසේ නම්, මෙම කඳුකර භූමියේ ඒකාබද්ධතාව බිඳවැටී ඉදිරියේ ඇතිවන මහ වැසි සමග හෝ සුළු හෝ භූ කම්පනයකදී ඉතා බරපතළ හානි සිදුවීමේ අවදානමක් පවතිනවා. මෙම තත්ත්වය තුළ පැන නගින පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.
1. උමා ඔය ව්‍යාපෘතිය ඇරඹීමට පෙර ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් සකස් කරනු ලැබුවේද? එසේ නම්, අද උද්ගත වී ඇති පාරිසරික ගැටලු හඳුනාගනු ලැබ තිබුණේද? ඒවාට විසඳුම් යෝජනා කර තිබුණේද ?
2. ව්‍යාපෘතිය හේතුවෙන් අවදානමට ලක්ව ඇති කලාපය, දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කරනු නොලබන්නේ මන්ද ?
3. සිදුව ඇති පාරිසරික හා භෞතික විනාශයන් හඳුනාගැනීමට විද්‍යාත්මක පරීක්ෂණයක් හා ඇස්තමේන්තුවක් සිදු කරනු ලබන්නේද ?
4. විනාශයේ ගොදුරු බවට පත් වූ ජනතාවට සාධාරණය ඉටු කිරීමට ගන්නා වූ පියවර කුමක්ද?
5. අනාගතයේ මෙම ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවිය හැකි පාරිසරික හානිය අවම කර ගැනීමටත්, ජීවිත හා දේපොළ හානි අවම කර ගැනීමටත් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද ?''
අනුරාධ ජයරත්න මහතා -
''අපේ මන්ත්‍රීතුමා ඉදිරිපත් කළ ප්රශ්නය මේ වනවිට එම ප්‍රදේශය තුළ බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ඒක බොහොම පැහැදිලියි. හැබැයි ගරු කථානායකතුමනි, 2011 දි තමයි මේ සඳහා වූ පාරිසරික බලපෑම් ඇගැයීම් වාර්තාවට අනුමැතිය ලැබිලා තියෙන්නෙ. මේ වාර්තාව සකස් කරලා තියෙන්නෙ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්.
අද වනවිට අපි සියලු දෙනාට මේ ඇගැයීම් වාර්තාවෙන් ලබා දී තිබෙන කරුණු කාරණාවලට එහා ගිය පරිබාහිර වූ ප්‍රශ්න රාශියකට මුහුණදෙන්න වෙලා තිබෙනවා. බරපතළම ප්රශ්නය බවට පත්වෙලා තිබෙන්නෙ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් බිලියන 57ක් මේ ව්‍යාපෘතිය වෙනුවෙන් අපි වියදම් කරලා තිබෙනවා.
ව්‍යාපෘතියේ සමස්ත වැඩ ප්‍රමාණයත් එක්ක ගත්තම 77%ක වැඩ ප්‍රමාණයක් අපි අවසන් කරලා තිබෙනවා. මුළු වටිනාකම ගත්තොත් ඇමෙරිකන් ඩොලර් මිලියන 514න්, ඒ කියන්නෙ ඇමෙරිකන් ඩොලර් මිලියන 378ක් අපි සම්පූර්ණයෙන් වියදම් කරලා 77%ක වැඩ කටයුතු අවසන් කරලා තියෙනවා. තව ඇමරිකන් ඩොලර් මිලියන 137 ක ප්‍රමාණයක් තමයි අවසන් කරන්න ඉතිරි වෙලා තියෙන්නේ.
එතකොට මේ ව්‍යාපෘතියෙදි, අපි අර කලින් කියූ ඇගැයීම් වාර්තා පිළිබඳ ප්රශ්නය බොහොම පැහැදිලිව පැන නඟිනවා. හැබැයි රජයක් විදියට ගත යුතු සහ ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් ඒ ප්‍රදේශයේ ජනතාවට දිය හැකි උපරිම ආරක්ෂාව, වන්දි මුදල් සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය යථාතත්ත්වයට පත් කිරීම සඳහා දිය හැකි සියලු දේවල් ලබාදෙමින් තමයි ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යන්නේ.
පාර්ලිමේන්තුවේදී වුණත් අපට අහන්න තියෙන එකම ප්රශ්නය ගරු කථානායකතුමනි, මේ තරම් විශාල මුදලක් යට කළාට පස්සෙ අපට ආපස්සට යන්න පුළුවන්ද කියන කාරණාව. ඒ නිසා රජය හැටියට විශේෂයෙන්ම අපි එක පැත්තකින් සතුටු වෙනවා ජනාධිපතිතුමා මහවැලි අමාත්‍යාංශය භාර අරගෙන මේ ව්‍යාපෘතිය එතුමා යටතේ ක්‍රියාත්මක කිරීම.
මොකද 2017 ජනවාරි 09 වෙනිදා එතුමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව හරහා විශේෂයෙන් අපි ඒ ප්‍රදේශයට මුදල් වෙන් කරලා, ආධාර ලබා දී කළ යුතු සියලු කාරණා අපි ලබා දුන්නා.
මන්ත්‍රීතුමා යොමු කළ එක ප්‍රශ්නයක් තමයි ඇයි මේ ප්‍රදේශය අවදානම් කලාපයක් ලෙස නම් කරන්නෙ නැත්තෙ කියන කාරණාව. මේ කාරණා නම් කළ යුතුව තියෙන්නෙ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින්. එහි නිලධාරීන් අපි මේ වෙනකොට මෙම ව්‍යාපෘතියට අනුයුක්ත කරලා ඉන්නවා.
ඒ වගේම මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ නිලධාරීන් අපි මේ ව්‍යපෘතියට අනුයුක්ත කර තිබෙනවා. මේ සියලු දෙනා දැනට වාර්තා කර තියෙන්නෙ මේ පොළොවේ තියෙන ජල ස්ථරය වෙනස් වීම, එහෙමත් නැත්නම් ඒවා මේ උමඟට කාන්දු වීම නිසා ගිලා බැසීමක් මිස එතනින් එහාට ගිය කාරණාවක් නොවෙයි කියන එකයි ගරු මන්ත්‍රීතුමනි.
අපි දන්නවා ගෙවල් තියෙන ප්‍රදේශවල ගෙවල් ඉරි තැලිලා තියෙනවා, වහලවල් කඩාගෙන වැටෙන මට්ටමට ඇවිත් තිබෙනවා. මේ සියලු දේවල් වෙලා තියෙන්නෙ ක්ෂණිකව වෙන ගිලාබැසීම් එක්ක. දිගින් දිගටම සිදුවන කාරණයක් නොවෙයි. ඒ නිසා මේවා අවදානම් කලාප ලෙස නම් කරන්න පුළුවන්කමක් නෑ.
කොහොම වුණත් ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාවට 2017 ජනවාරි 09 වෙනිදා ජනාධිපතිතුමා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාව මගින් අවදානම් කලාපයක ඉන්න කණ්ඩායමක් සේ සලකා දිය යුතු සහ දිය හැකි සියලු සහනාධාර අපි ලබාදෙමින් යනවා. ඒ වගේම තමයි තවත් එක් කාරණාවක් මන්ත්‍රීතුමා මතු කරනවා මේ ඉදිරියට යාම පිළිබඳ. ඉදිරියට යාමේදී අපට දෙන්න පුළුවන් සහතිකය පිළිබඳව.
2015 මාර්තු වනවිට ගරු කථානායකතුමනි, අතිගරු ජනාධිපතිතුමා මේ වෙනුවෙන් විද්වත් කමිටුවක් පත් කරලා මේ ඇගැයීම් වාර්තාව පිළිබඳ නැවත වාරයක් විද්වත් කමිටුව හරහා පරීක්ෂණයක් කරනවා.
ඒ පරීක්ෂණයෙන් ලද වාර්තා සහ තීන්දු තීරණත් එක්ක තමයි ඉදිරි කටයුතු ක්‍රියාත්මක වෙන්නේ. මේ වාර්තාව සභාගත කරනවා, බලාගන්න පුළුවන්. මේ කාරණා අනුව ක්‍රියාත්මක වෙන නිසා තමයි, අද වෙනකොට යම් මට්ටමකට හරි මෙයින් වෙන්න තියෙන හානිය අවම කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ.
ඒ වගේම කරඳගොල්ලේ සිට ගතහොත් කිලෝමීටර් 08ක් ඇතුළට කැණීම් කටයුතු සිදු කර අවසන් වෙලා තිබෙනවා. ඩයරබා සිට කිලෝ මීටර 02ක් ගොස් තිබෙනවා. මේ කිලෝමීටර 15ක ප්‍රමාණයෙන් තව අපට කිලෝමීටර 05යි කරන්න ඉතිරි වෙලා තියෙන්නේ.
අපි දන්නවා පොල්ගොල්ලේ ඉදිකිරීම් කරනකොට ඒ උමඟ ඉදි කරන අවස්ථාවේදී ජලය උමඟ ඇතුළට ඇවිත් ඒ ප්‍රදේශයේත් ළිංවල වතුර නැති වෙලා මේ ප්‍රශ්නයම පැන නැගුණා.
ස්ථිර විසඳුමක් හැටියට සියලු දෙනා උපදෙස් ලබා දීලා තියෙන්නෙ මෙය සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් යොදලා සීල් කළාට පසු වර්ෂා තුන හතරකට යන්න පුළුවන් වුණාට පසුවයි අපට සිදු වෙන්නෙ ඒ භූමිය සහ පොළොව යථාතත්ත්වයට පත් කරන්න. ඒ නිසා මං හිතනවා මේ කිලෝමීටර් 05ක ඉදිකිරීම් කටයුතු සිදු කරන්නෙ මේ මාර්තු මාසය වනවිට ගත් වාර්තාවත් එක්ක. ඒ නිසා අපට මුහුණදෙන්න සිදුවන ගැටලු ප්‍රමාණය ඒ හරහා අවම කරගන්න පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරනවා.
ඒ වගේම තමයි මේ ලබාදුන් වන්දි සහනාධාර මොනවද කියන එක පිළිබඳ ප්රශ්නය මතු කළා. මෙතනදි මේ වනවිට නිවාස හානි සඳහා පමණක් ගරු කථානායකතුමනි, රුපියල් දහනවකෝටි හැත්තෑහයලක්ෂ පන්දහස් තුන්සිය හතළිස් දෙකක් අපි වන්දි ලබා දී තිබෙනවා.
ඒ වගේම වගා සඳහා ඒ තිබූ රැස්වීමෙදි අපි තීරණයක් ගත්තා කුඩා තේ වතු සහ අනෙකුත් වගාවන් සඳහා වූ හානිවලට සියලුම වන්දි ලබා දෙන්න, පළාත් කෘෂිකර්ම අධ්යක්ෂවරයාගේ සහතික කළ අයට. ඒ අනුව මේ වනවිට තිස්හයකෝටි හැත්තෑනවලක්ෂවිසි දෙදහස් හාරසිය දහහතයි, ශත පහක් වන්දි ගෙවලා අවසන් කරලා තියෙනවා.
ඒ වගේම තමයි ජල යෝජනා පිළිබඳ බරපතළ ප්‍රශ්න තිබූ ප්‍රදේශ තිබුණා. එහි අපි හඳුනාගත් ප්‍රදේශ තියෙනවා. මකුල්ඇල්ල, වෙහෙරගලතැන්න, කුරුඳුගොල්ල කියන ප්‍රදේශ. මෙතනදි මකුල්ඇල්ල කියන ප්‍රදේශයේ විතරක් 1500ක්, ඒ වගේම වේරගලතැන්නෙ පවුල් 500ක් සහ කුරුඳුගොල්ලේ පවුල් 400 ක්.
මේ පවුල් 2400 සඳහා වන ජල විදුලි ව්‍යාපෘතියට මිලියන 352 ක් වියදම් කරලා මේ ව්‍යාපෘතියේ වැඩ කටයුතු සිදු වෙනවා. වෙහෙරගලතැන්න සහ කුරුඳුගොල්ල යෝජනා දෙක මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් වෙලා තියෙනවා. ඒ වගේම පවුල් 1500ක් සඳහා ක්‍රියාත්මක වන මකුල්ඇල්ල ජල යෝජනා ක්‍රමය 2017.06.30 වනදා වනවිට අවසන් කර ජනතාවට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම තමයි ගරු කථානායකතුමනි, මේ ජල සම්බන්ධතාව ලබාගැනීම සඳහා එක් පුද්ගලයෙකුට රුපියල් 17,000ක් ගෙවන්න සිදු වෙනවා. ඒ වෙනුවෙන් යන මිලියන 40ත් සම්පූර්ණයෙන්ම රජය හරහා දැරීමට මේ වනවිට කටයුතු යොදා තිබෙනවා. ඒ නිසා මීට වැඩිය අපි ගත් තීන්දු තීරණ සහ කළ දේවල් බොහොමයක් තියෙනවා ගරු මන්ත්‍රීතුමනි.
ඒ පිළිබඳ වාර්තාවත් ඕනෑ නම් මට සභාගත කරන්න පුළුවන්. මෙහි එකින් එක තියෙනවා පවුල්, වසම්, ප්‍රදේශ සඳහා අපි මුදල් වෙන් කරනු ලැබුවේ කෙසේද කියලා. ඒ වෙනුවෙන් මම වෙනම වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. මෙහි අනාගතයේ වන හානිය පිළිබඳ කතා කරනවිට ගරු කථානායකතුමනි, අපි මේ ව්‍යාපෘතියේ අද වනවිට ගොස් ඇති දුර ප්‍රමාණය, ක්‍රියාත්මක වූ වැඩ ප්‍රමාණයත් එක්ක ගත්තම 100%ක් කිසිදු ගැටලුවක් නැතිව මේ ආකාරයෙන් ක්‍රියාත්මක වේවි කියන සහතිකය අපට දෙන්න පුළුවන්කමක් නෑ.
ඒක තමයි ඇත්ත. ඒක තමයි යථාර්ථය. හැබැයි රජය හැටියට ඒ ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කළ යුතු සියලු කටයුතු කරනවා. ඒ වෙනුවෙන් වෙනමම අපි කමිටුවක් හදලා අපේ හිටපු අමරසේකර ලේකම්තුමා එහි සභාපතිවරයා ලෙස පත් කරලා කමිටුවකුත් හදලා තියෙනවා.
ඒ කමිටුවට ත්‍රිවිධ හමුදාව, පොලීසිය, ඒ වගේම ආපදා අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු සියලු දෙනා එකතු කළ කමිටුවක් අපි ස්ථාපිත කර තිබෙනවා වෙනම කාර්යාලයක් විවෘත කරලා. එතකොට ඒ කණ්ඩායමේ ගැටලු එනවිට ක්ෂණිකව ඒ තැන්වලට ගොස් මේ වෙලාවෙදි ක්‍රියාත්මක වෙනවා ගරු කථානායකතුමනි.''
කථානායක කරු ජයසූරිය මහතා -
''හොඳයි. විවාදයකට යන්න ඕනෑ නෑ. විද්‍යනුකූලව පියවර ගන්නා බවට ඇමතිතුමා සඳහන් කළා. ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා..''
අනුර කුමාර දිසානායක මහතා -
''එතකොට මෙය උමඟක් ඉදි කිරීම සහ ජලාශයක් එක්ක ගැටගැහිලා තියෙන ප්‍රශ්නයක්. ශක්‍යතා අධ්‍යයනයේදී ආර්ථික වශයෙන් වගේම පාරිසරික වශයෙනුත් සහ ඒ භූ ගර්භයේ සිදුවන චලනයන් පැත්තෙනුත් සැලකිල්ලක් කළ යුතුව තිබුණා. නමුත් ඔබතුමා කියූ පරිදි ශක්‍යතා අධ්‍යයන වාර්තාව හදලා තියෙන්නෙ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.
මා දන්නෙ නැහැ ගරු කථානායකතුමනි, පාරිසරික පැත්තෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තිබෙන තත්ත්වය කුමක්ද කියලා සහ භූ ගර්භ පැත්තෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මේ පිළිබඳ තිබෙන හැකියාව කුමක්ද? කියලා. අපි දන්නවා මොරටුව විශ්වවිද්‍යාලයට ඒ හැකියාව තිබෙනවා. පේරාදෙණිය විශ්වව්ද්‍යාලයේ තිබෙනවා භූ ගර්භ විද්‍යා අධ්‍යයනාංශයක්. ඒකට ඒ හැකියාව තිබෙනවා.
නමුත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ගරු කථානායකතුමනි, ඒ ක්ෂේත්රය පිළිබඳ පාඨමාලාවක් හෝ ක්ෂේත්රයක් හෝ තිබෙන විශ්වවිද්‍යාලයක් නොවෙයි. ඒ නිසා ඉතා හොඳින් පෙන්නුම් කරමින් තිබෙනවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් 2011 වර්ෂයේදී සකස් කරන ලද ශක්‍යතා අධ්‍යයන වාර්තාව අසාර්ථක බව. දැන් ඔබතුමාම කියනවා.
ඕනෑම ව්‍යාපෘතියක් ආරම්භයේදී වැදගත් වෙන්නේ ශක්‍යතා අධ්‍යයන වාර්තාව. එම වාර්තාවත් නිවැරදිව සකස් කරලා නැත්නම් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කවර විශ්වාසයක් අපි තැබිය යුතුද ?
ඒ විතරක් නොවෙයි, ඔබතුමා කියූ පරිදි මමත් අදාළ නිලධාරීන් හමුවෙලා සාකච්ඡාවකදි ඔවුන් කිවුවා අවුරුද්දක් දෙකක් යද්දි මේවා සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා සීල් වීමක් සිදු වේවි කියලා. නමුත් දැන් දිගින් දිගටම අවුරුදු ගණනාවක් තිස්සේ පළමුවෙනි බිඳවැටීමේ සිට නැවත නැවත බිඳ වැටීම් දිගින් දිගටම සිදු වෙමින් පවතිනවා.
ඒ නිසා ඇත්තටම ඒ නිලධාරීන් කියන දේ පිළිගත නොහැකි තත්ත්වයක් මතු වෙමින් තිබෙනවා. ඒ නිසයි මෙම ව්‍යාපෘතිය හරහා සිදුවිය හැකි විනාශයන් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කොට වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා ඔබතුමාට යෝජනා කරන්නෙ.''
කථානායක කරු ජයසූරිය මහතා -
''දැන් ඔබතුමා සභාගත කරනවනේ සමහර වාර්තා ?''
අනුරාධ ජයරත්න මහතා -
''කථානායකතුමනි, එක කාරණාවක් එකතු කරන්න ඕනා, ඉදිරියේදී මෙය කිරීම පිළිබඳ ඇතිවන ප්‍රශ්න පිළිබඳ. විශේෂයෙන්ම ඒ කරන ලද වාර්තා අපට පිළිගන්න බෑ කියන කාරණාව. ඒක බොහොම සාධාරණ තර්කයක්. අපිත් පිළිගන්නවා.
ගරු කථානායකතුමනි, විශේෂයෙන් කියන්න ඕන අතිගරු ජනාධිපතිතුමා ස්විට්සර්ලන්ත සහ නෝර්වේ තානාපතිවරු ගෙනල්ලා මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කළා. එතුමා වෙනමම ඉල්ලුවා විශේෂ කණ්ඩායම් අපට ලබා දීලා මෙයට අවශ්‍ය සහයෝගය අපට ලබා දෙන්න කියලා. මේ කතා කරන මොහොත වනවිටත් ස්විට්සර්ලන්ත ඉංජිනේරුවරුන් කණ්ඩායමක් උමා ඔය ව්‍යාපෘතියට ගිහිල්ලා මේ වෙලාවෙදීත් අවශ්‍ය උපදෙස් ලබාදෙමින් පවතිනවා.
එතකොට මෙහි නවසිය ගණනක් නොවෙයි ගරු මන්ත්‍රීතුමනි, ජල කාන්දුව එක තත්ත්පරයකට ලීටර් 1078කට වැඩි වෙලා තිබෙනවා. අපි නැවත වාරයක් ලබාගත් මේ වාර්තා, ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා තානාපතිවරුන් හරහා විදේශ රටවල ඉංජිනේරුවන්ගෙන් ලබාගන්නා තාක්ෂණය යන සියලු දේවල් උපයෝගී කරගෙන මේ කටයුත්තෙදි වෙන්න පුළුවන් හානිය අවම කරගෙන ඉදිරියට යන්නයි බලාපොරොත්තු වෙන්නෙ.''
කථානායක කරු ජයසූරිය මහතා -
''හොඳයි, බොහොම ස්තූතියි.''
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

