Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 සැප්තැම්බර් මස 09 වන සඳුදා
2024 සැප්තැම්බර් මස 09 වන සඳුදා
අපනයන කාර්යසාධනය වැඩිදියුණු කිරීම ශ්‍රී ලංකාව තුළ ප්‍රමුඛස්ථානයකට පැමිණ ඇත. භාණ්ඩ හා සේවාවන්හී ගෝලීය අපනයන තරගකාරීත්වය හුදු මිල අගය සහ ගුණාත්මකභාවය මත පමණක් නොව අපනයන ක්‍රියාවලියේ ශීඝ්රගාමීත්වය මත වැඩි වැඩියෙන් රඳා පැවතෙමින් තිබේ. එබැවින් අපනයනකරුවෝ භාණ්ඩ ගැනුම්කරුවන්ට නිකුත් කිරීමේ කාලය අවම කර ගැනීම සඳහා සැපයුම්දාම සංවිධානයන් වැඩිදියුණු කිරීම කෙරෙහි යොමු වී සිටිති.
කෙසේවුවද, අපනයන විදේශ වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට ගතවන කාලය අඩුකර ගැනීම හරහා ස්වකීය තරගකාරීත්වය ඉහළනංවා ගැනීමට අපනයනකරුවන්ට ලැබෙන ඉඩකඩ ශ්‍රී ලංකාවේ දේශ සීමා නියෝජිතායතන විසින් පනවා ඇති ක්‍රියාපටිපාටිවල අකාර්යක්ෂමතා හේතුවෙන් ඇහිරී ඇත. දේශ සීමාවෙන් එපිටට භාණ්ඩ ගෙන යෑමේදී වැය වන කාලය අඩුකිරීම මගින් ශ්‍රී ලංකාවට ස්වකීය අපනයනකරුවන්ගේ තරගකාරීත්වය ඉහළනංවා ගත හැකි වනු ඇත.
වෙළෙඳ කටයුතු සඳහා ඉලෙක්ට්‍රොනික ලේඛන (ඉ-ලේඛන) මගින් ගනුදෙනු කළ හැකි වේදිකා යොදා ගැනීම මෙහි ලා ප්රත්යක්ෂ ක්රමයකි. ඉලෙක්ට්‍රොනික අත්සන් (ඉ-අත්සන්) පිළිනොගැනීම නිසා වර්තමානයේදී ශ්‍රී ලංකාවට මෙවැනි ක්‍රමවේදයන් මගින් අත්කරගත හැකි යහ ඵල අකර්මණ්‍ය වී ඇත.
මේ අවහිරය ඇත්තේ ශ්‍රී ලංකාවේ නිලධාරී තන්ත්රය තුළය. ඉ-අත්සන් පිළිගැනීම සඳහා අවශ්‍ය නීති සම්පාදනයන් නිමවා වසර දහයකටත් වඩා ගත වී ඇතත්, එය ක්‍රියාවට නැංවීම සඳහා රාජ්‍ය නියෝජිතායතන කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
ශ්‍රී ලංකාව තුළ ඉ-අත්සන් නොපිළිගැනීම අරඹයා වෙරිටේ රිසර්ච් ආයතනය මගින් සිදුකරන ලද අධ්‍යයනයක් තුළින් එළැඹි මූලික සොයාගැනීම් මෙම ප්‍රතිපත්ති සටහන මගින් ඉදිරිපත් කෙරේ. ඉ-අත්සන් පිළිගැනීමෙහි ලා රාජ්‍ය නිලධාරී තන්ත්රය ඇති උදාසීනභාවය දුරලීම සඳහා නිර්දේශයන් කිහිපයක්ද මෙම සටහනෙන් සැපයේ.
ඉ-අත්සන් යනු කුමක්ද?
- කඩදාසි ස්වරූපයෙන් ඇති ලේඛනවල අත්සන් කිරීම, අතින් යොදන අත්සනක් මගින් සිදුකරන පරිදිම, ඉ-අත්සන් යනු ඉලෙක්ට්‍රොනික ස්වරූපයෙන් ඇති ලේඛනවල අත්සන් කරන ක්රමයකි. ඉ-අත්සන් නා නා ප්‍රකාර අයුරින් පැවතිය හැකිය.
- ඉලෙක්ට්‍රොනිකව යතුරුලියනය කළ නාමයන් (ආකෘති පතක අග යතුරුලියනය කර ඇති නාමයන් වැනි)
- පළමුව පරිලෝකනය කර, ඉන්පසු ඉ-ලේඛනය මත ස්ථානගත කළ අතින් යෙදූ අත්සන්
- ඉලෙක්ට්‍රොනිකව අනුකෘති කළ අතින් යෙදූ අත්සන් (ඉලෙක්ට්‍රොනික අත්සන් පුවරුවල යොදන අත්සන් වැනි)
- සුවිශේෂී රටාවන්ගෙන් යුත් අක්ෂරවලින් සැදුම්ලත් අත්සන් (උදා- රහස්‍ය අංක කේතයන් හා මුරපද)
- ජෛවමිතික අත්සන් (උදා - ඇඟිලි සලකුණු හෝ දෘෂ්ටි පටල පරිලෝකනයන්)
- ඩිජිටල් අත්සන් 1 (ගුප්ත කේතනය කළ සහතික)
අත්සන් කරන්නාව සුවිශේෂී හඳුනා ගැනීමකට ලක් කිරීමේ හැකියාවත්, ඉ-ලේඛනය පරිහරණයේදී එහි සිදුකරන සංශෝධනයන් පිළිබඳව වාර්තා තබා ගැනීමේ හැකියාවත් ඉ-අත්සන් සතුව පවතින නිසා ලියවිල්ලට ඉහළ මට්ටමේ ආරක්ෂාවක් ඉන් සැලසේ.
මෙවැනි මට්ටමක ආරක්ෂාවක් රජයන්ට හා ව්‍යාපාරවලට විශේෂයෙන් අවශ්‍ය වේ. නෛතික අවශ්‍යතාවන් මත ලේඛන සඳහා අන්තර්ජාතික පිළිගැනීම අවැසි විටදී හෝ තහවුරු කරගැනීම්වලදී මෙය විශේෂයෙන් වැදගත් වේ.
මූලික සොයා ගැනීම්
- 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත සම්මත කිරීම හරහා, ඉ-අත්සන් (ඉ-ලේඛනද සහිතව) පිළිගැනීම බලාත්මක කිරීමට අවශ්‍ය නීති සම්පාදනයන් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර දශකයකටත් වඩා වැඩි කාලයක් ගත වී ඇත.
- නීති පද්ධතිය ක්රියාවේ යෙදවීමට දක්වන නිද්‍රාශීලීභාවය හේතුවෙන් රටට සිදුවන අලාභය ඉහළය. සිය පුළුල් ආර්ථික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සතු ශක්‍යතාව ඉන් අඩපණ කෙරේ.
- ඉ-අත්සන් හා ඉ-ලේඛන නොපිළිගැනීම පිළිබඳව රජයේ විවිධාකාර නියෝජිතායතන විසින් සුලබව ගෙන හැර දක්වන හේතු මූලිකවම සනාථ කළ නොහැකි ඒවා වේ.
- ශ්‍රී ලංකාවේ ඉ-ලේඛන සියලුම අන්තර්ජාතික ගනුදෙනු සඳහා පිළිගැනීමට ජාතික සහතික කිරීමේ අධිකාරියක් (ජා.ස.අ.) සක්‍රීයව පැවතීම වැදගත් වේ. අන්තර්ජාතික ලෙස ආරක්ෂිත ඩිජිටල් අත්සන් සම්පාදනය සඳහා දේශීය ආයතනවලට සහතික කළ පිළිගැනීමක් ලබාදීමත්, එය අධීක්ෂණය කිරීමත් ජා.ස.අ.ට සිදු කළ හැකිය. නමුත්, රට තුළ පමණක් ක්රියාවලිගත වන ලේඛනවල ඇති ඩිජිටල් අත්සන් පිළිගැනීම සඳහා එවැනි සහතික කළ පිළිගැනීමක් අත්‍යවශ්‍ය නොවේ.
- ඉ-ලේඛන හා අත්සන් සාර්ථක ලෙස යොදා ගැනීමට අකුල් හෙළන ප්‍රධාන සාධක නම් රාජ්‍ය නිලධාරී තන්ත්‍රමය ප්‍රතිරෝධය හා පරිපාලනමය අලසභාවයයි.
- නිර්දේශය 1- ශ්‍රී ලංකාව තුළ ඉ-අත්සන් පිළිගැනීම වේගවත් කිරීම සඳහා මධ්‍ය මාර්ගෝපදේශමාලාවක් නිකුත් කිරීම.
ඉලෙක්ට්‍රොනික සන්නිවේදනයන් හා ඉලෙක්ට්‍රොනික දත්ත වාර්තාවලදී උචිත/පිළිගත හැකි ආකාරයකට ඉ-අත්සන් යොදා ගැනීම සම්බන්ධයෙන් සියලු රාජ්‍ය ආයතනවලට අදාළ වන පරිදි මධ්‍යම මාර්ගෝපදේශන මාලාවන් නිකුත් කිරීම, ආයතනික මට්ටමෙන් පවතින අක්රීයභාවය සඳහා ඵලදායී විසඳුමක් වනු ඇත. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයට මෙවැනි මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කළ හැකිය. අසල්වැසි ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් මෙකී ක්‍රියාමාර්ගය සාර්ථකව අනුගමනය කර ඇත.
නිර්දේශය 2- ශ්‍රී ලංකාවෙන් නිකුත් කරන ඩිජිටල් අත්සන් සඳහා අන්තර්ජාතික පිළිගැනීම ලබා ගැනීම සඳහා පහසුකම් සැපයීමට ජා.ස.අ.ක් සක්‍රිය කිරීම.
සමහර අවස්ථාවන් හිදී හා ඇතැම් විදේශ රටවලදී ඩිජිටල් අත්සන් සඳහා අන්තර්ජාතික පිළිගැනීමක් ලබාගැනීමට නම් නිල පිළිගැනීමක් ලත් ඩිජිටල් සහතික කිරීම් සේවා සම්පාදකයෙකු (ස.සේ.ස.) ගේ සේවය ලබාගත යුතු වේ. දේශීය ස.සේ.ස.න්ට නිල පිළිගැනීම ලබා දීමේ පහසුකම සැලසෙනු ඇත්තේ ජාතික සහතික කිරීම් අධිකාරියක් (ජා.ස.අ.) පිහිටුවා සක්‍රීය කිරීමෙන් පමණි. එය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (තො.ස.තා.නි) වෙත හෝ ශ්‍රී ලංකා මහ බැංකුව වෙත 2017 වසරාවසානය වන විට පැවරිය හැකි වගකීමකි.
II පර්යේෂණ
1. පුළුල් ආර්ථික ප්‍රතිපත්තිමය අරමුණු සඵල කර ගැනීමේදී
ඉ-අත්සන් හා ඉ-ලේඛන පිළිගැනීම ඉතා වැදගත් වේ.
1.1 ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රයේ වර්ධනය 2000 වසරේ සිට අඩපණ වී තිබේ. ද.ජා.නි.යේ ප්‍රතිශතයක් ලෙස ගත් කල අපනයනයන් 2000 වසරේ පැවති 33.3% අගයේ සිට 2015 වසරේදී 12.3% දක්වා කඩා වැටී ඇත. ඊට අමතරව ගෙවුණු දෙවසර තුළදී අපනයනවල නිරපේක්ෂ අගයේ වාර්තා වී ඇත්තේ ඍණාත්මක වර්ධනයකි.
1.2 විදේශ වෙළෙඳාමේ යෙදෙන ආයතන භාණ්ඩ දේශ සීමාව හරහා ගෙන යෑමේදී රජය විසින් පනවන ලද නියාමනයන් ගණනාවක් සමග අනුකූලතාව තහවුරු කළ යුතු වේ. එසේ කිරීමට වැය කෙරෙන කාලය හා පිරිවැය, අපනයන වර්ධනය අවහිර කරන ප්‍රධාන සාධක දෙකක් බවට පත් වී තිබේ.
අතින් ලේඛන සැකසීමේ ක්රමයන්ගේ සිට පූර්ණ ලෙස ක්‍රියාකාරී ඉලෙක්ට්‍රොනික ලේඛන සැකසුම් වේදිකාවක් කරා විතැන් වීම මගින් වෙළෙඳ ව්‍යාපාරිකයන්ට තම කාලය හා මුදල් ඉතිරි කරගත හැකි වනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ වෙළෙඳ තරගකාරීත්වය වැඩිදියුණු වීම ඒකාන්තය.
නිදසුනක් ලෙස, මැලේසියාවේ ක්ලැන් වරාය තුළ ඉ-ලේඛන සැකසුම් වේදිකාවක් බලාත්මක කිරීම තුළින් සමහර ලේඛන සඳහා ගතවන සැකසුම් කාලය පැය 12 සිට මිනිත්තු 15 ක් දක්වා කපා හැරීමට හැකි වූ අතර, වැරදීම් අනුපාතයන් 40% සිට 5% දක්වා අඩුකර ගත හැකි විය.
එපරිදිම, සිංගප්පූරුවේ ඉලෙක්ට්‍රොනික වෙළෙඳ වේදිකාව මගින් අපනයන ලේඛන සැකසුම්ගත කිරීම්, ලේඛන බාරදීමෙන් පසු රාජකාරී පැය හතරක් ඇතුළතද, ආනයන ලේඛන සැකසුම් ගත කිරීම් ලේඛන බාර දීමෙන් පැයක් ඇතුළතද නිම කරනු ලැබේ. ශ්‍රී ලංකාව මෙම කටයුතු සඳහා වැය කරන කාලය එම රටවල් වලට සාපේක්ෂව කැපී පෙනෙන අන්දමින් පහළ අගයක පවතී. (බලන්න වගුව 1)
වගුව 1 - අන්තර්ජාතික වෙළෙඳාමේ ලේඛන සැකසීමේ අවශ්‍යතා සමග අනුකූලතාවය ලබා ගැනීමට ගත වන කාලය (පැය වලින්)
අපනයන සඳහා | ආනයන සඳහා | |
සිංගප්පූරුව | 4 | 1 |
මැලේසියාව | 10 | 10 |
එක්සත් අරාබි එමීර් | 6 | 37 |
ඕමාන් | 31 | 24 |
ඉන්දියාව | 61 | 67 |
පාකිස්තානය | 62 | 153 |
ශ්‍රී ලංකාව | 76 | 58 |
මූලාශ්‍රය- ලෝක බැංකුවල ව්‍යාපාර සිදුකිරීමේ දර්ශකය 2016
1.3 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (තො.ස.තා) හරහා ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශිත ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාවයකි. ඩිජිටල්කරණය යනු මැදි ආදායම් රටවලට තම රාජ්‍ය අංශයෙහි සේවා සැපයුම වැඩිදියුණු කිරීමටත්, අල්ලස් සහ දූෂණ මැඬපැවත්වීමටත්, අකාර්යක්ෂමතාවන් අඩු කිරීමටත්, වෙළෙඳ පොළ වෙත කඩිනමින් ප්‍රවේශ වීමේ පහසුකම ලබාදීමටත් ප්‍රායෝගිකව යොදා ගත හැකි විධි ක්රමයකි.
1.4 දේශ සීමා පරිපාලනය තුළ පවතින අකාර්යක්ෂමතාවන් නිසා හානි සිදුවන්නේ ශ්‍රී ලංකාවේ වෙළෙඳ තරගකාරීත්වයට පමණක් නොවේ. ස්වකීය පුළුල් ආර්ථික ප්‍රතිපත්තිමය අරමුණු සාක්ෂාත් කර ගැනීමේ විභවයටද ඉන් හානි පැමිණේ.
උදාහරණයක් ලෙස විදේශීය ඍජු ආයෝජනයන් ඉහළ නංවා ගැනීම, ගෝලීය අගය දාමයන් වෙත ඇතුළු වීම හා කලාපීය වෙළෙඳ සහ ප්‍රවාහන සැලසුම් කේන්ද්‍රයක් බවට පත් වීම වැනි ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා මුදුන්පත් කර ගැනීමේදී දේශ සීමා නියාමනයන්ගේ කාර්යක්ෂම බව තීරණාත්මකව බලපාන සාධකයකි.
ඉලෙක්ට්‍රොනික වෙළෙඳ වේදිකාවන් යොදා ගැනීම මගින් දේශ සීමා පරිපාලනයේ කාර්යක්ෂමතාව සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගත හැකි වනු ඇති අතර, එය වෙළෙඳ තරගකාරීත්වය ඉහළ නංවා ගැනීමට මනා පිටිවහලක් වනු ඇත.
1.5 ඉ-අත්සන් හා ඉ-ලේඛන පිළිගැනීම ඉලෙක්ට්‍රොනික වෙළෙඳ වේදිකාවල වැදගත් අංගයකි. ඉලෙක්ට්‍රොනික වේදිකාවන් දුබල ලෙස ක්‍රියාවට නැංවීම හේතුවෙන් දේශ සීමා ක්‍රියාපටිපාටිවල කාර්යක්ෂමතාවය අඩාළ වී ඇත.
මේ නිසා, දේශ සීමා හරහා සිදුකෙරෙන භාණ්ඩ හුවමාරුවට අදාළ ක්‍රියාපටිපාටිවල කාර්යක්ෂමතා මැන බලන අන්තර්ජාතික දර්ශක බොහොමයක ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ පහළ ශ්‍රේණිගත ස්ථානයකි. ලෝක ආර්ථික සමුළුව මගින් සම්පිණ්ඩනය කරන ගෝලීය වෙළෙඳ හැකියා දර්ශකයේ 2016 අගයන්ට අනුව, දේශ සීමා පරිපාලනයේ කාර්යක්ෂමතාව හා පාරදෘශ්‍යභාවයට අදාළව රටවල් 136ක් අතුරින් ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ 97 වන ස්ථානයයි. 2014 දී 87 වන ස්ථානයේ ශ්‍රේණිගත වී සිටියි.
ශ්‍රී ලංකාව වසර දෙකක් ඇතුළත ස්ථාන 10ක් පහළට ගොස් ඇති අතර, සංසන්දනාත්මකව ගත් කල තායිලන්තය (44 වන ස්ථානය), ඉන්දියාව (75 වන ස්ථානය) හා වියට්නාමය (86 වන ස්ථානය) වැනි කලාපීය සගයන් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටී. වෙළෙඳාම වෙනුවෙන් වූ වෙළෙඳ ලේඛන අවශ්‍යතාව, අනුකූලතාව ලබා ගැනීමට ගතවන කාලය පිළිබඳව සැලකීමේදී ශ්‍රී ලංකාව සෙසු තරගකාරී රටවල්වලට වඩා පසුගාමී බව 1 වගුවෙන් පෙන්නුම් කරයි.
1.6 මේ පසුබිම තුළ, ඉ-අත්සන් පිළිගැනීම යනු ඉ-ලේඛන සැකසුම් කාර්යක්ෂම කිරීමෙහි ලා රජයට ගත හැකි කුඩා නමුත් තීරණාත්මක පියවරකි. එය ශ්‍රී ලංකාවේ වෙළෙඳ හා ප්‍රවාහන ක්ෂේත්රයන්හී ඵලදායීතාව ජාත්‍යන්තරව තරගකාරී මට්ටමකට ගෙන ඒමට තබනා යෝධ පිම්මක් වනු ඇත.
2. 2006 වසරේ පටන් ස්ථාපිතව ඇති, එහෙත් ක්‍රියාවට නංවා නොමැති නෛතික රාමුව බලගැන්වීම.
2.1 ඉ-අත්සන් පිළිගැනීමේ පහසුකම සඳහා අවශ්‍ය නීතිමය රාමුව දැනටමත් පිහිටුවා තිබේ. 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත (ඉ.ග.ප.) (7 කොටස) මගින් ව්‍යතිරේඛයන් කිහිපයක් හැරුණුකොට සාම්ප්‍රදායික ලෙස අතින් යොදන අත්සන්වලට ලැබෙන නෛතික භාරදූර බවම ඉ-අත්සන්වලට ලබා දේ. එමෙන්ම, සත්‍යභාවය සහතික කිරීම සඳහා අතින් යොදන අත්සන්වල අවශ්‍යතාවය ගෙන හැර පාන, දැනට පවතින මොනයම්ම හෝ නීතියක් මෙම පනතේ ප්‍රතිපාදන මගින් අභිභවනය කෙරේ.
2.2 කෙසේ වෙතත්, ඉ-ලේඛන සැකසුම් කිරීම වේගවත් කිරීම සඳහා ඉ-අත්සන් භාවිත කිරීමෙහි ලා පසුගිය දශකය පුරාම ශ්‍රී ලංකාව ලබා ඇත්තේ මඳ ප්රගතියකි. ලේඛන භෞතිකව බාරදීම නවතාලීම අරමුණු කර ගනිමින් මුදල් අමාත්‍යංශ හා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින්, 'කඩදාසි රහිත තනි කවුළුව' කින් යුතු ඉලෙක්ට්‍රොනික ලේඛන සැකසුම් වේදිකාවක් ස්ථාපිත කරන ලදී.
කෙසේනමුත්, සැකසුම් කිරීම සම්පූර්ණ කිරීම සඳහා, අතින් යොදන ලද අත්සන් සහිත, කඩදාසි ස්වරූපයෙන් පවතින ලේඛන සමහර ආයතන වෙත තවමත් බාරදිය යුතුව තිබේ. ඒ අනුව මුදල් සම්භාරයක් වැයකර මෙම ඉලෙක්ට්‍රොනික වේදිකාව පිහිටුවුවද, ඉ-ලේඛන සැකසුම් කිරීමේ ආර්ථික කාර්යක්ෂමතාවන් හා පූර්ණ ප්රතිලාභ උදාකර ගැනීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇත.
2.3 සමහර අවස්ථාවන් හිදී, වෙළෙඳාම හා සබැඳි ගනුදෙනුවලදී අන්තර්ජාතිකව සම්ප්‍රේෂණය කරනු ලබන ලේඛන සඳහා, නිල පිළිගැනීමක් සහිත ඩිජිටල් අත්සන් අවශ්‍ය වේ. නිල පිළිගැනීමක් සහිත ඩිජිටල් අත්සන් නිකුත් කරනු ලබන්නේ නිල පිළිගැනීමක් සහිත ස.සේ.ස. විසිනි. පිරිවැය කාර්යක්ෂමතාව හේතුවෙන්, දේශීය ස.සේ.ස. යන් හට නිල පිළිගැනීම ලබාදෙන්නේ අන්තර්ජාතික නිල පිළිගැනීමක් සහිත ජාතික සහතික කිරීම් අධිකාරියක් ජා.ස.අ. ක් මගිනි.
2013 සැප්තැම්බර් 24 දින නිකුත් කරන ලද අංක 1829/29 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ සක්‍රීය ජා.ස.අ.යක්, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම සමග සහයෝගීත්වයෙන් යුතුව පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් තොග ස.තා.නි. වෙත බලය පවරන ලදී. එහෙත් ක්‍රියාකාරී ජා.ස. අධිකාරියක් තවමත් ස්ථාපිත කර නොමැත.
මෙම මන්දෝත්සාහිභාවය නිසා, නිල පිළිගැනීමක් සහිත ස.සේ.සයෙකු ශ්‍රී ලංකාවේ දැනට නොමැති අතර, ඩිජිටල් අත්සන් සහිත ලේඛන අන්තර්ජාතිකව පිළිගැනීමට ඉන් බාධා පැමිණ තිබේ.
3. ඉ-අත්සන් පිළිනොගැනීමට හේතු ලෙස ඉදිරිපත් කෙරෙන්නේ සනාථ කළ නොහැකි කාරණා ය.
3.1 ලේඛන ඉලෙක්ට්‍රොනිකව බාර ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් හා පද්ධතීන් ස්ථානගත කර තිබුණද බොහෝ රාජ්‍ය ආයතන තුළ ඉ-අත්සන් පිළිගැනීමේ මැලිකමක් විශාල වශයෙන් දක්නට ඇත.
ඒ පිළිබඳ රාජ්‍ය ආයතන බහුල වශයෙන් ගෙන හැර දක්වන හේතු පිළිබඳ පහත සාකච්ඡා කෙරේ. මේ සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් විමසා බලන විට පෙනී යන්නේ ඉ-අත්සන් පිළි නොගැනීම සාධාරණීකරණය කරන්නට උත්සාහ ගන්නේ සනාථ කළ නොහැකි කරුණු මත බවයි.
දැනට පවතින පනත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් පවතී.
ඉ-අත්සන් පිළිනොගැනීම ගැන බොහෝවිට ගෙන එනු ලබන හේතුවක් නම්, අදාළ ආයතනවල ක්‍රියාකාරකම් සඳහා බල පැවැත්වෙන නීති අනුව අතින් යොදන ලද අත්සන් අවශ්‍ය බවත්, මෙකී නීතිවලට සංශෝධනයන් සිදු කිරීමකින් තොරව එම ආයතනවලට ඉ-ලේඛන හා ඉ-අත්සන් පිළිගත නොහැකි බවත් ය.
■ මෙය අහේතුක තර්කයකි. ඉහත 2.1 කොටසේ දී විස්තර කළ පරිදි, ඕනෑම තොරතුරු ලබාදීමක හෝ සන්නිවේදනයක සත්‍යභාවය තහවුරු කිරීම සඳහා අතින් යොදන ලද අත්සන් අවශ්‍ය යැයි දක්වනු ලබන වෙනත් ඕනෑම නීතියක්, 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතින් ලබාදෙන ප්‍රතිපාදන මගින් අබිබවා යන බව පනතේ 7 කොටසින් ප්‍රකාශ කෙරේ. එමනිසා, ඉ-අත්සන් පිළිගැනීම සඳහා වර්තමාන නීතිවලට සංශෝධන කිසිවක් ඉදිරිපත් කළ යුතු නොවේ.
3.2 ඉලෙක්ට්‍රොනික අත්සන් පිළිගැනීමට නම් ජාතික සහතික කිරීම් අධිකාරියක් අවශ්‍ය වේ.
ඉදිරිපත් කෙරෙන තවත් හේතුවක් නම්, දැන් පවතින දේශීය ස.සේ.ස.යන්ට පිළිගැනීම ලබාදීම සඳහා බලතල ඇති ක්‍රියාකාරී ජා.ස. අගයක් නොතිබීමයි.
■ එක් ව්‍යතිරේකයක් හැරුණු කොට මෙම තර්කය පිළිගත නොහැක්කකි. ශ්‍රී ලංකාවේ පවතින නීති රාමුව,
අ) ඕනෑම ආකාරයක ඉ-අත්සනක් පිළිගැනීම සඳහා නම්‍යශීලී වීමට ආයතනවලට ඉඩ සලසයි.
ආ) ඩිජිටල් අත්සන් නිකුත් කරනු ලබන ස.සේ.ස.යන්ට නිල පිළිගැනීමක් අනිවාර්ය නොකරයි. ඇත්ත වශයෙන්ම, පනතේ 20 (2) කොටස මගින් පවසන්නේ නිල පිළිගැනීමක් නොමැති ස.සේ.ස.යන්ට රට තුළ තම සේවාවන් සැපයීම වළක්වාලීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි.
■ වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්රය තුළ ඩිජිටල් සහතික යොදාගනිමින් මූල්‍යමය ගනුදෙනු සැලකිය යුතු සංඛ්‍යාවක් සැකසුම්ගත වේ. මෙකී ඩිජිටල් සහතික, සහතික කරන්නේ බාහිර නිල පිළිගැනීමක් නොමැති, එහෙත් මූල්‍යමය ක්ෂේත්රයේ විශ්වාසය දිනාගෙන ඇති ස.සේ.ස.යකු මගිනි.
ඒ අනුව, නිල පිළිගැනීමක් ලබා දීම සඳහා ජා.ස.අ.යක් නොතිබියදීත්, දේශීය ස.සේ.ස.යකු විසින් නිකුත් කරනු ලබන ඩිජිටල් සහතික යොදාගැනීමේ සූදානමක් ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්රයට තිබෙන අතර, ඔවුහු එය ක්‍රියාවට නංවමින් සිටිති.
ස.සේ.ස.යන්ට නිල පිළිගැනීමක් ලබාදීම සඳහා ක්‍රියාකාරී ජා.ස.අ.ක් නොතිබිය දී වුවද ශ්‍රී ලංකාවේ ආයතනවලට ඉ-අත්සන් පමණක් නොව ඩිජිටල් අත්සන්ද පිළි ගැනීමට හැකි බවට අත්දැකීම් සහිත තහවුරු කිරීමක් මින් සැපයේ.
■මෙම තර්කය අන්තර්ජාතික වෙළෙඳාමට අදාළව රට රටවල් අතර හුවමාරු වන ලේඛනවලට අදාළ නොවේ. ශ්‍රී ලංකාවේ නීතිය අනුව ඉඩ සැලසී තිබුණද, තවත් රටකට බාරදෙනු ලබන ලේඛන එම රට පිළිගැනීමට නම් නිල පිළිගැනීමක් සහිත ස.සේ.ස.යකු හරහා ඩිජිටල් අත්සන්වල සත්‍යභාවය තහවුරු කිරීම එම රටේ නීතියට අනුව අවශ්‍ය විය හැක.
ඉන් කියවෙන්නේ අන්තර්ජාතිකව සම්ප්‍රේෂණය කෙරෙන ලේඛන උපකාණ්ඩයක් නිල පිළිගැනීමක් සහිත ස.සේ.ස.යකු නොමැතිව එම ලේඛන ඉලෙක්ට්‍රොනිකව පූර්ණ වශයෙන් සැකසුම් කළ නොහැකි බවයි.
3.3 ඉ-අත්සන් පිළිගැනීමට ධාරිතාවක් නොමැති වීම. ඉ-අත්සන් හා ඉ-ලේඛන පිළිනොගැනීම පිළිබඳ බොහෝවිට ඉදිරිපත් කෙරෙන තවත් හේතුවක් නම් ඒ සඳහා ධාරිතාවක් නොමැති බවයි. ඒ සඳහා ගෙනහැර දැක්වෙන හේතු වන්නේ තොරතුරු තාක්ෂණික යටිතල පහසුකම් නොමැතිකම, තාක්ෂණික දැනුම සහිත විශේෂඥයන් නොමැතිකම සහ මෙකී ඌනතා ජයගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන නොමැතිකමයි.
■ මෙම හේතු හුදු කඩතුරාවක් පමණි. වෙරිටේ රිසර්ච් ආයතනය මගින් සිදු කළ සොයාගැනීම් අනුව පෙනී යන්නේ, පරිපාලනයේ ඉච්ඡාභංගත්වය හා නිද්‍රාශීලීභාවය බොහෝවිට ධාරිතාවේ හිඟතාවක් ලෙස අර්ථකථනය කෙරෙන බවයි. පහත දැක්වෙන නිරීක්ෂණ එම විග්‍රහය තහවුරු කරයි.
■ වර්තමානයේදී ඉ-ලේඛන හා ඉ-අත්සන් පිළිගැනීමට අවශ්‍ය ධාරිතාව ස්ථාපිත කර ක්‍රියාත්මක තත්ත්වයේ ඇති රාජ්‍ය ආයතන පවා ගනුදෙනු සැකසුම්ගත කිරීම සඳහා අතින් යෙදූ අත්සන් සහිත භෞතික ලේඛන ඉල්ලා සිටී.
■ ධාරිතා සීමා ජයගැනීම සඳහා රජය විසින් දැනටමත් මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇත. 2016 හා 2017 වසරවල ස්වකීය අයවැය වෙන් කිරීම්වලදී රජය පිළිවෙළින් රු. බිලියන 10 ක් හා බිලියන 15 ක් ඉහත සඳහන් කළ ආර්ථිකය ඩිජිටල්කරණය කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කර තිබේ.
අපේක්ෂිත ඩිජිටල් පරිවර්තනය ඵලගැන්වීමෙහිලා අවශ්‍ය වන රාජ්‍ය අංශයේ ධාරිතාව, 1) රජයේ ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය හා 2) විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ පොදු ස්ථාවරය හරහා අවැසි කුසලතා හා සම්පත් 11 ලබාදීමට රජය දක්වන කැපවීම මගින් තවත් ශක්තිමත් කෙරේ.
4. නිලධාරී තන්ත්රයේ පවතින උදාසීනභාවය, දූෂණ ප්රතිලාභවලටම මුහු වී බැඳේ.
4.1 අතින් ලේඛන සකසන පද්ධති තුළ පවතින පාරදෘශ්‍යභාවයක් නොමැතිකම හා අකාර්යක්ෂමභාවය තුළින් වාසි ලබන රාජ්‍ය නිලධාරීන් විසින් වෙනස්කම් සිදු කිරීමට දක්වන ප්‍රතිරෝධය, ඉලෙක්ට්‍රොනික වාණිජ්‍ය වේදිකා හඳුන්වාදීමට ප්රයත්න දරන බොහෝ රටවල් මුහුණදෙන පොදු ගැටලුවකි.
එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය ආසියා පැසිෆික් සමුළුව මගින් ඉලෙක්ට්‍රොනික වාණිජ්‍ය/තනි කවුළු වේදිකා ක්‍රියාවට නැංවීම හා බැඳුණු පිරිවැය පිළිබඳ සිදු කළ සමීක්ෂණයක් මගින් හෙළි වූයේ අදාළ ආයතන තුළ සිටින කාර්යමණ්ඩල විසින් දක්වන ප්‍රතිරෝධය මෙකී වේදිකා ක්‍රියාවට නැංවීම ප්‍රමාද වීමෙහි ලා බලපාන ප්‍රධාන පිරිවැයක් බවයි.
4.2 රාජ්‍ය අංශයේ දූෂණයේ ප්රත්යක්ෂ මට්ටම මැන බලන දර්ශකයක් වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ දූෂණ ප්රත්යක්ෂතා දර්ශකයේ 2016 අගයන්ට අනුව 36/100 ක දුර්වල ලකුණු මට්ටමක් සහිතව රටවල් 176 ක් අතුරින් ශ්‍රී ලංකාව සිටින්නේ 95 වැනි ස්ථානයේය. මිනිස් ශ්‍රමය පදනම්ව අතින් සිදුවන ගනුදෙනු සිදු කරවාගැනීම සඳහා සන්තෝෂම් ලබාදෙන ලෙස බල කෙරුණු අවස්ථා පිළිබඳ මහජන පැමිණිලි ගණනාවක් මෙම සමීක්ෂණය තුළ දී හෙළිදරව් විය.
4.3 දූෂණය මගින් රජයේ රෝදවලට ග්‍රීස් වෙනුවට 'වැලි' දමන බව පවසන දූෂණය පිළිබඳ නූතන න්‍යායන් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය විස්තර කිරීමට මැනවින් උචිතය. එනම් තමන් මුහුණදෙන, පුරෝකථනය කළ නොහැකි, අපැහැදිලි, මන්දගාමී හා දුෂ්කර ක්‍රියාවලියන් තුරන් කර ගැනීමට උත්සාහ දරන පිරිස් වෙතින් අයුතු වාසි ලබාගැනීම සඳහා අකාර්යක්ෂම පද්ධතීන් එලෙසම පවත්වාගැනීමට දූෂිත රාජ්‍ය නිලධාරී තන්ත්රයන් ක්‍රියා කරනු ඇත.
4.4 දූෂිත ක්‍රියාවලියන් පිළිබඳ ඇති සාක්ෂි සටහන් මකා දැමීමටද මිනිස් ශ්‍රමය පදනම් කර ගත් අතින් ලේඛන සකස් කරන පද්ධති තුළින් ඉඩක් ලබා දේ. උදාහරණයක් ලෙස අතින් කරන ලේඛන සැකසුම්වල දී ප්‍රමාදයන් සිදුවන ස්ථාන පිළිබඳ වාර්තා නොපවතී.
සිදු කළ පාර්ශ්වය පිළිබඳ සාක්ෂි නොතබා, භෞතික ලේඛන වෙනස් කිරීමට, වෙනත් ලේඛනවලට මාරු කිරීමට හෝ ඉවත් කිරීමට හැකියාව පවතී. ඊට පරස්පරව ඉ-අත්සන්වලින් බලගැන්වුණු ඉලෙක්ට්‍රොනික පද්ධතිවලට ඇතුළුවීමට පූරණය කිරීම් (log-in) අවශ්‍ය වේ. දූෂණයක් පිළිබඳ සැකකරන අවස්ථාවක දී සාක්ෂි සටහන් සෙවීම සඳහා යොදාගත හැකි ඩිජිටල් පියවර සලකුණු ඉන් ඇති කෙරේ.
III ප්රගමනය සඳහා නිර්දේශයන්
අතීත පරිපාලන දුර්වලතා හා ප්රතිරෝධයන් තිබිය දී වුවද, ඉ-අත්සන් පිළිගැනීමට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන යොමු කරවීම සඳහා පහත නිර්දේශ දෙක ඉදිරිපත් කෙරේ.
1) ශ්‍රී ලංකාව තුළ ඉ-අත්සන් පිළිගැනීම වේගවත් කිරීම සඳහා කේන්ද්‍රික මාර්ගෝපදේශ මාලාවන් නිකුත් කිරීම.
යම් රාජ්‍ය ආයතනයකට ඉ-ලේඛන (ඉ-අත්සන් ද ඇතුළුව) භාවිත කිරීමට අවශ්‍ය නම්, තමන් විසින් අනුගමනය කිරීමට අපේක්ෂා කරන නිශ්චිත රෙගුලාසි/මාර්ගෝපදේශ මාලාවන් පිළිබඳ අදාළ විෂය බාර අමාත්‍යවරයාට නිර්දේශයන් ඉදිරිපත් කිරීමට එම ආයතනයන්ට හැකි යැයි 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ පැහැදිලිව දක්වා ඇත. පනත ගෙනැවිත් වසර 10කටත් වඩා වැඩි කලක් ගත වී ඇති මුත්, එකී කාලය තුළ දී එකදු රාජ්‍ය ආයතනයක් හෝ එවැනි නිර්දේශයක් ඉදිරිපත් කර ඇති බවක් වාර්තා වී නොමැත.
ඉහත කී මාර්ගෝපදේශ මාලාවන් නිකුත් කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ 8 වැනි කොටස යටතේ ඉඩ සලසා ඇත.
එක් එක් රාජ්‍ය ආයතන වෙන වෙනම ස්වාධීන ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව මේ ක්‍රියාපටිපාටිය තුළින් මඟ හරවන අතර, මෙකී මාර්ගෝපදේශ මාලාවන් ක්‍රියාවට නැංවීම ශීඝ්‍රගාමී වීමද ඉන් සිදු වේ.
ශ්‍රී ලංකාවට සාපේක්ෂව බලන කල වඩා සංකීර්ණ පරිපාලන ව්‍යුහයක් ඇති ඉන්දියාවේ, සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් ඉ-අත්සන් ක්‍රියාත්මක කරනු ලැබුවේ 2010 වසරේදී සමස්ත මාර්ගෝපදේශ මාලා කාණ්ඩයක් ප්රකාශනයට පත් කිරීම මගිනි.
ශ්‍රී ලංකාව තුළ මෙකී මාර්ගෝපදේශ මාලාවන් ප්‍රකාශයට පත් කිරීමේ මධ්‍යගත අධිකාරිය ලෙස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය පත් කළ හැකිය. මාර්ගෝපදේශ මාලාවන් තුළ පහත කරුණු ඇතුළත් විය යුතුය.
අ) අදාළ ඉලෙක්ට්‍රොනික වාර්තා රජය විසින් නිර්මාණය කළ යුතු, රඳවා ගත යුතු, ගොනුගත කළ යුතු හෝ නිකුත් කළ යුතු පිළිවෙළ හා ආකෘතිය
ආ) එකිනෙකට වෙනස් ආකාරයේ ලේඛන සඳහා පිළිගත හැකි ඉ-අත්සන් වර්ග සහ
ඇ) එවැනි ඉ-අත්සන් යොදන අන්දම හා ආකෘතිය මෙන්ම සේවයේ යොදවන සෑම ස.සේ.ස.යකු සතුවම තිබිය යුතු විගණන නිර්ණායකයන්
■ හොඳින් කෙටුම්පත් කළ, මධ්‍යගතව නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවන්ගෙන් අත්වන වාසි නම්,
අ) මෙම පනතට අනුකූලව තමන්ගේම වූ මාර්ගෝපදේශ මාලාවන් එක් එක් ආයතන විසින් තනිව සම්මත කරගැනීමේ විකල්ප ක්‍රමය සමග සැසඳීමේ දී රජයේ ආයතන සඳහා මාර්ගෝපදේශන මාලාවන් ඇති කරගැනීමේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඉහළ යෑම,
ආ) ඉ-අත්සන් පිළිගැනීමට අදාළ නිර්ණායක හා ආකෘතියේ පැහැදිලිභාවය, සංගතභාවය, පුරෝකථන හැකියාවන් හා සමරූපීය බව ඉහළ නැංවීම.
ඇ) ඉ-අත්සන්වල නීතිමය වලංගුභාවය ගැන ආයතන විසින් ඇති කර ගෙන තිබෙන අවිනිශ්චිත හැඟීම් හෝ මන්දෝත්සාහී බව මැඬ පැවැත්වීමට සහායක් ලැබීම.
2) ශ්‍රී ලංකාව තුළ නිකුත් කෙරෙන ඩිජිටල් අත්සන් අන්තර්ජාතිකව සහතික කරවා ගැනීම සඳහා ජා.ස.අ.ය සක්‍රිය කිරීම
2.3 කොටසේ දී විස්තර කළ පරිදි, ජාතික සහතික කිරීම් අධිකාරියක් පිහිටුවීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (තො.ස.තා.නි.) අසමත් වීම හේතුවෙන් අනිටු ප්‍රතිඵල ජනිත වී තිබේ. නිල පිළිගැනීමක් සහිත ස.සේ.ස.යකු ශ්‍රී ලංකාව තුළ නොමැති වීම නිසා දේශ සීමා හරහා සිදු කෙරෙන සමහර ගනුදෙනුවලදී ඩිජිටල් අත්සන් භාවිත කළ නොහැකි වී තිබේ.
ඉදිරියට යෑම සඳහා විකල්ප තුනක් තිබේ (අ)අන්තර්ජාතිකව නිල පිළිගැනීමක් සහිත ජා.ස.අ.යක් 2017 වසරේ දී පිහිටුවීම සඳහා එහි ලා අවශ්‍ය පරිපාලනමය ධාරිතාව සහිත ආයතන දෙකක් වන තො.ස.තා.නි. හා ශ්‍රී ලංකා මහ බැංකුව යන දෙකෙන් එකකට නැවත කාර්ය-නියම කිරීම, (ආ) ගෝලීය සහතික කිරීම් අධිකාරියක් වෙතින් ඍජුවම නිල පිළිගැනීමක් ලබා ගැනීම සඳහා ස.සේ.ස.යන් එකකට හෝ වැඩි ගණනකට සහාය ලබා දීම හෝ (ඇ) අන්තර්ජාතික නිල පිළිගැනීමක් සහිත ස.සේ.ස.යකුට ශ්‍රී ලංකාව තුළ සේවාවන් ඇරඹීම සඳහා ඇරයුම් කිරීම.
වෙරිටේ රිසර්ච් ආයතනයේ ආර්ථික පර්යේෂණ කණ්ඩායම විසින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ආනයන අංශය සමග සහයෝගිතාවයෙන් යුතුව මෙම අධ්‍යයනය සම්පිණ්ඩනය කෙරිණි. වෙරිටේ රිසර්ච් කණ්ඩායම සමන්විත වූයේ බුද්ධික පෙරේරා, සුභාෂිණි අබේසිංහ, සබ්රිනා යුසුෆාලී හා අනුෂාන් කපිලන් ගෙනි. සමස්ත පර්යේෂණ හා සංස්කරණ අධීක්ෂණය නිෂාන් ද මෙල් හා මාලති නයිට් විසින් සිදු කෙරිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd