ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 18ක් පුරා පිළිලයක්ව පවතින වනඅලි තර්ජන මේ වන විට දරුණු අලි-මිනිස් ගැටුමක් බවට පත්ව ඇත්තේ ජන ජීවිතය අවුලෙන් අවුලට පත්කරමිනි. වනයට සීමා වී සිටි වනඅලි රංචු අද වන විට ගම්වැදීම නිසා මිනිසුන්ගේ වගා කිරීමට හැකි අක්කර ලක්ෂ ගණනක් අතහැර දමා තිබේ. මෙවැනි පසුබිමක නිවැරදි සහ ඉතාමත් අඩු වියදමකින් තල් වැටකින් ඉඩම් ආරක්ෂා කර ගැනීමට වෑයම් දැරූ අපූරු මිනිසෙකු අපට වනාතවිල්ලුව, කරතිව් ගම්මානයේදී පසුගියදා මුණගැසිණි. ඔහු නමින් එස්.එම්.ඒ. අසිස් (අවු.68)ය.
මෙම කතාවේ කථානායකයා ඔහුය. වසර 20කට පෙර හෙතෙම තම සොයාගැනීම වූ තල්ගස් සිටුවීමේන් වනඅලි ගම්වැදීම වැළැක්විය හැකි බවට සාක්ෂි සහිතව එකල දේශපාලන බලධාරීන්ට දැනුම්දී තිබුණද, ඔවුන් තුට්ටුවකට එය මායිම් කර නොතිබිණි. එසේ අවධානය යොමු වූයේ නම්, විසි වසරක කාලයක් පුත්තලම කලාපයේ පමණක් නොව ඇතැම් විෙටක සමස්ත වනඅලින්ගේ හිරිහැරවලට ලක්වූ ජනතාව එයින් මුදා ගැනීමට මෙම අපූරු දේශීය ක්‍රමවේදය මිනිසුන්ට හා සතුන්ට හිරිහැරයක් නොවන ආකාරයෙන් තිරසාර පිළියමක් ලෙස භාවිත කිරීමේ හැකියාව පැවැති බව සඳහන් කළ යුතුය.
තල්වැටක් සිටුවීමෙන් වනඅලි ගම්වැදීම වැළැකිය හැකි බවට සනාථ කළ අසිස් මහතා, තම ජීවිතයේ වැඩි කාලයක් යොමුකර ඇත්තේ විවිධ පීඩාවලට පත්වූ ජනතාව වෙනුවෙන් තම ශක්තිය එක්කරමින් සහනයක් වීමටය.
1969 දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සත්ත්ව පාලන අංශයට එක්වූ හෙතෙම, ඉන් පසුව සත්ත්ව පාලන දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව, මනම්පිටිය සත්ත්ව පර්යේෂණ අංශයේ පශු වෛද්‍ය ඒකකයට එක්ව පුහුණුවීම්වල නිරත වී ඇති අතර, 1977-1979 දක්වා කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයෙන් කෘෂිකර්ම ඩිප්ලෝමාව හදාරා තිබේ.
කෘෂිකර්මයත්, සත්ත්ව පාලනයත් මනාව ප්‍රගුණ කර ඇති අසිස් මහතා, 1980 දශකයේ සිට නැවතත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවයට එක්ව ඇත. රට පුරා තම රැකියාවේ බොහෝ දේ අධ්‍යයනය කළ හෙතෙම, පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම, ආණමඩුව, වනාතවිල්ලුව, මහකුඹුක්කඩවල, නවගත්තේගම, පල්ලම, මුන්දලම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් දිගින් දිගටම වාර්තා වන වනඅලි ගම්වැදීමෙන් පීඩා විඳින ජනතාවට පිහිට වීම ගැන නිරන්තර අධ්‍යයනයක යෙදී තිබිණි.
ඒ අනුව 1980 දශකය අවසානයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුළ වනඅලි ගම්මාන වෙත කඩාවැදී සිදුකළ වගා හානි හේතුවෙන් පීඩාවට පත්ව සිටි ජනතාවගේ වගාවන් බේරා ගැනීමට අසිස් මහතා කටයුතු කර තිබිණි.
ඒ අනුව ඉඩමේ වැට ඉම දිගට %සිග්සැට්^ ක්‍රමයට තල්පැළ සිටුවීම සිදුකර තිබුණේ අඩි හයෙන් හයටය. එය කුඩා කාලයේදී ආරක්ෂා කර ගැනීමට දැඩි කැපවීමක් කළ යුත්තේ ඉත්තෑවන් තල්පැළ විනාශ කිරීමටත්, වනඅලි තල්පැළ උදුරා දැමීමත් හේතුවෙනි. නමුත් එය නිවැරදිව ආරක්ෂා කරගත හොත් අලි-මිනිස් ගැටුමට නිවැරදි පිළිතුරු ලැබෙන බව හෙතෙම පවසයි.
මේ පිළිබඳ තම අත්දැකීම් වචනවලට හැරවූ එස්.එම්.ඒ. අසිස් මහතා,
“ගඩොල් කපලා පාසල් ඉදිකරපු අපි පාසල් ගිහින් ඒ පාසලෙන් එළියට ආවේ පාසලට ආදරය කරලා, තවත් පරම්පරා ගාණකට ඒ පාසල ආරක්ෂා කරලා. අන්න ඒ වගේ අතීතයක් තිබෙන අපට ලැබුණු රැකියාව නිධානයක් බව හිතලා උපරිම ප්‍රයෝජන ගන්න හැකියාව ලැබීම සතුටක්. ඒ නිසයි මම මේ අලි-මිනිස් ගැටුමට අතගැසුවේ. ඇතැම් විටක මම මේ අතගැසූ තල්වැටට එදා වගේම අදත් පිළිගැනීමක් නැහැ. මොකද මේ සඳහා කිසිම කෙනෙකුට කොමිස් මුදලක් හෝ වෙනත් දෙයකට ඉඩක් නොමැති නිසා. මුලින්ම මම ගම්වැදී ජනතාවගේ භෝග වගාවන් වනසන වනඅලි පළවා හැරීමට මේ තල්වැට සාර්ථක බව එවකට රාජ්‍ය ඉඩම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පුත්තලම දිසා මන්ත්‍රී අශෝක වඩිගමංගාව මහතාට 1990.07.28 වැනිදා යැවූ ලිපියට අදටද පිළිතුරක් ලැබුණේ නැහැ.
මේ තල්වැට අගයක් නොකරන වකවානුවක මම එය පැත්තකට දැම්මේ නැහැ. මයිලන්කුලම නිමල්ගේ ඉඩමට වනඅලි හානි කරද්දි, සියලු භෝග වගාවන් වනසා දමද්දි මම තල්වැට පටන් ගත්තා. ඒ සඳහා නිමල්ගේ සහයෝගය ඉහළින් තිබුණා. හැබැයි තල්වැටේ තිබෙන එකම ප්රශ්නය තල්ගස පැළවෙන්න ටික කාලයක් ගත වීම. ඒ නිසා තල්ගස වැවෙන තෙක් ආරක්ෂා කරගන්න අවශ්‍යයි.
ඊළඟ කරුණ තමයි මම ගම්වලින් වනඅලි පළවා හරින්න තල්ගස තෝරා ගත්තේ ඇයි කියලා. ඒකට හේතුව තමයි තල්ගසේ අතුවල ඉතා දරුණුවට තිබෙන කියත්තල ලෙස සැකසුණු දැති. මේ දැතිවලට අලියා පුදුම බයක් දක්වනවා කියලා තමයි මම සොයා ගත්තෙ. අලියා හරිම බයයි තම හොඬවැලට හානි වෙනවාට. ඒ නිසා තල්ගස ගම්වදින වනඅලි පළවා හරින්න තිබෙන හොඳම නිදසුනක්. අඩු වියදමකින් හොඳ ආරක්ෂාවක් සකසා ගන්න පුළුවන්.
ඒ වගේම කියන්න අවශ්‍යයි මම මේ තල්වැට භාවිත කරද්දි මම අලියා ගැන සහ තල්ගස ගැන විශාල පර්යේෂණයක් කළා. එයින් තල්ගස ඉතාම ශක්තිමත් සහ පලතුරක් වීම නිසාත් ගම්වදින අලියා තල්ගසේ ගෙඩි ආහාරයට ගැනීමට හුරුවෙනවා. ඒ නිසාම තල් ගෙඩි කා දමා තල්ගස ආසන්නයට ළංවෙන්න තියෙන බිය නිසාම අලියා ආපසු හැරී යන මට්ටමට පත්වුණා. එය මා කළ පර්යේෂණයේ එක් පැත්තක් පමණයි. ඇතැම් විෙටක තවත් බොහෝ දේ මට සොයාගන්න ඉදිරියේදී හැකි වෙයි. නමුත් දැනට මා සකස් කළ %සිග්සැග්^ තල්වැට සඳහා ලංකාවේ ඉඩක් නැති වුණා. %ඉන්දියන් එක්ස්ප්‍රස්^ පුවත්පතේ 'HUMAN –JUMBO CONFLIGT india mulls lanka model' යන ශීර්ශ සහිත ප්‍රවෘත්තියක් පළවී තිබෙනවා. එම කුඩා ප්‍රවෘත්තිය මගින් අලි-මිනිස් ගැටුමට පිළියමක් ලෙස තල්වැට යොදා ගැනීම ගැන අදහස් පළවී තිබෙනවා. නමුත් ලංකාවට එය වැදගත් නැති වෙලා. ඒක තමයි ශ්‍රී ලංකාවේ තත්ත්වය* යැයි පවසා සිටියේය. අසිස් මහතාගේ සිග්සැග් තල්වැට අද වන විට සාර්ථක වී ඇති බවට සාක්ෂි සහිතව සනාථ වී තිබේ. වගා කර ගැනීමට නොහැකිව අතහැර තිබූ දැනට සුළු බිම් ප්‍රමාණයක් (අක්කර 1,000 පමණ) සාර්ථකව වගා කර තිබෙන ආකාරය 'සිග්සැග්' තල්වැටේ සාර්ථකත්වය කියාපායි
නමුත් මෙරට වගකිව යුතු බලධාරීහු තවමත් වනඅලින්ට සහ මිනිසාට හිරිහැරයක් වූ විවිධ උපක්‍රම භාවිත කරමින් ගම්වදින වනඅලි පළවා හැරීමට අතිවිශාල මුදලක් වැය කරමින් සිටිති.
තාල වර්ගයට අයත් තල්ගස ගම්වදින අලි පළවා හැරීමට පමණක් නොව ආර්ථික අතින් ඉතා සාර්ථක වගාවක් ලෙස හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ ශුෂ්ක ප්‍රදේශ වශයෙන් සැලකෙන යාපනය, මන්නාරම, මඩකලපුව, ත්‍රිකුණාමලය හා දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේද සාර්ථකව මෙම ශාකය ව්‍යාප්තව තිබේ. පුත්තලම දිස්ත්‍රික්කයේ බහුලව නොමැති වුවද, මේ වන විට තල් සංවර්ධන මණ්ඩලය තල්ගස ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. එවැනි පසුබිමක තම ඉඩමේ වැට මායිම් තුළට තල්ගස යොදා ගැනීමෙන් ආර්ථික වාසි සේම වනඅලි තර්ජනයට ප්‍රායෝගික විසඳුමක් බවද කිව හැකිය.
නමුත් යමක් සඳහන් කළ යුතුමය. ඒ මිනිසුන් විසින් ගම්වදින වනඅලි පළවා හැරීමට කුමන උපක්‍රම භාවිත කළද, දිනකට කිලෝ 300කට ආසන්න ප්‍රමාණයක් තම ආහාරය සොයායන වනඅලි වෙනුවෙන් බලධාරීන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ගය කුමක්දැයි සොයා බැලීමය. මේ කාරණා සියල්ලම යහපත් ලෙස සිදුවුවොත් අනාගතයේදී අලින් සහ මිනිසුන් තම භූමිකාවේ කිසිදු බියකින් තොරව රැඳී සිටිනු ඇත.
පසුගිය දශකය පුරා පුත්තලම දිස්ත්‍රික්කයේ පමණක් වනඅලින් විසින් වනසා දමන ලද පොල්ගස් සංඛ්‍යාව ලක්ෂයකට ආසන්නය. වෙනත් අතුරු භෝගද විසිදහසකට ආසන්න වෙයි. එමෙන්ම පසුගිය දශකය පුරා පුත්තලම දිස්ත්‍රික්කයේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැයට අහිමි වූ වනඅලි සංඛ්‍යාව 500කට ආසන්නය. වනඅලි පහරදීමෙන් අහිමි වූ මිනිස් ජීවිත ප්‍රමාණය 100කට ආසන්න බව පැවසේ. මේ සියල්ල හමුවේ බලධාරීන් උදාසීන ලෙස කටයුතු කළහොත් ගෙවීගිය දශකයට වඩා ඉදිරි කාලය භයානක වනු ඇත. ඒ අනුව අදාළ බලධාරීන් මෙවැනි ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුය.