අල්ලසට යට නොවිය යුතු ගමේ බලය
පළාත් පාලන ආයතන මන්ත්‍රීන්ගේ දිවුරුම් දීම මේ වන විට අවසන් වෙමින් පවතින බව එම අමාත්‍යාංශ වාර්තා දක්වයි. රටම තවත් එකම එක අවුල් ජාලයක් බවට පත්කරමින් සිදුකළ පළාත් පාලන මැතිවරණය මෙරට ප්රජාතන්ත්රවාදයේ මළගමේ ආරම්භයදැයි සියල්ල දෙස බලා සිටි ජනතාව විමසූහ.
කන්දක් විළිලා මී පැටවෙකු නොව මී බෙට්ටක් වැදූ තරමට නව මැතිවරණ ක්‍රමය පුස්සක් යැයි ජනතාව මෙන්ම දේශපාලකයෝද අවධාරණය කරති. එහෙත් මැතිවරණය අවසන් වුවද, කෙසේ හෝ මහජන බලය ස්ථාපනය කරගත්තද ඔවුන්ගේ සැබෑ කෙරුවාව දැක ගත හැකිකේ ඉදිරි කාලය තුළ බව ජනතාව පෙන්වා දෙති.
වැටෙන වැටෙන කුණු බේරේ වැවට යැයි කීවා සේ පළාත් පාලන මැතිවරණයේ අසාර්ථක පැත්ත යහපාලන ආණ්ඩුවේ ගිණුමට බැරවෙමින් පවතී. දිනපතා ඇසෙන සිදුවීම් තුළ පැහැදිලි වන වැදගත්ම කරුණ වන්නේ ගමේ මැතිවරණය යැයි පැවසුවද එය මේ වන විට අල්ලස, දූෂණය සහ වංචාව ගම්මාන මට්ටමින් ස්ථාපනය සඳහා ප්‍රබල සාධකයක් බව දූෂණ විරෝධීහු පෙන්වා දෙති.
දූෂිතයන් නීතියට කොටු කිරීමේ පූර්වකාලීන ප්‍රකාශ
මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු පත්වන දූෂිතයන්ට එරෙහිව තමන් අල්ලස් කොමිසමට හෝ නිසි නෛතික ප්‍රතිපාදන අනුව යමින් නීතිය යටතට ඔවුන් පත්කරවීමට කටයුතු කරන බව දේශපාලන නිරීක්ෂණ සංවිධාන සහ ඇතැම් මානව හිමිකම් සංවිධානයන්ද මැතිවරණයට පෙර ප්‍රකාශ කළහ. ඇතැම් අවස්ථාවල ඔවුන් පවසා සිටියේ අපේක්ෂකයන් අතර ප්‍රබල දූෂිතයන් 80ක් පමණ සිටින අතර, එයින් 20කට පමණ යම් යම් චෝදනා සම්බන්ධයෙන් නීතිය ඉදිරියේ නඩු ගොනු වී ඇති පුවතකි.
එහෙත් මේ වන විට එදා ජනතාවගෙන් එවැනි දූෂිතයන් පිළිබඳ තොරතුරු ඉල්ලා සිටියද නීතිමය පියවර ගැනීම තබා තම ප්‍රකාශයන් ජනතාවගෙන් අමතක කරනු පිණිස ඇතැම් සංවිධාන වෙනත් තර්ක ඉදිරිපත් කරමින් කල් මරන්නේදැයි ජනතාව ප්‍රශ්න කරති.
අල්ලස් දීම වරදකි. අල්ලස් ඉල්ලා සිටීමත් වරදකි. අල්ලස් ගැනීමත් වරදකි. යමෙකු ඒ බව දැන දැන අල්ලසක් හෝ සතුටු පඬුරක් හෝ වෙනත් මානසික පරිත්‍යාගයක් ලෙස එවැන්නක් ලබාගන්නේ නම් එය නීතිය ඉදිරියේ දඬුවම් ලැබිය යුතු වරදකි. ඒ බව නොදන්නා කිසිම ඡන්දදායකයකු මෙරට නැතැයි නීතිවේදීහුද පෙන්වා දෙති.
එහෙත් ඉකුත් දිනවල සිට ඇසෙන ප්‍රධාන මාතෘකාව බවට පත්වී ඇත්තේ බලය වෙනුවෙන් සල්ලි වියදම් කරනවා යනුවෙනි. එසේ වියදම් කරනුයේ අතයට ගනුදෙනු විනා තොරණ බැඳීමට හෝ පිළිගැනීම් උත්සව වෙනුවෙන් නොවේ. සභාපති තනතුර හෝ නගරාධිපති තනතුර වෙනුවෙන් මට අත ඔසවන්න යැයි ඉල්ලා සිටීම වෙනුවෙනි.
දූෂිත මහජන මන්ත්‍රීවරුන්ගේ හැසිරීම
මේ අතර පක්ෂ සහ පිල් මාරු කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරුන් විසින් තම පක්ෂය සහ ඡන්දදායකයන්ගේ විශ්වාසයට හානි කරමින් මිලියන ගණනින් වූ මුදල් මත යැපෙමින් විරුද්ධ පැත්තේ පුද්ගලයන් ගමේ පුටුවට පත්කරවීමට යටි උගුල් ඇටවූ බවටද චෝදනාවකි. මෙය ඉදිරි මැතිවරණයේදී රටේ දේශපාලන ප්‍රවාහය සහ නියෝජිතයන් නම් කිරීමේ අර්බුදයට ප්‍රබල අභියෝගයක් වනු ඇතැයිද ජනතාව දක්වති.
කාන්තා නියෝජනයේ මංගල වෙඩිල්ල
වරක් අරණායක ප්‍රාදේශීය සභාවට පත්වූ මහජන නියෝජිතයන්ගෙන් ඇතැමුන්ට රුපියල් ලක්ෂ දෙකක හෝ එවැනි මුදලක් ගෙවමින් ඡන්දය ඉල්ලා සිටි අය පිළිබඳ පුවතක් ජනමාධ්‍ය වාර්තා කළේය. ඒ සඳහා සමෘද්ධි නිලධාරියෙකු සහ ජනමාධ්‍යවේදියෙකුද එයට අනුබල බව දුන් බව අදාළ කාන්තා මන්ත්‍රීවරිය පවසා සිටියාය. තමා එම මුදල ලබා ගනිමින් අදාළ කැමැත්ත පළකර සිටියද වරද දැන් නිවැරදි කළයුතු බවටද ඇසුණි. (තවත් තැනක ඇතැමුන් පැවසුවේ කවුරු හෝ ඇතැමුන්ට දිරවාගත නොහැකි සදාකාලික ලණු දී ඇති බවට තවත් කතාවකි.)
කාන්තා නියෝජනය පිළිබඳ ඇසුණු යෝජනා ඉදිරියේ කාන්තා නියෝජනයේ අවංකභාවයත්, විනිවිදභාවයත් පිළිබඳ පළමු වෙඩිල්ල එතැනින් පත්තු වී යැයි ජනතාව පවසති. කළ වැරදි වෙනුවෙන් අත තැවරුණු ලේ පැල්ලම් සෝදා හැරීමට දැන් මාධ්‍ය ඉදිරියේ කිඹුල් කඳුළු හෙළන අපේක්ෂකයන් කෙරෙහි අප්‍රමාදව නීතිය ක්‍රියාත්මක විය යුතු යැයි මනාපය දුන් ඡන්දදායකයන්ගෙන්ද ප්‍රබල චෝදනාවකි. අපි පෝලිම් තුළ කාලය කාදමමින් අපට ලද ප්රජාතන්ත්ර අයිතිය උදුරාගත් ඇත්තන්ට එරෙහිව උපරිම ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න යැයි රට පුරා ඡන්දදායකයන් හඬ නඟන්නේද එබඳු පුවත් ඇසෙන විට බව ජනතාව තහවුරු කරති. ඇතැමුන් හාස්‍යයයෙන් මෙන් පැවසුවේ මෙන්න රටේ දේශපාලනයට සුදුසු නියම බඩු යනුවෙන් තවත් අවලාදයකි.
කපාගැනීම් සහ පාවාදීම්
එසේ නොවන්නේ නම් මේ තට්ටුමාරු ක්‍රමය සහ පිල් බෙදීම තුළ තවදුරටත් අල්ලස, වංචාව වෙනුවෙන් මෙවැනි සිදුවීම් වැරදි පූර්වාදර්ශ වශයෙන් ක්‍රියාත්මක විය හැකි බව ඔවුහු පෙන්වා දෙති.
ගතවූ මහ මැතිවරණයකදී පක්ෂයක මාධ්‍ය ප්‍රකාශකයෙකු ලක්ෂ හතළිහක මුදල් බෑගයක් ජනමාධ්‍ය ඉදිරියට ගෙනැවිත් එය අල්ලසක් වශයෙන් වෙනත් පක්ෂයක අයෙකුට ලබාදුන් අයුරු පෙන්වා දුන්නේය. දැන් එය අධිකරණ කටයුත්තක් බවට පත්ව ඇත. යමෙකු ප්‍රසිද්ධියේ මම ගත්තා යැයි පවසනවා නම් එවැනි තොත්ත බබාලා හැසිරවීම පමණක් නොව ඔවුන් දිනාගත් අවස්ථාව අහිමි කරවීමේ තවත් යටිසූත්තරද ඒ සමගම ක්‍රියාත්මක වන්නේ යැයිද නීතිවේදීහු පෙන්වා දෙති.
නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාව
අල්ලස් කොමිසම හෝ මැතිවරණ කොමිසම නැතහොත් අපරාධ විමර්ශන අංශ තමන් සතු බලය සහ එවැනි බලයක් නොමැති නම් ස්වයං යාන්ත්‍රණයක් හරහා හෝ අනාවරණය වන මෙවැනි පුවත් ඇසුරු කර ගනිමින් එවැනි දූෂිතයන් නීතියට කොටුකළ යුතුය.
එසේ නැතහොත් මැතිවරණ නිරීක්ෂකයන් හැම මැතිවරණයක් ඉදිරියේම ප්‍රකාශ කරන පරිදි දූෂිතයන්ට අපි නඩු පවරනවා යැයි කියන කතාවට යටත්ව පැහැදිලි සාක්ෂි ඇති මෙවැනි අවස්ථාවන් ප්‍රයෝජනයට ගනිමින් නීති මඟට බැසිය හැකිය.
ඇතැමුන් මම ගත්තා යැයි පවසන විට තවත් පිරිසක් පැවසුවේ රුපියල් ලක්ෂ දහයේ සිට ලක්ෂ පනහ දක්වා මුදලකට තම ඡන්දය අලෙවි කළ මන්ත්‍රීවරුන් සිටින කතාවකි. එසේනම් ඒ පුද්ගලයා සතුව එම තොරතුරු මූලාශ්‍ර නැතැයි පැවසිය නොහැකිය. ඒ යටතේ ඔවුන්ගේ සහයෝගය සහිතව නඩු පැවරීමට බැරිකමක් නැතැයිද නීතිවේදීහු පවසති.
ජනමාධ්‍ය ඉදිරියේ අරයා ගත්තා මෙය දුන්නා යැයි පවසන දේ සත්‍යයක් නම් එවැන්නවුන් ඒ ගත් අය සහ දුන් අයත් දුන් මුදලත් ප්‍රසිද්ධියේ දක්වා හෝ කොමිසම ඉදිරියේ පැමිණිල්ලක් ලෙස දැක්වීමට කිසිදු නෛතික බාධාවක් නැත. එසේ නොමැතිව තමන්ගේ නොහැකියාව හෝ තමන් ඉල්ලා සිටි මුදල හෝ තනතුර නොලැබීම නිසා එයින් ඇතිවූ කම්පනය තුළ යම් සදොස් ප්‍රකාශයන් කරන්නේ නම් එය යුක්තිගරුක මිනිසුන්ට සිදුකරන අසාධාරණයක් බවද ජනතාව පවසති.
දූෂණයට එරෙහිව ඡන්දදායකයාගේ ඇස් ඇරවීම
එසේම තමන්ගේ මනාපයෙන් මන්ත්‍රී වරම් ගත් අය අනුන්ගේ ලක්ෂ ගණනින් බලය සහ තනතුරු ලබාගත්තා යැයි පැවසීම තුළ පිරිසුදු ඡන්දයක් අපේක්ෂා කළ ඡන්දදායකයාට සිදුවන්නේද දැඩි අසාධාරණයකි. ඔවුන්ට තමන් මනාපය දුන් අපේක්ෂකයාගේ සැබෑ හැඩරුව මැන ගැනීමටද එය අවස්ථාවකි. ඉදිරි මැතිවරණවලදී දූෂිතයන් නෙරපා දැමීමටද එය අනුබලයක් වනු ඇත.
මේ මුදල් කාගේද?
මේ සියල්ල අවසානයේ සිදුවන්නේ කුමක්ද? පළාත් පාලන මන්ත්‍රීවරයෙකුගේ සාමාන්‍ය වැටුප මාසිකව රුපියල් පහළොස් දහසක් යැයි සිතමු. (මෙය ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා වශයෙන් වෙනස් වෙයි.) ඔවුන්ට ලැබෙන ප්රතිපාදනද පවතින මූල්‍ය අර්බුදය තුළ එතරම් ප්‍රමාණවත් නොවනු ඇත. එසේනම් ලක්ෂ දහයේ සිට ලක්ෂ පනහ දක්වා මුදලට මිල නියම කර ලබාගන්නා මනාපය තුළ මේ උත්සාහ කරන්නේ කුමක්ද? එම එසේ මුදල පෞද්ගලිකව යමෙකුට දැරිය හැකිද? අනෙක් අතට ඒ මුදල් ආපසු ලබාගැනීමට එසේ වැය කළ පුද්ගලයාට ඇති අවස්ථා මොනවාද? කළයුතු එකම දෙය මොනවා හෝ හොරකම් කිරීම යැයි ජනතාව නඟන අවලාදය බැහැර කළ නොහැකිය.
වැය කළ මුදල් උපයා ගැනීමේ ප්රයත්නය
එහිදී ඉදිකිරීම් කොන්ත්‍රාත් මෙන්ම මස් කඩ, මාළු කඩ ටෙන්ඩරයත් සේවක පත්වීම් නම් කිරීම ආදී වශයෙන් යම් යම් අවස්ථා එළඹිය හැකිය. එහෙත් අපේක්ෂා කරන තරමින් එපමණ මුදලක් නැවත පියවාගත නොහැකිවනු ඇත. එසේනම් ඒ බව දැන දැන මෙතරම් මුදලක් වැය කරන්නේ කවුද? අල්ලස් කොමිසමත්‘, අපරාධ විමර්ශන අංශත් ඒ කෙරෙහි යොමුවීම කාලීන අවශ්‍යතාවක් බව දේශපාලන විද්වත්හු අවධාරණය කරති. ජනාධිපතිවරයාගේ විනිවිද බව සනාථ කිරීමට එයද ප්‍රබල සාධකයක් වනු ඇතැයි ජනතාව පෙන්වා දෙති.
සැබැවින්ම ලක්ෂ ගණනින් හිතේ හැටියට බෙදා දීමට එම ඇත්තන්ට මුදල් කොහෙන්ද? ගමේ ඡන්දය මෙසේ නම් මහ මැතිවරණවලදී ඇතිවිය හැකි මුදලට අලෙවි වීමේ ලංසුව කෙබඳු විය හැකිද? මේ දහජරා මජර ක්‍රමය ඉවත්විය යුතු යැයි ඇතැම් දේශපාලකයන් තමන්ගේ භාෂාවෙන් පවසති. අපේ මහජන නියෝජිතයන් මෙතරම් දූෂිතදැයි ඡන්දදායකයෝ අසති. අපේ පාලකයන් මේ සිදුවීම්වලදී මුනිවත රකින්නේ ඇයිදැයි ජනතාව අසති. ගමේ දේශපාලනය මේ ආකාරයෙන් ජරාජීර්ණ වී නම් රටේ ප්රජාතන්ත්රවාදයට හෙට දිනයේ අත්වන ඉරණම කුමක් විය හැකිදැයි දේශපාලන විද්වත්හු විමසති.
යහපාලන ආණ්ඩුවේ වගකීම
යහපාලන ආණ්ඩුව කළයුත්තේ අගමැති ජනාධිපති අතර ගැටුම් ඇතිකර ගැනීම නොවේ. තමන්ගේ බලය සහ පරාජයට මුවා වී විසඳා ගතයුතු කාලීන ප්‍රශ්න මඟහැරීමද නොව නැවත මෙවැනි දේ සිදු නොවීමට නම් ඒ සඳහා ගත හැකි උපරිම නීතිය දක්වා අණපනත් සම්පාදනය කිරීමය.
එතෙක් මෙවැනි චෝදනා ලබා සිටින තම රැහේ හොරුන්, දූෂිතයන්, වංචනිකයන් එම තනතුරුවලින් ඉවත්කර සැබෑ මහජන නියෝජිතයන්ට එකී අවස්ථාව ලබාදීමට ඒ ඒ නායකයන් පමාවිය යුතු නැත. එහෙත් ඔවුන් එසේ හැසිරෙන්නේද තම නායකත්වය තුළ පවතින අනුබලය නිසා නම් මීළඟ පියවර කුමක් විය යුතුද? නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ නම් නීතියටත් යුක්තියටත් කාගේ පිළිසරණදැයි ජනතාව අසන්නේ එහෙයිනි.
නැතහොත් මෛත්රිලාගෙන්, රනිල්ලාගෙන් ජනතාව ජනවාරි 8 ඉල්ලා සිටි යහපාලන වෙනස තවත් එක් පුස්සක් පමණක් වනු ඇත. යහපාලන කාලයේ ලක්ෂ පනහටත් ගම්සභාවේ මන්ත්‍රීවරු විකුණාගෙන කෑවා යැයි ජනතාව ඉදිරි දිනයක පවසනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


