අපරාධ හා අපරාධ පිළිබඳ බෞද්ධ විග්‍රහය
සමාජ සංහිඳියාවට බලපෑම් කරනු ලබන පුද්ගල හෝ සමාජ ක්‍රියාවන් අපරාධ (Crime) නම් වෙයි. සමාජයක් යනු පුද්ගල සමූහයකින් යුක්ත සුවිශාල ජාලයකි. මෙම සංවිධිත ජාලයේ පැවැත්මට හානි කරන, එහි සංයුතිය වෙනස් කරන පුද්ගලයෙක් හෝ සමූහයක් සිදුකරන යම් ක්‍රියාවක් වේ නම් එය අපරාධයක් යනුවෙන් නිර්වචනය වේ. සමාජවිද්‍යා ශබ්ද කෝෂයට අනුව 'නීතියෙන් තහනම් කළ හා දඬුවමට අවනත නැති යමෙක් කළ ඕනෑම ක්‍රියාවක් අපරාධයකි' එසේම නීතියෙන් තොර අපරාධයක් ද නැත.
මෙහෙයින් අපරාධයක් නීතිය සමග මෙන්ම සමාජය සමගද දැඩි සම්බන්ධතාවක් පවත්වන හෙයින් එයට නෛතික මෙන්ම සමාජ දෘෂ්ටියද යොමු වී ඇත. අපරාධය වූ කලී සමාජ පසුබිමක් මතම ඇතිවන්නක් අතර, අපරාධකරුවාද සමාජ නිර්මිතයකි. නීතියට අනුව යම් ක්‍රියාවක් අපරාධයක් වීමෙහිලා බලපාන්නා වූ මූලික සාධක කිහිපයකි.
යම් ක්‍රියාවක් අපරාධයක් වශයෙන් ප්‍රකාශ කිරීමට පෙර නිසොවක් හෝ වරදක් සිදුවිය යුතුය. එය මානසික තත්ත්වයක් පමණක්ම නොව සමාජයීය තත්ත්වයක්ද විය හැක. ඒ අනුව අපරාධයන්ට දරිද්‍රතාවය හේතුවන හෙයින් දරිද්‍රතාව මුලිනුපුටා අපරාධ වැළැක්වීමෙහිලා බුදු දහමෙහි නිර්දිෂ්ට ක්‍රමවේද 03කි.
1.කෘෂිකර්මාන්තය සඳහා බීජ හා මූල ධනය ලබාදීම
2.වෙළෙඳාම කටයුතු සඳහා ප්රාග්ධනය ලබාදීම
3.රාජ්‍ය සේවකයන් සඳහා නිසි වැටුප් ලබාදීම
මේ අනුව අපරාධ ඇතිවීමෙහිලා මනෝවිද්‍යාත්මක හේතු මෙන්ම සමාජ විද්‍යාත්මක හේතූන්ද ඇති බව බුදු සමය පිළිගනියි. අපරාධකරු නිර්මාණය කරන්නේද බාහිර සමාජය මගිනි. නිදසුනක් ලෙස අන්තරාවර්තී පෞරුෂයකට හිමිකම් කියූ අහිංසක ගුරු ගෙදර තුළ ඊර්ෂ්‍යාවට ලක් වී අංගුලිමාලයෙකු වෙයි.
මෙම අංගුලිමාල නිර්මාණය කරන්නේ බාහිර පරිසරයයි. මෙම අංගුලිමාලම නැවත බුදුරදුන් අතින් අහිංසක බවට පත් වී විමුක්තිලාභී ආර්ය පුද්ගලයෙකු වෙයි. එහෙයින් බෞද්ධ මතයට අනුව කෙනෙකු උපතින් අපරාධකරුවෙකු නොවන අතර, සදාකාලිකවම අපරාධකරුවෙකුද නොවෙයි.
අපරාධය සම්බන්ධයෙන් දඬුවම අවධාරණය කෙරෙන අතර, ඒ යටතේ,
රාජ්‍ය නීතිය තුළ දඬුවම - මරණ දණ්ඩනය ආදිය
සමාජමය දඬුවම - සමාජ අප්‍රසාදයට ලක්වීම
ආගමික දඬුවම - කර්ම විපකය හා පුනර්භවය
බුදු දහම දඬුවම සම්බන්ධයෙන් දරන ආකල්පය අතිශය මානුෂීය වෙයි. බන්ධනාගාරගත කිරීමට, ශාරීරික දඬුවම හා මරණිය දඬුවම බුදු දහම කිසිසේත් අනුමත නොකරයි. බුදු දහමට අනුව දඬුවමෙහි මූලික පරමාර්ථය වනුයේ අපරාධකරුට අපරාධය පිළිබඳ අවබෝධයක් ලබාදී ඒ තුළින් ආයති සංවරයෙහි පිහිටුවීමයි.
උක්ත ක්‍රම මගින් එකී කාර්ය සාඵල්‍යයන් සිදුවන්නේ යැයි සිතීමද උගහට වෙයි. මරණීය දඬුවම බුදු දහම කිසිසේත්ම අනුමත නොකරන්නේ එය පුද්ගල ජීවිතයක් පැහැර ගැන්මක් වන හෙයින් හා බෞද්ධ දඬුවම පිළිබඳ පරමාර්ථය එමගින් සඵල නොවන හෙයිනි.
සමාජ සාධකවලට බලපාන්නේ ඔහු තුළ ඇති පුද්ගල සම්බන්ධතාය. සත්තිගුම්භ ජාතකයේදී එකම මවට දාව උපන් ගිරා පැටවුන් දෙදෙනාගෙන් එකෙකු ප්‍රිය වචනයටත්, අනෙකා අප්‍රිය වචනයටත් හුරු වන්නේ මෙම සමාජ සම්බන්ධතා මතය.
එසේම දේශගුණික හා භෞතික පරිසරය අනුවද මානව පෞරුෂ ලක්ෂණ වෙනස් වෙයි. වියළි කලාපවල මිනිසුන්ගේ ප්‍රචණ්ඩකාරී පෞරුෂ ලක්ෂණ දැකිය හැකි මුත් සෞම්‍ය කලාපවල වෙසෙන මිනිසුන්ගේ ප්‍රචණ්ඩකාරී චර්යාවන් අල්පය.
අපරාධ සඳහා මුල්වන අවගුණ හෙවත් අපගාමී පෞරුෂ ලක්ෂණ කිහිපයකි.
1. යම් ගැටලුවක් විසඳීම සඳහා අසම්මත ක්‍රම අනුගමනය කිරීම.
සියදිවි නසා ගැනීම්, ඝාතන, යුධ වැදීම් මේ හේතුවෙන් ඇතිවෙයි. එසේම මේ සඳහා අත්හැරීමේ කලාව (දානය) පුරුදු නොකිරීමද හේතු වෙයි.
2. ආවේග සහිත මානසික තත්ත්වයක් පැවතීම.
මේ සඳහා කුඩා කල දෙමාපිය ආදරය රැකවරණය අහිමි වීම බොහෝදුරට හේතුවෙයි.
3. ප්‍රචණ්ඩකාරි චර්යාවන් ඇතිවීම.
සමාජ නීතිය, යුක්තිය, සදාචාරය කෙරෙහි විශ්වාසයක් නොතබන ඊට ගරුත්වයක් නොමැති අය මේ සඳහා පෙලඹෙයි.
අපගාමී පෞරුෂයක් සඳහා බලපාන මනෝමය සාධක 03 කි.
1.රාගය හෙවත් කාමාශාව - කාම තණ්හා
ස්ත්‍රී දූෂණ, බාලාපචාර වැනි ක්‍රියා මේ නිසා ඇති වෙයි.
2.ආත්මාරක්ෂාව හෙවත් භව ආශය - භව තණ්හා
මිනීමැරුම්, පහරදීම් වැනි ක්‍රියා මේ නිසා ඇති වෙයි.
3.විනාශකාරී බව හෙවත් විභව ආශාව - විභව තණ්හා
මෙය සිය දිවි නසා ගැනීම සඳහා හේතු වෙයි.
අපරාධය පිළිබඳ බෞද්ධ විග්‍රහය හේතුඵල න්‍යාය මත පදනම් වෙයි. එසේම ඒ සඳහා බලපාන හේතූන් 02 කි.
1.මනෝවිද්‍යාත්මක හේතු
1.සමාජ සංස්ථාගත හේතු
අභ්‍යන්තර මානසික දුර්වලතාව රාගය, ද්වේශය, මෝහය නිසා අපරාධ සිදුවන බව බෞද්ධ මතයයි. මේ නිසා ඇතිවන ලිංගික ආශාව, ක්ෂණික කෝපය, ඉච්ඡාභංගත්වය, මානසික අවපීඩනයද අපරාධ ඇතිවීමෙහිලා මූල කාරණාවන් වෙයි. එසේම මානසික විකෘතිතාද අපරාධ සිදුවීමෙහි ලා බෙහෙවින් බලපායි.
සමාජ සංස්ථාගත හේතූන් යටතේ ආර්ථිකය (දරිද්‍රතාව), දේශපාලනය (පක්ෂ දේශපාලනය), ආගම (මූල ධර්මවාදය) ද අපරාධ සඳහා හේතුවෙයි. මේ සඳහා හේතුවන සමාජ සංස්ථාගත දුර්වලතා 'චක්කවත්තී සීහනාද' සූත්‍රයේදී මැනවින් පැහැදිලි වෙයි. 'තක්' සූත්‍රයේදී විස්තර වන ආකාරයට දරිද්‍රතාවය නිසා සොරකම් කර අසු වූ අයෙකුට රජු ධනය ලබාදෙයි.
මේ නිසා දරිද්‍රතාවයෙන් පෙළුණු අයෙක් රජුගෙන් ධනය ලබාගැනීමේ අභිලාසයෙන් සොරකමෙහි නියැළුණු හෙයින් තත්ත්වය පාලනය කරගැනීමට නොහැකි වූ රජු සොරකම සඳහා මරණ දඬුවම නියම කරයි. නමුදු මෙමගින් සිදුවූයේ හොරුන් ආයුධ සන්නද්ධ වීම පමණි. පසුව මේ තත්ත්වය ක්‍රමයෙන් විවිධාකාර අපරාධයන්ටද, සදාචාර පරිහානියටද හේතු විය. මීට මූලිකම හේතුව වූයේ කරුණු හරිහැටි නොසොයා අනුගමනය කළ සාවද්‍ය මාර්ගයයි.
එම ක්‍රියා‘වෙහි බරපතළ බවද තීරණය වන්නේ එය සමාජයට හා පුද්ගලයාට කොතෙක් දුරට බලපාන්නේද යන්න මතයි. සමාජ විරෝධී ක්‍රියාව අපරාධයක් නම් එය නීතිමය වශයෙන් හා දණ්ඩ නීතිය යටතේ තහනමට ලක්කර තිබිය යුතුය. සාවද්‍ය චේතනාවක් හෝ අපරාධකාරී චේතනාවක් තිබිය යුතු අතර, සාපරාධී ක්‍රියාව හා චේතනාව අතර සම්බන්ධයක් තිබිය යුතුයි.
අපරාධයක් සම්බන්ධයෙන් දඬුවම් ක්‍රමයක් ද පවතින අතර, එහිදී,
නීතිමය
සමාජමය
මනෝ විද්‍යාත්මක
සාධක පිළිබඳවද සැලකිලිමත් වෙයි.
සමාජ නීතියට අනුව අපරාධය උක්ත පරිදි නිර්වචනය වුවද සමාජ විද්‍යාත්මකව එය 'අපගාමී පෞරුෂයකි'. මෙය සමාජානුයෝජන ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවීම නිසා සිදුවන්නකි. සෑම අපරාධකරුවෙකු සතුවම මෙම අපගාමී පෞරුෂ ලක්ෂණ ඇති අතර, එය කුඩා කල හෝ පසු කලෙක එකතු වූ ඒවාය.
එසේම ඒ සඳහා ජානමය සාධක, ආවේණික ලක්ෂණ, පාරිසරික සාධක, සමාජමය සාධක, වරප්‍රසාද හිමි / අහිමි වීම් ආදියද බලපායි. මේවා සමාජ විද්‍යාත්මක මෙන්ම මනෝ විද්‍යාත්මක හේතූන්ය.
සාමාන්‍ය‘යෙන් සමාජයක් තුළ ධර්මතා හා තහංචි ඇත. නීතිය හෝ සංස්කෘතිය මගින් හෝ සම්මත කරගන්නා ලද ක්‍රියාවන් ධර්මතා වන අතර, සමාජය විසින් සාවද්‍ය ක්‍රියා ලෙස සම්මත කරගන්නා ලද ක්‍රියාවන් 'තහංචි' නම් වේ. මේවා සමාජයෙන් සමාජයට වෙනස් වුවද ඒවායෙහි පොදු ලක්ෂණද දැකිය හැකිය. මෙම සමාජ ධර්මතා කෙළෙසීම හෝ තහංචිවලට විරුද්ධ වීමද අපරාධයක් ලෙස සලකයි.
ප්‍රාථමික සමාජවලද අපරාධ වැළැක්වීම සඳහා විවිධ ක්‍රම භාවිත වූ අතර, නීතිය හඳුන්වාදීමත් සමගම මෙම අපරාධ වැළැක්වීමේ ක්‍රියාවලිය ආයතනගත වෙයි. එසේම එය විධිමත්ව ක්‍රියාත්මක වීමද සිදුවිය. නීතිය මගින් සිදුවූයේ අපගාමී පුද්ගලයා යහපත් අතට හරවා ගැනීමය. නමුත් නීතිය මගින් මෙම අපගාමී චර්යාවන් යහපත් අතට හරවා ගැනීම මුළුමනින්ම සාර්ථක නොවන්නේ පුද්ගල චර්යාවන් විවිධ වන හෙයිනි.
පුද්ගල චර්යාව මූලික වශයෙන් පාලනය කෙරෙන අවස්ථා 02කි.
1.මිනිස් මනස
2.බාහිර බලපෑම් (සමාජ, සංස්කෘතික, ආගමික, දේශපාලනික ආදී)
පුද්ගල අනන්‍යතාව තීරණය කරන්නා වූ ආවේණික ගති ලක්ෂණ හා සමස්ත මනෝකායික රටාවන් එක්තැන් වූ සංවිධානාත්මක හැසිරීම් රටාව පෞරුෂය නම් වෙයි. මෙහි වර්ග 03 කි.
1.අන්තරාවර්තී
2.බහිවර්තී
3.තුළික
බාහිර සමාජ සම්බන්ධතා කෙරෙහි උනන්දු නොවන, හුදකලාව තනිව තීරණ ගන්නා, අඩුවෙන් කතා කරන, ලැජ්ජාශීලී චරිත ලක්ෂණ ඇත්තා අන්තරාවර්තී පෞරුෂයකට හිමිකම් කියන අතර, සමාජශීලී සාමූහික ජීවිතයකට කැමති අයෙක් හා සමාජ සිදුවීම් සම්බන්ධයෙන් වහා ප්‍රතිචාර දක්වන පෞරුෂයකට හිමිකම් කියන්නෙක් බහිවර්තී වෙයි. තුළික පෞරුෂ ලක්ෂණ හිමියා උක්ත ලක්ෂණ දෙකෙම යුක්ත වෙයි.
මෙම පෞරුෂ ලක්ෂණ සඳහා ජෛව, පාරිසරික හා සමාජමය සාධකයන් බලපාන අතර, මේ තුළින් පුද්ගලයා තුළ සත්ගුණ සහ අවගුණයන් සකස් වේ.
ආත්මීය හෝ සමාජමය දුර්වලතා නිසා අපරාධයට යොමු වී ඇති අපරාධකරුවා අවබෝධය පදනම් කොටගත් චරිත ශෝධනය මගින් නිවැරදි අයෙකු කළ හැකි වෙයි. ඔහු එලෙස නිවැරදි අයෙකු බවට පත් වූ පසු ඔහු කෙරෙහි වන සමාජ දෘෂ්ටියද වෙනස් වෙයි.
පෙර අපගාමී චර්යාවන් සහිත පුද්ගලයෙකු ඉන් මිදී නිවැරදි වූ පසු එවන් පුද්ගලයා වලාකුළින් මිදුණු පුන්සඳක් මෙන් සමස්ත සමාජයටම ආලෝකයක් කරන බව බෞද්ධ මතයයි. නූතන ලෝකයේ ඇතැමුන් (නිදහස් චින්තකයන්) ආගමික සංකල්ප වලින් වියුත්ත වූයේ නමුදු බෞද්ධ මතය වනුයේ පරලොව ඇතද නැතද පුද්ගලයා සදාචාර ධර්මයන්ට අනුව ජීවත් විය යුතු බවයි.
ඒ අනුව නිවැරදි සමාජානුයෝජනය (ඉමෙ ලොකෙ දස්යෙතාරා) සදාචාර අධ්‍යාපනය (කලභණේ නිවසෙනෙති) මූලික අවශ්‍යතා ඉටු වන සාධාරණ සමාජය, මානසික දුර්වලතා පිළිබඳ අවබෝධයක් ලබාදී අපගාමී පෞරුෂය වෙනස් කිරීම සහ මනුෂ්‍ය භවයේ අගය වටහාදීම මගින් අපරාධ නිවාරණය කෙරහි බුදු දහම යොමු වෙයි.
පැපිලියවල නාරද හිමි - කොළඹ විශ්වවිද්‍යාලය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

