මාතෘ දේව සංකල්පය පිළිබඳ පුරාණය බෞද්ධ ඉතිහාසයේ ආරම්භයේ සිට සනිටුහන් වන්නකි. සිදුහත් කුමරුන් මෙලොවට බිහිකළ මහාමායා දේවිය කලුරිය කිරීමෙන් පසුව තුසිත දෙව්ලොව මාතෘ දිව්‍ය පුත්‍රයා ලෙස උපත ලද බව බොදු ඉතිහාසයේ සඳහන් වේ. හින්දු දේව සාහිත්‍යයේ දෙවඟනන් පිළිබඳ බොහෝ කතා අපි අසා ඇත්තෙමු.
ඒ අතරින් පඬිරට පඬිනුවර පඬි රජු විසින් කන්නකී නම් රූමත් කාන්තාවට අතවර කිරීම සඳහා ඇයගේ ස්වාමි පුරුෂයා මරාදැමීම නිසා කෝපයට පත් වූ කන්නකී ඇය දිවි හිමියෙන් රැකගත් පතිවත පඬි රජුට කෙළෙසීමට ඉඩ නොදී ඔහුට ශාපකර පතිවතේ බලය පෙන්වමින් සිය පියොවුර කඩා විසිකර එමගින් මුළු පඬි රටම ගිනිබත් කර විනාශ කිරීමෙන් පසු ඇය දෙවඟනක්ව වූ බවට හින්දු දේව සාහිත්‍යයේ සඳහන් වේ.
පසු කලෙක පත්තිනි දේවතාවිය ලෙස ඇය සිරිලකට පැමිණි බවට ජනප්‍රවාදයෙහි සඳහන් වේ. එලෙස පැමිණි පත්තිනි දේවතාවිය හැලි කිඹුල් වාහනයකින් රන් කලං හත් නමක් සමග අවිස්සාවේල්ලට නුදුරුව පිහිටි මැදගොඩැල්ලට වැඩමවා ඉන් අනතුරුව නවගමුව හා කොරතොට කෙහෙල්බටුවාව ගම් පියසටද වඩින ලද බවටද එම ජනප්‍රවාදවල වැඩිදුරටත් සඳහන් කර ඇත.
නම් පොතේ පැවසෙන පරිදි කෙහෙල්බටුවාව යනු කඩුවෙල කොරතොට ප්‍රදේශය හැඳින්වූ ඉපැරණි නාමය වේ. කෙහෙල්බටුවාව කොරතොට වී ඇත්තේ කොරතොට රජමහා විහාරයට ඉතා ආසන්නව පිහිටියා වූ ඇළකින් කොරළි මතුවීමෙන් කොරළි තොට නමින් ව්‍යවහාර වී එය කොරතොට බවට පසුව පත් වී ඇත. සීතාවක රාජසිංහ පාලන සමයෙහි පරංගීන් හා යුද වැදුණු සීතාවක රාජසිංහ රජුගේ සේනාවන් ඔත්තු බැලූ බැලූම්ගල පාමුල පිහිටි කොරතොට ඓතිහාසික පත්තිනි දේවාලය ප්‍රබල දේව හාස්කම් ඇති ශුද්ධ වූ ගුප්ත බලවේගයන් නිරන්තරයෙන් සැරිසරන ස්ථානයක් බවටත්, එමෙන්ම මෙම පුරාණ පත්තිනි දේවාලය පිහිටි භූමිය මෙරට ඉපැරණි අංගම් පොර සටන් කලාවේ කේන්ද්‍රස්ථානය ලෙසට පැවති බවටද ප්රකටය.
මෙම දේවාලයේ ප්‍රධාන භාරකත්වය උසුලනු ලබන්නේ පෙර රජ දවස උරුමයෙන් පැවත එන කන්ද උඩරට උපත ලද විජේසිංහ නාමධාරී කපු පරම්පරාවය. ඔවුන්ට එම රාජකාරිය පැවරෙන්නේද සන්නසක් මගිනි. ඒ පිළිබඳ කොරතොට රජමහා විහාර පුරාණයේ සඳහන්ව ඇතැයි එම කපු පරම්පරාව නියෝජනය කරමින් වර්තමාන දේවාල භාරකාරත්වය හොබවනු ලබන ඇක්මන් විජේසිංහ කපු මහතා ‘අද’ පුවත්පත සමග පවත්වන ලද සාකච්ඡාවේදී අනාවරණය කරමින් මෙවර පවත්වන්නට යෙදෙන ඇසළ පූජෝත්සවය පිළිබඳ මුලින්ම මෙසේ සඳහන් කළේය.
මේ අවුරුද්දේ ඇසළ උත්සවය සඳහා පසුගිය ජූලි 26 වැනිදා අලුයම යෙදුණු සුබ මොහොතින් කප් සිටුවනු ලැබුවා. ඉන්පසු පසුගිය අගෝස්තු 09 වැනිදා සිට මේ දක්වා පෙර පැවතුණු පෙරහර චාරිත්‍ර විධි අනුව මල් පෙරහර එකක්, කුඹල් පෙරහර දෙකක්, පාවඩ පිට පෙරහර දෙකක්, ගොන්පිට පෙරහර දෙකක්, ඇතුළු පෙරහර හතක් මේ දක්වා ඉතාසාර්ථකව පවත්වනු ලැබුවා. ඉකුත් සෙනසුරාදා (02දා) අලි ඇතුන් සහිතව උඩරට, පහතරට, සබරගමු සම්ප්රදායේ නැටුම් සහිතව අලි ඇතුන් සමගින් රන්දෝලි මහ පෙරහර පැවැත්වීමටත්, ඊයේ (03දා) කඩුවෙල ඓතිහාසික බුලත්ගම්පෙත කැලණි ගංතෙරේදී උදෑසන චාරිත්‍රානුකූලව කැලණි ගඟට අධිපති මංගල දෙවියන්ට ආරාධනා කරල පිංදීලා රන් කඩුවෙන් දිය කැපීමේ මංගල්‍යය සිදුකිරීමටත් කටයුතු කළා.
ඒ වගේම දිවයිනේ සුප්‍රකට පාරම්පරික කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් වසරක් පාසා පවත්වනු ලබන ගිනිමඩු ශාන්තිකර්මය සහ ගම්මඩු උලෙළ එළඹෙන සැප්තැම්බර් 09 සෙනසුරාදා රාත්‍රිය පුරාවට පැවැත්වීමටත්, එදිනට පසුදින එනම් සැප්තැම්බර් 10 වැනිදා කතරගම දෙවියන් වෙනුවෙන් පවත්වනු ලබන ගිනි පෑගීමේ මංගල්‍යයෙන් පසුව මෙවර ඇසළ උත්සවයේ සියලුම කටයුතු නිමාවට පත්වෙනවා.
මේ ඓතිහාසික දෙවොල පිහිටා තිබෙන භූමිය සැබැවින්ම දේව භූමියක්. මෙහි පවතින අනුහස් පිළිබඳ අපේ පරම්පරාවේ ආදිතම ඥාතීන්ගෙන් අසා දැනුවත් වූ පුවත් අපමණයි. දේවාල භූමියේ ඇති නාගසට මෙම දේවාලයටත් වඩා ඉපැරණි ඉතිහාසයක් තියනවා. සීතාවක රාජධානිය පැවැති සමයේ මෙම දේවාලය පිහිටු වූ බව කොරතොට ලෙන් විහාරයේ පුරාලේඛනවල සඳහන් වෙලා තියෙනවා. එවකට කොරතොට රජමහා විහාරාධිපතිව වැඩ වාසය කළ සෝමානන්ද මහ නාහිමිපාණන්ගේ මැදිහත්වීමෙන් මෙම දේවාලය රජ දරුවන්ගේ දායකත්වයෙන් ගොඩනගා ඇති බවයි පැවසෙන්නේ.
එයට මූලිකම හේතු වෙලා තියෙන්නේ සෑම කෙම්මුර දවසකම රාත්රියේදී මෙම නාගසට දේවතා එළි පතිත වන අයුරු නායක හාමුදුරුවන් සහ එවකට සිටි ගම්මුන් දැක තිබීමයි. ඒ නිසා මෙම ස්ථානය ශුද්ධ වූ ස්ථානයක් ලෙසට දෙවියන් උදෙසා පවත්වාගෙන යාමට සෝමානන්ද මහනායක හාමුදුරුවන් තීරණය කරන්න ඇති. අදටත් සෑම කෙම්මුර දිනයකම මෙම දේවාල භූමිය ඉහළින් නවගමුව දක්වාත් එතැනින් මැදගොඩැල්ල දේවාලය පිහිටි ඉසව්ව දක්වාත් දේවතා එළි ගමන් කරන බවට අප පැහැදිලිවම දැක තිබෙනවා.
මෙම දේවාලය ගොඩනගා ඇති වකවානුව 1637.07.13 වැනිදා බවට නා ලීයෙන් තැනූ දේවාලයේ ප්‍රධාන උළුවස්සේ කොටා තිබෙනවා, කැටයම් පහකින් අලංකාරව තනා ඇති එහි කිසිදු බද්ධ කිරීමක් සොයා ගැනීමට නොහැකියි. මෙය තනා ඇත්තේ පිය පුතු දෙපළක් එක් වෙලයි. සෑම වසරකටම වරක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇවිත් උළුවස්සේ පැවැත්ම හා ආරක්ෂාව සඳහා බෙහෙත් ආලේප කර යනවා.
පත්තිනි දේවාල භූමියේ ඉස්මත්තෙන් පිහිටා ඇති බෝධියටත් ඇත්තේ නාගසට හා සමාන ඉතිහාසයක්. මෙම පූජා භූමියට පැමිණෙන ඕනෑම කෙනෙක් මුලින්ම බෝධිය වන්දනා කරල සැදැහැ සිතින් යුතුව පත්තිනි දේවාලයට ඇවිත් මෑණියන්ට පිං අනුමෝදන් කරලා, අය පඬුරක් වෙන් කරල වෙන බාරහාර ඒ අයුරින්ම නොපමාව ඉටුවන බවට අතීතයේ සිටම අත්දැකීම් අප ලබා තිබෙනවා. විශේෂයෙන් දරුවන් නොමැතිව ඉමහත් අසහනකාරී තත්ත්වයෙන් මෙතනට පැමිණිලා මෑණියන්ට ඒ දුක පවසා සහනය ලබාගත් කාන්තාවන් අපමණයි. ඒ වගේම ලෙඩ රෝග සෑදුණු බොහෝ දෙනෙකුට සුවපත් වීම සඳහා මෑණියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබී තිබෙනවා.
විශේෂයෙන් දැඩි සත්කාර ඒකකවල අවදානම් තත්ත්වයෙන් රෝගීව සිටි එවැනි බොහෝ දෙනෙකුගේ ඥාතීන් මෙම ස්ථානයට පැමිණිලා පත්තිනි මෑණියන් ප්රමුඛව මෙම ස්ථානයේ ජීවමානව වැඩ වෙසෙන්නා වූ විෂ්ණු කතරගම ගම්භාර දෙවිවරුන් සිහිපත් කරලා, පූජා පවත්වලා අය පඬුරු වෙන් කරලා වැඩි කාලයක් යන්න කලින් එම රෝගීන් සුවපත් වෙලා මෙම පූජා භූමියට පැමිණිලා බොහෝ ස්තුති පූජා පවත්වා තිබෙනවා.
ඒ වගේම දිය කැපීමේ මංගල්‍යයේදී අප පෙරහරෙන් ගෙන එන වතුර කළයෙන් ඕනෑම අසාධ්‍ය රෝගියෙකුට බීමට ලබාදෙන වතුර පොද එම ලෙඩා සුවපත් කිරීමට දිව්‍යමය ආශිර්වාදයක් බවට පත් වී තිබෙනවා. ඒ අය නොවරදවාම වසරක් පාසා දේවාලයේ පැවැත්වෙන ඇසළ මහා මංගල්‍යයට දායක වෙන්නේ ඉතාමත් භක්තිමත් සතුටකින්. මේ අවට ගම්මානවල වෙසෙන ජනතාව කිසිම අවස්ථාවක වසංගත රෝගවලින් පීඩාවට පත් වී නැහැ. ඒ නිසාම ගම්වැසියන් සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් හා සැදැහැ සිතින් යුක්තව පෙරහර මංගල්‍යය කිසිදු අඩුපාඩුවක් නොමැතිව සාර්ථක කරගන්න උපරිමයෙන්ම කැපවෙලා දායක වෙනවා.
කොළඹට නුදුරුව කඩුවෙල හා අතුරුගිරිය නගර දෙක අතර මධ්‍යයේ සැබැවින්ම සිත සන්සුන් කරන සුන්දර පරිසරයක පිහිටි මෙම පුරාණ පත්තිනි මහා දේවාල භූමියේ විෂ්ණු, කතරගම, ගම්භාර, සමන් දැඩිමුණ්ඩ ආදී දෙවිවරුන් ප්රමුඛව තවත් දේවාල කිහිපයක් බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතු සහ පූජා සඳහා පවතින අතර මෙම පුදබිමෙහි චෛත්‍යයක් ඉදිකිරීමටද මේ වනවිට සැලසුම්කර ඇත. මේ දිනවල පැවැත්වෙන ඇසළ මහා පෙරහර මංගල්‍යයට සහභාගි වී සිය දිවියේ පැවැත්ම සඳහා පවතින බාධක දුරු කරගැනීම සඳහා ආශිර්වාද ලබාගන්නා ලෙස පත්තිනි මහා දේවාලයේ ප්‍රධාන භාරකර දේවගැති ඇක්මන් විජේතුංග මහතා ඇතුළු පරිවාර දේවාලයන්හි දේවගැතිවරු හා භාරකාර මණ්ඩලය ලක්වාසී සියලු දෙනාටම සැදැහැ සිතින් යුක්තව ඇරයුම් කර සිටියි.
අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ