මංගල ඡායාරූපකරණය නවීකරණය විය යුතුයි - සඳුන් ගමගේ
- 27 06 2014
- 11:07
- {{hitsCtrl.values.hits}} views
- . .
මංගල උත්සවය යනු යුවලකට සිය දිවියේ සුවිශේෂීම මකයන් ගොන්නක් සහිත අවස්ථාවකි. මේ සොඳුරු මතකයන් තවත් ඔප්නැංවෙන ලෙස ඡායාරූප හරහා අනාගතය වෙත රැගෙනයාම මංගල උත්සව ඡායාරූපකරණයේ යෙදෙන ඡායාරූප ශිල්පියාගේ වගකීම වේ. විවාහ මංගල්‍යයක් යනු සුවිශේෂී අරුතක් සහිත උලෙළකි. නමුත් වත්මනෙහි දකින ඇතැම් මංගල ඡායාරූප දෙස බලන කළ මෙහි පවතින අරුත හෝ එවන් අවස්ථාවක් ඡායාරූපගත කිරීමේදී පැවතිය යුතු විනය ඇතැම් ඡායාරූප ශිල්පීන් තිබේද යන ගැටලුව මතුවේ. මෙවන් පසුබිමක විවාහ අංගල්යයක සැබෑ අරුත වටහාගෙන එහි විනය රුකෙන පරිදි මංගල උත්සව ඡායාරූපකරණයේ යෙදෙන ප්‍රවීණයෙකු ලෙස මාධ්‍යවේදී සඳුන් ගමගේ හැදින්විය හැක. දශක දෙකකට ආසන්න කාලයක් ඡායාරූපකරණයේ යෙදෙන සඳුන් ගමගේ මහතා ඉරිදා ලංකාදීප පුවත්පතේ සඳැල්ල අතිරේය තුළින් ඡායාරූපකරණයට නව අරුතක් එක්කරන්නට සමත් වූ බව නොරහසකි.
එසේම මංගල ඡායාරූපකරණයේ යෙදෙන ප්‍රවීණයෙකු ලෙස සඳුන් ගමගේ මහතා මංගල උත්සව ඡායාරූපකරණයට ඔහු විසින් එක්කළ හරයාත්මක ඡායාරූප එකතුවක් සමගින් පවත්වනු ලබන දෙවැනි ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනය 'Sendal My Brides ' අද(27දා), හෙට (28දා) සහ අනිද්දා (29) තෙදින උදෑසන 8.30 සිට රාත්‍රී 8.00 දක්වා කොළඹ 7, ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
-
මෙම ඡායාරූප ප්‍රදර්ශනය ගැන මුලින්ම කතා කළොත්?
මෙය මා නම් කර තිබෙන්නෙ Sendal My Brides (මගේ අගනා මනාලියෝ) යනුවෙනුයි. මෙය මගේ දෙවැනි ඒකපුද්ගල ඡායාරූප ප්‍රදර්ශනයයි. දිවයිනේ ප්‍රකට රූපලාවන්‍ය ශිල්පීන් සහ ශිල්පිනියන් වෙතින් හැඩගැන්වුණු මනාලියන්ගේ ඡායාරූප පෙළක් මීට ඇතුළත්.
-
මෙම ඡායාරූප ප්‍රදර්ශනයේ විශේෂත්වය කුමක්ද?
අද මංගල උලෙළකදී ඡායාරූප ගැනීම එක්තරා විදියක වෙහෙසකර ප්රයත්නයක් බවට පත්වෙලා. මේ නිසා මනාල - මනාලියට අමුතු ලොකේෂන් හෙවත් ඡායාරූපවලට පෙනීසිටීම සඳහා වෙනමම ස්ථාන සොයා යා යුතු වෙනවා. මෙය එක්තරා විදියකට මංගල උත්සවය ආවරණය කිරීම වෙනුවට ඡායාරූපකරණය වෙනුවෙන් මංගල උත්සවය පවත්වනවා හා සමානයි. එය මනාලයාට කෙසේ වෙතත් මනාලියට අතිශය වෙහෙසකර දෙයක් විය හැකියි. එනිසා පවතින තැන උපයෝගී කරගෙන ඉතා සුන්දර ඡායාරූප ගත හැකිය යන්න ප්‍රකාශ කිරීම මෙහි එක් ප්රයත්නයක්. ඒ වගේම කලාත්මක ගුණය සහ රසය මෙන්ම ශ්‍රී ලාංකේය මනාලියකගේ සැබෑ රිද්මය ප්‍රකාශ කිරීම තවත් ප්රයත්නයක්. බොහෝ දේ ප්‍රකාශ කරනවාට වඩා මෙය නරඹන්නට පැමිණෙන්නැයි මා ගෞරවයෙන් ආරාධනා කරනවා. මක්නිසාද යත් විඳින්නට ඇති දේ විඳගැනීමට ඉඩ සැලසීම බොහෝ දේ ප්‍රකාශ කරනවාට වඩා වැදගත් වන නිසයි.
-
මංගල ඡායාරූපකරණය මේ තරම් ජනප්රියවීමට හේතුව කුමක්ද?
තවදුරටත් මාධ්‍ය පුළුල්වීම් මෙන්ම විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය මෙන්ම වෙළෙඳ ප්‍රචාරණයේදී ජනතාවට අහන්න දකින්න ලැබෙන දේ බහුලවීම එක් හේතුවක්. මේ නිසා ලැබෙන ජනප්‍රියත්වය සමග අද ඡායාරූප ශිල්පියාගේ සහායකයා හෝ රියදුරු හැටියට කටයුතු කරන කෙනා හෙට ඡායාරූප ශිල්පියෙකු බවට පත්වෙනවා. ජනප්‍රිය කියන විෂය ඔස්සේ එය ඉන්පසු ලෙහෙසි ආදායම් මාර්ගයක් යැයි සිතා ඔවුන් කටයුතු කරනවා. මේ දේවල් වැළැක්විය නොහැකියි. රටේ පවතින ස්වභාවය අනුව තමයි සියල්ල විකාශය වෙන්නෙ. අවාසනාවකට හරය සහ විනය රැකිය යුතු අය තමයි බොහෝ වෙලාවට මේ රැලි ජනප්‍රිය කරවීමට පෙරමුණ ගන්නෙත්.
-
මංගල ඡායාරූපකරණයෙහි වත්මන් ප්‍රවණතාව මොන වගේද?
වත්මනෙහි මංගල ඡායාරූපකරණය ජනප්‍රිය අංශයක් බවට පත්වෙලා. මේ ජනප්‍රිය බව නිසාම එහි විවිධ ස්වභාවයන් දැකගත හැකියි. සරලවම කිවහොත් අද මෙය එක්තරා රැල්ලකට හසු වී ගලාගෙන යන විලාසිතාකරණයක් බවට පත්වෙලා. මේ නිසා ශ්‍රී ලාංකේය මංගල්‍යයක සැබෑ හරය ප්‍රකාශ කිරීම වෙනුවට අද බොහෝ දුරට සිදුවන්නේ චිත්‍රපටයක හෝ ටෙලිනාට්‍යක රංගනයක් වගෙයි. ඒත් නැතිනම් විලාසිතා දැක්මක් වගෙයි.
-
කොහොමද මෙවැනි ප්‍රවණතාවක් ඇතිවුණේ?
සාමාන්‍ය‘යෙන් අපේ රටේ එක් එක් කාලවලදී විවිධ රැලි මතුවෙනවා. කවුරුහරි කොහෙන් හරි ගෙනැල්ලා එක පාරටම අතෑරලා දාන ඒ රැලිවලට රටේ බහුතරයක් අහුවෙනවා. එහි හොඳ නොහොඳ නොබලා ඒ රැලි පස්සේ හඹායනවා. දන්නෙම නැතිව එයින් ලොකු හානියක් කරගන්නවා. නමුත් අවාසනාවකට ඒ මොහොතේ සිදුවන දේ බොහෝ දෙනාට තේරෙන්නෙ නැහැ.
ඔබ කියන්නෙ මේ මංගල ඡායාරූපකරණය නවීකරණය නොවිය යුතුයි කියලද?
මම කොහෙත්ම එහෙම කියන්නෙ නැහැ. ලෝකයේ ඕනෑම දෙයක් දිනෙන් දින විකාශනය වෙනවා. එය එසේ විය යුතුයි. මංගල ඡායාරූපකරණයත් නවීකරණය වුණා. නමුත් ඒ නවීකරණය වූ නිසා අපි අපේ හරය - පදාර්ථය විනාශ කරගත යුතු නැහැ. අපේ විවාහ උත්සවයක් යනු අරුත්සුන් දෙයක් නොවෙයි, අරුත්බර වූ යථාර්ථයක්. අපටම පමණක් වෙන් වූ චාරිත්‍ර සමග අර්ථාන්විතව සිදුවන උලෙළක්. ඒ නිසා එය තවත් චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යයක් බවට පරිවර්තනය කරගත යුතු නැහැ.
-
මංගල උත්සවයක ඡායාරූපකරණය වෙනුවෙන් කිසිවෙකුට අවශ්‍ය නම් ඔබ සම්බන්ධ කරගන්නෙ කොහොමද?
0777 265 318 අංකයට අමතා හෝ www.sacreations.com වෙබ් අඩවිය ඔස්සේ මාව සම්බන්ධ කරගත හැකියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
