මේ පිළිබඳ කතා කිරීමට, කලක් කලා මණ්ඩලයේ සභාපතිනිය ලෙස කටයුතු කළ, මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික අංශයේ අධ්‍යක්ෂකවරිය හා එම විශ්වවිද්‍යාලයේම නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවය කරන කෝකිලා කෝනසිංහ මහත්මිය ‘අද’ සමග සම්බන්ධ වූවාය.
?දෙවැනි වතාවටත් ‘රාවණා නොකී පුරාවත’ බැලේ ඔපෙරාව වේදිකාගත කරන්න සූදානම්, මෙය පළමුවර වේදිකාගත කිරීමෙන් ලද සාර්ථකත්වය ගැන කතා කළොත්
පළමුවර මෙය වේදිකාගත කළේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලැබුණු ව්‍යාපෘතියක් විදිහට. එය අතිශයින්ම සාර්ථක වුණා. ආරාධනා මත තමයි එය පැවැත්වූයේ. මාධ්‍යවලිනුත් එතරම් ප්‍රචාරයක් ලබානොදී තිබියදීත් මෙය නැරඹීමට ගොඩක් දෙනෙක් පෙළ ගැහුණා. සමහර ප්‍රේක්ෂකයන්ට මේ බැලේ ඔපෙරාව නරඹන්නේ නැතුවම නැවත යන්නත් සිද්ධ වුණා. එතරම් පිරිසක් මෙය නැරඹීමට පැමිණ තිබුණා.
මෙවැනි තත්ත්වයක් ඇතිවුණාම අපිට තේරුණා මේ සඳහා ඉහළ ඉල්ලුමක් ප්රේක්ෂකයන්ගෙන් තිබෙනවා කියලා. ඒ නිසා තමයි අපි දෙවැනි වතාවට මෙය මහජන ප්‍රදර්ශනයක් ලෙස කිරීමට හිතුවේ.
?පහසුවෙන් ප්‍රේක්ෂකාගාරයට ගෙන යන්න පුළුවන් වෙනත් කලා නිර්මාණයකට යොමු නොවී බැලේ ඔපෙරාව අන්තර්ගත නිර්මාණයක්ම වේදිකාවට ගෙන එන්න හිතුවේ ඇයි
කොළඹ විශ්වවිද්‍යාලය විදිහට අපිට අවශ්‍ය වුණේ කොළඹ ලකුණක් හදන්න. අපිට එහෙම ලකුණක් නැහැ. අපි ඉන්නේ ජනාකීර්ණ වූ, කලබලකාරී වාණිජ පරිසරයක. එක් අවස්ථාවක අපේ විශ්වවිද්‍යාලයේ ආදිශිෂයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා ප්‍රකාශ කළා මේක තුම්මුල්ල මහා විද්‍යාලය කියලා. අපි හිතුවේ අපි කොහොමද මේ තිබෙන මතවාදයට වෙනස් දෙයක් කරන්නේ කියලා. එහෙම බලන විට මෙය ඉතාමත් අභියෝගාත්මක දෙයක්. මනමේ, සිංහබාහු හෝ වෙනත් කලා නිර්මාණයක් ප්‍රදර්ශනය කළත් අපිටම අනන්‍ය වූ ලකුණක් හැදෙන්නේ නැහැ. අපිට කොළඹ අනන්‍යතාව තමයි මේ නිර්මාණයට ගේන්න ඕන වුණේ. කොළඹ අනන්‍යතාව වෙන්නේ යම්තාක් දුරකට ජනාකීර්ණ වූ, වාණිජකරණය වූ නාගරීකරණය වූ කොන්ක්‍රීට් වනාන්තරයක් වැනි පාරිසරික වටපිටාවක්. මේ නිසාම අතිශය ස්වාභාවික පරිසරයක් තිබෙන සෞන්දර්යයාත්මක ‘මනමේ’ වැනි නාට්‍යයක් වේදිකාගත කරනවාට වඩා, ඔපෙරා, බැලේ වැනි අපේ සංස්කෘතිය නියෝජනය වන ආකාරයේ දෙයක් කරන එක පහසුයි. අපි මේ කරන දේට මම කියනවා ‘කොළඹ ලකුණ’ කියලා. අපේ අනන්‍යතාව තියාගන්න තමයි බැලේ ඔපෙරා එකක් කරන්න යොමු වුණේ.
අනෙක් කාරණය නිදහස් අධ්‍යාපනය හදාරා කිසියම් දෙයක් ලෝකයට අප දිය යුතුයි. අපි එලෙස ලබාදෙන දේ තවත් කෙනෙක් කළ කාබන් කොපි එකක් නම්, එහෙම නැත්තම් තවත් එක අනුකරණයක් නම් එය නෙමෙයි මේ රට අපෙන් බලාපොරොත්තු වෙන්නේ. අපේ සංස්කෘතිය අපේ දේවල් නියෝජනය වෙන විදිහට සියලු දේ සංකල්පයක් ලෙස ගෙන බැලේ ඔපෙරා නිර්මාණයක් කරන්න තීරණය කළේ කොළඹ විශ්වවිද්‍යාල වර්තමාන පරම්පරාවට කිසියම් නැවුම් දෙයක් රටට දායාද කරන්න අවශ්‍ය නිසා. මේ බැලේ ඔපෙරාවට ‘හෙළයේ යක්කුන්ගේ කතාව’ අපි එකතු කරනවා. බටහිර බැලේ ඔපෙරා මාධ්‍යයක් හරහා අපි අපේ අක්මුල් සොයනවා. මං හිතන්නේ එය ඉතා හොඳ සංයෝගයක් වේවි.
?මෙවැනි නාට්‍යයක් හා බද්ධ වන ප්‍රේක්ෂකාගාරය ගැන කෙබඳු අදහසක්ද තිබෙන්නේ. ඔවුන් කොතරම් සමීපයිද මේ නාට්‍ය ශෛලියට
පළමු වරට මෙය පවත්වන විට අපිට තිබූ විවේචන හා අභියෝග අතර තිබූ ප්‍රධානම දෙයක් තමයි ඔබ ඇසුවේ. බැලේ ඔපෙරා කියන නම ඇසූ ගමන් ප්‍රේක්ෂකාගාරය දුරස්ථ වෙනවා නේද කියලා බොහෝ දෙනෙකු සඳහන් කළා. ඒ අර්බුදයට අපි මුහුණදුන්නා. අපේ කණ්ඩායම හැම විටම හිතපු දේ තමයි සෞන්දර්යයාත්මකව මෙම ඉදිරිපත් කිරීම සිදුකරනවා සේම, ලාංකේය ප්‍රවෘත්තියක් මේ තුළින් කතා කරන නිසා මෙය සාර්ථක වෙයි කියන විශ්වාසය. මේ බැලේ ඔපෙරාව තුළ කුතුහලය තියාගන්න පුළුවන් කියලා මම හිතනවා. රාවණා විසින් සීතාව දඬුමොනරයෙන් රැගෙන එන්නේ කොහොමද? ,හනුමන්තා වලිගය ගිනි තියාගත්තේ කොහොමද? මෙවැනි කුතුහලය මුසු සිදුවීම් ප්‍රේක්ෂකාගාරය සමග සමීපයි. අපි මෙය ඉදිරිපත් කරන මාධ්‍යය තමයි ප්‍රේක්ෂකයාගෙන් ටිකක් දුරස් වෙන්නේ. අපි හිතුවේ
ශ්‍රී ලාංකේය අනන්‍යතාව සහිතව බැලේ ඔපෙරා ගේන්නේ කොහොමද කියලා. බැලේ ඔපෙරාව ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනවා වගේම විදේශ රටවලට ගෙන යන්නත් දිගු කාලීන සැලසුමක් අප තුළ තිබෙනවා. එවිට ඒ ප්‍රේක්ෂකාගාරයට හුරු මාධ්‍යයකින් අපේ ශ්‍රි ලාංකේය කතාව කියනවා. මෙතන සිදුවෙන්නේ ලාංකේය ප්‍රේක්ෂකාගාරයට හුරු කතාවක් විදේශීය මාධ්‍යයකින් ගෙන ඒම. අපේ පළමු ප්‍රසංගය සාර්ථකයි. මම හිතනවා මේ ප්‍රවාහය ආනාගතයේදී තවත් වර්ධනය වෙයි කියලා.
?එවැනි ප්‍රවාහයක් ඇති කරන්න කටයුතු කිරීමේදී මුදල් කියන දේත් අභියෝගයක් බවට පත්වෙනවා නේද? එයට මුහුණදීම සඳහා තිබෙන සැලැස්ම මොකක්ද
මෙහිදී මේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මේ කාර්යයේ යෙදී සිටින විට මට අත්විඳින්නට වූ ආර්තිකමය අභියෝග අතිවිශාලයි. විශ්වවිද්‍යාලයක් කියන්නේ රාජ්‍ය ආයතනයක්. මෙවැනි ආයතනයක තේ එකක් හදන්න සල්ලි ගන්න ගියත්, කොළ දෙක තුනක් අත්සන් කරන්න වෙනවා. ඒ අභියෝගය තිබ්බා. නමුත් විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා සාහිත්‍යයට, කලාවට ඇලුම් කරන්නෙක් . මුල සිටම මේ නිර්මාණය සම්බන්ධයෙන් අපි සිටි මතය තුළම තමයි ඔහුත් සිටියේ. ඒ නිසා ඔහුගෙන් මේ සඳහා විශාල දායකත්වයක් ලබාගන්න පුළුවන් වුණා. ප්‍රධානියා එලෙස කටයුතු කරද්දී පරිවාර පිරිසත් ඒ අනුව කටයුතු කරන නිසා මේ කටයුත්ත පහසු වුණා. උදාහරණයක් සඳහන් කළොත් නර්තනයක් ඉදිරිපත් කරනවා නම් පාවහන් නොමැතිව හරි එය ඉදිරිපත් කළ හැකිවුවත්, බැලේ ඉදිරිපත් කිරීම් කරන විට ඊට අවශ්‍ය පාවහන් ගන්න වෙනවා. එක් පාවහන් යුගලක් තුන්දහසක් පමණ වෙනවා. මෙයට හතළිස් දෙනෙක් පමණ දායක වෙනවා. මේ නිසා ඉතා දුෂ්කර ආර්ථික කර්තව්‍යයක් මෙතන තිබෙනවා. නමුත් අවශ්‍ය මොහොතේදී අවශ්‍ය පිරිවැය අපිට ලැබුණා. යහපත් දිශානතියකට ලංකාවේ ප්‍රේක්ෂකාගාරය යොමුකරන්න තීරණාත්මක දායකත්වයක් ලබාදෙන නිර්මාණයකට ඒ මුදල යොදවන්න පුළුවන් වුණ එක ගැන සතුටුයි.
?මේ සියලු කටයුතු සිදුවන්නේ විශ්වවිද්‍යාලය මූලික කරගෙනද? එසේත් නොමැතිනම් කලා ආයතනවල දායකත්වය ලබා ගන්නවද
බැලේ ඔපෙරා සම්බන්ධයෙන් නිපුණතාවක් තිබෙන ආයතනයක් තමයි ‘රණාරා ඇකඩමි’ කියන්නේ. අපි ඔවුන් සම්බන්ධ කරගන්නවා. ඒ ඇකඩමියේ තනූජා බන්දුල මහත්මිය මේ බැලේ ඔපෙරාවේ නර්තන වින්‍යාස හා සංගීතය සිදුකරනවා. මෙහි පිටපත් රචනයෙන් කෘතහස්ත ලේඛක භද්‍රජී මහින්ද ජයතිලක මහතා දායක වෙනවා. ඔහු මේ සම්බන්ධයෙන් ගවේෂණය කර කෘති පළ කළ කෙනෙක්. ඔහුට ‘රාවණා’ සම්බන්ධයෙන් කිසියම් මතවාදයක් තිබෙනවා. ඒ මතවාදය වඩාත් නැවුම් ලෙස වෙනස් ලෙස ගෙන තමයි අපි මෙය ඉදිරිපත් කරන්නේ. මෙහි නිෂ්පාදන කණ්ඩායම ලෙස කොළඹ විශ්විද්‍යාලය කටයුතු කරනවා.
?රාවණා පිළිබඳ විවිධ මාධ්‍යයන් තුළ විවිධ වූ හැඩතල ඔස්සේ යම් යම් මතවාද ගෙන ආවා. මෙයට පදනම් වන මූලාශ්‍රය හා මෙහි පදනම ගැන ප්‍රශ්න කළොත්
ඒ ප්රශ්නය අහන එකම තමයි අපේ ජයග්‍රහණය කියලා මම හිතන්නේ. රාවණා හිටියද? මූලාශ්‍ර තිබෙනවාද? පුරාවිද්‍යා සාධක තිබෙනවද? ආදී දේ ගැන තිබෙන කුකුස කෙනෙකුගේ හිතේ ඇති වෙනවා නම් එය තමයි අපේ අරමුණ වෙන්නේ. එවැනි දෙයක් ලංකාවේ සමාජය තුළ නැහැ. ඉන්දියාවේ සමාජය දෙස බැලුවොත් මෙහි ප්‍රතිවිරුද්ධ දේ දකින්න පුළුවන්. රාම - රාවණා කියන කතාවේ දෙපාර්ශ්වයෙන් එක් පාර්ශ්වයක් තමයි ඉන්දියාව කියන්නේ. අනෙක් පාර්ශ්වය ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාවේ ඉතාම නිද්රාබර උදාසීනකමකින් තමයි රාවණා ගැන කතා කරන්නේ. නමුත් ඉන්දීයානු සමාජයේ මෙය සංස්කෘතිය ආගම හා බද්ධ වූ දෙයක්. ඒ නිසා ඔවුන් දිවි හිමියෙන් තමන්ගේ ලේ දහඩිය පූජා කර රාවණාව ඉස්මතු කරන්න උත්සාහ කරනවා. ඒ අවස්ථාවේදී ඔවුන් රාවණා පෙන්වන්නේ යක්ෂයෙක් ලෙසින්. යක්ෂයා සැබැවින්ම යක්ෂයෙක්ද? ඔළු දහයකින් පෙන්වන්නේ කුමක්ද? රාවණා සිතාර් ගහන්නේ කොහොමද? ආදී දසවිධ කුසලතා අපි මේ බැලේ ඔපෙරාවෙන් පෙන්වනවා. ඒ තුළ තිබෙන වැදගත්ම දේ තමයි අවිහිංසාවාදය කියන දේ . රාවණා මනසින් උසස් කෙනෙක්. රාම - රාවණා යුද්ධයේදී ඔහුගේ අවිහිංසාවාදය පෙනෙනවා. සීතාව විනාශ කරන්නවත්, රාමාව විනාශ කරන්නවත් ඔහුට අවශ්‍යතාවක් තිබුණේ නැහැ. සතුරාව නොමරා පරාජය කරන්නේ කොහොමද කියලා හිතන්න ඕන. ඒ ගැන කතිකාවක් ඇතිකිරීමත් මෙහි එක් අරමුණක්.
?ඉදිරියේදී ‘රාවණා නොකී පුරාවත’ බැලේ ඔපෙරාව එක්ක යන ගමන් මග කෙබදුද
අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාසල් දරුවන් සම්බන්ධයෙන් මේ ගැන යම් දැනුමක් ලබාදෙන්නත් පෙන්වන්නත් සැලසුමක් තිබෙනවා. මෙය ඊළඟ පරම්පරාවට බාර දෙන්න අවශ්‍යයි. ඉදිරි පරම්පරාවට අප මෙය බාර දිය යුතුයි. අපිට තිබෙන වගකීම එතැනයි. අනික් කාරණය ස්ටාර් සංස්කෘතියක් තිබෙන වටපිටාවක, ඒ මත්තෙම මාධ්‍ය ආයතන හා අධ්‍යාපන ආයතන සියල්ලම පෙළගැසී තිබෙන වෙලාවක මෙවැනි උසස් රසාස්වාදයක් තිබෙන බැලේ ඔපෙරා එකකට ප්‍රේක්ෂකාගාරය කැඳවන්නේ කොහොමද කියන එක. එයට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියන දේ පිළිබඳවත් හිතනවා. මෙය විදේශ රටවල ප්‍රදර්ශනයටත් බලාපොරාත්තු වෙනවා. මේ කටයුතුවලට අපිත් එක්ක එකතු වෙන්න සියලු දෙනාටම ආරාධනා කරනවා.
මෙම ඔපෙරාවේ සංවිධායක මණ්ඩලයේ කටයුතු කරන කථිකාචාර්ය තුමිඳු දොඩන්තැන්න.
ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මෙවැනි කටයුත්තක් සිදුකෙරෙන පළමු වතාව තමයි මෙය. මෙහි විශේෂත්වය ගැන කතා කළොත් විශ්වවිද්‍යාලයේ ප්‍රසංග කලාව හදාරන විද්‍යාර්ථයන් නෙමෙයි මේ කටයුත්තට සම්බන්ධ වෙන්නේ වෙනත් විෂයයන් සිදුකරන වෛද්‍ය පීඨය වැනි විද්‍යාර්ථයන්. මෙවැනි වෙනත් විෂය ධාරාවක් හදාරන විද්‍යාර්ථයන් වේදිකාවට ගෙන ඒම ඉතාම අපහසු කටයුත්තක්. මෙය එක් අතකින් අපිට අභියෝගයක්. ඒ වගේම විශ්වවිද්‍යාල මට්ටමින් ලංකාවේ කලාවට යම් දායකත්වයක් විය යුතුයි කියලා හිතන උපකුලපතිතුමාගේ දැක්මට එකතු වන කාරණයක්.
මෙයට මගේ දායකත්වය ගැන කතා කළොත් කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙසත් සංවිධායක මණ්ඩලයේ කටයුතු කරන්නෙකු ලෙසත් දායක වෙනවා. මෙය ඉතා ඉතා වටිනා කටයුත්තක්. බැලේ සහ ඔපෙරා කියන මාධ්‍ය දෙකේ එකතුවක් මෙහිදී දකින්න පුළුවන්. බැලේ කියන්නේ ස්වාධීන මාධ්‍යයක්. ඔපෙරාව කියන්නේ තවත් ස්වාධීන මාධ්‍යයක්. මේ දෙක එකතු වූ විට තවත් රසවත් වෙනවා. එය ඇතිකරන්න උත්සාහයක් අරගෙන තිබෙනවා.
ලංකාවේ විශ්වවිද්‍යාලවල සිසුන් අරගල කරනවා, රස්තියාදු වෙනවා, දේශපාලනය කරනවා මේ කතා ඇතුළේ මෙවැනි නිර්මාණයකට දායක වෙනවා කියන දේ සමාජගත කරන්න ලැබීම තමයි වැදගත් . මේ නිර්මාණ තුළ දේශපාලනයක් තිබෙනවා. එය තමයි ඔවුන්ගේ දේශපාලන ප්රකාශනය බවට පත්වෙන්නේ. තමන්ගේ දේශපාලන ප්රකාශනය කලා භාවිතාවක් ඇතුළේ කරන්න පුළුවන් නම් එය ගොඩක් වටිනවා.