රංගනය අරභයා කරළියේ, සිනමාවේ සහ පුංචි තිරයේ අප්‍රමාණ වූ රංගන කුසලතා පළ කළ මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා නම් රංගවේදිනිය මෙම වසර වන විට සිනමා රංගනයට එක්ව අඩසිය වසර සපුරන්නීය. ඒ දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද ගෞරව සම්මානයට පාත්‍ර වෙමින් මේ කුඩා දිවයිනට ඉමහත් කීර්තියක් හා ප්‍රසාදයක් ලබාදෙමිනි.
1947 වසරේ බක් මස 30 වැනිදා ගිල්බට් ෆොන්සේකා නම් මධ්‍යම පාන්තික වෘත්තිකයෙකුගේ දයාබර බිරිඳ සීලවති ෆොන්සේකාගේ තෙවැනි දරුවා ලෙසින් මාලිනී මෙලොව එළිය දකී. දරුවන් එකළොස් දෙනෙකු සිටින පවුලක සාමාජිකයෙකු ලෙස මාලිනී කැලණිය ගුරුකුල විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේදීම මතු දිනෙක ඇය සිනමාවට හිමි වන ලකුණු පහළ කළාය. ඒ පසුකලෙක මෙරට සිනමාවේ කීර්තිමත් නිර්මාණ ශිල්පීන් බවට පත් වූ සිසුන් රැසක් සමග කැලණිය ගුරුකුල විදු සෙවණේ එකම පන්තියේ ඉගෙනුමට ලද වාසනාව හේතුවෙනි.
මෙරට මැද මාවතේ සිනමාවේ නිර්මාතෘ එච්.ඩී. ප්‍රේමරත්න, කීර්තිමත් සිනමා කැමරා ශිල්පී ඩොනල්ඩ් කරුණාරත්න, සංගීතඥ සුමේධ හේවාවිතාරණ, රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා ඒ අතර වූහ. මාලිනී පළමුව රංගනයට එක්වෙනුයේ සාර්ථක නිරූපණ කලාවකට අත්පොත් තබන තෝතැන්නක් වූ කරළියෙනි. ‘අකල් වැස්ස’ වේදිකා නිර්මාණයෙන් කරළියට ගෙවදින මාලිනී ‘නොරත රත’ වේදිකා නිර්මාණයෙන් 1968 වසරේ හොඳම වේදිකා නිළිය ලෙස රාජ්‍ය සම්මානයට පාත්රවීමට තරම් වාසනාවන්ත වූවාය.
එම වසරේදීම තිස්ස ලියනසූරිය නිර්මාණය කළ ජෝ අබේවික්‍රම එතෙක් සිය අනන්‍යතාව ලෙස රැක ගෙන තිබූ උඩු රැවුළ ඉවත් කර අහම්බයකින් හමු වූ දරුවෙකු රැකුමට වෙහෙසෙන පියෙකුගේ රංගනයේ යෙදුණ ‘පුංචි බබා’ සිනමාපටයෙන් ඇය සිය ප්‍රථම සිනමා රංගනයට එක්විය. ‘මගේ පුතුට මල් යහන සදන්නේ....’ නම් සිසිර සේනාරත්න ගායනා කරනා පිරිමියෙකු ගයන අතිශය ජනප්‍රිය දරු නැලවිලි ගීතය අඩංගු වූ එහි ගැබ්ව තිබූ මවක නොමැති කුඩා දරුවෙකුගේ කතාව නිසාම එය අසීමිත ජනප්‍රිය සිනමාපටයක් වූයෙන් ඒ ජනප්‍රියත්වයද මාලිනියට වාසනාව ගෙන ආවාය. ඒ අතර ඒ වන විට සිනමාවේ ජනප්‍රිය නිළියන්ව සිටි ජීවරාණි, සන්ධ්‍යා කුමාරි, ශෝබනී අමරසිංහ වැනි කිහිපදෙනෙකුම සිය විවාහයන් සමග සිනමාවෙන් ඉවත්ව යෑමද මාලිනීට සිය සිනමා දිවිමග පහසුවෙන් විවර කර දෙනු ලැබීය. එය ඇයට ජනප්‍රිය සිනමාවේ දොරටු විවර වීමට පහසු වූවා යැයි සිතේ. එය පසු කලෙක ගාමිණී ෆොන්සේකා මාලනී ෆොන්සේකා යුගය නිර්මාණය කිරීමටද හේතුවූවා යැයි සිතිය හැකිය. ආරම්භයේ සිටම රංගනයේදී මාලිනී සමග වාසනාව අත්වැල් බැඳගෙන සිටි බවට සනාථ කළ හැකි තවත් දෛවෝපගත සිදුවීමක් මෙකල සිදු විය.
හැත්තෑව දශකය ආරම්භයේදී ජ්‍යෙෂ්ඨ අධ්යක්ෂ ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් ජී.බී. සේනානායකයන්ගේ ‘පළි ගැනීම’ නම් කෙටි කතා පොතේ එන එක් කතාවක් වන ‘නිධානය’ නමි කෙටි කතාව සිනමාවට නැගීමට සැරසුණි. එහි ප්‍රධාන චරිතය වූ විලී අබේනායකගේ චරිතයට ගාමිණී ෆොන්සේකා තෝරා ගන්නා ලෙස්ටර් එම කතාවේ සඳහන් ආකාරයට නිධානයක් වෙනුවෙන් බිලි දෙන අයිරින්ගේ චරිතයට එම කතාවේ කියැවෙන පරිදි බෙල්ලේ සහ නිකටේ උපන් ලප සතරක් ඇති නිළියක් සොයමින් සිටියදී හමුවන මාලිනී ෆොන්සේකාට සැබෑ ලෙසම ඒ ආකාරයෙන් උපන් ලප ඇගේ සිරුරේ පිහිටා තිබිණි. ඒ නිසාම ඒ සඳහා වේෂ නිරූපණ ශිල්පියෙකුගේ සහාය පැතීමට අධ්යක්ෂ ලෙස්ටර් පීරිස්ට අවශ්‍ය නොවීය. මේ සෑම දෙයකින්ම ඉඟි පළ කළේ මාලිනී ෆොන්සේකා නම් යුවතිය සිනමාව වෙනුවෙන්ම උපන් තැනැත්තික ලෙසිනි. ඒ බව වැඩිදුරටත් සනාථ කරමින් ඇය සිය රංගන දිවියේ ආරම්භයේදීම ධර්මසේන පතිරාජගේ ‘එයා දැන් ලොකු ළමයෙක්’ සිනමාපටයේ කළ ශ්‍රී ලාංකික දුගී දුප්පත් දැරියගේ රංගනය වෙනුවෙන් මොස්කව් සිනමා උළෙෙලහිදී සම්මානයට පාත්‍ර විය. ඇය එහි මල්වර වීමෙන් අනතුරුව පළ කළ රැඟුම් විලාශය සිංහල සිනමා ප්‍රේක්ෂකයා මවිතයට පත් කළා යැයි පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත. පසු කලෙක දිල්ලි සිනමා උළෙෙලහිදී අමරනාත් ජයතිලකගේ ‘ සිරිපාල සහ රන්මැණිකා’ සිනමාපටයේ ඒ වන විට ජීවත්ව සිටි රන්මැණිකාගේ චරිතය ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවෙන්ද සම්මානයට පාත්‍ර විය. එහිදී ඇය හොර සුරා පෙරමින් දිවිගෙවන රන් මැණිකාගේ චරිතය ප්‍රතිනිර්මාණය කරනු ලැබුවේ ප්‍රේක්ෂක සිත් තුළ රන්මැණිකා ජීවමාන කරමිනි. එය එකල ඉන්දීය සිනමාවේදීන් ඉහළින් අගය කළ බව ඉන්දීය මාධ්‍යයන් ඉහළින් පළව තිබුණි. ප්‍රකට චිත්‍රකතා ශිල්පී දයා රාජපක්ෂගේ චිත්රකතාවක් ඇසුරින් ගාමිණී හේවාවිතාරණ ප්‍රතිනිර්මාණය කළ ‘රක්තා’ සිනමා පටයේදී මාලිනී ෆොන්සේකා ඉදිරිපත් කළ සටන්කාමී රංගනයද එකල මෙරට සිනමා ප්‍රේක්ෂකාගාරය සසල කරනා රඟපෑමක් බවට පත්විණි. ඇය එහි පිරිමියෙකු අභිභවා යන අයුරින් සටන් ජවනිකා සඳහා පෙනී සිටි බවට එකල සිනමා විචාරකයන් අදහස් පළ කර තිබිණි. සිරිල් පී. අබේරත්නගේ ‘සුසී’ සිනමා පටයේ රංගනයද තවත් එවන් ඇයගේ පෙරළිකාර රංගනයක් විය. ‘බඹරු ඇවිත්’, ‘ආරාධනා’ ‘ඉන්දුට මල් මිටක්’ ‘මධු සමය’ ආදී රංගනයන් ඇය මෙරට සිනමා රැජින බවට පත් කරනු ලැබුවේ වාණිජ සිනමාවේදී මෙන්ම කාන්තා ලාලිත්‍යය තුරුලු කර ගත් සාම්ප්‍රදායික සිංහල කාන්තාව ඉක්මවා ජීවන අරගලයේදී දුක් විඳින කාන්තාවගේ චරිත රංගනයේදී මාලිනී ෆොන්සේකා සුවිශේෂී රංග කුසලතා පළ කළ හෙයිනි යැයි සිතේ. එසේම ඇය විසින් නිෂ්පාදනය කළ ‘සසර චේතනා’ හි ඉදිරිපත් කළ ක්‍රියාදාම හේතුවෙන් එම වසරේ 1984 ඉහළම ආදායම ඉපැයූ සිනමා පටය ලෙසද එය ආදායම් වාර්තා තබා තිබිණි.
මේ සියලු කරුණු නිසාම මෙරට රංගනය වෙනුවෙන් පිදෙන සෑම සම්මානයක්ම දිනාගැනීමට ඇය සමත් වූවාය. ඒ අතර ඇය අප අසල්වැසි දකුණු ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකුව සිටි සිවාජි ගනේෂන් සමග ‘පයිලට් ප්‍රේම්නාත්’ සිනමාපටයේ සිදු කළ රංගනය මෙරට ප්‍රේක්ෂකාගාරය පමණක් නොව දකුණු ඉන්දීය ප්‍රේක්ෂකයන්ද මහත් ආදරයෙන් වැලඳ ගනු ලැබීය. ඒ අතර මාලිනී ෆොන්සේකා මෙරට ප්‍රධාන පෙළේ මෝටර් රථ ධාවන තරගයකට එක්ව එහි දෙවන ස්ථානය දිනාගැනීම මාධ්‍යයෙහි ප්රමුඛ ප්‍රවෘත්තියක් ලෙස හුවා දක්වා තිබිණි. ඇය යතුරුපැදි ධාවනයේදීද දස්කම් පෑ අතර ‘සසර චේතනා’ සිනමා පටයේ ඇයගේ යතුරුපැදි ධාවනයේ දස්කම් කිහිපයක්ද එක් කර තිබිණි.
සිනමා ශිල්පිනියක ලෙස දුලබ චරිත කිහිපයකට පණ පෙවීවමට දුර්ලභ වරම් ලද මාලිනී ෆොන්සේකා නම් අතිදක්ෂ රංගවේදිනිය 2015 වසරේදී පත් කළ මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව මැදිහත් විචාරයක් ඉදිරිපත් කිරීමට මෙය කාලය නොවේ යැයි සිතේ. එහෙත් පක්ෂ, ජාති, ආගම්, කුල භේදයකින් තොරව ජනතාවගේ ගෞරවාදරයට පත් රංගවේදිනියක එක් පක්ෂයක් නියෝජනය කරමින් රටේ උත්තරීතර සභාවේ අසුන් ගැනීම ඇය තම ප්‍රේක්ෂකයාට යුතුකම් ඉටු කිරීමක්දැයි අනාගත විචාරකයා විසින් විචාරයට බඳුන් කරනු ඇත. රාජපක්ෂ රජය විසින් මාලිනී ෆොන්සේකා සිනමාවට සිදු කළ උත්තම සේවය අැගැයීමට එවැන්නක් ඇයට ප්රදානය කළේ නම් එය මාලිනී ෆොන්සේකා සිය සහෘදයන්ට අසාධාරණයක් සිදු කළා යැයි වන චෝදනාවෙන් මිදීමට හේතුවනු ඇත.
මාලිනීගේ සිනමා රංගන දිවියට වසර පනහක් පිරීම නිමිත්තෙන් නුගේගොඩ, මාදිවෙල, අනුර මාවතේ පදිංචිව සිටින ඇයගේ නිවසට ඇමතුමක් ලබාදී ඇය හා සංවාද ගතවන විට ඇය ඉතා නිරහංකාර ලෙසින් පැවසුවේ ‘මා පනස් වසරක සිනමා රංගනයෙන් ජාතියට යම් සේවයක් සිදු කර ඇත්නම් හෝ නැත්නම් ඒ ගැන කතා කළ යුත්තේ මා නොව මගේ රඟපෑම් දුටු ප්‍රේක්ෂක ඔබයි’ යනුවෙනි. එම නිරහංකාර ප්‍රකාශයම රංගන ශිල්පිනියක ලෙස ජාතියට අයත් වස්තුවක් මිස තවදුරටත් ඇයට පෞද්ගලිකත්වයක් නොමැති බව ඇය සනාථ කරන්නීය.
අඩසිය වසරක් සිනමාවේ පෝෂණය වෙනුවෙන් කැපවී එය වෙනුවෙන් සිය දිවියම කැප කළ මෙම ශ්‍රේෂ්ඨ කලාකාරිනියකට දේශපාලනයට එහා ගිය පිළිගැනීමක් ජාතිය වෙනුවෙන් හිමිවිය යුතුය. ඉන්දියාවේ නම් එවැන්නියක ‘පද්ම ශ්‍රී’ සම්මානයෙන් පිදුම් ලබයි. එහෙත් අපේ රටේ එවැන්නක් මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බැවින් ඇය සිය හැත්තෑ එක්වැනි ජන්ම දිනය සමරන මෙම මස (30දා) මෙරට රංගන ශිල්පියෙකුට පිදිය හැකි ඉහළම ගෞරවය ඇයට ලබා දීමට සංස්කෘතික අමාත්‍යාංශයේ අවධානය යොමු වේවායැයි අපි කලාවේ නාමයෙන් වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිමු.
ගාමිණී සරත් ගුණවර්ධන