සම්මානනීය ගේය කාව්‍ය රචක රවි සිරිවර්ධනගේ 'ඉවුරු දෑලට එන්න' ගී පද සරණිය ජනගත කිරීම අද (23දා), මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී සිදුවේ. ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විජේසිංහ මුලසුන දරන මෙහිදී ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි සහ ප්‍රවීණ කිවියර කපිල එම්. ගමගේ ප්‍රධාන දෙසුම් පැවැත්වීමට නියමිතය. 'අපි යාළුවෝ' සහෘද පිරිවර සංවිධානය කරන මේ පිළිබඳ කතාබහක යෙදීමට අපි අදහස් කළෙමු.
Q වර්තමානයේදී ගේය කාව්‍ය සංග්‍රහයක් වටා බැඳුණු පාඨක පිරිසක් ලංකාවේ ඉන්නවා කියල ඔබ විශ්වාස කරනවද?
ගීතය මේ වෙද්දි සාහිත්‍යාංගයක් කියලා පිළිගෙනයි තියෙන්නේ. ඒත් කවිය සහ ගීතය කියන්නෙ දෙකක්. මොකද කවි ලියූ පමණින් ගීත ලියන්න බැහැ. ඒ වගේම ගීත ලියූ පමණින් කවි ලියන්නත් බැහැ. ඒත් හොඳ ගී පද රචකයෙක් ඇතුළේ අනිවාර්යයෙන්ම හොඳ කවියෙක් ජීවත් වෙනවා. හැබැයි හැම කවියකම ගීතයක් නැහැ. මොකද ගීතය කියල කියන්නේ ශ්‍රව්‍ය ගෝචර මාධ්‍යයක්. ඒ නිසා ශ්‍රව්‍ය ගෝචර ලක්ෂණ තමයි එහි තිබිය යුත්තේ. ගේය කාව්‍ය රචනයේ කවියෙක් හිටියෙ නැත්නම් එය තුළ කිසිම අර්ථයක් ජනනය කෙරෙන්නේ නෑ. අපේ ජීවිතේ ඇතුළෙ ඉන්න හැඟීම් මාත්‍රය කියන කවියා අවදි කරන්නේ ගේය කාව්‍යයෙන්.
Q ඒත් කවි, ගීත බවට පත්වූ අවස්ථාත් අපට දකින්නට ලැබෙනවා?
ඔව්. සමහර කවිවල ගීත ආකෘති දකින්නට ලැබෙනවා. අපිට එවැනි නිර්මාණ විශ්ලේෂණය කරලා බැලුවම ඒක පැහැදිලිවම පේනවා. කාව්‍යෝක්ති ඉක්මවා ගිය ගීත උපදින බව පේනවා. මොකද ඒවායේ තියෙන්නේ ගැඹුරු කවි ලක්ෂණවලට වඩා ගේය ලක්ෂණ. එහෙම නැතුව කවියක් ගායනා කළ පමණින් ගීතයක් වෙන්නෙ නෑ.
අනික ගීතයකට ගැළපෙන ආකාරයෙන් කවිය සංස්කරණය කළ අවස්ථාත් අපට දකින්න ලැබෙනවා. තිතක්, කොමාවක් පවා කවියකදී බලපෑම් කළත් ගීතය කියන්නේ එවැන්නක් නෙමෙයි. කවිය කියන්නේ ශ්‍රව්‍ය ගෝචර, දෘශ්‍ය ගෝචර මාධ්‍යයක්. ඒත් ගීතය මුළුමනින්ම ශ්‍රව්‍ය ගෝචර මාධ්‍යයක්.
Q කොහොම වුණත් වර්තමාන ගීතයේදී ප්රමුඛස්ථානයක් ලැබී තියෙන්නේ රූප රචනාවට?
ඒ නිසා තමයි අද අපටත් උඩුගං බලා පිහිනීමට සිදුවෙලා තියෙන්නේ. මොකද අද ලංකාවේ සුභාවිත ගීතය, විද්‍යුත් මාධ්‍ය විසින් කුඩුපට්ටම් කරලා අවසානයි. අද අපට තනිකරම ඇහෙන්නේ අඳෝනා, විලාප, වස් කවි, චෝදනා ආදිය පමණයි. ඒ නිසා ලංකාවේ රසිකයාට සමීපවෙලා තියෙන්නෙත් එවැනි ගීත. අනික එම විද්‍යුත් මාධ්‍යවල බලධාරීන් කටයුතු කරන්නේ ශ්රාවකයා සහමුලින්ම අමතක කරලා. ව්‍යාපාරික ඉලක්ක පමණයි ඔවුන්ට තියෙන්නේ.
ඒ නිසා එවැනි සංස්කෘතියකින් අපට ගීත කලාවක් බලාපොරොත්තු වෙන්න බැහැ. මොකද එෆ් එම් නාළිකා මේ ගීත කලාව අතවරයට ලක්කරලා තියෙන්නේ. ඒ නිසා ගීත කලාව අතින් අප අද ඉන්නේ අතිශය දුර්භාග්‍ය සම්පන්න, අශිෂ්ට සංස්කෘතියක. එහෙම කියල අපට මේ අරගලය අතහරින්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා තමයි මෙවැනි ආකාරයේ උත්සාහයක් ඒ සඳහා දරන්නේ. අනික අද අපට සම්මාන ගන්න වෙලා තියෙන්නේ රසිකයන්ගෙන් වියෝ කළ ගීතවලට.
ඒ වියෝව ඇතිකරලා තියෙන්නෙත් මේ රටේ මාධ්‍ය විසින්. මොකද ඔවුන් කටයුතු කරන්නේ ව්‍යාපාරික න්යායපත්රවලට පමණයි. ඒ නිසා ඔවුන් තමන්ගේ ශ්‍රාවක පිරිස පිළිබඳ ජාතික වගකීමකින් කටයුතු කරනවා නම් මෙවැනි දේ සිදුවෙන්න බැහැ. අනික ඔවුන් ලංකාවේ සංස්කෘතික ජීවිත සම්බන්ධයෙන් වග කියනවද කියලත් විශේෂයෙන්ම සොයා බැලිය යුතු කාලයකයි අද අපි ජීවත් වෙන්නේ.
Q හැබැයි ඔබත් අර්ථවත් රූප රචනා සහිත ගීත සමාජගත කළා නම් මීට වඩා වෙනසක් වෙන්න තිබුණා නේද?
මියුසික් වීඩියෝ සංස්කෘතිය කියන්නෙත් තවත් ඛේදවාචකයක්. එක්කෝ මම එහිදී ගෑනුන්ගේ ඇඟවල් විකුණන්න ඕන. එක්කෝ අදාළ මාධ්‍ය ආයතනයේ නිෂ්පාදකවරයාට මුදල් ගෙවලා තමයි මම රූප රචනාව කළ යුත්තේ. ඒ වගේම ලක්ෂ 4ක් 5ක් ඒ සඳහා මම වියදම් කරන්න ඕන. ඒ වගේම රූප රචනාව නිර්මාණය කළාට පස්සෙ අදාළ විද්‍යුත් මාධ්‍යවල ගීත ප්‍රචාරය කරන අධ්‍යක්ෂවරුන්ට වෙන වෙනම මම ගෙවන්න ඕන.
ඔවුන්ගේ න්යායපත්රයට අදාළ තේමාවකුත් මගේ රූප රචනාවේ නැත්නම් ඔවුන් මගේ ගීතය ප්‍රචාරය කරන්නේ නැහැ. නාද රටා, ගායකයා, ගී පද රචනාව, ගී පද රචකයා වැනි කරුණුත් ඔවුන්ගේ ආකාරය වෙන්න ඕන. ඒ නිසා අද මේ නාළිකා ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ දරුණු මාෆියාවක්. ඔවුන් කටයුතු කරන්නේ තමන්ගේ පොකැට්ටුව වෙනුවෙන්. ඒක මේ නාළිකාවල ගීත දර්ශක අරන් බැලුවාම හොඳින් ඔප්පු වෙනවා.
Q ඒත් ලංකාවේ රාජ්‍ය මාධ්‍යයන්ට මේ වෙනුවෙන් ජාතික වගකීමක් ඉෂ්ට කරන්න පුළුවන්. එහෙම නේද?
ඒක මමත් නිරන්තර අරගල කරන කාරණයක්. මම එක් වතාවක් ජාතික රූපවාහිනියේ වැඩසටහනකට පැමිණි වෙලාවකත් මේ ගැන ප්‍රශ්න කළා. මොකද ඔවුන් මගෙන් ප්‍රශ්න කළේ ලංකාවේ සිංහල ගීතයේ ඛේදවාචකය ගැන. ඒත් තාම ජාතික නාළිකාවකින්වත් මම සම්මාන ගත්තු එකදු ගීතයකටවත් රූප රචනාවක් නිර්මාණය කරලා නැහැ.
ඒ නිසා ජනතා මුදලින් පාලනය වන, ජනතාවට වග කියන ජාතික නාළිකාවලට මේ රසවින්දනය දියුණු කිරීම වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් අවශ්‍ය කරනවා. එහෙම නැතුව අපෙන් ඒ ගැන ප්‍රශ්න කරනවා. ඒත් මීට පෙර 'මනෝහාරි', 'නඳුන් උයන', 'ආනන්ද රාත්‍රී' වගේ වැඩසටහන් මේ නාළිකාවල ප්‍රචාරය වුණා. ඒත් දැන් එවැනි වැඩසටහන්වලින් ලාභ උපයන්න නොහැකි නිසා ඔවුන් එවැනි වැඩසටහන් නිෂ්පාදනය කරන්නේ නැහැලු.