සම්මානනීය නවකතාවක් වන සුමිත්‍රා රාහුබද්ධගේ කන්දක් සේමා ඇසුරින් අසෝක අතාවුදහෙට්ටි අධ්‍යක්ෂණය කරන කන්දක් සේමා චිත්‍රපටයේත්, පර්යේෂණාත්මක වේදිකා නාට්‍යයක් වන කණිෂ්ක රාජපක්ෂගේ මිනීමරුවා නිරුවතින් වේදිකා නාට්‍යයේත් මේ දිනවල රංගනයෙන් දායක වන චාන්දනී සෙනෙවිරත්න ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට ගණයේ රංගන ශිල්පිනියකි.
Q මේ වනවිට නාට්‍ය කලා අනුමණ්ඩලයේ සාමාජිකාවක් ලෙසින්ද කටයුතු කරන ඔබ, නිර්මාණ සඳහා මෙවන් අඩු දායකත්වයක් ලබාදෙන්නේ මන්ද?
පහුගිය වසර කීපයේදිම මට හොඳ නිෂ්පාදන පිටපතක් ලැබුණේ නැහැ. අනික යමක් කරන්න පුළුවන් පිටපත් තිබුණෙත් අඩු ප්‍රමාණයක්. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ, මම ලෝකෙ හොඳම චරිතය මට ලැබෙනකල් බලන් ඉන්නවා කියලා. කොහොම වුණත් කණිෂ්කගේ නාට්‍යය ගැන මට සෑහීමකට පත්වෙන්න පුළුවන් වුණා. එහි මට ප්‍රධාන කාන්තා භූමිකා තුනක් නිරූපණය කරන්න තියෙනවා. ඒක එක්තරා ආකාරයක අභියෝගයක්.
Q ඔබ වෘත්තියමය වේදිකා නාට්‍ය නිළියක් පමණක් වුණා නම්?
ලංකාවේ එවැනි වෘත්තිය මට්ටමක් තවමත් ඇතිවෙලා නැහැ. Theater Company හෝ Industry සංස්කෘතියක් අපේ වේදිකා නාට්‍ය කලාව තුළ තාමත් ඇතිවෙලා නැහැ. මෙවැනි පසුබිමක මෙහි රැකවරණයකුත් නැහැ. ඒ නිසා පවතින ක්‍රමයත් එක්ක නම් තවදුරටත් කොහොමටවත් ගමන් කරන්න බැහැ.
Q සංස්කෘතිය යන්නෙහි අදහස?
අපි සංස්කෘතිය කියලා කියන්නේ වෙනමම දේවල් ටිකකට. තව කෙනෙක්ගේ නිදහස සීමා කරන්න තමයි අපි සංස්කෘතිය භාවිතා කරන්නේ. ඒත් වෙන රටවල සංස්කෘතිය හරිම පළල්. ඔවුන්ගේ රසවින්දනය හුඟක් ඉහළයි. රසවින්දනය කියන්නේ සංස්කෘතියේම කොටසක්. අපේ රටේ එහෙම භාවිතාවක් නැහැ. බාල නිර්මාණවලට ඇදී එන ප්‍රේක්ෂක සංඛ්‍යාව දැක්කාම ඒක පේනවා. රූපවාහිනියෙන් පවා ඉහළ රසවින්දනයකට මගපෙන්වීම අඩුයි.
ප්‍රේක්ෂකයා මොට කිරීමයි සිදුවෙන්නේ. මෙහෙම තත්ත්වයක ප්‍රේක්ෂකයා දියුණු රසවින්දන මට්ටමකට පත්වෙයි කියලා කොහොමද හිතන්නේ? සාහිත්‍යයෙනුත් ප්‍රේක්ෂකයා අයින් වෙලා. ඒත් ප්‍රේක්ෂකයා නැතුව අපට පවතින්නත් බැහැ. අපේ මට්ටමට ගැළපෙන ප්‍රේක්ෂකයන් තාම නිර්මාණය වෙලා නැහැ. හුඟක් සංකීර්ණයි මේ ගැටලුව. මේකට පාසල් ගුරුවරුත් වග කියන්න ඕනේ. ජීවිතයේ ගැඹුර සොයන නාට්‍යවලට පාසල්වලින් පවා ඉල්ලුමක් නැහැ. අනික නාට්‍ය කලාව අද විභාගයකට, විෂයකට පමණක් සීමා වෙලා.
Q විෂය නිර්දේශයට එක්විය යුත්තේ නවතම සම්මානනීය රාජ්‍ය නාට්‍ය නෙමෙයිද?
මමත් ඒක පිළිගන්නවා. එවන් ආකාරයේ යාවත්කාලීන වීමක් අධ්‍යාපනය තුළ සිදුවිය යුතුමයි. වසරින් වසර සිදුවිය යුතුයි. ඒත් එසේ උනන්දු නොවීම අපටත් ප්‍රශ්නයක්.
Q එසේ උනන්දු නොවන්නේ සිසුවා බුද්ධිමත් වුණොත් පාලනයට අවාසි නිසාද?
සූක්ෂමව සිතා බැලුවොත් එහෙම හැඩයකුත් අධ්‍යාපන පද්ධතියේ තියෙනවා. ඒත් හරියටම කියන්න බැහැ. හැබැයි රසවින්දනය සීමා කිරීමෙන් පාලනය පහසුයි. ස්වාධීනව හිතන්න තියෙන ඉඩකඩ ඇහිරෙනවා. ඒත් එසේ ජනතාව හිරකරන්න බැහැ. ඒක මීට දින කීපයකට කලින් ඔප්පු වුණා. ඒක තමයි හොඳම උදාහරණය.
Q වත්මන් ටෙලිනාට්‍ය කලාව?
අද හදලා හෙට පෙන්නන ටෙලිනාට්‍ය සංස්කෘතියට මම අකමැතියි. කලාත්මක නිර්මාණ එහෙම කරන්න බැහැ. ටෙලිනාට්‍යයකට ඇතුළු විය යුතු කිසිම ගුණයකට ඇතුළු වෙන්නවත් ඒ කාලය මදි. ප්රේක්ෂකයාගේත් බරපතළ රසිකත්වය පිළිබඳ ගැටලුවක් තියෙනවා. ටෙලිනාට්‍ය කලාව ගොඩගන්න තිබුණු අවස්ථා කිහිපයක්මත් අපට මගහැරුණා. රාජ්‍ය නාලිකාවලින් පවා පහුගිය කාලයේ ඊට සහයෝගයක් ලැබුණේ නැහැ. ප්‍රේක්ෂකයා ඇන්දවීම පමණයි සිදුවුණේ.
Q චිත්‍රපට නිර්මාණකරුවන්ගේ නිර්මාණශීලීත්වයේ අඩුවක් දැනෙනවද?
මිනිස්සුන්ට දැනෙන දේ සරලව ඉදිරිපත් කරන්න දන්නේ නැති ප්‍රශ්නයක් තමයි වත්මන් චිත්‍රපටකරණයේ තියෙන්නේ. ජීවිතයේ සුන්දර වගේම අසුන්දර අවස්ථා පවා සිනමා භාෂාවට හොඳින් හසුකර ගන්න දන්නේ නැහැ. පුංචි දෙයක් වුණත් නිර්මාණශීලී මනුස්සයෙකුට සිනමාවට නගන්න පුළුවන්. ඒත් සමහරු අද තමන්ගේ නිර්මාණශීලීත්වය ප්‍රගුණ කර ගැනීමටත් කලින් චිත්‍රපටයක් කළ හැකිය යන තක්සේරුවට පැමිණෙනවා. සමහර නිර්මාණ දැක්කාම ඒක හොඳටම පේනවා. මං හිතන්නේ ඔවුන් මේක රූපවාහිනි මාධ්‍යය වගේ සැහැල්ලුවට අරගෙන. එහෙම බැලුවොත් රසවින්දනය සහ මාධ්‍ය භාවිතයේත් දැඩි අර්බුදයක් තියෙනවා.
Q දියුණු විචාර කලාවක අවශ්‍යතාවය?
පවුල් පිටින් නැරඹිය හැකි චිත්‍රපට අද තියෙනවද? ඒ ගැන අපි පළමුව සොයාබැලිය යුතුයි. චිත්‍රපටය රූපවාහිනියට එනතුරු හුඟක් අය බලා ඉන්නේ මේ හින්දයි. අනික බාල චිත්‍රපට අගයද්දී සිනමා ශාලාවට යන ප්‍රේක්ෂකයාගේ බලාපොරොත්තු බිඳ වැටෙනවා.
සිනමා ශාලාව සහ රූපවාහිනියේ වෙනස නොහඳුනන ප්‍රේක්ෂක පිරිසකුත් අද ඇතිවෙලා. ඒකත් ලොකු ප්‍රශ්නයක්. ඒත් චිත්‍රපටවල ප්‍රමිතියක් ඇතිවුණොත් නැවතත් ප්‍රේක්ෂකයා සිනමා ශාලාවට පැමිණෙයි. මාධ්‍ය පවා එතැනදි බොරලු කැට අතරින් මැණික් කැට මතුකර ගන්න දැනගන්න ඕනේ. දියුණු විචාර කලාවක අවශ්‍යතාව මතුවෙන්නේ මෙහිදියි. අද තියෙන්නේ විචාර කලාවකට වඩා ප්රචාරක කලාවක්.
Q යාවත්කාලීන වන විචාරශීලී රසිකයන් පිරිසක් බිහිවෙලා තියෙනවා නේද?
යාවත්කාලීන වීම මොන පැත්තෙන් සිදුවුණාද යන්නයි ප්‍රශ්නේ. අනික නව මාධ්‍ය හරහා ස්වාධීන චින්තනයකට පෙළඹවීමක් සිදුවෙනවාද යන්නත් ප්‍රශ්නයක්. පැවැති ක්‍රමය වෙනස් කළේ ඇත්ත දැනගෙනද යන්නත් පළමුව සොයාබැලිය යුතුයි. මේ නිසා නියමාකාර දේශපාලන දෘෂ්ටියක් සමග සිදුවන වෙනසයි වඩා වැදගත් වෙන්නේ. මොකද මෙතැන තිබෙන්නේ ක්රමයේ ප්‍රශ්නයක්. ඒ බව පැහැදිලිවම පේනවා.
Q ආධුනිකයන් සහ ප්‍රවීණයන් අතර පාලමක් නිර්මාණය වෙලා නැහැ නේද?
කල්ලි හරහා තමයි අද හැමදෙයක්ම සිදුවෙන්නේ. ඒ නිසා පරිපූර්ණ ශිල්පියෙකු බවට පත්වෙන්නවත් නිශ්චිත ක්‍රමයක් තවමත් සැකසී නැහැ.