වේදිකා නාට්‍ය කලාවේ වෙනස්ම නාට්‍ය ප්‍රවණතාවක් නිර්මාණය කළ බල්ලොත් එක්ක බෑ නාට්‍යයේ අධ්යක්ෂවරයා රවින්ද්‍ර ආරියරත්නයි. ඉන්පසුව චරිතෙ හොරු අරන් නමින් තවත් නාට්‍යයක් සාර්ථකව නිර්මාණය කළ ඔහු වත්මන් වේදිකා නාට්‍ය කලාවේ සාර්ථක නිර්මාණකරුවෙකි. ඔහුගේ අලුත්ම නාට්‍යය වන මිට නැති කුඩ නාට්‍යයද මේ වනවිට සාර්ථකව වේදිකාගත වන අතර, එය එළඹෙන සැප්තැම්බර් 26 වැනිදා බොරැල්ල නාමෙල් - මාලිනි පුංචි තියටර්හිදී සවස 3.30 ට සහ 6.30 ට වේදිකාගත වීමට නියමිතය. මේ ඒ නිමිත්තෙන් රවීන්ද්‍ර ආරියරත්න මහතා සමග කළ කතාබහකි.
Q ඔබ හැමවිටම හාස්‍යය මතු කර නාට්‍ය රචනා කිරීමෙන් උත්සාහ කරන්නේ ජනප්‍රියත්වය තීව්ර කරගැනීමටද ?
මම නාට්‍යයක් රචනා කරද්දි එය හාස්‍ය නාට්‍යයක් ලෙස ලේබල් කරගෙන නිර්මාණය කරන්නේ නැහැ. ඒත් එහි ප්‍රහසනය මතුවන තැන් තිබෙනවා. ඒ වගේම දුක මතුවන තැන් පවා තිබෙනවා. දේශපාලනයත් මතුවෙනවා. නමුත් මගේ එදා සිට කෙටි නාට්‍යකරුවෙකු වශයෙන් ගෙන බැලුවත් ප්‍රහසන නාට්‍ය රචනා වීම වැඩි බවක් තිබුණා. අනික අපි පොදුජන සමාජයේ මිනිසුන් වශයෙන් ප්‍රහසනය දිහාවට ටිකක් වැඩිපුර බර ගතියක් තියෙනවා. එහෙම නැතුව මම හිතාමතාම ප්‍රහසනයක් කරනවාමයි කියා හිතාගෙන නාට්‍ය නිර්මාණය කරනවා නෙමෙයි.
Q නමුත් නාට්‍ය කලාවේ ඓතිහාසික පසුබිම සොයා බලද්දි ප්‍රහසනය මතුවෙන්නේ මේ ආකාරයෙන් නෙමෙයි ?
ඔව්. අපි ජනශ්රැතිය අධ්‍යයනය කර බැලුවත් සොකරි, කෝලම් ආදියෙත් ප්‍රහසනය යන්න තදින්ම පැවතුණා. අපිත් මේවා හැදෑරුවා. වින්දා. එවැනි පොළොවේ පය ගහපු මිනිස්සු හැටියට අපේ නිර්මාණ තුළත් මෙම ප්‍රහසනය මතුවෙනවා. ඒත් අවාසනාවකට වගේ අපේ රටේ දැන් සිටින ප්‍රේක්ෂකයන් ප්‍රහසනය වරද්දාගෙන තිබෙනවා.එතැනයි ගැටලුව තිබෙන්නේ.
Q ඒත් පසුගිය කාලය පුරාවටම හාස්‍ය රැල්ලක් මතුවෙන්න තරම් මෙය සමාජ රෝගයක් බවට පත්වුණා?
ඒවා නම් බොහොමයක් ප්‍රහසන නෙමෙයි, විකාර. අමුවෙන් මහ පොළොවේ සිටුවා හිනාගස්සන්න තමයි එම නාට්‍යකරුවන් උත්සාහ කරන්නේ. ප්‍රේක්ෂකයාට නළුවා විහිළුවක් වෙනවා නම් එතැන ඇති හාස්‍යයක් නැහැ. විය යුත්තේ සංකීර්ණ රංගයක් හරහා ප්‍රහසනය මතුවීමට ඉඩ ලැබෙන ආකාරයේ නිර්මාණයක් ජනගත කිරීමයි.
Q පවතින දේශපාලනික කරුණු කාරණා පදනම් කරගනිමින් දුවවන නාට්‍යයක් විදිහටත් මීට චෝදනා එල්ල වෙනවා ?
තමන්ගේ නාට්‍ය දුවන්නේ නැතිකොට ක්ෂේත්රයේම ඇතැම් අය තමයි ඔවැනි චෝදනා කරන්නේ. අනික නිර්මාණකරුවාටවත් නොතේරෙන සම්භාව්‍ය නිර්මාණ නිෂ්පාදනය කරලා මොකටද? අනික විදෙස් රටවල වේදිකාගත වෙද්දිත් දහ පහළොස් වතාව මේ නාට්‍යය බලපු අය ඉන්නවා. ඒත් පවතින සමාජ, දේශපාලනික කරුණු නාට්‍ය තුළින් ඇතැම් වෙලාවට මතුවෙද්දි එයින් ප්‍රහසනය උපදිනවා. එය වළක්වන්න බැහැ. ඒත් ඔබ කියූ දේ ඉන්පසුව පැමිණි ඇතැම් නාට්‍යකරුවන් නම් කරනවා මම දැක්කා.
Q නමුත් ඔබ කලින් කලට මෙහි ඇතැම් දෙබස් වෙනසකට ලක් කරනවා. එය සාමාන්‍ය නාට්‍ය සම්ප්‍රදායට අනුකූල නැහැ නේ?
මේ නාට්‍යයේ ස්වභාවය තමයි මෙහි තිබෙන ගතික ස්වභාවය. හුඟක් නම්‍යශීලී නාට්‍යයක්. විශේෂයෙන්ම බල්ලොත් එක්ක බෑ නාට්‍යයේ රාජ්‍ය නිලධාරියාගේ චරිතය හරහා අපට නාට්‍යයේ සර්වකාලීන ගුණය තකා කාලීන දේවල් එක් කළ හැකියි. එහෙම තැන් කීපයක් මේ තුළ නිර්මාණය වෙලා තියෙනවා. ඒත් ඒ තුළින් මෙහි නිශ්චිත පිටපතක් නොමැති බවක් කියැවෙන්නේ නැහැ. නාට්‍යයට කිසිදු හානියක් කරලත් නැහැ. මොකද අපි ජන විඥාණය හඳුනාගෙනයි නාට්‍ය කළ යුත්තේ. අනික මම දන්නා විදිහට 2009 වසරින් පස්සෙ තමයි ප්‍රේක්ෂකයා නැවතත් නාට්‍ය ශාලාවට එන්න පටන්ගත්තේ.