සමකාලීන යථාර්ථයක් සිය නිර්මාණ තුළින් වේදිකාවට සමීප කළ සම්මානනීය නාට්‍ය නිර්මාණවේදියෙකු වන රාජිත දිසානායකගේ නාට්‍ය උලෙළක් එළඹෙන 29, 30 හා 31 තෙදින තුළ සවස 7.00ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී රංගගත කිරීමට නියමිතව තිබේ. ඒ අනුව 'ආපහු හැරෙන්න බෑ', 'සිරිවර්ධන පවුල' සහ 'සිහින හොරු අරන්' යන නාට්‍ය ත්‍රිත්වය පිළිවෙළින් මෙහිදී රංගගත කෙරෙන අතර, ප්‍රවේශපත් ලයනල් වෙන්ඩ්ට් හිදී මේ දිනවල වෙන්කර ගත හැකියි. මේ ඒ පිළිබඳව රාජිත දිසානායක හා කළ සංවාදයකි.
Q මුලින්ම පවත්වන්නට සූදානම් වන නාට්‍ය උලෙළ ගැන කතා කළොත්?
අපි මෙවැනි නාට්‍ය උලෙළක් පවත්වන 6 වැනි අවස්ථාව මේක. අවුරුදු දෙකකට වරක් අපේ කණ්ඩායමේ නාට්‍ය ඇතුළත් උලෙළලක් ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පවත්වන්න මුලින්ම පටන් ගත්තේ 2006 වසරේ සිටයි. නාට්‍යයක් හොඳින් රංගගත කළ හැකි ස්ථානයක් තමයි ලයනල් වෙන්ඩ්ට් රඟහල. එම රඟහලේදී හොඳ ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ තමන් දායක වූ නාට්‍ය කිහිපයක් එක පෙළට රඟදක්වන්නට ලැබෙන එක අපේ නාට්‍ය කණ්ඩායමට වැදගත් අවස්ථාවක්. අපි මේ වෙනුවෙන් ඉතා ඉහළ සූදානමක් සිදුකරනවා.
මේ නාට්‍ය උලෙළේදී මේ වන විට රංගගත නොකෙරෙන වෙනත් නාට්‍යයකුත් එකතු කර ගන්නවා. ඒ අනුව මෙවර තෝරා ගත්තේ 'අපහු හැරෙන්න බෑ' නාට්‍යයයි. එම නාට්‍යය වසර 5කට පසුවයි යළි රංගගත කෙරෙන්නේ. එමෙන්ම මෙහි රංගගත කෙරෙන 'සිරිවර්ධන පවුල' හි වර්ෂ පූර්ණයත් මේ උලෙළේදී සමරනවා. පසුගිය වසරේ ජනවාරි 23 තමයි එහි මංගල දර්ශනය පැවැත්වුණේ. ඒත් එක්කම අඛණ්ඩව වසර 12ක් අපි විසින් රංගගත කරන 'සිහින හොරු අරන්' නාට්‍යයත් මේ උලෙළේදී රංගගත කරනවා. 2004 පැවති එහි මංගල දර්ශනයට එක්වූ ශිල්පීන් 12න් 7ක්ම තවදුරටත් මෙහි රංගනයේ යෙදෙනවා. එකම චරිතයක් වසර 12ක් නිරූපණය කිරීම විශේෂයි.
Q මින් සමහර නාට්‍ය මීට වසර ගණනකට පෙර නිර්මාණය කර ඇති නිසා ඊට කාලීන බවක් එක් කිරීමට පිටපතේ වෙනසක් සිදුවෙනවාද?
පිටපත්වල කිසිදු වෙනසක් සිදුකරලා නැහැ. නමුත් ඒ හැම නාට්‍යයක්ම වර්තමානයට අදාළයි. ආපසු හැරෙන්න බෑ නාට්‍යය 2008 වසරේදී තමයි කළේ. එනම් යුද්ධය අවසන් වෙන්න වසරකට පෙරයි. මින් සාකච්ඡා කෙරෙන්නේ යුද්ධය පවතින මොහොතක තොරතුරු සැඟවීම, තොරතුරු ප්‍රබන්ධ කිරීම සහ එම තත්ත්වයන්ට විරුද්ධ වන පුද්ගලයෙකු තම පෞද්ගලික ජීවිතයේ තොරතුරු සැඟවීමයි. ඒ වගේම ජීවිතේ සම්බන්ධව, සමාජය සම්බන්ධව ඒ නාට්‍යයට අදාළව ඉදිරිපත් කරනවා. යුද්ධය නොපවතින මොහොතකත්, යුද්ධය පවතින මොහොතකත් මිනිස් හැසිරීම හා ස්වභාවය තේරුම් ගන්න මෙයින් වැදගත් අවස්ථාවක් උදාවෙනවා. ඒ නිසා එම නාට්‍යය පෙරටත් වඩා වර්තමානය තුළ අරුත් සම්පාදනය කරනවා. මෙය 2009 රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නාට්‍ය ලෙසත් සම්මානයට පාත්‍ර වුනා.
සිහින හොරු අරන් නාට්‍යය තුළින් කියවෙන්නේ සමාජය තුළ සිදුවන වෙනස්වීම් හා තත්ත්වයන්. එම නාට්‍යයත් රඟදැක්වීම ඇරඹූ කාලයට වඩා අර්ථය තීව්ර කරනවා. මෙය 2005 රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය ලෙස සම්මාන හිමිකරගනු ලැබුවා.'සිරිවර්ධන පවුල ගත්තොත් සමාජය තුළ පැතිරී පවතින රියලිටි වැඩසටහන් හා ජනමාධ්‍ය මගින් සමාජය මෙහෙයවන ක්‍රියාවලිය තුළ පුද්ගලයා හා පවුල හසුවන ආකාරය හා එහිදී අත්වන ඛේදනීය තත්ත්වය තමයි පාදක වෙන්නේ.මේ නිසා මේ නාට්‍ය තුනම මේ මොහොතේ ප්‍රේක්ෂකයාට අදාළයි සහ සමීපයි කියලා මම හිතනවා.
ඒ එක්කම මේ නාට්‍ය උලෙළට 'ආදර වස්තුව' නාට්‍යයත් එක්කර ගන්න අපි දිනයකුත් වෙන්කර ගන්න කටයුතු කළත් පිරිවැය පිළිබඳ කාරණය නිසා ඒ අදහස අත්හැර දැමුවා. ඒ වගේම 'වීරයා මැරිලා', 'බකමූණා' නාට්‍ය ගැනත් බොහෝ අය විමසනවා හා අලුත් ප්‍රේක්ෂක පිරිසක් සිටිනවා. නමුත් කිසිම අනුග්‍රාහකත්වයක් නැතිව අපි පවත්වන මේ නාට්‍ය උලෙළේ පිරිවැය පාර්ශ්වය යම් තීරණාත්මක සාධකයක් වෙනවා. අපි අනුග්රාහකයන් වෙනුවට ප්‍රේක්ෂකයන් ගැන විශ්වාසය තබා තිබෙන්නේ.
Q වසර දෙකකට වරක් පවත්වන ඔබේ නාට්‍ය උලෙළ හැමපාරම කොළඹට විතරක් කේන්ද්‍ර කරන්නේ ඇයි?
අනුග්‍රාහකයෙක් සොයාගන්නෙ නැතිව පිට පළාතකට යන්න අමාරුයි. මොකද මෙවැනි නාට්‍ය උලෙළක් පිට පළාතක කරන විට අධික පිරිවැයක් දරන්න වෙනවා. ප්රාදේශීයව නාට්‍ය බලන්න විශාල වශයෙන් පුරුදු වුණ රසිකාගාර නැතිකම තුළ මුලින් පවත්වන උලෙළ අවදානමක් දරන්න වෙනවා. එවැනි අවදානමක් ගත හැක්කේ අනුග්‍රාහකයෙක් සිටිනවා නම් තමයි. නාට්‍යකරුවන් ලෙස අපට කළ හැකි ප්‍රමාණයක් තිබෙනවා. එතැනින් එහාට සමාජය හා කලාවට අනුග්‍රහය ලබාදෙන ආයතනවල සහාය අවශ්‍ය වෙනවා. හැබැයි අපි උත්සාහයක සිටිනවා විශ්වවිද්‍යාල මට්ටමෙන් හෝ නගර දෙකකවත් මෙවැනි නාට්‍ය උලෙළක් පවත්වන්න.
Q වේදිකා නාට්‍ය පවත්වාගෙන යෑම ගැටලුවක් වී ඇති බව සංවිධායකවරුන් පවසනවා. මේ තත්ත්වය ඔබේ නාට්‍ය සම්බන්ධවත් අදාළයි නේද?
මේ වෙලාවේ ප්රාදේශීයව නාට්‍ය රඟදැක්වීම බරපතළ විදිහට වෙනස් වෙලා තිබෙනවා. ඒක තනිකරම වෙළෙඳ නාට්‍ය ධාරාවකට අයත් වුණා. ඒ තරගයෙන් අපි තරමක් ඉවත්ව තමයි අපේ නාට්‍ය පවත්වාගෙන යන්නෙ. පසුගිය කාලයේ මිනිස්සුන්ට වින්දනාත්මක සිතීමකට වන කලාවකට වඩා සරල, සැහැල්ලු ඒ මොහොතකට හිනා විය හැකි කලාවක් තමයි වැඩි වශයෙන් ඉස්මතු වුණේ. දේශපාලනික හෝ සමාජය ප්‍රශ්න කරන භාවිතාවන් සහිත නාට්‍ය බහුතරයක් පැවතියත් සංවිධායකවරු, විවිධ ආයතන, සංගම් හිනාවිය හැකි නාට්‍ය තමයි ඉල්ලන්න ගත්තෙ. ඒවා සාර්ථක ඒවා නෙවෙයි. මොකද ඉතා සාර්ථක හාස්‍ය නාට්‍යයක් නම් එය විශිෂ්ට නාට්‍යයක්. මම ඉතා කැමතියි හාස්‍ය ධාරාවේ හොඳ නාට්‍ය බලන්න. එය අපේ රටේ ඉතා දුර්ලභයි.
අපේ රටේ ඉතා හොඳ හාස්‍ය නාට්‍ය ධාරාවක් ඇතිවුණේ නැහැ. රේ කුනිගේ නාට්‍යයක් වූ 'රෝමය ගිනි ගනී' ඉතා හොඳ හාස්‍ය නාට්‍යයක්. ඒ වගේම අපේ කණ්ඩායමේ ධර්මප්‍රිය ඩයස් නිර්මාණය කළ රේ කුනිගේ 'සාදය මාරයි සල්ලි හමාරයි' ඉතා හොඳ හාස්‍ය නාට්‍යයක්. එවැනි හොඳ හාස්‍ය නාට්‍ය රංගගත වීම රටකට අවශ්‍යයි. නමුත් එය නෙවෙයි රටේ සිදුවන්නේ. හාස්‍ය නමින් ලේබල් කර තිබෙන නාට්‍ය රංගගත කිරීමට තමයි අපේ සංවිධායකවරු මේ වෙලාවේ වැඩි කැමත්තක් දක්වන්නේ. ඒක රටේ කලාව පිළිබඳව තිබෙන දැනුම, රසවින්දනය, ජනතාවගේ තත්ත්වය විසින් ඉදිරි කාලයේදී කිසියම් වෙනසකට ලක් කරයි. එතකල් ඒ තත්ත්වය ඒ විදිහට යන්න දීලා අපට පුළුවන් දේ කරන එක තමයි කරන්න වෙන්නෙ.
Q හැම ආණ්ඩුවක්ම නාට්‍ය කලාව නැංවීම ලෙස දකින්නේ නාට්‍ය සම්මාන උලෙළක් පැවැත්වීම හා නාට්‍යකරුවන් අසනීප වූ හෝ මිය ගිය පසු බලන්න ගොස් කීයක් හරි දීලා ඒම බවයි පෙනී යන්නේ. මේ විදිහට නාට්‍ය කලාවක් පවත්වාගෙන යා හැකිද?
අපේ සමාජයට කලාව අවශ්‍යද කියන ප්රශ්නය අප ඉදිරියේ තිබෙනවා. මොකද කලාව කියන දේ අපේ සමාජයේ ප්‍රධාන අවශ්‍යතාවයක් වෙලා නැහැ. ඒ වගේම කලාව කියන දේ පවතින්න සමාජයට වගකීමක් තියෙනවා. සමාජය ඒ වෙනුවෙන් කළයුතු කොටසක් තිබෙනවා. අපි තනි තනි පුද්ගලයන් ලෙස මේ සමාජයේ කලාවේ නිරත වෙනවා මිසක් සමාජය විසින් රජය විසින් නිශ්චිත වැඩපිළිවෙළක් යටතේ ලබාදෙන අනුග්‍රහයක් නැහැ.
රජයක ප්‍රධාන වගකීමක් තමයි මිනිස්සුන්ට කලාව රසවිඳීමට අවස්ථාවක් ඇති කිරීම. කලා කෘති නිෂ්පාදනයට සහයෝගය ලබාදීම, කලාව රසවිඳීමට අවශ්‍ය රඟහල් ඉදිකිරීම. පුරවැසියන්ගේ මානසික හා ශාරීරිකභාවය සඳහා කලාව අත්‍යවශ්‍යයි කියලා අදහසක් නැහැ. මොකද කලාව රසවිඳිනවාට වඩා මිනිස්සුන්ට පරිභෝජනයෙන් සතුටුවෙන අර්ථක්රමයක් තමයි හදල තියෙන්නේ. ඒක දියුණු සමාජයක ලක්ෂණයක් නෙවෙයි. මූලික අවශ්‍යතා ඉෂ්ට නොවෙන සමාජයක කලාව වෙනුවෙන් ප්‍රතිපාදන හා වැඩපිළිවෙළවල් බලාපොරොත්තු වෙන්න අමාරුයි.
මෙතන ගැටලුව වෙන්නෙ අදාළ නිලධාරීන් හා දේශපාලනඥයන් කලාව රසවිඳින පුද්ගලයන් නොවීම. පොතක් කියවීම, හොඳ චිත්‍රපටයක් හෝ නාට්‍යයක් බැලීම සංස්කෘතික වැඩක්. එය දියුණු පුරවැසියෙකුගේ ගුණාංගයක්. නාට්‍යයක් සජීවීව බලන විට දැනෙන චමත්කාරය නොදන්න පිරිසක් නිලධාරීන්, බලධාරීන් ලෙස තීරණ ගන්නකොට අත්වන තත්ත්වය තමයි මේ අපි අත්දකින්නේ.
කලාව රසවිඳින මිනිස්සු තීරණ ගන්න තැන්වල හිටිය නම් කලාවට මීට වඩා අනුග්‍රහය දෙන්න පෙළඹෙනවා. ඔය ඉහළ නිලතල දරණ නිලධාරීන්ගෙන් හා පාර්ලිමේන්තුවේ සිටින බලධාරීන්ගෙන් ඔබ අවසන්වරට බැලුව නාට්‍ය මොකක්ද කියලා ඇහුවොත් ඔවුන්ට ටෙලි නාට්‍යයක් මතක් වේවි. අවසන් වරට බැලුව පොත මොකක්ද කියල ඇහුවොත් එය 'පාස්පෝට්' එක කියා කියාවි.
ඇත්තටම කලාව රසවිඳින රසිකයෙක් නොවීම කියන කාරණය ඔවුන්ට මදිකමක් කියා දැනෙන්නෙ නැහැ. මේ රසිකත්වය ඇතිකිරීම සමාජයක අධ්‍යාපනය විසින්, රජය විසින් සැකසිය යුතු වගකීමක්. ජනමාධ්‍යවලටත් මේ සම්බන්ධව ලොකු භූමිකාවක් තිබෙනවා. හැබැයි තවමත් රංග කලාව මේ විදිහට පවතින්න ජනමාධ්‍යවලින් ඉෂ්ට වෙන කාර්යය ඇත්තටම සුවිශේෂයි. ඒ දායකත්වය තවත් වැඩිවෙනවා නම් එය ඉතාමත් වැදගත්. මොකද මිනිස්සුන්ගේ පැත්තෙන් කලාව සහ කලාව නොවන්නේ කුමක්ද යන්න සම්බන්ධව අවබෝධයක් නැති තරමටම අදහසක් නැහැ.
ෂොපින් මෝල් එකකට ගිහින් මොනවාහරි කාලා එළියෙ ඇවිදින එක හොඳයි කලාව රසවිඳිනවට වඩා වැනි අදහසක් ඇති කරලා තිබෙනවා. මොකද කලාව රසවිඳීම කියන අත්දැකීම මිනිස්සුන්ට අඩුයි. ඒ නිසා නිර්මාණකරුවන් ලෙස අපට වගකීමක් තිබෙනවා, ඒ රසවිඳීම උපරිම ආකාරයට රසිකත්වයක් ඇති කිරීමට.
0773 502700