කලාව කරන්න එන ගැහැනු ළමයි නන්දා මාලනී දිහා බලලා හිත ධෛර්යවන්ත කරගන්න ඕන
''මාළු කපන තැන බණ කියන හැටිත්, බණ කියන තැන මාළු කපන හැටිත් දකින්න සමාජයට යන්නම ඕන. මගේ පාසල් ජීවිතය අවසාන වෙලා අවුරුදු දෙකක් විතර 'වළ බහින' කාලේ තමයි මට තරාතිරමක් නැතිව මුළු සමාජයම ඇසුරු කරන්න ලැබුණේ. ඒ ගායකයෙක් වෙන්න තිබුණ දැඩි උවමනාව නිසයි.
ගෙවල්වලිනුත් මගේ ඒ සමාජ ආශ්‍රයට අකමැති නොවුණේ හැමෝම දන්න, හැමෝම අහන ළමයෙක් වෙන්න එදා මට පුළුවන් වුණ නිසයි. එදා ඒ පටන් ගත්ත ගමනේදී, වෘත්තීය මට්ටමේ ගායකයෙක් වෙලා, වසර 54 ක් යනතුරුත් ක්ෂේත්රයේ ඉන්න මට වාසනාව ලැබුණේ රසිකයා නිසා ශිල්පියා රැකෙනවා කියන එක මම මගේ ලේ වලටම කවලම් කරගත්ත නිසයි. ඒක මගේ ඇඟෙන් මොන විදියටවත් ගලවන්න බැහැ. මේ තත්ත්වය ලබන්න වාසනාවත් බලපෑවා.''
මෙසේ අප හා සංවාදයකට එක් වන්නේ ජනප්‍රිය ගායක නිහාල් නෙල්සන් කලාකරුවායි. දශක පහක් අඛණ්ඩව ජනප්‍රියත්වය රැකගෙන සිටින මේ ජ්‍යෙෂ්ඨයා කැසට් පට සංගීතය ජනප්‍රියව පැවැති සමයේ වැඩිම කැසට් පට ප්‍රමාණයකට ගී ගැයූ ගායකයා ලෙසද වාර්තාවක් තබා සිටියි. ගීත දාහතරක් සහිත කැසට් පට 113 ක ගීත ගයා වාර්තා පොත් අතරට ගිය ඔහුගේ වෘත්තීය සංගීත දිවියේ ආරම්භය සංගීතවේදී ඒ.ජේ. කරීම් හමුවීම බව ඔහු ඉතා ගෞරවයෙන් සිහිපත් කරයි.
එම හමුවීම හරහා ශ්‍රේෂ්ඨ සංගීතවේදී ආර්.ඒ. චන්ද්‍රසේනයන් හඳුනාගැනීමද තමන් ලද භාග්‍යයක් ලෙස හෙතෙම සෙනෙහසින් සිහිපත් කරයි. නිහාල් නෙල්සන් තරුණයාගේ ගායන දිවියේ ආරම්භයේදී ඔහුට ගුවන් විදුලියේ දොරටු විවර කරදුන්නේ කරුණාරත්න අබේසේකරයන් බවද ඔහු ආදරයෙන් මතක් කරයි.
''මගේ ආරම්භයේ ඉඳල මම කිව්වේ මගේම සිංදු. මගේ වචනවලට, මගේම තනු දාගෙන සින්දු කියන්න එදා ඉඳලම මට පුළුවන්. 'ලස්සනට පිපුණු වන මල්' ගීතයත් මමම ලියාගෙන, මගේම තනුවක් දාගෙන මට ආරාධනා ලැබෙන සංගීත සාදවල ගායනා කරපු ගීතයක්.
එම ගායනා ප්‍රසංගවල බොහෝ අවස්ථාවල කරු අයියා (කරුණාරත්න අබේසේකර) මට මුණගැහුණා. ඔහු මගේ ගායනය පිළිබඳ පැහැදිලා මට ගුවන් විදුලියේ 'නැගෙන තරුව' හඳුන්වාදෙන වේලාවේ මගේ අලුත් ගීතයක් ගායනා කරන්න අවස්ථාව දුන්නා.
එතකොට තමයි මම කියමින් හිටිය 'ලස්සනට පිපුණ' ගීතය ඔපමට්ටම් කරලා ගන්න ඕන වුණේ. මම කියමින් සිටි එම පද රචනයට ගුවන් විදුලි පටිගත කිරීමට උචිත ලෙස මා මිත්‍ර සරත් මුණසිංහ කියන ගීත රචකයා එදා මට හරියට වචන ගළපලා හදලා දුන්නා. අද ඔහු මීගහවෙල සුමන ශාන්ත නමින් ගිරිඋල්ල මහ පන්සලේ මහණදම් පුරනවා.
එම ගීතයේ සංගීතය ආර්.ඒ. චන්ද්‍රසේන මාස්ටර්ගේ. 1963 මාර්තු 31 දහවල් 11.20 ට තමයි මගේ එම ලස්සනට පිපුණ ගීතය මුල් වරට ගුවන් විදුලියෙන් නැගෙන තරුව ලෙස කරු අයියාගේම හඬින් මා හඳුන්වා දෙමින් ප්‍රචාරය වුණේ. ඊට පස්සේ මේ ගීතය DKRS ලේබලයෙන් තැටියකටත් නැගුණා.''
ගීත දොළහක් සහිත LP තැටියත්, ගීත 04ක් සහිත EP තැටියත් ලංකාවේ ජනප්‍රිය වූයේ ඉන් අනතුරුවයි. EP තැටි අසූවකට අධික සංඛ්‍යාවක එවකට ගීත ගැයූ බව සඳහන් කරන ඔහු කැසට් පට ලංකාවට හඳුන්වාදෙන මොහොතේදී තමාටද ගායනයෙන් දස්කම් දැක්වීමට අවස්ථාවක් ලැබුණු බවද පවසයි.
“ඒ කාලේ මැද පෙරදිග ගිහිල්ලා එන හැම කෙනෙක්ම ටූ ඉන් වන් හෙවත් කැසට් පට ශ්‍රවණය කරන්න පුළුවන් ගුවන් විදුලි යන්ත්‍ර අරගෙන එනවා, 'තරංගා' අධිපති විජය රාමනායක මහතා ගුවන්තොටුපොළේදී දැකලා තිබෙනවා.
මේවාට අවශ්‍ය කැසට් ලංකාවේ ගායක ගායිකාවන්ගේ හඬින් නිෂ්පාදනය කරන්න ඔහුට අවශ්‍ය වුණා. ලංකාවට කැසට් පට හඳුන්වා දුන්නේ විජය රාමනායක මහතායි. ඔහු මුලින්ම කැසට් දහයක් කළා. එම කැසට් දහයෙන් එකක මමත් ගීත ගැයුවා. එම දහයේ පළමුවැන්න ලෙස වෙළෙඳ පොළට දැම්මේ මිල්ටන් මල්ලවආරච්චිගේ ගීත ඇතුළත් කැසට් පටය. ඒ 1979 ඔක්තෝබර් 29 වැනිදා. එදා තමයි ලංකාවේ කැසට් අරම්භය.
Q ඔබේ කලා ලොවේ දීර්ඝ පැවැත්මේ රහස කුමක්ද?
තමන් වේදිකාවට නැග්ගම ඒ තැනට ගැළපෙන ගීත මොනවද කියලා තේරුම් ගන්න ඕන. වෙන විදියකට කිව්වොත් තැනට ගැළපෙන දේ ගැන 'ඉව' තියෙන්න ඕන. කලා ශිල්පියාට කෙනෙකුගේ තරාතිරම, මට්ටම මනින්න බැහැ. මේ මිනිහා කිළුටුයි, මේ මිනිහා හොඳ පිරිසුදුයි කියල තෝරන්න බැහැ. කිළුටු මිනිහා පිරිසුදු කරන්නත්, පිරිසුදු මිනිහා තවත් පිරිසුදු කරන්නත් කලාකාරයා දක්ෂ වෙන්න ඕන.
Q අලුත් පරපුර ගැන ඔබේ අදහස කුමක්ද?
අද දක්ෂ තරුණ ළමයි ඉන්නවා. ශ්රැතියට, තාලයට ඒ අය ගීත ගායනා කරනවා අපට ඇහෙනවා. ඒත් ඒ අය සාර්ථකව ගයන ගීත අනුන්ගේ ඒවා. අනුන්ගේ ගීත තාලයට ගායනා කළාට ඒ අයට තමන්ගේ ඒවා කියන්න බැහැ. ඒ අය තමන්ගේ ගීත ගැයුවත් අන්තිමේදී වේදිකාවෙන් බහින්ගේ පැරණි ගීතයක් ගයලා. කෙනෙක් පටන් ගන්න තැන මොන විදියකටවත් අත අරින්න බැහැ.
තමන්ට අනන්‍යතාවක් නැති වුණාම සමාජයේ රැඳෙන්න බැහැ. ජෝතිපාලයි, සුජාතා අත්තනායකයි ලංකාවේ ඉපදුනේ නැත්නම් ඔය අලුත් ගායක ගායිකාවෝ එක්කෙනෙක්වත් නැහැ.
ඒ දෙන්න විතරක් නෙමේ ජේ.ඒ. මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලීන් ගුණතිලක, ලතා වල්පොල, වික්ටර් රත්නායක, නන්දා මාලනී, සනත් නන්දසිරි, අමරදේව නැත්නම් මේ අය නැහැ. ඒ අය නැතිවෙන්න හේතුව ස්වයං නිර්මාණ නැතිකමයි. පැරණි අයත් මුලින් අනුන්ගේ නිර්මාණ තමයි කිව්වේ.
පස්සෙ ඒ අය තමන්ගේ නිර්මාණ බිහි කළා. සුනිල් ශාන්ත, සී.ටී. ප්‍රනාන්දු අපි හැමෝටම උඩින් අදත් ඉන්නවානේ. ඒ අය හදපු අත්තිවාරම උඩ ඊට පස්සේ ආපු අපි කට්ටිය ප්ලෑන් එක ඇඳලා ගේ ගැහුවා. දැන් අපි ගේ හදල තියෙන්නේ.
අපි හදපු ගෙදර ඉන්න අය එලවලා කොහොම හරි ඇතුළට රිංගාගන්න ඕන කියන එකයි දැන් එන කට්ටියගේ අරමුණ. දැන් මේ ගෙදර 'මාධ්‍ය' විසින් කුලියට දෙනවා. අවුරුද්දක් පාසා රියැලිටි ෂෝ එකක් කළාම වැඩිපුරම හම්බ කරන්නේ කවුද? මාධ්‍ය ආයතනයි.
Q එහෙම රියැලිටි ෂෝ නැතුව අලුත් පරපුරට එන්න බැරි තත්ත්වයක් නේද සමාජයේ හැදිලා තියෙන්නේ?
මේ කලාවේ හැකියාව තියෙනවා නම් රැකියාව තියෙනවා. එක්කෙනෙක් නැති කරලා තව කෙනෙක් නැගී සිටුවන එක නෙමෙයි වෙන්න ඕන. ක්ෂේත්රයේ ඉන්න අමාරුයි, වෙන වෙන බලපෑම් තියෙනවා කියන ඒවා බොරු කතා. බලපෑම්වලට යට වෙනවා නම් අද වෙනකොට නන්දා මාලනීට ඉන්න බැහැනේ.
එයා කොච්චර දෝෂාරෝපණ, කෙනෙහෙලිකම්වලට භාජනය වුණාද? ඒත් අද නන්දා මාලනී එනකොට රටේ ජනතාව ආසනවලින් නැගිටිනවානේ. කලාව කරන්න එන ගැහැනු ළමයි නන්දා මාලනී දිහා බලලා හිත ධෛර්යවන්ත කරගන්න ඕන. අමරදේව දේශපාලනය කළා. ඒත් කොයි ජනාධිපති ආවත් අමරදේව බදාගන්නවානේ. ඒක තමයි නිර්මාණාත්මක කලාකරුවාගේ සාර්ථකත්වය.
Q එච්.ආර්. ජෝතිපාලයන් වගේ ඔබ චිත්‍රපට පසුබිම් ගායනයට අවධානය යොමු නොකළේ ඇයි?
චිත්‍රපටවල මම ගීත ගායනා කරලා තියෙනවා. 'පෙම් කුරුල්ලෝ', 'ලෝක හොරු', 'දියමන්ති', 'රෝදය', 'සඳ වට රන්තරු', 'වාලම්පුරි', 'රතු මකරා', 'බෝනික්කා', 'ශිරාණි' ඉන් කිහිපයක්. චිත්‍රපටවල ගායනය පටිගත කරන්න ඒ කාලේ ලොකු වෙලාවක් ගත්තා. හැබැයි කැසට් පටයේ ගීත දාහතරම කළේ එකම දවසේ. එක දවසේ ස්ටුඩියෝ තුන හතරක අපි ගීත කළා. මට සල්ලි ලැබුණේ කැසට්වලින්. වර්නන් පෙරේරා ඒ කාලේ මගේ ළඟින්මයි හිටියේ. ලාල් තේනබදු ලීඩ් කරපු 'මවුන්ට් චයිම්ස්' සංගීත කණ්ඩායමේ ළමයින්ට නින්දක් නැහැ.
'මවුන්ට් චයිම්ස්' සංගීත කණ්ඩායමේ හිටපු රංජිත් ඩයස්, නිමල් ඩයස්, චන්ද්‍රා ඩයස්ගෙන් ඒ ගැන අහන්න පුළුවන්. විජය රාමනායක මහත්තයාගේ කළමනාකරු ලෙස හිටපු කුලරත්න ආරියවංශගෙන් මේ අතීතය අහන්න පුළුවන්.
ඒ කැසට් යුගයේ විජය රාමනායකගේ අභියෝගයකට අපි එක දවසෙ ගීත විසි අටක් අලුතෙන් ලියලා, අලුතෙන් තනු දාලා නිර්මාණය කළා. දැන් වගේ ගීත කෑලි අලවන්න බැහැ. ඒ කාලේ 'ඩබින් ඉල්ලේ.' ගීත විසි අටේ වැරදුණු තැන් හදන්න 200 වතාවක් විතර සංගීතයත් එක්ක නැවත නැවත අපි ලයිව් කිව්වා. ෆිල්ම් වැඩේ වෙනස්. පටිගත කරන්න ඒ කාලේ ලොකු කාලයක් ගත්තා. මට ඒක ඇල්ලුවේ නැහැ.
Q වර්තමාන සංගීත ක්ෂේත්රය කොහොමද?
අද සංගීත ක්ෂේත්රය හැම පැත්තෙන්ම දුර්වලයි. අද අයට තාක්ෂණය නැත්නම් එක දිගට ලයිව් ගීතයක් කියාගෙන යන්න බැහැ. හැබැයි මේ අය දක්ෂයි, මේ අය අදක්ෂයි කියලා මම මාධ්‍යවලට කියන්නේ නැහැ. අලුත් පරපුරේ හැමෝම මට ආදරෙයි. මමත් ඒ අයට ආදරෙයි.
හැම ළමයෙක්ම කැමතියි තමන්ගේ දක්ෂතා දියුණු කරගෙන ඉදිරියට එන්න. ජනතාව අතර ජනප්‍රිය වෙන්න. ඒ අය වේදිකාවේදී වරදක් කළොත් මම එතැනදීම මුහුණටම කියනවා. සමහර ළමයි අපේ ළඟටම ඇවිල්ල මගෙන් ගුණදොස් අහනවා. එහෙම නැතුව මාධ්‍යයෙන් නම් කියලා මං ඒ අයව විවේචනය කරන්නෙ නැහැ.
Q අලුත් පරපුර පැරණි පරපුරට සලකන්නේ නැහැයි කියනවා නේද?
ඕවා මාධ්‍යවලින් හදන කතා. එහෙම වෙන්නේ නැහැ. සමහර වෙලාවට මත භේද ඇති වෙනවා. අපි කවුරුත් පෘථග්ජන මිනිස්සුනේ. කට්ටිය ඊළඟ අවස්ථාවේ හමුවෙනකොට ඒ ප්‍රශ්න ඉවරයි.
Q ගායක ගායිකා සංගම් පිළිබඳ ඔබේ අදහස?
ගායක ගායිකා සංගම්වල මම නැහැ. එවැනි සංගම්වලින් සංගීත ක්ෂේත්රයට යමක් සිදු වෙන්න ඕනේ. ගායක ගායිකා සංගමයක් හෝ නළු නිළි සංගමයක් හෝ කළ යුත්තේ පවතින රජය සමග සම්බන්ධ වීමයි. සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් සහ සංස්කෘතික අමාත්‍යාංශයෙන් මුළු කලා ක්ෂේත්රයේම කටයුතු වෙනුවෙන් උදව් ගන්න එම සංගම් දැනගන්න ඕන.
දැන් ඉන්න සංස්කෘතික අධ්‍යක්ෂවරිය වන අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය මේ කලාකරුවන්ට උපරිම සහාය දෙන වටිනා නිලධාරිනියක්. ළඟදි ජනාධිපතිවරයා දුන්න ලක්ෂ 250න් අඩුම තරමේ ගායක ගායිකාවන්ට පුහුණු වෙන්න හමුවෙන්න තැනක්වත් හදාගන්න ඕන.
එම මුදල් ගායක ගායිකාවන්ගේ සංගීත ශිල්පීන්ගේ දියුණුව වෙනුවෙන් යොදවන්න ඕන. සමහර කලා සංගම්වල සභාපති පෞද්ගලික රෝහල් අයිතිකරුවෙක්. ඉතිං අපේ කලාකරුවන්ට කතා වෙලා ඒ පුද්ගලයන්ගෙන් කලාකරුවන් වෙනුවෙන් යම් සහයෝගයක් ගන්න බැරිද?
Q ගීත ගයන්න වේදිකාවට නගින හැම මොහොතෙම අය කිරීමක් කරන ගායක ගායිකාවන්ට රජයෙන් මුදල් ආධාර අවශ්‍ය නැහැ නේද?
ඒ කතාව හරි. අපි සින්දු කියන්න සල්ලි ගන්නවා. ආදායම් බදු ගෙවනවා, ජීවත් වෙනවා. විශේෂයෙන්ම ගායක ගායිකාවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීම ඔය සංගම් කළ යුතු මූලික කටයුත්තක් වෙනවා. කලාකරුවන්ගෙන් ගන්න බදු මුදල් හරහා රජය විසින් කලාකරුවන්ගේ ජීවිත වෙනුවෙන් යම්කිසි සුරක්ෂිත ක්‍රියාමාර්ගයක් ඇති කරන්න ඕන.
ක්‍රිකට් ගහන ළමයි කවදාවත් රට යන්න, තානාපති කාර්යාලවලට යනවාද? නැහැනේ. ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඒ දේවල් කරනවා. ක්‍රිකට් ක්‍රීඩකයන්ට රට යන්න ක්‍රීඩා ඇමතිතුමා අත්සන් කරලා අනුමත කරනවා.
අපි (කලාකරුවො) රට යන්න අනුමත කරගන්න නම් සංස්කෘතික ඇමතිතුමා හමුවෙන්න අපිම යන්න ඕන. අපි තානාපති කර්යාලයක් ඉදිරිපිට හිටගෙන ඉන්නකොට 'ක්‍රිකටර්ස්ලා' අපට අත වනාගෙන වාහනවලින් යන ගමන් ''අයියා මොකද ඔතන කරන්නේ?'' කියලා කිංඩියටත් එක්ක අහනවා. ක්‍රිකට් ටික කාලයයි. ඒත් කලාකරුවා ජනතාව සමග දීර්ඝ කාලයක් ජීවත් වෙනවා.
සටහන - පද්මකුමා පී. මෙත්තසේන
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

