Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 පෙබරවාරි මස 10 වන සඳුදා
2025 පෙබරවාරි මස 10 වන සඳුදා
මෑතකාලීනව බිහි වූ තරුණ ගී පද රචකයන් අතරින් විචාරකයන්ගේ දැඩි විවේචනයට ලක්වූ සහ තරුණ පරපුර අතර අතිශය ජනප්‍රිය වූ ගී පද රචකයා ලෙස මනුරංග විජේසේකර හඳුන්වා දීම වඩා නිවැරදියි. ඔහු පිළිබඳව මේ දිනවල යළිත් කතාබහක් ඇතිව තිබෙන්නේ ඔහුගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන 'රම්බරී MANU ගේ UPSET ලයින් එක' (රම්බරී මනූගේ අප්සට් ලයින් එක) කෘතිය හරහායි. මේ එම කෘතිය පිළිබඳව ඔහු සමග කළ සංවාදයකි.
අවුරුදු 4,5 ක කාලයක් ගීත රචකයෙකු ලෙස මම කටයුතු කළා. ගායකයෙකුට නම් කවදහරි ඇල්බම් එකක් එළියට දාන්න පුළුවන්. හැබැයි ගීත රචකයෙකුට එතැනින් එහාට කරන්න පුළුවන් දෙයක් තියෙනවද කියන ගැටලුව මතුවෙනවා. ඒකත් එක්ක ඇඟේ තියෙන දේ එළියට දාගන්න මාධ්‍යයක් ලෙස පොතක් කරන්න ඕන කියන අදහස ඇතිවුණා. මේ සඳහා ඒ කාලේ ඉඳන් ආසාවක් තිබුණට අවස්ථාවක් හැදිල තිබුණේ නැහැ.
මේ පොතට 'රම්බරී MANU ගේ UPSET ලයින් එක' කියන නම දාන්නත් හේතු ගණනාවක් තිබුණා. කෙනෙකුට කියන්න පුළුවන් මේක මාර්කට් ටූල් එකක් කියලා. ඒකත් එක සාධකයක් තමයි. මොකද මේ පොත පොත් කඩවල දොරට අඩ තියන එකක් බවට පත්වුණොත් වැඩක් නැහැ.
රම්බරී රචනා කළාම ගොඩක් අය කිව්වා ඒක හරි අප්සට් කියලා. මමත් කල්පනා කළා හැමෝටම අප්සට් සින්දු ලියන්න බැරි නිසා මගේ පොතට 'අප්සට් ලයින් එක' කියන කොටස යොදන්න. මම ලියපු දේවල් කොච්චර අප්සට්ද නැද්ද යන්න බලන්න හොඳම දේ මේ පොත කියවීම තමයි.
මම රම්බරීගෙන් පස්සෙ රචනා කළ 'සුදු ගවුම', 'ළබැදියේ', 'දෑසින් පෑ', 'සඳක් වෙන්න බැරි තැන' ආදී සියලු ගීත තාමත් වැටෙන්නේ රම්බරී කිරපු තරාදියටමයි. මම මොන සිංදුව ලිව්වත් ඇතැම් අය කියන්නේ ඕකෙ තේරුමක් නැහැ කියලයි. ඒ ගැන මට දුකක් නැහැ. කොහොම වුණත් මම ලියන දේවල්වල අභව්‍ය සිදුවීම් නැහැ. මම ලියන්නේ එදිනෙදා පරිසරයේ සරල සාමාන්‍ය සිදුවීම් පමණයි. ඕනෑම කවියකට මෙලඩියක් වැටුණම ඒක සිංදුවක් බවට පත්වෙනවා. තනු නිර්මාණ ශිල්පියෙකුට පුළුවන් ඕනෑම කවියක් ගීතයක් බවට පත්කරන්න. හැබැයි කවිය කියන්නේ ඊට වඩා බැරෑරුම් මාතෘකාවක්.
මම කවියෙක් කියලා මාව හැඳින්වුවොත් මහගමසේකරයන්ට, විදාගම මෛත්‍රී හාමුදුරුවන්ට, රාහුල හාමුදුරුවන්ට කරන ලොකු අපහාසයක් වෙනවා. මම කවියෙක් නෙවෙයි. සරල, නිදහස් සිතුවිලි ගීතයක් බවට පත්කරන නිර්මාණකරුවෙක් පමණයි.
මට සඳැස් ලියන්න පුළුවන්. හැබැයි මම අතින් සඳැසට වඩා නිසඳස් මාර විදිහට ලියැවෙනවා. එහෙම වෙලා තියෙන්නෙ ගොඩක් වෙලාවට තනුවට ගීත රචනා කරන නිසයි. එහෙම ලියද්දි සඳැස, නිසඳස නොව තනුවට කතාවට හදන්න පුළුවන්ද කියන කාරණය තමයි ඉස්මතු වෙන්නෙ. තනුවට රචනා කිරීම එක්තරා විදිහකට අමාරු වුණත් මම ඒකට කැමතියි. මොකද මම ගීතයක් ලිව්වට පස්සෙ ඒකෙ අතනින් අඩුකරමු, මෙතැනින් අඩුකරමු කියලා කරනවට වඩා හොඳයි තනුවට ලියන එක. ඒක සරලයි. මේ නිසා මම කරන වෘත්තියත් එක්ක නිසදැස මා අතින් නිරන්තරව ලියැවිලා තිබෙනවා.
කටින් ගහලා දිනනවා යන්න නෙවෙයි මෙතන තියෙන්නෙ. අපේ ඇතුළෙ කියා ගැනීමට අවශ්‍ය දේවල් කැකෑරෙමින් තිබෙනවා. මේක කටින් ගසා දිනීම නෙවෙයි. අපි කතා කිරීම තුළ සමහරුන්ගේ මතවාද බොරු කියලා ඔප්පු වෙනවා.
'මුන් ගල් පැලෙන්න තර්ක කරනවා' කියලා සමහරු චෝදනා කළත්, මං මේ කරන්නෙ අප කිවයුතු දේයි. අපිට කිසිම අදහසක් නැහැ කලාව විකුණාගෙන කන්න හෝ සාහිත්‍ය විකුණගෙන කන්න. හැබැයි මං ලියන්නේ අපේ පරම්පරාවට තේරෙන්න. ඕකට හොඳ උදාහරණයක් ලෙස මාර්ටින් වික්‍රමසිංහ 1932 ලියූ 'සාහිත්යෙයාගය' කියන පොතේ කොටසක් දැක්විය හැකියි. එහි තිබෙනවා,
'සම්භාව්‍ය සාහිත්‍ය නැමති ගස රෝපණය කළයුත්තේ සාමාන්‍ය ජනතාව නැමති සරු පස මතයි' යනුවෙන්. සම්භාව්‍ය වෙන්නත් සාමාන්‍ය ජනයා එකතුවෙලා ඉන්න ඕන. සම්භාව්‍ය සාහිත්‍ය විතරක් කළොත් ඒකෙන් මිනිස්සු ඈත්වෙනවා. වාණිජ සිනමාවක් තිබුණොත් තමයි සම්භාව්‍ය සිනමාවක් ගොඩනැගෙන්නේ. අනිත් රටවල ඔය ප්රශ්නය නැහැ. ඉන්දියාව ගත්තොත් ආශා බෝස්ලේ රැප් කරලත් ගීත ගායනා කරනවා. ශකීර් හුසේන් මහතා තබ්ලා ගහලත් සිංදු කියනවා. අපි හැමදේම ගන්නෙ ඉන්දියාවෙන් වුණාට අපි අරන් තියෙන්නෙ නරකම දේවල් විතරයි. හොඳ දේවල් අරගෙන නැහැ.
ඕකට හේතුවෙලා තියෙන්නෙ ලංකාව කියන රටේ කේක් එක හරි පොඩියි, කන්න ගොඩක් ඉන්නවා. අපට බඩගින්න දැනෙන්න දැනෙන්න තමයි ඔය ගැටලුව ඇතිවෙන්නේ. ඉන්දියාව, ඇමරිකාව ගත්තොත් කේක් එක ලොකුයි. ඒ නිසා රැප් කරන අයට, රෙගේ කරන අයට, ජන සංගීතය කරන අයට ආදී වශයෙන් ඕනම කෙනෙකුට කන්න පුළුවන්. ලංකාවේ මිලියන 20 ඇතුළේ තමයි ඔය ප්රශ්නය තියෙන්නේ. බඩට දැනෙන දේත් එක්ක තමයි විචාරය ලියැවෙන්නේ.
අමරදේව මහත්තයගෙ ගීත ගයපු කාලේ 'පිපී පිපී රේණු නටනත්' බිහිවුණා, 'බබි ආච්චිගෙ බයිසිකලෙත්' බිහිවුණා. ලංකාවේ රම්බරීද, ප්‍රථම හා අවසාන බයිලා ගීතය. ඒ කාලෙත් ආරිච්චි බෝරිච්චි බිහිවුණා. දැන් සාහිත්‍ය කනවා නම් අපි යන්න ඕන ඒ කාලෙට. එවිට අපිට නවතින්න වෙන්නෙ ගෝත්‍රික යුගවල නිර්මාණ හොඳයි කියන තැනයි.
බෞද්ධ සාහිත්‍ය පාලි භාෂාවත්, ශුද්ධ පාලි, අර්ධ පාලි හා දේශීය පාලි වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. දේශීය පාලි බිහිවන්නේ සාමාන්‍ය ජනයාට තේරෙන්න අවශ්‍ය නිසයි.
මම මේ කියන්නෙ මම කරන නිර්මාණ පරිසරයට බද්ධවෙලා කරනවාය යන්න පැවසීමටයි. මම බොරුවක් කරනවා නම් මා ලිවිය යුත්තේ පෙම් කැකුළ පිපී එනවිට මහදේ ලෙසිනුයි. හැබැයි මට ඕක කෙල්ලෙකුට කියන්න බැහැ. මට කියන්න පුළුවන් 'ඔබ එන්න සුළඟේ දැවටිලා, මා ඉන්නෙ ඔබ දැන් එයි කියා' කියල නම්.
භාෂාවක් වෙනස්වෙලා නම්, මේ ලෝකෙත් අනිත්‍ය නම් මේක සිංහල කෑමක් නෙවෙයි. මේක තමයි සමාජගත වීම කියන්නේ. සිංහල රැකගැනීමට නම් පාණ්ඩිත්වය විතරක් තිබිය යුතුයි කියලා ඉරක් ඇඳලා පෙන්නුවොත් මිනිස්සු මේකෙන් ඉවත් වෙනවා. මිනිස්සු ඈත් වුණොත් පාණ්ඩිත්වය පෙන්වන්න තැනක් නැතිව යනවා. අර මිනිස්සු කන කට්ට උඩ තමයි සම්භාව්‍ය සාහිත්‍ය බිහිවෙන්නෙ.
එහෙම හිතුවොත් ඒකෙ අසාධාරණයක් නැහැ. මොකද මම මගේ පෞද්ගලික ජීවිතය ගැන මුලින්ම හිතන්න එපැයි. මම සාමාන්‍යයෙන් රැඩිකල් ආකෘතියක ඉන්න කෙනෙක් නෙවෙයි. මම ඉන්නෙ මධ්‍යම පිළිවෙතක. මම කරන දේ වෘත්තියක් විය යුතුයි. වෘත්තියට ඉපැයීම් මාර්ගයක් සම්බන්ධ විය යුතුයි. කවුරුහරි කෙනෙක් හිතනවා නම් මම මේක කළේ පොරක් වෙන්න කියලා, ඔව් ඒක විය යුතුයි. පොරක් වීම කියන්නෙ මාධ්‍ය තුළ පෙනී සිටින කෙනෙක් නෙවෙයි. තමන් දරන අදහස තව කෙනෙකුට සම්ප්‍රේෂණය කිරීමයි. මම දරන අදහසට තව මිනිසුන් පිරිසක් එක්කර ගත හැකිනම් මම කැමතියි. මොකද ඒක මගේ වෙළෙඳ පොළ වටිනාකම.
අනිවාර්යෙන්ම කැමතියි. ළබැඳියේ වැනි මා ලියූ ගීතයක් ප්‍රවීණ පරපුරේ අයෙක් ගායනා කළා නම් 'ෂා අර කොල්ලා මාරයි' කියලා මාවත් ඒ කුලකයට වැටෙනවා. නමුත් මම වැඩ කරන්නේ අපේ පරම්පරාව තුළ නිසා මාව තාමත් වැටෙන්නේ රම්බරී කුලකයට තමයි. මම තාම මේ ක්ෂේත්රයට ඇවිත් අවුරැදු 4,5 පමණ තමයි වෙන්නෙ. අපේ ගීත නැතිවෙලා යයිද කියලා දැන්ම කාටවත් කියන්න බැහැ. තව අවුරැදු 10, 15 ක් ගිහින් තමයි ඒක බලන්න ඕන.
සුභාවිත ගීතයට අද ගැටලුවක් නැහැ. නමුත් අලුතෙන් වැඩ නොකර පරණ ගීත ටිකෙන් ගොඩයන්න හදනවා යන්න වෙන කතාවක්. මට මගේ ළමයින්ට කියන්න බැහැ මම ඇහුවෙ මේ ගීත ටික, ඒ නිසා උඹලත් මේවම අහපල්ලා කියලා.
හැබැයි වැඩ කරලා පෙන්වන්න පුළුවන් අයට තාම මාර්කට් එක තියෙනවා. අමරසිරි පීරිස් මහත්තයා ඇස් පනාපිට ඔප්පුකර පෙන්වනවා සුභාවිත ගීතවලට ගැටලුවක් නැහැ කියලා.
මමත් ඔය කලාව රැකගන්න කැමතියි. මට අවස්ථාවක් ලැබුණොත් ඔය දේ කරන්න පුළුවන් කියලා මම දන්නවා. මොකද 'රම්බරී' ලියපු කාලෙ කවුරුවත් විශ්වාස කළේ නැහැ මම 'ළබැඳියේ'වගේ ගීතයක් ලියයි කියලා. මේ තුළ මට ඔප්පු කරන්න පුළුවන් වුණා සංයමයෙන් යන ගීත තුළත් මට තැනක් හදාගන්න පුළුවන් කියලා.
මම මේ මාර පොරත්වයකින් කියනවා නෙවෙයි, වරදවා වටහාගන්න එපා. ගඟ ගාවට අවට පස්සෙ ඉවුරෙ ඉන්න කෙනාට කියන්න බැහැ අරයට පීනන්න පුළුවන්ද නැද්ද කියලා. පීනලා එහා ගොඩට යනකල් බලා ඉඳලා තමයි කියන්න ඕන අර කොල්ලට නම් පීනන්න පුළුවන් කියලා. මම ඇවිත් තාම අවුරැදු 5යි. අවුරැදු 5ක් තුළ අනාවැකි පළ කරන්න බැහැ.
ඕකට උත්තර දෙකක් තියෙනවා. රිගින් ටෝන් ගැන කතා කරනවා නම් ඒක හොඳ දෙයක්. මොකද එමගින් බුද්ධිමය දේපළ සඳහා මුදලක් ගෙවීමයි. අපි මෙච්චර කල් බුද්ධිමය දේපළ සඳහා මුදල් ගෙවන්න පුරුදුවෙලා නැති නිසා මේක අපිට 'කැකිරි' වගේ පේන්න පටන් අරන් තියෙන්නෙ. ඒ වගේම රිගින් ටෝන්වලට කවුරුහරි සිංදුවක් හදනවා නම් මට ඒකත් ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි මම සිංදු හදන්නේ රිගින් ටෝන්වලට නෙවෙයි. නමුත් ඊට මාර්කට් එකක් ඇතිවීම වෙන දෙයක්.
රිගින් ටෝන් ආකෘතියක් හදාගෙන සිංදු හැදීම අනුමත කරන්න බැහැ. ඒකෙන් වෙන්නෙ රේඩියෝව සමග සිටින පිරිස අහිමි වීමයි. ඒක තමයි රිගින් ටෝන් සඳහා සිංදු හැදීමේ වැරැද්ද. වත්මන් පදරචකයන්ට වෘත්තීය පදනම තිබුණත් මුදල් ඒම එක්ක හිතනවා අපිට තරම් සල්ලි කාටවත් නැහැ කියලා. ඒක තමයි ප්රශ්නය. ඔය තත්ත්වය නිහතමානීව දරාගන්න පුළුවන් වුණා නම් කිසිම ගැටලුවක් නැහැ. ජනප්‍රියකම සමහරුන්ට ඔටුන්නක්, සමහරුන්ට දැලි පිහියක්. ඔන්න ඔය තත්ත්වය පාලනය කර ගැනීමටයි උත්සාහ කළ යුත්තේ.
වෘත්තීය ගීත රචනා කලාව අදටත් ජීවත්විය හැකි මාධ්‍යයක්. හැබැයි ඒක එකම වගේ ගීත කෝටියක් ලියලා කෙලසන්න එපා.
පැකේජ් සම්බන්ධව ගත්තොත් පැකේජ් වලට මගේ ගීත කරාවි කියලා කොයි වෙලේවත් හිතන්නෙ නැහැ. මම මගේ හැකියාව වාසනා ගුණය ගැන විශ්වාස කරන කෙනෙක්. මට තාම විශ්වාසයි මගේ හැකියාව හා වාසනාව අනුව මේක ඇතුළෙ පැවැත්මක් තියෙනවා යන්න.
පැකේජ් ක්‍රමය ගැන මගේ පොතේ කවියක් තියෙනවා. ඒක හරියට එදා වත්තෙ කොස් ගෙඩිය කඩන් කාලා මීටර් 100 දුවපු කොල්ලො ටිකක් මැද්දට ඇමරිකාවෙන් ගෙනාපු තහනම් උත්තේජක ගහලා දුවන කොල්ලෙක් දැම්මා වගෙයි. ඔය පැකේජ් ක්‍රමයට යන අය දැනගත යුතු දේ තමයි යකාට දොළ පිදේනි දුන්නොත් හැමදාම දෙන්න ඕන සහ යකාට එක දවසක් පහනක් පත්තු කළොත් හැමදාම පත්තු කරන්න ඕන කියලා. මේ නිසා කියන්න තියෙන්නේ යක්කුන්ට පහන් පත්තු කරන්න එපා කියලයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd