අප අතරින් සමුගත් විශිෂ්ට ගණයේ චිත්‍ර කතා රචකයෙකු වන දයා රාජපක්ෂ මහතා අද (29 දා) දැයෙන් සමුගනු ලබයි. මේ ඒ මහතාගේ කලා හැකියාව සහ ජීවන දැක්ම පිළිබඳව කලාකරුවෝ ඇතුළු විද්වතුන් රැසක් අද ට මෙසේ සිය අදහස් එක් කළහ.
දයා බොහොම නිරහංකාරයි - ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන
දයා රාජපක්ෂයන් සතු සුවිශේෂී හැකියාව හැම පුවත්පතකම පළ වූ චිත්‍රකතා තුළින් පිළිබිඹු වුණා. මම හුඟක් ආසාවෙන් ඒවා බැලුවා. පසු කාලෙකදි දයා අයියව මට මුණගැහෙන්නෙ මගේ සැමියගේ පත්තර කලාවේ මිත්‍රයෙක් හැටියටයි. තමන් කැමති කලාකරුවෙක් මුණගැහෙන එක කෙනෙකුගෙ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක්. ඒ අවස්ථාව උපරිම ලෙස මම භුක්ති වින්දා. ඔහුගේ චිත්රවල තිබෙන අමුතු රටා සහ ඔහුගේ චිත්‍රපටයක රඟපෑමෙන්ලත් ආස්වාදයත් ඉමහත්. නිළියකට පෙම් කළෙමි දයාගේ ඉතාම හරවත් චිත්‍ර කතාවක්.
නිළියකගේ ජනප්‍රියත්වය නිසා වෙනස් විදියට හැසිරුණත් නිළියක් කියන්නෙ සාමාන්‍ය කාන්තාවක්ය කියන කාරණය දයා කියන්න උත්සාහ කළා. දුක, වේදනාව, සතුට කියන එක හැමදේකටම දැනෙනවා. අභ්‍යන්තර ජීවිතයේදී කාන්තාව මුහුණදෙන අත්දැකීම් ඛේදනීයයි. මේ කාරණය තමයි දයා තම නිර්මාණ තුළින් ඉදිරිපත් කළේ. පසුකාලීනව දයා අපිත් සමග එකතු වුණා සහ ඔහු නායකත්වය දුන් ජාතික චිත්‍ර කතා පදනමට මටත් සම්බන්ධ වෙන්න අවස්ථාව හිමිවුණා. එහි ප්‍රධාන ඇගයීම් උලෙළකදී නිළියකට පෙම් කළෙමි චිත්‍රපටයේ ගීතයක් ගායනා කරන්නටත් මටත් ආරාධනාවක් ලැබුණා.
ඇත්තටම එවැනි කලාකරුවන් අපි අතරින් වෙන්වෙනවා කියන්නෙ කලාවට විශාල අහේනියක් කියලයි මට හිතෙන්නෙ. දයා බොහොම නිරහංකාරයි. අවශ්‍ය තැනදි කතා කරනවා මිස ඕනවට වැඩිය කතා කරන්නෙ නෑ. ඔහු සරල කෙනෙක්. විවේචනය කරන්න සහ එකිනෙකා පරයා යන්න උත්සාහ කළේ නෑ. එවැනි නිර්මාණකරුවෙක් අහිමි වීම රටට විශාල පාඩුවක්.
ලංකාවේ සිදු වූ ඛේදවාචක නිර්භීතව සහ ළයාන්විතව කතා කළ නිර්මාණකරුවෙක් - ප්‍රවීණ චිත්‍ර ශිල්පී අනුර ශ්රීනාත්දයා මහත්තය තමයි චිත්‍ර කතා කලාව විශාල වෙනසකට හරවපු කෙනා. ඔහු නිර්භීතව සමාජයේ තිබෙන අඩුපාඩුකම් චිත්‍රකතා හරහා ඉතා හරවත්ව ඉදිරිපත් කළා. මම වුණත් මගේ කතා ශෛලිය සමාජයට ඔබින විදියට හදාගත්තෙ දයා රාජපක්ෂ මහත්තයගෙ කතා කියවීමෙන් ලද ප්‍රබෝධයෙන්. ඔහු දැන් අපි අතරින් ගිහින්, ඒ අඩුව පුරවන්න කෙනෙක් නෑ. ඉතාම කනගාටුදායක වියෝවීමක්.
ඔහුගේ නිර්මාණවලින් එළිදක්වපු චිත්‍රපට ලංකාවේ විශාල පෙරළියක් සිදුකළා. ඒ හරහා ඉතා මිහිරි ගීත ප්‍රමාණයක් එළියට ආවා. එමෙන්ම ඔහු හොඳ කවියෙක්. ඔහුගේ මඩිස්සලෙන් ඔහු ලංකාවේ සිදු වූ ඛේදවාචක පිළිබඳව නිර්භීතව සහ ළයාන්විතව ඉදිරිපත් කළා. එය සුවිශේෂී දක්ෂතාවක්. එවැනි පුද්ගලයන් මෙවැනි ක්‍රමවේදයක් තිබෙන තාක් කල් බිහිවෙන එකක් නෑ.
කසාද බැඳලා යන දවසෙ තීන්ත කුප්පියයි, කොළයි අරගෙන හනිමූන් ගිය එකම මනුස්සයා - ප්‍රවීණ චිත්‍ර ශිල්පී, ව්‍යාපාරික දීගොඩ කුමාර
දයා මහත්තය ළඟින්ම දන්න කෙනෙක් මම. 1983 ඉඳල අපේ සම්බන්ධෙ තිබුණ. මාත් කාලයක් ලංකාදීපෙ වැඩ කරපු කාලෙ දයා අයියත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කළා. ඊටපස්සෙ චිත්‍රකතා පදනමත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කළා. දයා අයියව කිට්ටුවෙන්ම ඇසුරු කළ අය බොහොම අඩුයි. එයින් එක් අයෙක් තමයි මම. දයා අයිය බොහෝ දෙනෙක් දන්නෙ චිත්‍රකතා ශිල්පියෙක් විදියටයි. දයා අයිය තමයි චිත්‍ර කතාවට ආපු දවසේ ඉඳල අවසාන දවස වෙනකම්ම පින්සල අතේ තිබිච්ච එකම පුද්ගලයා. දවසක් ඔහු කිව්වා කසාද බැඳලා යන දවසේ තීන්ත කුප්පියයි, කොළයි අරගෙන හනිමූන් ගිය එකම මනුස්සය තමන් කියලා. එදා රෑ එළිවෙනකම් චිත්‍රකතාව ඇඳල පත්තරේට එව්වා. ඒ දවස්වල දිනමිණ පත්තරේ අච්චු ගහන්නෙ නෑ චිත්‍රකතාව නැතුව. කතාව බස් එකේ ඩ්‍රයිවර් කියවනවා. චිත්‍රකතා කොටස ගේනකම් ඩ්‍රයිවර් බස් එක ස්ටාට් කරන්නෙ නෑලු. එච්චර ජනප්‍රියතාවක් ඔහුට තිබිල තියෙනවා.
ඔහු තමන්ගෙ ජනප්‍රියතාව පළමු කතාවේ ඉඳල අවසාන කතාව වෙනකම්ම පවත්වාගෙන ආවා. එය එක් කරුණක්. ඔහු ප්‍රසිද්ධ තරගවලට ඉදිරිපත් වෙලා තියෙන්නෙ එක දවසයි. එකම දවසයි. තරගෙකට චිත්‍රයක් ඉදිරිපත් කළේ 1980 දී. ඒකෙනුත් පළවෙනි තැන. ලංකාව පුරා විසිරිලා හිටපු චිත්‍ර ශිල්පීන් එකතැනකට ගෙනාව ඔහු නිසා තමයි අපි හැමෝම එකට ඉන්නෙ. කාටවත් අවුරුදු ගාණක් යනකම් කරන්න බැරිවුණ දේවල් කළේ දයා අයියගේ මූලිකත්වයෙන්. ඔහු ලියපු චිත්‍ර කතාවලින් 90% ක් විතරම චිත්‍රපටවලට හෝ ටෙලි නාට්‍යවලට ගත්තා. ඔහු කියන්නෙ 'මල්ලි මං කතාව තමයි ප්රබලව ගොඩනගන්නෙ, චිත්‍රය ගැන එතරම් සැලකිල්ලක් නැත' කියල.
අවසානයේ ඔහු සමුගන්නෙ යළිත් වෛද්‍යවරුන් ගැන ප්‍රශ්නයක් ඉතිරි කරලයි. මේ සම්බන්ධ ඕනෑම වගකීමක් මං බාරගන්නවා. වෛද්‍යවරයෙක් හරි තවත් මනුස්සයෙක් හරි අපට හදාගන්න පුළුවන්. ඒත් දයා අයිය වගේ කලාකරුවෙක් අපට හදාගන්න අමාරුයි. ඒ නිසා වෛද්‍යවරුන් මීට වඩා සැලකිල්ලෙන් කටයුතු කළ යුතුයි.
චිත්‍රකතාව ජනතාව අතරට ගෙනයන්න දයාගේ භාෂා ශෛලිය බලපෑවා - ප්‍රවීණ චිත්‍ර ශිල්පී සහ විජය පුවත්පතේ කර්තෘ පියල් සමරවීර
ලංකාවේ චිත්‍රකතා කලාවේ පෙරළියක් කරපු නිර්මාණකරුවෙකු ලෙසට දයා රාජපක්ෂයන් හඳුන්වන්න පුළුවන්. ඔහු චිත්‍ර කතාව තුළට සාහිත්‍යය ගෙනැවිත් අගයක් නිර්මාණය කළ පුරෝගාමියෙකු හා පතාක යෝධයෙකු හැටියට හඳුන්වාදෙන්න පුළුවන්. අපි පාසල් යන කාලයේ පවා ආසාවෙන් කියෙව්වා. එතුමාගේ භාෂාවේ විශාල වෙනසක් තිබුණා. චිත්‍ර කතාව ජනතාව අතරට ගෙනියන්න එතුමාගේ භාෂා ශෛලිය බලපෑවා. එතුමාගේ දෙබස් අති ප්‍රබලයි. එනිසා එවැනි නිර්මාණකරුවෙකු අහිමි වීම විශාල පාඩුවක්.
දයා මහත්තය අපට සහෝදරයෙක් - ප්‍රවීණ චිත්‍ර ශිල්පී බලංගොඩ සරත් මධු
දයා මහත්තය අපට සහෝදරයෙක් වගේ. එතුමාගේ චිත්‍ර කතා කියෙව්වෙ මම ඉස්කෝලෙ යන කාලෙ. ඒ කාලෙ දයා අයියගෙ චිත්රවල වෙනසක් දැක්ක. චිත්රවලට වැඩිය කතාවල ලොකු වෙනසක් දැක්ක. අමුතු තේමා තමයි එතුමාගෙ තිබුණෙ. මම එතුමාගේ ආශ්‍රයට වැටුණට පස්සෙ තේරුණා ඔහු බොහොම කරුණාවන්ත මහත්තයෙක් කියල. හිතින් මවාගත්ත දයා රාජපක්ෂට වඩා ළෙන්ගතු දයා රාජපක්ෂ කෙනෙක් තමයි මට හමුවුණේ. මීට සති කිහිපයකට පෙර මම වැඩසටහනකට සම්බන්ධ වුණා. එහිදී එතුමා සජීවීව සම්බන්ධ වුණා. දයා අයියා කතා කරලා මං ගැන පැහැදීමෙන් කතා කළා. මට දැන් මතක් වෙද්දිත් වේදනාකාරීයි. එතුමාව අවසන් වරට සම්බන්ධ වුණේ එම වැඩසටහනෙනුයි. අපි බලාපොරොත්තු නොවුණු වියෝවකුයි මේ සිදුවුණේ. එය දරාගත නොහැකි වියෝවක්.
ස්වතන්ත්‍ර හා තාත්ත්වික නිර්මාණ තමයි එතුමාගේ අනන්‍යතාව - ප්‍රවීණ චිත්‍ර ශිල්පී බන්දුල හරිස්චන්ද්‍ර
චිත්‍රකතා කලාවේ පුරෝගාමියෙකු වුණු දයා රාජපක්ෂ මහත්තයගෙ හුඟක් චිත්‍ර කතාවල තියෙන්නෙ ස්වතන්ත්‍ර නිර්මාණ. සාමාන්‍ය පාඨකයාගේ හිත් ඇඳ බැඳ තබාගැනීමේ හැකියාවක් සහ තාත්ත්විකව එය ඉදිරිපත් කිරීමේ හැකියාවක් එතුමා සතුව තිබුණා. ඉතිහාසය හා සාහිත්‍යය මෙන්ම එදිනෙදා සමාජය හා මහජනයා ඇසුරු කරමින් ඔවුනට දැනෙන අයුරින් නිර්මාණ කිරීමේ හැකියාවෙන් යුතු පිරිපුන් නිර්මාණකරුවෙකු ලෙසින් එතුමාව හැඳින්විය හැකියි.
චිත්‍ර කතා කලාව ගැන දයා මහත්තයට තිබුණෙ ලොකු කැක්කුමක් - ජාතික චිත්‍රකතා පදනමේ ලේකම් ප්‍රවීණ මාධ්‍යවේදී, දුමින්ද සංජීව බාලසූරිය
කලක් ඉහළ තලයක වැජඹුණු චිත්‍ර කතාවට දුර්භාග්‍ය සමයකට මුහුණදීමට සිදු වූ කාලයේදී දයා මහත්තය හිටියෙ කම්පාවෙන්. චිත්‍ර කතාව මෙතනින් ගොඩගන්නෙ කොහොමද කියන එක තමයි එතුමාට තිබුණු ලොකුම ගැටලුව. ඒ සම්බන්ධව එතුමාත්, මමත්, පියල් සමරවීර මහතාත් කතාබස් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි ජාතික චිත්‍ර කතා පදනම ආරම්භ කිරීමට මූලික පදනම වැටුණේ.
එලෙස ආරම්භ කිරීමෙන් අනතුරුව එහි ඉදිරි පියවරක් තැබීමයි එතුමාගේ ප්‍රාර්ථනය වුණේ. ඒ සඳහා චිත්‍රකතා නිර්මාණය කළ සහෝදර ශිල්පීන් සිය ගණනක් එතුමා වටා එකතු වීමත් විශේෂ දෙයක්. එසේ වුණේ ඔහුට හැම ශිල්පියෙක්ම එක වගේ වූ නිසයි. දයා මහතාගේ සිහිනය මල් ඵල දරමින් අද වනවිට ජාතික පුවත්පත් බොහොමයක චිත්‍ර කතාවට යළි යම් ස්ථානයක් හිමිව තිබෙනවා. චිත්‍රකතා පොත් ප්රකාශනයටත් ප්‍රකාශකයන් පවා නැඹුරු වී තිබෙනවා. එනිසා එවන් පුරෝගාමී මාවතක තවත් ඉදිරි ගමනක් යායුතු ජාතික චිත්‍රකතා පදනමේ සභාපතිවරයා අහිමි වීම පිරිමැසිය නොහැකි පාඩුවක්.