අද අපට පෙනෙන තරුණයා අරගල කරන්නෙ තමන් වෙනුවෙන් මිස අනුන් වෙනුවෙන් නෙමෙයි
'Stages' නාට්‍යය කණ්ඩායම ඉදිරිපත් කරන රුවන්ති ඩී. චිකේරාගේ 'Dear Children Sincerely' නම් සමාජ -දේශපාලනික නාට්‍යයේ නවතම නිෂ්පාදනය ඊයේ (05දා) වේදිකාගත වූ අතර, එය අද (06දා) සවස 7.00ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකාගත කිරීමට නියමිතය.
මෑත ඉතිහාසයේදී ලංකාවේ සිදුවූ ප්රබලතම ඓතිහාසික සිදුවීම් හතක් පාදක කර ගනිමින් නිෂ්පාදනය වූ මෙම නාට්‍යයට 'වෘන්ද' රංගනයක් පාදක වන අතර, වසර 70කට පෙර ශ්‍රී ලාංකේය ඉතිහාසය කරා ප්‍රේක්ෂකයා රැගෙන යයි. මෙහි එන සියලු ජවනිකා 1930 දශකයේ උපත ලද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සමග කළ සම්මුඛ සාකච්ඡා ඇසුරින් නිර්මාණය වී තිබීමද සුවිශේෂීය.
ඒ අනුව එම සාකච්ඡා තුළින් ඉස්මතු වූ ප්රස්තුතයන්, 1940 දශකයේ ශ්‍රී ලංකාව නිදහස ලැබූ දින සිට 2009 වසරේ යුද්ධයේ අවසානය තෙක් ඉතිහාසයේ ගමන්මග හරහා ශ්‍රී ලාංකේය පුරවැසියාගේ සමාජ-දේශපාලනික ස්වභාවය වෙනස් කර ඇති ආකාරය මෙම නාට්‍ය තුළින් පිළිබිඹු කෙරේ. ඒ පිළිබඳ කතාබහ කිරීමට නාට්‍යයේ රචිකාවිය සහ අධ්‍යක්ෂවරිය වන රුවන්ති අපි 'අද'ට සම්බන්ධ කර ගතිමු.
Q 'Dear Children Sincerely' නාට්‍යයේ ආකෘතිය තුළින්ම සංවාද මණ්ඩප නාට්‍යය ආකෘතිය (Forum Theatre) ඉල්ලා සිටිනවා. ඒත් ඔබ එවැනි නාට්‍යය ආකෘතියකට ප්‍රමුඛතාව ලබාදී නැහැ?
ඔව්. සංවාද මණ්ඩප නාට්‍යය ආකෘතිය හරහාත් මෙය ඉදිරිපත් කළ හැකියි. එය එක් ක්‍රමයක්. මමත් එහි යෙදිලා තියෙනවා. ඒත් එතැනදී භාවිත වෙන්නෙ ප්‍රශ්නෝත්තර ක්‍රමවේදයක්. ප්රේක්ෂකයාත් එතැනදී නාට්‍යයට සම්බන්ධ කර ගන්නවා. හැබැයි අපේ අරමුණ වෙනස්.
අනික මෙවැනි මාතෘකාවක් සමග සූදානම් වීමට තරම් පොහොසත් සංවාද මණ්ඩප ප්‍රේක්ෂාගාරයක් තවමත් අපට නැහැ. හැබැයි සංවාද මණ්ඩප නාට්‍යය ආකෘතියේ ඇතැම් භාවිතාවන් මෙහිත් දකින්නට තියෙනවා. ඒ නිසා ලැබුණු අවකාශය ඇතුළේ සමාජය තුළ යම් සංවාදයක් ගොඩනැගීමයි අපේ බලාපොරොත්තුව. එය මෙම නාට්‍යය වේදිකාගත වෙද්දි වැටහේවි.
Q ඒත් මේ ඓතිහාසික දේශපාලන ගවේෂණය ඇතුළේ ඔබේ දේශපාලන දැක්මකුත් ඉස්මතු විය යුතුයි?
ඔව්. හැබැයි මම මෙතැනදී කවුරු හරිද? වැරැදිද? යන්න නෙමෙයි ඉස්මතු කරන්න හදන්නෙ. අපට මේ හරහා ඉතුරු වූණේ කුමක්ද? යන්නයි සොයායන්න උත්සාහ කළේ. ඒ වගේම ඒ සංසිද්ධීන් මහජනතාව තුළ සමාජගත වූ ආකාරය සොයා යන්නත් අපි උත්සාහ කළා.
ඊට පාදක කර ගත්තෙ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අත්දැකීම්. මොකද ඔවුන් තමයි ඉතා තියුණු විදිහට ජීවිතය දිහා ආපහු හැරී බලන්නෙ. ඒ දැක්ම මට වැදගත් වුණා. අනික අපට ඉපදෙනකොටත් දශක තුනක් හතරක් ගෙවී ගොස් අවසන්. ඒ නිසා අප අද මුහුණ දෙන ගැටලුවලදී පවා ප්‍රමුඛතාව දිය යුත්තේ කුමකටද යන්න මේ ගවේෂණය හරහා සොයායන්න මට හැකියාව ලැබුණා.
Q නාට්‍යානුසාරයෙන් මෙවැනි දේශපාලනික සන්දර්භයක් වේදිකාවට ගෙන ආවේ ඇයි?
අපේ සංස්කෘතිය ඇතුළේ අපෙන් සිදුවූ වැරදි ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න කවුරුවත් කැමැති නැහැ. ඒත් එහෙම නැතුව කොහොමද රටක් වශයෙන් අනාගතය ගැන හිතන්නෙ. ඒත් ජර්මනිය වගේ දියුණු රටවල් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඒ ගැන විවරණයක් කළා.
එවැන්නක් සිදුනොවෙන්නට අවශ්‍ය පසුබිම සකස් කර ගත්තා. ඒ නිසා ශ්‍රී ලංකාවටත් එවැනි ප්‍රසිද්ධ දේශපාලනික කතාබහක් මේ මොහොතේදී අවශ්‍ය කරනවා. ඒ වෙනුවෙන් තමයි මෙවැනි නාට්‍යයක් මම වේදිකාවට ගේන්නෙ.
Q එතැනදී අපි 'අරගලය' යන්න පවා වෙනම කියවා ගත යුතුයි නේද?
ඔව්. එතැනදී අපි අනෙක් කෙනා වෙනුවෙන් තමයි අරගල කළ යුත්තෙ. තමන් වෙනුවෙන් නෙමෙයි. එයයි උතුම් අරගලය. මොකද අපට වඩා පීඩාවට පත්වූ මිනිසුන් අපේ රටේ ඉන්නවා. ලෝකයෙත් ඉන්නවා.
අනික අද අපට පෙනෙන තරුණයා අරගල කරන්නෙ තමන් වෙනුවෙන් මිසක් අනුන් වෙනුවෙන් නෙමෙයි. අනික ඔවුන් එවැනි පටු මානසිකත්වයට කොටු වීමට හේතුවත් අතීත අරගල පිළිබඳ පවත්නා නොදැනුවත්කමයි. ඒ නිසයි මේ දේශපාලන ගවේෂණය වැදගත් වෙන්නෙ.
Q ඔබේ බොහොමයක් නාට්‍යය ඉතා සීමිත දර්ශන වාර සංඛ්‍යාවකින් නැවතෙන ස්වරූපයක් පවතිනවා. මේ ඇයි?
නාට්‍යයක් නිෂ්පාදනය කළාට පස්සේ එය එයාකාරයෙන්ම වේදිකාවට ගෙන ඒමට අවශ්‍ය යටිතල පහසුකම් තිබිය යුතුයි. ඒත් අගනගරය කේන්ද්‍ර කරගත් රඟහලවල් කිහිපයක් හැරුණම එතැනින් එහාට අපේ නාට්‍යය නිෂ්පාදන වේදිකාගත කිරීමේ අසීරුතාවක් තියෙනවා. අනික නාට්‍ය නිෂ්පාදනය ඉල්ලා සිටින මූලික පහසුකම් හෝ නොමැතිව, බාල මට්ටමෙන් නාට්‍යය වේදිකාගත කරන්න බැහැ.
ප්‍රේක්ෂකයාගේ ප්‍රවේශ පත්‍රය හෑල්ලු කරන්න අපට බැහැ. මොකද අපි අපේ කණ්ඩායම් සාමාජිකයන්ටත් හැකි උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්නයි හැම වෙලේම උත්සාහ කරන්නෙ. ඒ නිසා ඒ පිළිබඳ මම බලධාරීන් එක්ක පවා සාකච්ඡා කරලා තියෙනවා.
Q ඒත් කලාව තුළ වෘත්තීයභාවය සහ රැකවරණය නිර්මාණය කර ගැනීම ආණ්ඩුවක කාර්යයක් නෙමෙයි?
වත්මන් ආණ්ඩුව කලාවට වෙන්කර ඇති ආකාරය වත්මන් කලාවේ පවතින හරසුන් නිර්මාණ අධ්‍යයනය කිරීමේදී වටහා ගන්න පුළුවන්. අනික වත්මන් ප්‍රජාව කලාවෙන් ඈත්වෙලා නැහැ. එන්න එන්නම වැඩිවෙමින් පවතිනවා. ඒ නිසා රජයේ කාර්යය තමයි ගුණාත්මක ප්‍රජාවක් නිර්මාණය කිරීම.
ඒ නිසා එවැනි දියුණු මනසක් ඇති රසිකයන් බිහි කිරීමකට තමයි රජයක මැදිහත් වීම වැදගත් වෙන්නෙ. අනික එවැනි දියුණු සංස්කෘතියක් දියුණු රටවල නම් දකින්න ලැබෙනවා. මෙවැනි දේශපාලනික නාට්‍ය නිර්මාණ රැකගැනීමේ වැඩපිළිවෙළකුත් ඔවුන් සතුව පවතිනවා. එයයි රජයක සමාජ වගකීම කියන්නෙ.
Q නාට්‍ය කලාව තුළ නාට්යකාරිනියන් සහ නිළියන්ගේ රැකවරණය පිළිබඳ ආධුනිකයන්ට සැකයක් තියෙනවා?
මගේ නාට්‍ය කණ්ඩායමේ නම් බාගෙට බාගයක්ම ඉන්නෙ තරුණියන්. සමහරු ඈත පළාත්වල උදේ හවස ඇවිත් පුහුණුවීම්වල යෙදෙනවා. පුදුම කැපවීමකින් වැඩ කරනවා. ඉන් පස්සෙ නැවතත් රාත්රියේදී පවා සමහරු නිවෙස්වලට යනවා.
ඒ නිසා එවැනි යකඩ තරුණියන් අද අපට ඉන්නවා. අනික ඔවුන්ට පුදුම දක්ෂතාවකුත් තියෙනවා. ඒත් අද ඔවුන්ව රැක ගැනීමේ ක්‍රමවේදයක් නැහැ. ඒකයි අවාසනාව.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
