අප හැමදෙනාම වැටුණු වළෙන් ගොඩට ගන්න
ජන නායකයිනි, එක තැනකට එකතු වන්න
තරහ මරහ ටිකකට අමතක කරන්න
කුළල් කකා බෑ මේ රට ගොඩනගන්න
මේ එදා සුනාමියෙන් පසු ජනතාවට අභිප්‍රේරණයක් වීම උදෙසා ජාතික රූපවාහිනිය විසින් නිර්මාණය කරන ලද ගීතයක කොටසකි. මේ කතාව කොතරම් දුරට ඇත්තක්ද යන්න ඔබ වටහාගත යුතුය. 2018 පෙබරවාරි 04 වැනිදාට මෙරටට නිදහස ලැබී වසර 70ක් සපිරේ. මේ දිනවල අහන්නට ලැබෙන්නේ %අභිමානවත් නිදහස සමරමු^ යනුවෙනි. අභිමානයෙන් නිදහස සමරන්නට අපට ඇත්තෙන්ම හැකියාවක් නොමැත. දශක 07ක් ගැන කතා කිරීමේදී රටට සිදුවී ඇති යහපතක් නැත.
ක්‍රි.පූ. 543 පමණ විජය රජුගෙන් ආරම්භ වූ ශ්‍රී ලංකාවේ රාජවංශය (පොතෙහි සඳහන් ඉතිහාසය) සිට නැවතීමේ තිත 1815දී ඉංග්‍රීසීන් විසින් තබන ලදී. අප අභිමානවත් ජාතියක් ලෙස පැවතුණේ 1815ට පෙරය. අතීත රජ දරුවන්ගේ අභිමානය, ප්‍රෞඪත්වය මාකට් කරන අපට දැන් මාකට් කරන්නට කිසිදු දෙයක්වත් නැත. අපේ රට මෙතරම් ආගාධයට යෑම පිළිබඳව සහමුලින්ම වගකිව යුත්තේ මේ දේශපාලන ක්‍රමය හා දේශපාලනයයි. ඉංග්‍රීසීන් ලංකාව යටත් කරගෙන ලංකාව දියුණු කළේය. මේ දියුණු කිරීම ලංකාවේ යහපත අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වූ ව්‍යාපාරයක් නොවූ නමුත් ඉංග්‍රීසීහු අපට යටිතල පහසුකම් සංවර්ධනය කර දුන්හ. බ්‍රිතාන්‍ය පාලනය ආරම්භක අවස්ථාවේ මුහුදු බඩ ප්‍ර‘දේශවල පමණක් මහාමාර්ග තිබිණි. ගමනාගමනය සඳහා පාරවල් තැනීමට පුරෝගාමී වූයේ ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස්ය. ලොව සුප්‍රසිද්ධ වෝටර්ලු සටනේ වෙලින්ටන් ආදිපාදවරයාගේ සහකාරයා වූයේ එඩ්වඩ් බාන්ස්ය. ලංකාවට වුවමනා පළමුව පාරවල්, දෙවනුව පාරවල්, තුන්වනුවත් පාරවල් කියා කීවේද එඩ්වඩ් බාන්ස්ය. ශ්‍රී ලංකාවට මහාමාර්ග ලබාදීමට කටයුතු කළ අනෙක් පුද්ගලයා මේජර් තෝමස් ස්කිනර්ය.
ලංකාවට අඩුම ගණනේ පාරවල් ටික සුද්දා හදලා දුන්නේය. දුම්රිය මාර්ගයන් ටික හැදුවේය. සුද්දා ලංකාවෙන් යනවිට ලංකාවට ප්‍රධාන අපනයන භෝග 03ක් ලබාදී ගියේය. ඒ තේ, පොල් සහ රබර්ය. අභිමානය ගැන කතාකරන ලංකාවේ තත්ත්වය ඇත්තටම ශෝචනීයය. මහාමාර්ග පද්ධතිය කොතරම් සංවර්ධිතය කියූවද, හදන්නට ඇති පාරවල් එමටය. රේල් පාර අඟලකින් දික් කරගන්නට බැරිවිය. එදා රත්නපුරට තිබූ දුම්රිය මාර්ගය අද අවිස්සාවේල්ලට සීමාවී ඇත. අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා වූ දුම්රිය මාර්ගයේ රේල් පීලි ගලවා යකඩවලට විකිණුවෙත්, එම ඉඩම්වල මැණික් ගැරුවේත් අපේ දේශපාලඥයන් විසිනි. ඔවුන් දුම්රිය මාර්ග පද්ධතිය වැඩි දියුණු කරන එක පැත්තක තබා දුම්රිය මාර්ග මෙලෙස විනාශ කර දැමීය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය අද දුවන්නේ ඇඟලුම්, විදේශීය රැකියා, තේ, පොල් සහ රබර්වලිනි. අපේ රටේ කර්මාන්තයක් අලුතින් ඇති කරගැනීමටවත් අපේ දේශපාලඥයන්ට වුවමනාවක් වූයේ නැත. එදා 1956දී ලංකාවේ අයිස් හා ඇල්පෙනෙති කර්මාන්තය තිබිණි. ධන අයවැයක් තිබුණි. අද වනවිට ලංකාවේ අලුතින් ආරම්භ කළ එකදු කර්මාන්තයක්වත් නොමැත. එවකට සිංගප්පූරුවේ අගමැතිවරයාව සිටි ලී ක්වාන් යූ ලංකාවේ සංචාරයක නිරත විය. ඒ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයන්ගේ කාලයයි. මෙහිදී ලී ක්වාන් යූ (Li Kwan Yew) ජේ.ආර්. ජයවර්ධනයන්ට පැවසුවේ, සිංගප්පූරුවද ලංකාව වගේ දියුණු කිරීමට අවශ්‍ය බවයි.
සිංගප්පූරුව අප අබිබවා බොහෝ දුරක් ගොස් ඇත. නමුත් ලංකාව දිනෙන් දින ආගාධයට පත්ව සිටියි. ඒ දේශපාලන කුහකකමේ උපරිමය නිසාය. සිංගප්පූරුව දියුණු වූයේ වරාය හා ගුවන්තොටුපළ තුළිනි. ලංකාවේ මත්තල ගුවන්තොටුපළක් හා හම්බන්තොට වරායක් හදන විට එදා සිටි විපක්ෂය එයට බාධා කළේය. එය නවත්වන්නට වැර වෑයම් කළේය. එයින් දේශපාලන වාසි ගන්නට උත්සාහ කළේය. යහපාලන රජය පත්වීමත් සමගම මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කළේය. මේ කාගේ උපදෙස් දැයි දන්නේ නැත. හැබැයි එය ඉතා අඥාන අදහසක් යැයි කියන්නටම වුවමනාය. එදා අපහාස උපහාස කළ මත්තල හා හම්බන්තොට අද ආණ්ඩුවට විකුණාගෙන කන්නට හැකිවී තිබේ. දැන් ඒවා ජාතික සම්පත්ය. අපි හැමදාම කළේ විකුණන් කෑම නැත්නම් පසුගිය ආණ්ඩුවලට කොචෝක් දැමීමය. ප්‍රේමදාස ඇඟලුම් කම්හල් ආරම්භ කර රටේ ආර්ථිකයට ආදායමක් එකතු කළේය. හැබැයි ප්‍රේමදාස රාජ්‍ය ආයතන විකුණා දැමීය. ජේ.ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා, රනිල් මේ හැමෝම රාජ්‍ය දේපොළ විකිණූ අයයි. ලංකාව දියුණු කරනවා නම්, කළ යුත්තේ විකුණා කන එදාවේල ටුවර්ස් එක නොවේය. සංවර්ධනය වෙන්නට නම් කර්මාන්ත බිහිවීම ආයෝජන ඇති කිරීම, තාක්ෂණය භාවිත කිරීම අත්‍යවශ්‍ය වේ. ආයෝජනය යනු විකිණීම නොවන බවද කිව යුතුය.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සංවෘත්ත ආර්ථික පිළිවෙතක සිටිමින් ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ඔස්සේ
ශ්‍රී ලංකාව දියුණු කරන්නට උත්සාහ කළාය. නමුත් පසු කාලීනව අපේ දේශපාලඥයන් කළේ තිබූ සම්පත් විකුණා දැමීමය. වැවිලි සමාගම්, තුල්හිරිය, දංකොටුව පෝසිලේන්, ලංකා ඔක්සිජන්, ලංකා ලෝහ, පුත්තලම සිමෙන්ති යන සමාගම් හා සෝවියට් දේශයෙන් තෑග්ගක් ලෙස මෙරටට ලබාදුන් කැලණි ටයර් කම්හල, ලංකා රක්ෂණ සමාගම, ලංකා ලුණු , සී.අයි.සී පොහොර, පැල්වත්ත හා කන්තලේ සීනි සමාගම් ස.තො.ස., ටෙලිකොම්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, එයාර් ලංකා ඇතුළු සමාගම් හා කර්මාන්ත විකුණා දැමිණි.
අපේ රටේ ජාතික සම්පත්, ස්වාභාවික සම්පත් ඕනෑ තරම් ඇත. හැබැයි අපේ දේශපාලඥයන්ට ඒ පිළිබඳ කිසිම හැඟීමක් කළමනාකාරීත්වයක් හෝ ඉදිරි දැක්මක් හෝ නොවීය. වෙනත් රටවල වෙනත් පක්ෂයක් බලයට ආවොත් සිදු කරන්නේ අනෙක් රජයන් සිදුකළ වැඩ ඉදිරියට කරගෙන යෑම හා ඒවායෙහි දුර්වලතා ඇත් නම් ඒවා ඉවත් කිරීමය. රටට අවශ්‍යව ඇත්තේ ජාතික ප්රතිපත්තියකට අනුව සිදුකරන ධරණීය හා දීර්ඝ කාලීන සංවර්ධනයකි. ප්‍රතිපත්ති මිස පෞද්ගලික න්‍යාය පත්‍ර ඉදිරියට ගෙන යාම සිදු නොකළ යුතුය.
අපි කරන්නේ අනුන්ගේ වැරදි සෙවීමය. දේශපාලනිකව පළිගැනීමය. බොරුවට හොරකම් හෙවීමය. දූෂණ ගැන කියවීමය. කවුරු කවුරුත් දේශපාලනයට එන්නේ ජනතාවට සේවය කිරීමට නොවේය. මහජනතාවට සේවය කරන්නට දේශපාලනයට තමන්ගේ ධනය දන් දීලා ආවේ ඉස්සරය. දැන් පළාත් පාලන ඡන්දවලට අපේක්ෂකයන් එන්නේ එක්කෝ පොලීසියට පාට් එක දාන්නටය. නැතහොත් ව්‍යාපාරවලට හයියක් වෙන්නටය. නැත්නම් හොර ව්‍යාපාරවලට හයිය ගැනීමටය. ජාතික දේශපාලඥයෝද එලෙසය. ඉතින් අභිමානවත් නිදහසක් සමරමු කියන වචනයම අතිශය විහිළුවකි. අභිමානවත් රටක් කිරීමට දේශපාලඥයන් මෙන්ම මහජනතාවද එකට හිටගත යුතුය. කර්මාන්ත ඇතිකළ යුතුය. ආර්ථිකය ශක්තිමත් කළ යුතුය. පවුල්වල ප්‍රශ්න, ෙපෟද්ගලික ප්‍රශ්නවලට දේශපාලනය කිරීමෙන් එහි අගතිය අත්වන්නේ ජනතාවටය. බොරු ෂෝ පසෙක තබා නිසි සැලැස්මකට අනුව නොවෙනස් ප්රතිපත්තියක සිට රට දියුණු කළ පසු අභිමානයෙන් නිදහස සැමරීමට අපට හැකිය.