මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී අපට මුහුණදීමට ප්‍රධාන වශයෙන් අභියෝග තුනක් තිබිණි. එකක් යුද්ධයයි. දෙවනුව සංවර්ධනයයි. තෙවනුව මතින් රට මුදවාගැනීමයි. එකින් එක නොව මෙම අභියෝග තුනම එක්වර ජයගැනීමට අපි කටයතු කළෙමු. යුද්ධය අවසන් කරන අතරතුරේදීම නැගෙනහිර නවෝදය, උතුරු වසන්තය ආදී ව්‍යාපෘති මගින් යුද්ධය තිබූ ප්‍රදේශද ඇතුළත්ව සමස්ත රටම සංවර්ධනය කිරීමට කටයුතු කළෙමු.
මේ අතර මතින් රට මුදවාගැනීම සඳහා %‘මතට තිත’ යනුවෙන් වෙනමම වැඩසටහනක්ද දියත් කළෙමු. එය සාර්ථකව අපි ඉදිරියට කරගෙන ආවෙමු. අපේ ආණ්ඩුව යටතේදී ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ වෙලේ සුදා අත්අඩංගුවට ගැනීම සඳහා සියලු සැලසුම් කර තිබූ අතර එම කාලයේදීම ආණ්ඩු මාරු විය. කෙසේ වෙතත් සැලසුම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වූ අතර, අවසානයේ වෙලේ සුදා අත්අඩංගුවට පත් විය.
ආණ්ඩු මාරුවීමත් සමග වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා රට මතින් මුදවාගැනීම වෙනුවෙන් මතින් නිදහස් රටක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේය. ඒ සඳහා අවංකවම ඔහු ක්‍රියාමාර්ග කිහිපයක් ගත්තේය. නමුත් ආණ්ඩුවේම අනෙක් පාර්ශ්වයේ කකුලෙන් ඇදීම හේතුවෙන් ඔහුට සිය අරමුණ ඉදිරියට පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්ව ඇත.
ජනාධිපතිවරයා මතින් රට නිදහස් කර ගැනීමට විවිධ ව්‍යාපෘති ක්‍රියත්මක කරන අතරතුර මුදල් අමාත්‍යාංශය සිදුකරන්නේ මත්ද්‍රව්‍ය හා මත්පැන් ප්‍රවර්ධනය කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කිරීමය. මෑත කාලයේදී මුලින්ම සිදු කළේ කාන්තාවන්ට මත්ද්‍රව්‍ය මිලට ගැනීමට හා කාන්තාවන්ට මත්පැන් අලෙවි සැල් තුළ සේවය කිරීමට අවස්ථාව ලබාදීමට ආදාළව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමය.
ඉන් අනතුරුව තැබෑරුම් හල් විවෘතව තබන වේලාවන් සංශෝධනය කරමින් කාණ්ඩ අනුව උදෑසන 8.00 සිට අලුයම 2.00 දක්වා ඒවා විවෘතව තැබීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමයි. මේ හරහා අවසානයේදී මහා විනාශයක් සිදුවීමට තිබිණි. එක් අතකට මෙය රාජ්‍ය නොවන සංවිධාන විසින් අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාවේ පවත්නා බෞද්ධ සංස්කෘතිය, දර්ශනය විනාශ කිරීමට ගන්නා වූ පියවරවල ප්‍රතිඵලද යන්න පිළිබඳ වෙනමම පරීක්ෂා කළ යුතු වෙයි.
සුපුරුදු පරිදි රටේ ජනාධිපතිවරයා මෙම ප්‍රවෘත්තිය දැක තිබුණේද මාධ්‍ය මගිනි. ඒ අනුව රට පාලනය කරන්නේ කවුදැයි යන්න ජනතාවට ඇති ප්රශ්නය තවදුරටත් කුතුහලයක් ලෙස පවතිනු ඇත. නැවතත් මාධ්‍ය තුළින් ප්‍රවෘත්තිය දුටු ජනාධිපතිවරයා සඳහන් කළේ එම ගැසට් නිවේදනය අවලංගු කිරීමට කටයුතු කරන බවයි.
ජනපති ධුර කාලය
සිය ධුර කාලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටි අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වූයේ ජනාධිපතිවරයගේ ධුර කාලය වසර පහකට සීමා වන බවයි. 19 වැනි සංශෝධනය ගෙනැවිත් ජනාධිපතිවරයා එය වසර 5කට අඩුකර තිබියදී නැවත වරක් ඔහු සිය ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසූයේ ඇයිදැයි ගැටලුවකි.
නීතිය අනුව ජනාධිපතිවරයාට එසේ සිය ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට බාධාවක් නැත. නමුත් මේ සියල්ල හරහා අපට පෙනී යන කරුණක් වන්නේ ජනාධිපතිවරයා නැවත වරක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට සූදානම් වෙනවාදැයි යන්නයි.
අනෙක් අතින් ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් පහෙන් තුනක් දැනටමත් අවසන් වී ඇත. ඒ අනුව ඔහු ජනතාව වෙනුවෙන් දුන් පොරොන්දු බහුතරයක් ඉටුකිරීමට ඇත්තේ තවත් වසර දෙකක පමණ කාලයකි. දින 100 පටන් මෛත්‍රී පාලනයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති කරුණු දක්වා බහුතරයක් ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට ජනපතිවරයා කටයුතු කළ යුතුව ඇත.
එසේ නොවුවහොත් ජනතාව ඔහු වෙනුවෙන් තවදුරටත් විරෝධය දක්වනු ඇත. අනෙක් අතට ජනතාවට ඉදිරියේදී ඉටුකිරීමට තවත් බොහෝ දෑ ඇති බව පවසමින් ජනාධිපතිවරයා ඉදිරියේදී අමාත්‍යාංශ කිහිපයක් හෝ තමා යටතට පවරාගැනීමට කටයුතු කරනු ඇත.
සහල් මාෆියාව
මේ වනවිට රටේ මාෆියා කිහිපයක්ම ක්‍රියාත්මක වෙමින් තිබේ. පළමුව සහල් මාෆියාවයි. 2015 වසරේ ජනවාරි මස 08 වැනිදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන මහතාට රට බාරදෙන විට සහලින් රට ස්වයංපෝෂිතව තිබිණි. හොඳම උදාහරණය නම් ලැබුණු වී අස්වැන්න ගබඩා කිරීමට මත්තල ගුවන්තොටුපොළ පවා යොදාගැනීමට ආණ්ඩුව කටයුතු කිරීමයි. කෙසේ වෙතත් මෙහිදී ගොවියාට වී කිලෝවක් සඳහා ඉහළ මිලක් ලැබුණු අතරම පාරිභෝගිකයන්ටද අවම මිලක් යටතේ සහල් ලබාගැනීමට අවස්ථාව තිබිණි.
මෙසේ ලැබුණු වී අස්වැන්න ක්‍රමයෙන් අඩු වී ගියේය. ස්වාභාවික හේතුද ඒ සඳහා බලපෑ බව කිව යුතුය. නමුත් කෘෂිකර්මාන්තය භාර වත්මන් අමාත්‍යවරයා වරක් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට වී අතිරික්තයක් ඇති හෙයින් විකල්ප වගාවන් වෙත වී ගොවීන් යොමුවිය යුතු බවය. මේ හරහා වී ගොවීහු වී නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් අධෛර්යමත් වූහ.
අනෙක් අතින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලබාදුන් පොහොර සහනාධාරය කප්පාදු කිරීමට ආණ්ඩුව කටයුතු කළේය. පොහොර නැව් එනතෙක් ගොවියන්ට බලා සිටීමට සිදු විය. ගතවූයේ වසර තුනකි. දැන් රටින් හාල් ගෙනෙන තත්ත්වයට පත්ව තිබේ. එළඹෙන සිංහල අලුත් අවුරුද්ද දක්වා මසකට සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් බැගින් ආනයනය කිරීමට තීරණය කර අවසන්ය. මේ හරහා ගැටලු රාශියක් උද්ගත වෙයි. පළමුවෙන්ම එය වෙළෙඳ ශේෂයට සෘණාත්මක ලෙස බලපායි. දිගින් දිගටම ආනයනය කිරීම හරහා අපගේ මුදල් විදේශයන්ට ඇදී යන අතර, ඒ හා සාපේක්ෂව අපනයන සිදු නොවීමෙන් ගෙවුම් ශේෂයේ ඍණ අගය වැඩිවනු ඇත.
අනෙක් අතින් විදේශවල සිට ආනයනය කරන සහල් සාපේක්ෂ වශයෙන් අවම මිලක් යටතේ අලෙවි කරනු ලබයි. මෙහි ගුණාත්මකභාවය වෙනමම සලකා බැලිය යුතු තත්ත්වයකි. අවම මිලට විදේශීය සහල් අලෙවි කිරීම හරහා දේශීය සහල් අලෙවි වීම අඩු වශයෙන් සිදුවීමෙන් එහි අවසන් බලපෑමද සිදුවන්නේ ගොවියාටය. ඉදිරියේදී ඔවුන්ට නැවතත් කුණු කොල්ලයට වී මෝල් හිමියන්ට සිය වී අලෙවි කිරීමට සිදුවනු ඇත. මේ සහල් මාෆියාව පසුපස සිටින්නේ කවුදැයි යන්න අමුතුවෙන් ජනතාවට පැවසීමට අවශ්‍ය නොවන අතර ජනතාව එය හොඳාකාරවම දනිති. ලබන සතියේදී යළිත් හමුවෙමු ඔබට සුබ අනාගතයක්