ඛනිජ තෙල් යනු ක්ෂය වෙමින් යන සම්පතකි. මහපොළොවෙන් ඛණිජ තෙල් ලබාගැනීමෙන් පසු නැවත ඒවා උත්පාදනය වීමක් සිදු නොවේ. මේ අනුව ඛනිජ තෙල් යනු සීමිත සම්පතකි. බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගම ගණන් බලා ඇති පරිදි පෘථිවිය තුළ බොරතෙල් බැරල් බිලියන 1688ක් පමණ තිබේ. දැනට ඉන්ධන භාවිත කරන ශීඝ්‍රතාව අනුව බැලුවහොත් එය තවත් වසර 50ක පමණ කාලයක් සඳහා ප්‍රමාණවත් වන්නකි.
එහෙත් හදිසියේ හෝ ඛණිජ තෙල් කර්මාන්තයේ ඇණ හිටීමක් සිදුවුවහොත් ලෝකය යුග ගණනික් ආපස්සට යනු ඇත. ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදනය තවමත් ඇත්තේ මූලික අදියරකය. මගී ප්‍රවාහන බස් රථ, පාසල් බස් රථ, පෞද්ගලික වාහන අති බහුතරය ක්‍රියාත්මක වන්නේ ඛනිජ තෙල් වලිනි.
විශාලතම බලපෑම සිදුවන්නේ ගුවන් ගමන් වලටයි. ගුවන් යානා මුළුමනින්ම පාහේ ක්‍රියාත්මක වන්නේ පොසිල ඉන්ධන වලිනි. ඛණිජ තෙල් නැති වුවහොත් ගෝලීයකරණය යන්නෙහි අර්ථයක් නැතිව යයි. මිනිසුන්ට තමන් උපන් රට රාජ්‍යයන් තුළ වැඩි වශයෙන් කල් ගෙවීමට සිදුවන අතර, අන්තර්ජාතික වශයෙන් සංක්‍රමණය වීමට තිබූ අවස්ථාව අතිවිශාල වශයෙන් කප්පාදු වෙයි. වසර සියයකට වැඩි කාලයක් එකවර ආපස්සට ලෝකය ගෙන යෑමක් එමගින් සිදුවනු ඇත. නාවික ගමනාගමනය රුවල් නැව් මගින් පමණක් බොහෝදුරට කරගත හැකිවනු ඇත. මීට අමතරව, පොසිල ඉන්ධන මිනිස් ජීවිතයේ තවත් බොහෝ අංශ සමග තදින් බැඳී තිබේ. දත් මැදීමට ගන්නා බුරුසුව, දිවීමට පලඳින සපත්තු යුවළ, ඇඟලුම් පමණක් නොව අතිවිශාල ප්‍රමාණයක් වෛද්‍ය නිෂ්පාදනද පොසිල ඉන්ධන භාවිත කරමින් සිදුවේ. ASA හෙවත් acetylsalicylic acid නම් ඖෂධය නිෂ්පාදනය කර ගැනෙන්නේ පෙට්‍රෝලියම් මගිනි. කියුමීන් සහ ෆීනෝල්වැනි පෙට්රො රසායන වර්ග පෙනිසිලින් සහ ඇස්ප්‍රින් වැනි ඖෂධ නිෂ්පාදනය කිරීමට භාවිත කෙරේ. හදවත් සැත්කම් වලදී ශරීරය බද්ද කෙරෙන පොලිමර් කොටස්, ශ්‍රව්‍ය සහ දෘෂ්‍ය ආධාරක සඳහා නිෂ්පාදනය කෙරෙන උපාංග ආදියද පෙට්‍රෝලියම් කර්මාන්තයේ අතුරු ඵලයක් වේ.
එසේම, ප්ලාස්ටික් නිෂ්පාදනය සිදුවන්නේද පොසිල ඉන්ධන කර්මාන්තය ආශ්‍රිතවය. විවිධ පිරිසුදු කිරීම් සඳහා භාවිත වන ඩිටර්ජන් වර්ගද නිෂ්පාදනය වන්නේ පෙට්‍රෝලියම් කර්මාන්තයේ අතුරු ඵලයක් ලෙසිනි. කළු පැහැති හිස කෙස් සුදු කරන ඩයි වර්ගයද පෙට්රො රසායන කර්මාන්තයේ ප්රතිඵලයකි. නූතන මිනිස් ජීවිතයේ බොහෝ දේ සරල කර ඇත්තේ ප්ලාස්ටික් මගිනි.
අප කැමති වුවද, අකමැති වුවද හරිත විප්ලවයෙන් පසුව සිදුවන මහා කෘෂි නිෂ්පාදනය සිදුවන්නේද පෙට්‍රෝලියම් කර්මාන්තයේ ඵලයක් වශයෙන් ලැබෙන රසායනික පොහොර භාවිතයෙනි. යම් ආකාරයකින් පෙට්‍රෝලියම් ආශ්රිත නිෂ්පාදන නැවතුණහොත් විශාල ආහාර අර්බුදයක් ඇතිවීමද වැළැක්විය නොහැක්කකි.
පෙට්‍රෝලියම් කර්මාන්තය සාමාන්‍ය ජන ජීවිතය හා සම්බන්ධ වී ඇති ආකාර සීමිත සංඛ්‍යාවක් පමණක් ඉහතින් දක්වනු ලැබීය . මිනිස් ජීවිතයේ තව බොහෝ අංශ සමග මේ වන විට පෙට්‍රෝලියම් කර්මාන්තය ඉතා සියුම් ලෙස බැඳී ඇති බව ගැඹුරින් අධ්‍යයනය කරන විට පෙනී යයි.