සමහරුන් පුරුදුවෙලා ඉන්නේ මොකක් හෝ පැටලිල්ලක් හදා ගන්නටය. එහෙම පැටලිලි හදා ගන්නා අය අන්තිමට පැටලිල්ල ලෙහා ගන්නට බැරුව දඟලනවාය. එය හරියට නූල් බෝලේ පැටලුණා වගේය. පැටලිල්ල ලෙහාගන්නට නම් කොනක් හොයා ගන්නට ඕනෑය. ඒ වුණාට නූල් බෝලේ පැටලුණාම නම් ලෙහන්නට කොනක් හොයා ගන්න අමාරුය. එහෙම කොනක් හොයා ගන්න ගියාම තව තවත් හොඳටම පැටලෙනවාය. එතකොට නම් කොහොමත් පැටලිල්ල ලිහාගන්න අමාරුය.
පැටලිල්ලක් හදා ගන්නා තරම් ලෙහෙසියෙන් ලෙහා ගන්න නම් බැරිය. යම් යම් අය හදිස්සි වෙලා පැටලිලි හදා ගත්තත් ඒ නිසා සිදුවන හානි බොහෝය. ඒ හින්දා පුළුවන් තරම් දුරට අනවශ්‍ය පැටලිල්ල හඳුනාගෙන සිටිල්ල ඇඟට ගුණය.
සමහර අය හොස්ස අගින් මැස්සා යන විටත් පැටලිල්ල හදා ගන්න දස්සය. සුළු සුළු පැටලිලි නිසා මුලින්ම සිදු වන්නේ බහින්බස් වීම් විය හැකිය. අනතුරුව පැටලිල්ල දුරදිග ගොස් රණ්ඩු සරුවල් හදාගෙන ගහමරා ගන්නවාය. බොහොම වෙලාවට මේ පැටලිලිවල මුල බැලුවොත් බොහොම පුංචි කාරණාවක්ය. එක්කෙනෙකුට එක්කෙනෙක් පසු බසින්නට කැමති නැති වුණාම පැටලිල්ල දුරදිග යනවාය.
කම්බි වැටට, ගහට කොළට අල්ලපු ගෙදර අය සමග පැටලිලි හදා ගන්නා අය ඉන්නවාය. අන්තිමට මේ පටලැවිලි දුරදිග ගොස් පොලිස් කූඩුවලද ලගින්න සිදු වෙනවාය. අන්තිමට පැටලිලිවලට උසාවි ගාෙණ් රස්තියාදු වෙලා අතේ තියෙන තුට්ටු දෙකද නැතිකර ගන්නට වෙනවාය. ඉඩම්කඩම් පැටලිලිවලට උසාවි ගිය විට පරම්පරා දෙක තුනක් දිගට නඩුව අහන්න සිද්ධ වෙන්නේ නඩුව කල් යන හින්දාය. අන්තිමට පැටලිල්ලත් ලෙහා නොගෙන ඉඩමේ වටිනාකමටත් වැඩිය පෙරකදෝරුවන්ට ගෙවන්නත් වෙනවාය.
ඉස්සර නම් සිසුන් ගුරුවරුන්ට කීකරුව සිටින නිසා ගුරුගෝල පටලැවිලි ඇතිවෙන්නේ නැත්තේය. එහෙත් අද ගුරුවරයෙක් වරදකට දඬුවම් කළාම අනවශ්‍ය පටලැවිලි හදාගෙන ගුරුවරයා උසාවි ගෙනියන්නට පවා හදනවාය. විභාග ප්‍රශ්න පත්‍රද පටලවා ගත්විට ඒවාට නිවැරදි පිළිතුරු ලියන්නට සිසුන්ට බැරි වෙනවාය. එහෙම පටලවා ගෙන වැරදි උත්තර ලියන සිසුන් විභාගවලින් අසමත් වෙනවාය. අද සමහර සිසුන් ජංගම දුරකථනවලින් පිළිතුරු ලියන්නට ගිහිං පටලැවිලි හදාගෙන මුළු ජීවිතයම කාලකණ්ණි කර ගන්නවාය.
&උඹ ඔය එක එක්කෙනා එක්ක පටලැවිලි හදාගන්නවා නෙමෙයි*. කියලා අම්මා දුවට අවවාද දෙනවාය. එහෙම පටලැවිලි හදා ගන්න එපා කියන්නේ කෙල්ලන් කොල්ලන් අතර ඇතිවන ආදර සම්බන්ධතාවලට තහංචි දැමීමටය. එහෙම පටලැවිලි හදා ගන්න එපා කියලා අම්මා කියන්නේ දුව අමාරුවේ වැටේ යැයි සිතලා බයටය. ඒ වුණාට අද වෙනකොට හදා ගන්නා පටලැවිලිවලින් කෙල්ලන් නිසා කොල්ලන් අමාරුවේ වැටෙනවාය. ඒ නිසා පටලැවිලි හදා ගන්න එපා යැයි කොල්ලන්ට අවවාද කිරීම හොඳය.
කොහොම කොහොම හරි ආදර පටලැවිලි හදාගත් අය බස්වල පසුපස ආසනවල යන්නේ අතපය පටලවා ගෙනය. ඒ වගේම මුහුදු වෙරළේ පටලවා ගෙන ඉඳලා ඊළඟට කාමරවලට ගිහිං පටලවා ගන්නවාය. එහෙම අතපය පටලවාගෙන පාරේ යන එන අය කසාද බැන්දාට පස්සේ කෙස්වලු පටලවා ගත්විට ගලවා ගැනීම හරි අමාරුය. එක්කෙනෙකුගේ කෙස් කැඩෙන තුරුම පැටලිල්ල නවත්වන්නේ නැත්තේය. ගැහැනු - ගැහැනු රණ්ඩු වෙනකොට කෙස්වලු පටලවා ගත්තාට පිරිමි නම් එහෙම කෙස්වලු පටලවා ගන්නේ නැත්තේ ඒ ගොල්ලන්ට කෙස්වලු නැති හින්දාය. ඒ අය පටලවා ගන්නේ අතපයය.
බොහෝ වෙලාවට කාන්තාවන් උත්සාහ කරන්නේ පිරිමින්ගේ ඇඟේ පැටලෙන්නටය. එහෙම පැටලිලිවලට අහුවෙච්ච පිරිමින් අමාරුවේ වැටෙනවාය. කාගේ හරි ඇඟේ පැටලෙන්න කාන්තාවන් හරි දස්සය. එහෙම අයට කියන්නේ කටු අත්ත වගේ පැටලෙන්න එනවා කියලාය. කටු අත්ත ඇඟේ පැටලුණාම කටු ඇනී තුවාල වෙනවාය. ඒ හින්දා කටු අතුවල පැටලෙන්නේ නැතුව බේරාගෙන ගියොත් හොඳය. කටු අත්තෙන් බේරිලා ගියත් කාන්තාවන් සමග නම් පැටලෙන්නේ නැතුව බේරිලා යන්න පිරිමින්ට අමාරුය.
වැල ඉහළ නගින්නේ ගසක පැටලිලාය. එහෙම ගහක පැටලෙන්නේ නැතුව ඉහළට යන්නට වැලකට පුළුවන්කමක් නැත්තේය. එය හරියට පිරිමියකුගේ ඇඟේ පැටලෙන්නේ නැතුව සිටින්නට කාන්තාවන්ට අමාරු වගේය. ඇඳුම් ඇඟේ පටලවා ගන්නේ සීතල නැති වෙන්නටය. සීත පළාත්වල ජීවත්වන අයට සීතලට ඔරොත්තු දෙන ඇඳුම් ඇඟේ පටලවා ගන්නට වෙනවාය.
පය පැටලුණාම වැටෙනවාය. අහක බලාගෙන යන විට ගහක මුලක, ගලක පය පැටලී වැටෙන්නට පුළුවන්ය . පය පැටලිලා වැටිලා තුවාල සිද්ධ කරගන්නේ පයින් ගමන් යන දුප්පතාය. වාහනවලින් ගමන්බිමන් යන පොහොසතාට නම් කවදාවත් පැටලෙන්නේ නැත්තේය. ඇතැම් අය විරුද්ධවාදීන්ට කකුල් වෙට්ටු දමා පටලලා වට්ටනවාය.
ගැලවීමට අමාරුම පැටලිල්ල පඹගාලේ පැටලිල්ලය. පඹගාලේ පැටලුණාම ගොඩ එන්නට බැරුව නන්නත්තාර වෙනවාය. අද බොහෝ අය ප්රශ්නවල පැටලෙන්නේද පඹගාලේ පැටලුණු විදිහටය. අද ආණ්ඩුව පඹගාලක පැටලිලා එකතැන දුවන්නේ පටලැවිලි ලිහා ගන්න දන්නේ නැති හින්දාය. මැතිවරණ කාලවලදී පටලැවිලි හදා ගන්න පාක්ෂිකයන් හරි දස්සය. මෙම පටලැවිලි දුරදිග ගොස් ගෙවල්දොරවල්, යානවාහන පවා ගිනිබත් වෙනවාය. අපේ ඡන්දදාසලා ඡන්ද උණ බෝවෙලා ඡන්ද කාලේ පටලැවිලි හදාගෙන හිරගෙවල්වල නතර වුණත් දේශපාලුවන් නම් කිසිම පටලැවිල්ලක් හදා නොගෙන ඡන්දවලින් පස්සේ එක මේසේ වාඩි වෙලා ජයපැන් බොනවාය. ඡන්ද පටලැවිලිවලින් අමාරුවේ වැටෙන්නේ දුප්පත් ඡන්දදාසලා මිස දේශපාලුවන් නොවේය.