නිර්ප්‍රභූත්වය පිළිබඳ අදහස ශාස්ත්‍රීය කථිකාවට පැමිණෙන්නේ ඉතාලියේ විසූ පශ්චාත් මාක්ස්වාදී චින්තකයෙකු වූ අන්තෝනියෝ ග්‍රම්ෂි මගිනි. මෙම අදහස විශේෂයෙන් පශ්චාත් යටත්විජිත අධ්‍යයනය තුළ භාවිත වේ. නිර්ප්‍රභූ ජනතාව වශයෙන් මෙහිදී හඳුනා ගැනෙන්නේ සංස්කෘතික ආධිපත්‍යයකින් හෝ හෙජෙමොනික බල ව්‍යුහයෙන් සමාජීය, දේශපාලනික හෝ භූගෝලීය වශයෙන් පිටමං කරනු ලැබූ පිරිසකි. අන්තෝනියෝ ග්‍රම්ෂි විසින් නිර්ප්‍රභූත්වය යන යෙදුම ඉස්මතු කර දක්වන්නේ ඉතිහාසය යට සිට ප්‍රකාශ කිරීමක් (history told from below) වශයෙනි.
ඉතිහාසය හෙජමොනික බලය සතු කොට්ඨාසය විසින් නිර්මාණය කිරීමට එරෙහිව ග්‍රම්ෂිගේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය. පසුකාලීනව මෙම හැදෑරීම ඉන්දියාව තුළ වැඩි වර්ධනය විය. නිර්ප්‍රභූ අධ්‍යයන කණ්ඩායම (Subaltern Studies Group ) වශයෙන් ගොඩනගා ගත් ශාස්ත්‍රීය එකතුවේ ප්‍රතිඵලයක් ලෙස නිර්ප්‍රභූ අධ්‍යයනය පශ්චාත් යටත්විජිත සාහිත්‍යය තුළ පොළාපැනීමකට නතු විය. රංජිත් ගුහා, පාර්තා චැටර්ජි, ගයාත්‍රී ස්පිවැක්, ගයේන්ද්‍ර පාන්ඩේ, ගෞතම් භද්‍රා, සරෝජිනී සහූ වැනි අය එහි කේන්ද්‍රීය භූමිකාවක් හිමිකර ගත්හ. ගයාත්‍රී ස්පිවැක් විසින් රචිත Can the Subaltern Speak? නම් වූ රචනාව අදටත් නිර්ප්‍රභූ අධ්‍යයනය සඳහා ඇති විශිෂ්ටතම ලේඛනයක් ලෙස සලකනු ලැබේ.
නිර්ප්‍රභූ අධ්‍යයනය යන්න මේ වනවිට විවිධ විෂය ධාරාවන් රැසක අධ්‍යයනය කෙරෙමින් පවතී. ඉතිහාසය, මානව විද්‍යාව, සමාජ විද්‍යාව, මානව භූගෝල විද්‍යාව, සාහිත්‍ය විචාරය පමණක් නොව සංගීතය වැනි විෂයයන් සඳහා එය කථිකාවක් ලෙස ආගමනය වී තිබේ.
ගයාත්‍රි ස්පිවැක් පෙන්වා දෙන පරිදි නිර්ප්‍රභූත්වය යනු සමාජ තත්ත්වය තුළදී කිසියම් පුද්ගලයෙකු වෙත කාරකත්වයක් (agency) අහිමි වීමයි. එය සාම්ප්‍රදායික අර්ථයෙන් පන්ති පීඩනය සමග බද්ධ වූ දෙයක් නොවේ. සංස්කෘතික ආධිපත්‍යයට ප්‍රවේශ වීමේ සීමාකම් හෝ එසේ ප්‍රවේශ වීමට නොහැකි පුද්ගලයන් නිර්ප්‍රභූ පැළැන්තියට වැටේ. මෙනයින්, යමෙකු නිර්ධන පන්තියට ඇතුළත් වීම හෝ වෙනත් එවැනි පීඩනයකට බඳුන් වීම නිර්ප්‍රභූත්වය වශයෙන් හඳුනා ගැනීමට නොහැකි බව ස්පිවැක් කියා සිටී. ඇයගේ මතය අනුව හෙජමොනික බලය හෝ සංස්කෘතික අධිරාජ්‍යවාදයෙන් පිටමං කිරීමක් අවැසි වේ.
හෝමි කේ. බාබා නම් ශාස්ත්රඥයාද සඳහන් කරන පරිදි සමාජ බලය (Social Power) නිර්ප්‍රභූ අධ්‍යයනයේදී විශේෂයෙන් සැලකිල්ලට ගත යුත්තකි. හුදෙක් කිසියම් ජන කොට්ඨාසයක් සුළුතරයක් වූ පමණින් ඔවුන් නිර්ප්‍රභූ ගණයට නොවැටෙන බව බාබාගේ අදහසයි. එනයින්, කිසියම් ජන කණ්ඩායමක් සුළුතරය වුවද ඔවුනට හෙජෙමොනික බලයක් හෝ සංස්කෘතික ආධිපත්‍යයක් පැවතිය හැකිය. මේ සඳහා ලෝකයේ බොහෝ රටවලින් උදාහරණ සපයාගත හැකිය. ඇෙමරිකා එක්සත් ජනපදයේ යුදෙව් ජාතිකයන් සුළුතරයක් වුවද ඔවුන් නිර්ප්‍රභූන් වශයෙන් ගණනය කිරීම දෝෂ සහිත වේ. මක්නිසාද යත් යුදෙව්වන් සතුව සුවිශාල හෙජෙමොනික බලයක් සහ සංස්කෘතික ආධිපත්‍යයක් ඇති බැවිනි.
ගයාත්‍රි ස්පිවැක් පෙන්වාදෙන පරිදි බටහිර ලෝකය තුළ බාහිරින් පැමිණෙන්නෙකුට පිළිගැනීමක් ලැබීමට නම් ඔවුන්ගේ චින්තයට අනුගත වීම, ඔවුන්ගේ තර්කනය සමග එකඟ වීම, ඔවුන්ගේ භාෂාව දැනගැනීම සහ අවසන් වශයෙන් බටහිරකරණය අවශ්‍ය වේ. මෙම සංස්කෘතික ආධිපත්‍යය තුළ නිර්ප්‍රභූන්ට කිසිවිටෙකත් තමන් පිළිබඳ ආත්ම ප්රකාශනය කරගත නොහැකිය.
- දර්ශන අශෝක කුමාර