තොරතුරු තැරැව් කිරීම එසේත් නැත්නම් දත්ත තැරැව් කිරීම යනු මේ වන විට ලෝක මට්ටමින් විශාල කතාබහක් මෙන්ම ආන්දෝලනයක් ඇතිකර තිබෙන සිද්ධියකි. කේම්බ්‍රිජ් ඇනලටිකා නම් සංවිධානයක් විසින් ෆේස්බුක් ඔස්සේ රැස් කර ගත් තොරතුරු දේශපාලන මඩ ව්‍යාපාර ඇතුළු විවිධ කූට ක්‍රියාවන් සඳහා යොදාගැනීම හේතුවෙන් එම තත්ත්වය ඇති විණ.
දත්ත තැරැව්කරණය 1950 දශකයේ පමණ සිට පවතින්නකි. එහෙත් 20 වැනි සියවසේ අගභාගයේදී මෙම තත්ත්වය ශීඝ්‍රයෙන් වර්ධනය විය.
කෙසේ වෙතත්, මේ වන විට මිනිසුන්ගේ දත්ත වෙළඳාම් කිරීම විවිධ ස්වරූපවලින් සිදුකිරීම ලෝකයේ ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම් සිදුකරමින් සිටී. ඩිජිටල් ආර්ථිකයේ ප්‍රධාන බලවේගය බවට පත් වී ඇත්තේද දත්තයි. මෙම දත්තවලට අප කෑමට කැමති දේ, අඳින්නට කැමති, නැරඹීමට කැමති චිත්‍රපට ආදිය පිළිබඳ තොරතුරුද ඇතුළත් වේ. ගූගල් ෆේස්බුක් වැනි සමාගම් සිදුකරන්නේ එම දත්ත තවත් සමාගම්වලට විකිණීම තුළින් ඔවුනට අවශ්‍ය පාරිභෝගිකයන් සොයා ගැනීමට උපකාර කිරීමයි.
අප කිසියම් ස්ථානයක ජංගම දුරකථනය අන්තර්ජාලයට සම්බන්ධ කරගෙන සිටියහොත් අප සිටින ස්ථානය පිළිබඳ දත්තද අපගේ අන්තර්ජාල සේවා සම්පාදකයා විසින් සමාගම් වෙත අලෙවි කිරීම සිදුවිය හැකිය. අප සිටින ස්ථානය අනුව විවිධ භාණ්ඩ හා නිෂ්පාදන පිළිබඳ දැන්වීම් අපට යොමු කෙරේ. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ සිටින අප ඉලක්ක කර ගනිමින් අපට අවශ්‍ය භාණ්ඩ හා සේවා පිළිබඳ වෙළෙඳ දැන්වීම් ලැබෙන්නේ එසේය.
උදාහරණයක් ලෙස කිසියම් ඇඳුමක් හෝ පැලඳුමක් මිලදී ගැනීම සඳහා අන්තර්ජාලය ඔස්සේ යමෙකු සොයා බැලීමක් කළහොත් විවිධ පන්නයේ වෙළෙඳනාම යටතේ දැන්වීම් අදාළ පුද්ගලයා වෙත දිගින් දිගට ගලා එයි. කේම්බ්‍රිජ් ඇනලටිකා සමාගමට එල්ල වූ චෝදනාව වූයේ ඇෙමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු විවිධ දේශපාලඥයන්ගේ මැතිවරණ ව්‍යාපාර සඳහා පොදු ජනතාවගෙන් සොරාගත් දත්ත භාවිත කිරීමයි.
අප කරන සෑම දෙයක් දෙසම දත්ත තැරැව්කරණයේ යෙදෙන බහුජාතික සමාගම් බලා සිටී. ඔවුන් දත්ත වගාකිරීමක් (farming data) සිදු කරයි. මෙය ඇතැම් විශ්ලේෂකයන් සඳහන් කරන්නේ අලුත් තෙල් (new oil) වශයෙනි.
අතීතයේදී ලෝක ආර්ථිකය තුළ තෙල් සඳහා මුල්තැනක් දුන්නද දැන් දත්ත සඳහා ඒ තැන ලැබෙමින් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
දත්ත තැරැව්කරණයේ ඍජු වෙළෙඳ පොළ අගය ඇෙමරිකානු ඩොලර් බිලියන 200ක් ඉක්මවයි. දත්ත තැරැව්කරණය නීතියෙන් තහනම් දෙයක් නොවූවත් දත්ත තැරැව්කරණය තුළ පාරදෘශ්‍යභාවයක් බොහෝ විට දැක ගැනීමට නොහැකිය. ඊට හේතුව නම් බොහෝ විට පාරිභෝගිකයන් නොදැන හොර රහසේ ඔවුන්ගේ දත්ත ලබාගැනීමයි. නොමිලේ ලැබෙන් මෘදුකාංග, ඊමේල් ගිණුම් ආදිය මගින් මෙසේ දත්ත සොරා ගැනීම සිදුවෙයි.
දර්ශන අශෝක කුමාර