තාක්ෂණික වශයෙන් ලෝකය අතිමහත් වෙනසකට භාජන වෙමින් පවතින බව නොරහසකි. ගෝඩන් මුවර් නම් පරිගණක විද්‍යාඥයා ඉදිරිපත් කළ මතය අනුව සෑම මාස 18කටම වරක් පරිගණකයක දත්ත හැසිරවීමේ වේගය දෙගුණ වනු ඇත. එහෙත් ඇතැම් විට තවත් වසරකින් හෝ දෙකකින් දැන් පවතින තාක්ෂණයට වඩා බෙහෙවින් වෙනස් වූ තාක්ෂණයක් පැවැතීමට ඉඩ ඇත.
රේ කර්ස්වීල් නම් ඉංජිනේරු විශේෂඥයාගේ අදහස වූයේ 21 වැනි සියවස යනු තවත් එක් සියවසක් නොවනු ඇති බවයි. එහිදී මෙතෙක් අප දන්නා වසර 100ක ප්‍රගතියක් නොව වසර 20,000ක පමණ ප්‍රගතියක් ලැබිය හැකි වනු ඇති බව ඔහුගේ මතයයි.
ලෝක ඉතිහාසය දෙස හැරී බැලූ විට ඇතැම් සියවස්වලදී පැවැති තාක්ෂණයන් වෙනස් වී නැති තරම්ය. එබැවින් එම සියවස්වල ජීවත් වූ මිනිසුන් තාක්ෂණික වෙනසක් දැක නොමැත. එහෙත් මේ වනවිට පවතින තාක්ෂණය වසරක් දෙකක් වැනි කාලයක් තුළ බරපතළ ලෙස වෙනස් වෙයි.
සෑම පැය 24කටම වරක් ආසන්න වශයෙන් ස්මාර්ට් දුරකථන මිලියන 04ක් ලොව පුරා අලෙවි වෙයි. මිලියන 200ක වැඩි ඊ-මේල් ප්‍රමාණයක් යැවෙයි. මිලියන 700කට වැඩි ට්වීට්ස් ප්‍රමාණයක් සිදුකෙරේ. ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමේ සිට දැනුම බෙදාහැරීමේ ක්රමයන්හි මහා පොළාපැනීම් සිදුව තිබේ. කඩදාසි මුදල් සොයා ගැනීම එක් යුගයක සංධිස්ථානයක් වුවද අද වනවිට කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ගනුදෙනු සිදුවන්නේ හිස් අවකාශයේ විවිධ තරංග ඔස්සේය. කඩදාසි මුදල් භාවිතය ක්‍රමයෙන් අභාවයට යමින් පවතී.
ස්ථාවර දුරකථනය සමාජගත වී සම්පූර්ණ වීම (Saturation) සඳහා වසර 80ක කාලයක් පමණ ගත විය. සාමාන්‍ය ජංගම දුරකථනය සමාජගත වීමට වසර 20ක් ගතවිය. ස්මාර්ට් දුරකථනයට ගත වී ඇත්තේ අවුරුදු 10කටත් අඩු කාලයකි. එසේම මේ කරුණු අනුව සලකා බැලීමේදී සඳහන් කළ යුතු වැදගත්ම කරුණක් වන්නේ තාක්ෂණික වෙනස් වීම රේඛීය වශයෙන්ම සිදුවෙතැයි පුරෝකථනය කිරීමට නොහැකි බවයි. අතීතයේදී මෙසේ වූ බැවින් ඒ ආකාරයෙන්ම අනාගතයේදීද තාක්ෂණය මෙවැනි ශීඝ්‍රතාවකින් වෙනස් වේ යැයි පැවසීම කළ නොහැකිය.
නිර්රේඛීය (Non-linear) ආකාරයෙන් තාක්ෂණයේ විශාල පොළාපැනීම් සිදුවීමේ හැකියාව බොහෝ වැඩිය. කර්ස්වීල් පැවසූ ආකාරයෙන්ම 21 වැනි සියවසේදී ඇතැම් විට තාක්ෂණය වසර 20,000කින් එපිටට පැනීමට ඉඩ ඇත. නැතහොත් ආපසු ගමන් කිරීමටද ඉඩ ඇත. උදාහරණයක් ලෙස තෝමස් එල්. ෆ්‍රීඩ්මන් නම් විචාරකයා පෙන්වා දෙන පරිදි 2008 වසරේදී ලෝක ආර්ථික අර්බුදයක් ගොඩනැගුණේ තාක්ෂණයේ වෙනස් වීමට සාපේක්ෂව දේශපාලනික පද්ධතියේ ව්‍යූහාත්මක වෙනස්කම් ඇති නොවීමෙනි. එබැවින්, ලෝක තාක්ෂණය මිනිසාට දරාගත හැකි වීමේ ශක්‍යතාව පිළිබඳ තවමත් ඇත්තේ අපැහැදිලි චිත්රයකි.