මා මෙවර තීරු ලිපිය ලියන්නේ සිංගප්පූරුවේ සිටය. ඒ එරට පැවැති සම්මන්ත්‍රණයකට සහභාගි වීමෙන් අනතුරුවය. මෙම සම්මන්ත්‍රණයේදී අවධානයට යොමු වූ අංශයක් වූයේ සිංගප්පූරුවේ රාජ්‍යයේ මැදිහත්වීම යටතේ පවතින ආයතන පද්ධතිය පිළිබඳවය.
බොහෝ රටවල රාජ්‍යයේ මැදිහත් වීම යටතේ ආයතන පවතී. එසේම, රාජ්‍යයේ මැදිහත් වීම යටතේ ව්‍යවසායයන් ද (State Owned Enterprises)පවතී. එහෙත් බොහෝ රාජ්‍යයන් පිළිබඳ සලකා බැලුවොත් රාජ්‍යයන් යටතේ පවතින මෙම ව්‍යවසායයන් යල්පැන යන බවක් පෙනීයයි. එමෙන්ම, ඒවා අකාර්යක්ෂම බවක් උසුලයි. පාඩු ලබයි. පඩිනඩි පවා ගෙවා ගැනීමට නොහැකිය. මහා භාණ්ඩාගාරයෙන් මුදල් ගෙන ජනතාවගේ මුදල් වැටුප් වශයෙන් ගෙවා දමයි.
සිංගප්පූරුවේ රාජ්‍යය මැදිහත් වීම යටතේ ව්‍යවසායයන් ක්‍රියාත්මක වන්නේ ඊට සපුරාම වෙනස් ආකාරයකටය. මෙම ක්‍රමයට 'තමාසෙක් ක්‍රමය' යැයි කියනු ලැබේ. 1974 වසරේ සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක වූ අතර, මෙය රජය යටතේ වන ජාතික අරමුදලක් යටතේ ක්‍රියාත්මක වෙයි. එම අරමුදල මගින් නොයෙකුත් ආයතනවල පාලන බලය රජය සතුකර ගැනේ.
තමාසෙක් ක්රමයේ මූලික ලක්ෂණයක් වන්නේ රාජ්‍යය ව්යවසායයන්වලදී මෙන් නොව සෑම සමාගමක්ම පාහේ විශාල ලාභ ලැබීමය. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේද ප්‍රදර්ශනය වන විදේශ රූපවාහිනී නාළිකාවක් වන 'Channel News Asia' ආයතනය හසුරුවනු ලබන්නේ තමාසෙක් හෝල්ඩින්ග්ස් නම් වූ අරමුදල මගිනි. 'Channel News Asia' ඒ පමණක් නොව තවත් රූපවාහිනී නාළිකා 07ක්, ගුවන්විදුලි නාළිකා 11ක් ඇතුළු මාධ්‍ය ජාලයක් මීඩියා කෝප් නම් සමාගමක් ඔස්සේ තමාසෙක් හෝල්ඩින්ග්ස් මගින් පාලනය කෙරේ. මේ සියල්ල සිංගප්පූරු රජයේ මුදල්ය. නමුත් මෙම රූපවාහිනී ජාල අතිවිශාල ලාභ ලබයි. බොහෝ රටවල රාජ්‍ය මාධ්‍ය ආයතන රජයේ අරමුදල්වලින් නඩත්තු වුවද සිංගප්පූරුවේ රජයේ පාලනය යටතේ ඇති මාධ්‍ය ආයතන එසේ නොමැත. ඊට අමතරව, විදුලි සන්දේශනය, ප්‍රවාහනය, දේපොළ වෙළඳාම්, මූල්‍ය සේවා, කෘෂි ව්‍යාපාර, බලශක්ති ආදී විවිධ ක්ෂේත්‍ර සඳහා විවිධ සමාගම් ඔස්සේ සිංගප්පූරු රජය වක්‍රව අතගසා ඇති අතර, ඒවා ලාභ ලබන තත්ත්වයෙන් පවත්වා ගෙන යෑමට සමත් වී සිටියි.
තමාසෙක් හෝල්ඩින්ග්ස් මේ වසරේ දෙවැනි කාර්තුව සඳහා සිංගප්පූරු ඩොලර් බිලියන 275ක ශුද්ධ ලාභයක් ලබා තිබිණි. තමන් සතු සෑම සමාගමක් තුළදීම සිංගප්පූරු රජය කොටස් හිමියෙකු (shareholder) ලෙස මෙන්ම නියාමකයෙකු (regulator) ලෙසද කටයුතු කර තිබේ. එනයින් රාජ්‍යයට අයත් ව්‍යවසායයන් මගින් සිදුවිය හැකි හානිය බොහෝ දුරට අවම කරගැනීමට හැකිව තිබේ. ඊට අතිරේකව මෙම සමුළුවේදී හෙළි වූ තවත් කරුණක් වූයේ වාණිජයටද, තාක්ෂණයටද අතිශය වැදගත්කමක් දී සිටින සිංගප්පූරුව සෑම වසරකදීම කලාව වෙනුවෙන්ද සිංගප්පූරු ඩොලර් මිලියන 90 - 100ත් අතර මුදලක් වෙන් කරන බවයි. මෙනයින් බොහෝ දක්ෂ කලාකරුවන්ට සිය නිර්මාණ එළිදක්වා ගැනීම සඳහා මූල්‍යමය සහාය හිමි වේ.
දර්ශන අශෝක කුමාර