අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ රටේ විධායක ජනාධිපතිවරයාය. ඔහු ඇමතිවරයෙකු හෝ මේ රටේ සාමාන්‍ය පුද්ගලයෙකු නොවේ. අනෙක් අතින් ඔහු රටේ පළමු පුරවැසියාය. රටේ නායකයාගේ මුවෙන් පිටවන සෑම වචනයකම සත්‍ය තිබිය යුතුය. ඔහුගේ ප්‍රකාශ වෙනස් නොවිය යුතුය. ජනතාවගේ අවධානය යොමු කරගැනීම සඳහා ජනප්‍රිය ප්‍රකාශ කිරීමට උත්සාහ නොකළ යුතුය.
මන්ද යත් විධායක ජනපතිවරයා කරන ප්‍රකාශයක් ආර්ථික, දේශපාලන, සමාජීය යන පරිසරයන්ට ප්‍රධාන වශයෙන්ම බලපෑම් එල්ල කරමින් තිබේ. මැතිවරණයක් අත ළඟ තිබියදී ජනාධිපතිවරයා විවිධ ප්‍රකාශ පදනම් විරහිතව සිදුකරමින් සිටියි.
මේ සඳහා ලබාදිය හැකි හොඳම උදාහරණය නම් පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලබාගත් ට්‍රිලියන 10ක් වන විදේශ ණයවලින් වත්කම් ලෙස සටහන්ව ඇත්තේ ට්‍රිලියනයක් බවත්, ඉතිරි මුදලට සිදු වූ දෙයක් නොමැති බවත්ය. ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ට්‍රිලියන 10ක් වන තත්ත්වයක ජනාධිපතිවරයා මෙවැනි අසත්‍ය ප්‍රකාශයක් කළේ ඇයිදැයි යන්න පිළිබඳ සොයා බැලිය යුතුය.
ඇතැම් විට ජනාධිපතිවරයාට මේ තොරතුරු ලබාදෙන පාර්ශ්ව ඔහු නොමග යවමින් සිටිනවා විය හැකිය. නැතහොත් ඔහුට ට්‍රිලියන, බිලියන, කෝටි හා මිලියන පැටලී විය හැකිය. ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් අති බහුතරයක් ඉහළ සාක්ෂරතාවකින් යුක්තය. හරි වැරැද්ද, සත්‍ය - අසත්‍ය ඔවුන්ට වෙන් කරගැනීමට හැකිය. ජනාධිපතිවරයා කළ මෙම පදනම් විරහිත ප්‍රකාශය පිළිබඳ ජනතාව දැන් හිනාවීමට පටන්ගෙන ඇත. ඔහුගේම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ඔහුට සිනහවීමට පටන් ගෙන ඇත.
පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද පදනමක් නිර්මාණය කරගැනීමට ජනාධිපතිවරයා මෙවැනි අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් සිදුවෙන්නේ රටත් ජනතාවත් හෑල්ලුවට ලක්වීමයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ප්‍රකාශය කිරීමෙන් පසු මේ පිළිබඳ කරුණු විමසීම සඳහා රටවල් බොහෝමයක් මගේ පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ කරගෙන තිබිණි.
96න් ආණ්ඩු පිහිටුවීම
ජනාධිපතිවරයා රත්නපුරයේදී තවත් දේශපාලනික කතාවක් සිදු කළේය. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් 96 දෙනා තමන් සමග සිටගන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හැදීමට සූදානම් බවයි.
නමුත් අතිගරු ජනාධිපතිවරයා මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුව තිබුණේ 2015 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදීය. එම මැතිවරණයට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයට අවාසි සහගත විශේෂ ප්‍රකාශ දෙකක් ජනාධිපතිවරයා සිදු කළේය. එතැනින් නොනැවතී එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරුන් ඉවත් කිරීමට කටයුතු කළේය. එය අපගේ මැතිවරණයට ප්‍රධාන බලපෑමක් එල්ල කළේය. එසේම ඔහු පැවසුවේ තමන් කිසි විටෙකත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය පිරිනොනමන බවයි.
යම් හෙයකින් මෙවැනි දේ සිදු නොවූවා නම් අද රටේ ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතාය. පාර්ලිමේන්තුව නැතහොත් අග්‍රාමාත්‍ය ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේය. මේ අතර සන්ධානයේ 96 දෙනා එක් කරගෙන ආණ්ඩුවක් පිහිටෙව්වද එහි අග්‍රාමාත්‍ය ධුරය පිරිනමන්නේ කාටද යන්න පිළිබඳ ජනපතිවරයා සඳහන් නොකළේය. එම ධුරය වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිරිනැමීමට කටයුතු කළහොත් ඒ ගැනද අප කලබල විය යුතු නැත.
දූෂිත දේශපාලඥයන්
මේ අතර ජනාධිපතිවරයා සඳහන් කරන්නේ රට සංවර්ධනය කළ නොහැක්කේ දූෂිත දේශපාලඥයන් නිසා බවයි. ජනපතිවරයාද දේශපාලඥයෙකු බව මෙහිදී ඔහුට අමතක වී ඇත. දේශපාලඥයා යන කාණ්ඩයට ජනාධිපතිවරයාද ඇතුළත් හෙයින් ඔහු තමන්ද ඇතුළු සියලු දෙනාට මෙම චෝදනාව එල්ල කරමින් තිබේ.
ජනාධිපතිවරයාට මේ වනවිට ඔස්ට්‍රේලියාවෙන් අල්ලස් හා දූෂණ චෝදනාවක් එල්ල වී තිබේ. ඒ අනුව විදේශ රටකින් අල්ලස් හෝ දූෂණ චෝදනාවක් එල්ල වී ඇති ශ්‍රී ලංකාවේ එකම නායකයා ලෙසද වත්මන් ජනාධිපතිවරයා වාර්තා අතරට එක්ව තිබේ. රටේ නායකයා තමන්ගේ ආණ්ඩුව දූෂිතයි යැයි පිළිගන්නේ නම් පසුගිය අවුරුදු තුනේ රට පාලනය කළ ආකාරය පිළිබඳ අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.
බැඳුම්කර විවාදය
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර හා බරපතළ වංචා පිළිබඳ ජනපති කොමිෂන් සභා වාර්තා විවාදය සඳහා පාර්ලිමේන්තුව පෙබරවාරි 08 වැනිදා කැඳවන ලෙසට කථානායකවරයාට දැනුම් දුන් බව මොරවක පැවැති ජන හමුවකදී ප්‍රකාශ කළේය. බැඳුම්කර විවාදය පෙබරවාරි 08 වැනිදා ගැනීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කළේ මැතිවරණ ප්රචාරක කටයුතු 07 වැනිදායින් අවසන් හෙයින් පාර්ලිමේන්තු විවාදයේ කිසිදු දෙයක් ජනතාවට දැනගැනීමට අවස්ථාවක් නොලැබෙන හෙයිනි.
සත්‍ය වශයෙන්ම බැඳුම්කර හා බරපතළ වංචා පිළිබඳ ජනපති කොමිෂන් සභා වාර්තා පිළිබඳ විවාද කිරීමට අවශ්‍ය නම් අග්‍රාමාත්‍යවරයා කළ යුතු වන්නේ පෙබරවාරි 07 වැනිදාට පෙර එම විවාදය පැවැත්වීමට කටයුතු කිරීමයි. එවිට හොරු කවුරුන්දැයි යන්න ජනතාවට හෙළිවනු ඇත.
අනෙක් අතින් පක්ෂ නායක හමු කැඳවමින් බැඳුම්කර වාර්තාව පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීම නිෂ්ඵල දෙයකි. කළ යුතු වන්නේ කොමිසමේ නිර්දේශ පරිදි බැඳුම්කර ගනුදෙනුවේ අලාභය වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් අය කරගැනීමට කටයුතු කිරීමය.
අවසාන වශයෙන් කීමට ඇත්තේ මෙවර මැතිවරණයේදී ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් ජනතාව නොමග යැවීම වෙනුවෙන් මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකරමින් සිටින බවයි. මැතිවරණයෙන් පසුව ඔවුන් දෙදෙනා නැවතත් එක්ව රට පාලනය කරනු ඇත. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද පැවැසුවේ මැතිවරණයෙන් පසුව ජනපති - අගමැති දීගය එලෙසින්ම ක්‍රියාත්මක වන බවයි.
ලබන සතියේදී යළිත් හමුවෙමු! ඔබට සුබ අනාගතයක්!